Tuesday, June 28, 2016

බූමරංගයක් නො(වු)නු Bumrungrad International Hospital


 අපේ තායිලන්ත ජිවිතේ අමතක නොවෙන තැනක් තමයි මේ පින්තුරේ තියෙන්නෙ...අති නවීන පහසුකම් වලින් යුත් ඉතාම සුවපහසු හරිම පිළිවෙලට හදල තිබ්බ භාශා ගැටලුව නිසා පුංචි ලෙඩකටත් යන්න වුනු "සුකුම්විත්" නගරයේ සෝයි 3නේ පිහිටි ( සෝයි කියන්නේ අතුරු පාරට කියන තායි නම, මේ නගරයේ අතුරු පාරවල් එක තැනකින් පටන් අරන් පිළිවෙලට අංක කරල තියනවා මිසක් එක එක අයගේ නම් ගම් ගහල වෙන් කරලා නැහැ)   තරු පහේ අන්තර්ජාතික රෝහල.. මේ රෝහල කරුණු කීපයක් නිසා අමතක කරන්නම බැහැ. ඒ අතරින් මගේ දඟමල්ල දකිද්දි කිසිම දවසක අමතක කරන්න  බැරි සිදුවිමක් තියනවා මේ සුපිරි රෝහල හා බැඳුනු ජීවිතයත් මරණයත් අතර සිදුවුන.


 බැංකොක් නුවර ගත කල දෙවන අවුරුද්දේ මැද භාගයේදි  තමයි මේ පුංචි දඟමල්ල අපි ලඟට ඇවිත් කියලා දැන ගත්තේ පුංචි දේකටත් අපි යන්න හුරු වෙලා හිටිය මේ රෝහල් කාර්යමණ්ඩලය හරහා..(සෑම දින 90කටම වරක් අප දෙදෙනාම වෛද්‍ය පරික්ෂන වාර්ථාවක් එක්ක අපේ ගුවන්ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුව තිබුනා රැකියා ස්ථානයට විසා දීර්ඝ කිරිමට )   එදිනට පසුදින මේ රෝහල් කාර්යමණ්ඩලයම හොයා ගත්තා මට H1N1  වෛරසය (Swine Flu) ආසාධනයවී ඇති බවත්   ඒ වෙලාවෙම කල පරික්ෂන කිහිපයකින් පස්සේ තහවුරු කලා හැකි ඉක්මනින් ඒ සඳහා ඇති ඖශධ  භාවිතා කල යුතු බව. ඒත් එක්කම අපිට හම්බුනා අත්සන් කරන්න පත්‍රිකාවක් අම්මගෙ ජීවිතය පමණයි බේර ගන්න වෙන්නේ ,බබාට අවධානමක් තියනවා ගන්න බෙහෙත්  වලින්,  ඒකට එකඟද කියලා විමසන. ජීවිතේ පළවෙනි වතාවට වැඩිහිටි කෙනෙක් නැතුව මමයි මගෙ සැමියයි සිංහලෙන් කතා කරන්නත් බැරි පරිසරයක ඊලඟට මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න  බැරුව මූණට මුණ බලාගෙන ඉද්දි වෛද්‍යවරයා කියනවා හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කලේ නැත්නම් මගේ  වකුගඩු දක්වා ආසාධන‍ය ආවොත් ජිවීතය ගැන    බලාපොරොත්තු තැබිය නොහැකි බව. මේ  වෙද්දි මම තේරුන් අරන් හිටියේ මගෙ සැමියා  සමහර තීරණ ගද්දි මඩේ හිටවපු ඉන්නක් වගේ කියලා..(අපි ලංකාවෙන් එද්දි කුලියට හිටිය ගෙදරට ගෙවල තිබ්බ රු 90,000ක බැඳුම්කරය  වචනයක් වත් නොකියා අමතක කරල ආව ඔහු බාත් 1ක්= රු 3ක් වියදම් වෙද්දි ගොඩක් සැලකිලිමත් උනා මට තේරුන් ගන්න බැරි උනු හේතුවකට. )  ඔහුගේ මේ නිහඬ තීරණ නිසාම  ඔහු කිසිම දවසක මට කියලා නැ ඇයි මාව දැක්ක ගමන් කැමති වුනේ , ඇයි මාව බැන්දෙ, ඇයි ඒ තීරණය  එක දවසින් ගත්තෙ මං ගැන කිසිම දෙයක් හරියට නොදැන කියලත්.  ඒ නිසා මේ වෙලාවෙත් මටම තමා ඊලඟ පියවර ගන්න වෙන්නේ කියලා හිතෙද්දි ඊට දවසකට කලින් දැන ගත්ත පුංචි පැටියට මං කිව්වා මේ ඔයාට එන්න වෙලාව නෙමේ වෙන්න ඇති කියලා, මම එතන තිබුනු කලු පැන අතට ගත්තා.

ඉන් පස්සේ තවත් පරික්ෂන කීපයකට කියල මගෙන් ලේ ගත්ත වෛද්‍යවරයා නියම කලා  X-Ray පරීක්ෂනයක් කරන්න. ගර්භනී කෙනෙකුට X-Ray කිරිම ඉතා අනතුරුදායක උනත් කුස තුල වැඩෙන බබාට, ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැමදේම ඉවර වෙලා අපි රැ 8 - 9 ට විතර  බෙහෙත් අරන්  ගෙදර යන අතරමඟ, නිතරම කැම කන "ෆූඩ් ලන්ඩ්"  එකෙන් මං කවදත් නොබිව්ව ඒත් ඔහු නිතරම බොන සැරම සැර රතුම රතු "ටොම් යම් සුප්"  එක බොන්න මට එදා හිතුනා... හැමදාම වගේ රෝහල්  ගාස්තු රැකියාවෙන් ලැබුනු රක්ෂනයෙන්  පියවෙන්න ඇති. ( මගේ ජීවිතේ පළවෙනි වතාවට කිසිම බලපැමක් නැතුව මට කැමති ඕනම ඇඳුමක්   තෝර ගන්න ඉඩ දිලා කොයි තරන් මං කිව්වත් "පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න" කියලා මගෙත් එක්කම මුලු සාප්පුව පුරාම  එක සැරයකට වඩා හිමින් පියමැන්න ඔහු මම තෝරා ගත් ඇඳුම් වල බිංදු 3ක් අගට තිබ්බ බිල ගෙව්වේ ඒ ගැන කිසිම දෙයක් නොකියා.   එදා ඉඳන් පුරුද්දක් විදිහට මං ඔහුගෙන් මුදල් හදල් ගැන ඇහුවේ  නැහැ  )

ඉන් පස්සෙ ගතවුනු සතිදෙක මගේ ජිවිතේ තීරණාත්මක  කාලයක්. කිසිම දවසක තමන්ගෙ පුද්ගලික ඕනේකමකට කාර්යාලීය වැඩ අතපසු නොකල මගෙ සැමියා එක ලඟ දවස් කීපයක් වැඩට ගියේ නැහැ. විජලනය  වීම වලක්වාගන්න ඔහුගේ අතින් හැදුනු එක එක විදිහේ පාන  වර්ග මට හම්බුනා ඒ දවස් කීපයේ වෙන  කිසිම දෙයක් කන්න බැරි නිසා.. මේ දවස් ටිකේ මට ආයෙත් මතක් උනා  බැන්ඳට පස්සේ ගතවුනු පළවෙනි මාස හයේම, එතෙක් තාත්තගේ සමුගැනිමෙන් පස්සේ මාව උදේට වැඩට යන්න පාර ලඟට බස්සපු මල්ලිගෙ තැන මං එපා කියද්දි ඔහු ගත්තු හැටි ඒ තරන් පාන්දර ඔහු නැගිටිය යුතු නැති උනත් දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්,  මම ඒ කාලේ එහෙම හිතුවා.

ඔහු රැකියාවට ගියාට පස්සෙ එතෙක් ඔහුගේ පවුලේ අයටවත් කඩ නොකල පුරුද්දක් ඔහු මා වෙනුවෙන්  මුල ඉඳලා කඩ කරලා තිබුනා.. රැකියාවේ නියුතු  පැය ගාන අතරතුර  ඔහුව සම්බන්ධ කර ගන්න හෝ ඔහු කිසිම කෙනෙක්ට කතා  නොකරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  වැඩට කැපවුනු ඔහු,පුලුවන් හැම මොහොතකම මං ගැන සොයා බැලුවා. ඒ නිසාම තමයි එතෙක් කල් මකුනු දැල් බැඳිලා තියනවද කියල මංවත් දන්නෙ නැති මගේ "Email" ගිණුම  ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ, පහසුම විදිහත් අප දෙදෙනාම එවකට පරිගණක ආශ්‍රිත රැකියා කල බැවින් ඕන වෙලාවක අන්තර්ජාල පහසුකම් තිබුනු නිසාත්.   හැබැයි ඒක බොහෝ දුරට ඒකපාර්ශිවියයි. මොකද මට ඔහුව හොයා ගන්නත් බැරි තැන් තිබුනා උනත් මේ කියන දවස් කීපයේ ඔහුටත්  නියම උනා ඒ  බෙහෙත් බිලා මාත් එක්කම ඉන්න.. කිසිම දවසක කිසිම අමාරුකමක් ලෙඩක් දුකක් ගැන කතා නොකරන ඔහුගෙන්  අමාරුවෙන් උනත් මං අහන එක නවත්තලයි හිටියේ ඒ වෙනකොට  "දැන් කොහොමද ඔයාට" කියන  වචන ටික...

හැමදාම වගේ මේ රෝහලේ විශේඥවෛදවරිය හරිම නිහතමානිව ගෙදරටම කතා කරල ගත්ත  වෛද්‍ය වාර්ථා වල තත්වය පැහැදිලි කලා..( සාමාන්‍යයෙන් වෛද්‍ය වාර්ථා ගන්න වෙනනම දවසක යන්න ඕනේ උනත් මේ රෝහලේ එහෙම යන්න වෙන්නේ ඒ වාර්ථා වල වැදගත් දෙයක් තිබ්බොත් විතරයි )    බබා ගැන තිරණයක් ගන්න,  ඒ ගැන කතා කරන්න තාම කල් මදි කියන එක ඇරෙන්න ඇය අපිට අලුත් දෙයක් කිව්වේ නැහැ.  ඒ  2010 අවුරුද්ද ඒ වෙනකොට H1N1   වලට හොයාගෙන තිබ්බ "TAMIFLU" කියන බෙහෙත ගැන තිබ්බෙ එක එක විදිහේ මත කියල තමා අපිට පැහැදිලි කලේ.. බෙහෙත අලුත් නිසා  බෙහෙත නිසා සිදුවන පසු අතුරු ආබාධ ගැන හරි වැටහිමක් අනාවැකියක් කියන්න හැකියාවක් නැහැ කියල ඒ වෛද්‍යවරු  කණ්ඩායම අපිට කිව්වේ.. ඇත්තටම  මම බබා ගැන හිතුවෙ නැහැ.. අවදානම් සති දෙකක  කාලය ගෙවිලා ගියාට  පස්සෙ අපි මූණ දුන්න ඊලඟ ගැටලුව ලංකාවට යනකන් මම කොහොමද තනියම ඉන්නෙ.. කන්න හදා ගන්නේ.. හදිස්සියක් උනොත් කාටද කතා කරන්නේ..කවදාවත් අනිත් අයට තමන්ගෙ ප්‍රශ්න නිසා කරදර කරන්න අකමැති තමන්ගෙ ප්‍රශ්න තමන්ටවත් කරදරයක් කර නොගන්න මගේ සැමියගේ විරෝධය මැද්දෙ මං ඒ වෙනකොට තායිලන්ත තනාපති කාර්යාලයේ දි හඳුනාගත්ත කරුණාවන්ත ශ්‍රිලාංකික ගෙදරක මගේ දවල් කාලය ගත කරන්න හිතුවෙ මටම දැනෙන නිසා අවුරුදු දෙකක් තනියම හිටියට දැන් ඉන්න බැ කියලා. අන්තිමේ ඒ අක්කා මාව සතිඅන්තෙත් නවතගත්තා  බයයි කියල යන්න දෙන්න මගේ සැමියගෙ අකමැත්ත පිට උනත්...( අම්ම කෙනෙක් වගේ මාව බාල ගත්ත ප්‍රියංගා අක්කේ ඔයාට ගොඩක් පින්)   ඔහු වැඩ ඇරිලා ඇවිත් මාව බලලා ගෙදර ගියේ කැමැත්තකින් නෙමේ කියලා මට දැනුනත් මං ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉන්න පරිස්සන් උනා ලංකාවට යනකන්...

බැංකොක් නගරයේ සංචාරයක යනවා නම් නවතින්න හොඳම "ප්‍රටුනාම්" කියන වෙළද කලාපයේ ඇති ලාභදායි හෝටල් කාමරයක. නමුත් ටිකක් දීර්ඝ කාලයක් ඉන්න යනවා නම් "සුකුම්විත්" සෝයි 22 පිහිටි  "House by the Pond" කියන්නේ හරිම සුහදශිලි නගරයට ආසන්නයේම තිබ්බත් ගස් කොලන් වලින් නිබඳව සිසිල දෙන නිහඬ පරිසරයක තියන,  හැම පහසුකමක්ම සපයා දෙන නවාතැනක්.

 මේ කාලය ඇතුලත අපිට වෛද්‍යවරිය දන්නලා තිබුනා බබා ගැන බලන්න  වෙන්නෙ සති 8දි SCAN එකක් කරලා කියලා..  මට ඕනෙ වුනෙ නැ සති 8ක් ඉන්න.. ඊට කලින් කොහොම හරි ලංකාවට යන්න මට ඕන උනා අපි කලින් කතා කරගෙන තිබුනු විදිහට , අන්තිමේ  එක් දින නිවාඩුවක් ගත්ත ඔහු  මාව ගෙදරින් බස්සලා  ඊලඟ ගුවන්යානයේ තනියම බැංකොක්  නුවරට ගියේ මට ඊලඟට වෙන්න යන දේවල් ගැන ඉඟියක්වත් දෙන්නෙ නැතුව.

ඒ අතරතුරේ "Bumrungrad" රෝහලේ විශේඥවෛදවරිය  මුල ඉඳල ගත්ත හැම වෛද්‍ය වාර්ථාවක්ම පැහැදිලිව අපිට එවලා තිබුනා "Email" හරහා,  ලංකාවෙදි මුලින්ම  ඒ වෛද්‍ය වාර්ථා බලපු  වෛද්‍යවරයා  කිව්වේ බබා ගැන  විශ්වාසයක් තියන්න බැ කියලා. ඒත් දෙවනිවරට  ගිය අජිත් රාජපක්ෂ  වෛද්‍යතුමා  ඒ වෙලාවෙම "Scan" පරික්ෂනයට දිනයකුත් දිලා  මගේ හිතේ තිබ්බ බය එක මොහොතින් මකලා දැම්මා හරියට දිය පිට ඇඳි ඉරක් වගේ.. එතන ඉඳන් ගතවුනු මුලු මාස නමයම ඔහුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් කිසිම විදිහකින් මට ඒ ගැන හිතන්නවත් දුන්නෙ නැ.. මගේ මල්ලි පැය ගනන් "Clinic" වල රස්තියාදු උනු ඒ කාලය ඇතුලත ඔහු මට තාත්තා කෙනෙක් සැමියෙක් යාලුවෙක් අයියා කෙනෙක් ආරක්ෂකයෙක්  මේ කියන හැම චරිතයකම උණුසුම ලබා දුන්නා නොඅඬුව කිසිම විදිහකින් මගේ හිත රිද්දන්නෙ නැතුව..

අවසාන මාස කීපයේ ඔහු ලංකාවෙන් සමු ගන්නව කියලා කල් තියා දැනගෙන සිටි නිසත් මගේ සැමිය ආපසු පැමිණිමක් ගැන ගැන මට කිසිම විශ්වාසයක් නොතිබුනු  නිසත් , බබාට ඕන කරන දේවල් කල් තියා සුදානම් කිරිම සම්මතයට  නොගැලපුනත් මට   වෙන විකල්පයක් මතක් උනේ නැහැ.. "Scan" කරලා පුතෙක් කියලා කියන්නත් කලින්ම මං  වැඩිපුර එකතු කරලා තිබ්බේ නිල් පාට ඇඳුම්.. මාසෙකට නියමිත මුදලක් මගේ ගිණුමට බැර කරන්නත් නොකඩවා මාත් එක්ක "Chat" හරහා  සම්බන්ධය තියා ගන්නත් අමතක නොකල මගේ සැමියා කවදත් ඔහුගේ විදිහ වුනු කල්තියා කිසිම කෙනෙකුට ඔහුගේ කිසිම දෙයක් නොපැවසීම එදත් ඒ විදිහටම කලේ  ඒ තරන් කල් මාවයි බබාවයි  පරිස්සමින් බලාගත් මගේ මල්ලි ලංකාවෙන් සමුඅරන්  විදේශගත වෙද්දි ඔහුගේ හිතෙත් බරක් ඉතිරි කරමින්..

කොහොම උනත් මේ මුල ඉඳලා නොකඩවා නිරන්තරයෙන්  භාශා දෙකින්ම සිදු කෙරුනු "Email"  සහ "Chat"  සංවාද හරහාම මගේ ලිවීමේ හැකියාවත් ඉවසිමත් වැඩි වුනේ මටත් නොදැනුවත්වමයි. ඔහු නැවත ලංකාවට එන්න අකමැති වු නිසත්   මම දිගටම බැංකොක් ඉන්න අකමැති වුන නිසත් අප දෙදෙනාම ඒ වෙනකොට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනිමට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා තිබු නිසත්  ඉදිරියට යන්න තිබ්බ ඊලඟ එකම පියවර වුනු නිසත් අයදුම් කල ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඒ වෙනකොට තිබ්බේ බබා ලැබෙනකන් ඇනහිටලා.

මේ  අතරේ අවුරුද්ද අවසාන නිවාඩුවට කාටත් නොකියා ඔහු ඇවිත් දින කීපයකට. වෙන්නේ මොකද්ද කියලා මට හරියටම පැහැදිලි නැති උනත්  අහල වැඩකුත් නැති උනත් හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇති උනත්  ඔහු ඇවිත් තිබ්බේ තවත් එක් අවුරුද්දකට රැකියා ගිවිසුම අලුත් කිරිමට ඔහුට ලැබුනු ආරාධනාව මට කියලා යන්න.කොහොම උනත් අන්තිමේ ඔහු කතා කරගත් පරිදි  වර්ෂ අවසානයේ අලුතින් රැකියා ගිවිසුම අත්සන් නොකර ලංකාවට  ඇවිත් අතරමැදි කාලයේ ඉක්මනින් සොයාගත් තවත් රැකියාවක නිරත උනා බබා ලැබෙනකන් කල් ගිය ඔස්ට්‍රේලියානු පුරවැසිභාය නිසාවෙන් රිදුනු හිතත් එක්ක.

මේ හැම දෙයක් අස්සෙම පුංචි දඟ පැටියෙක් මාත් එක්ක කතා කලා මට විතරක් ඇහෙන්න..අපි දෙන්නා කතා උනා කාටවත් කරදර නොවෙන්න කලින් දාගත්ත දවසක සැත්කමකින් එයාව මේ ලොකේට ගේනවා කියලා.. අපි ඒක වෛද්‍යතුමාටත්  කිව්වා වැඩි සද්දයක් නැතුවම.. අපේ ඉල්ලීම  නිසා නියමිත කාලය සම්පූර්ණ වු පසු උදාවුන  එක් කලබල නැති ඉරිදා  උදැසනක,  ඉපදෙන්න ආවදා ඉඳන් අභියෝග වලට මුහුණ දෙන්න උනු පුංචි පැටියෙක් මෙලොව එළිය දැක්කා කිසිම අඩුපාඩුවක් නැති සම්පූර්ණ නිරෝගී දරුවෙක් විදිහට......



                                                                                                               
 


ප. ලි. : ඒත් එදා මට දැනුනා ලොකුම
ලොකු බයක් පැහැදිලි කරන්න බැරි අදටත්, මගේ ජීවිතේ කවදාවත් දැනිලා නැති බබාගේ තාත්තත් මගේ ලඟින්ම හිටියත් පළමුවරට සෝදන්නත් කලින් බබා මගේ අතට දුන්නු වෙලේ ...




16 comments:

  1. බබෙක් ලැබෙන්න ඉන්නකොට කරදර කලබලම තමයි

    ReplyDelete
    Replies
    1. හි හි අටම්.. බඩේ ඉන්න කන් හොඳයි කියලා හිතෙනවා ඊට පස්සේ තියන යුද්දේ කරද්දි..බබා ලැබෙන කන් මට ඒ හැටි ගානක් තිබ්බේ නැ.. කොහොමත් මම ලොකුවට හිතන කෙනෙක් නෙමේ. හැබැයි එදා මගේ අතට බබා දුන්නට පස්සේ නම් මට දැනුන හැඟිම වචන වලින් කියන්න මට බැහැ.. මම වගකීම් වලට බය කෙනෙක් නෙමේ.. ඒත් මේ හූ තියන පොඩි එකාව මට හදා ගන්න පුලුවන් වෙයි ද කියල මට මං ගැනම සැකයක් වගේ දැනුනා..

      Delete
  2. බාධා කරදර මැද්දෙ උනත් බබා හොඳින් ඉපදුන එක ගැන සතුටුයි චතූ... ඔයත් ආරක්ෂා වෙමින්...

    අමුතුම හැගීමක් දැනුන... ඊට වඩා දෙයක් කියන්න හිතා ගන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ බබෙක් කියන්නෙ මේ ලොකේ තියන සුන්දරම වස්තුවක් කියන ආකල්පය හදලා තිබ්බේ මං ඉපදෙන්නත් කලින් ඉඳලා මං  වෙනුවෙන් කැපවුන ඉපදුනාට පස්සෙත් කිසිම විදිහක දුකක් කරදරයක් වෙන්න දෙන්නෙ නැතුව අසීමිත ආදරයකින් මගේ ලඟම හිටිය අම්මයි තාත්තයි නිර්මාණි. මගේ හිතේ තිබ්බෙත් එයාල දෙන්නා අපිට හැමදාම කිව්ව විදිහේ පුංචි පැටියෙක් එනකන් මඟ බලන් ඉන්න හැඟිමක් කරදර තිබ්බත්.

      Delete
  3. සංවේදී ලිපියක් නි. ත. හී. ද., කොහොම වුනත් පැටියා වාසනවන්තයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ පුංචි පැටියා දුමී මගේ ජිවිතේ එහෙන් පිටින්ම වෙනස් කලා..කනපිට පෙරලුවා කිව්වොත් තමා හරි.. ඔබ කිව්වා වගේම මේ පැටියා වාසනාවන්තයි...එන්න තියන දේ එනවා.. යන්න තියන දේ යනවා.. 

      Delete
  4. මේ ලිපිය කියවල ඉවර උනාම මගේ හිතට ආපු සිතුවිලි වචන වලට පෙරලන්න බෑරි තරම් බරයි...

    මට හිතා ගන්නවත් බෑරි ඔයා මොන තරම් සිතුවිලි ගොඩක පෑටලිලා ඉන්න ඈතිද දග මල්ල දකින කම්...

    ඈත්තටම අජිත් රාජපක්ශ කියන්නෙ දෙවි කෙනෙක් වගේ දොස්තර මහත්මයෙක්......

    කිසිම වෙලාවක එතුමා හමු උන කෙනෙක් දුක් මුසු මූනෙන් යනව මම නම් දෑකල නෑ....

    ඒ තරම් එතුමා දරුවකු ලෑබෙන්න එන මවකගෙ හිත ඈතුලෙ පිරිල ඉතිරිලා තියෙන හෑම ප්‍රෂ්නයක්ම කිසි කලබලයක් නෑතුව....හිනා පිරුනු මුවින් අහගෙන ඉන්න හෑටි අවුරුදු 7 කට පස්සෙත් තාම මතකයි මටත්.....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ.. Dr අජිත් රාජපක්ෂ ගැන නම් මට කියන්න වචන නැ.. බබා හම්බුනාට පස්සේ මගේ හිතේ තිබ්බ නොසන්සුන් හැඟිම් තේරුන් ගත්ත ඔහු දවස් තුනම පුලුවන් හැමවෙලාවකම ඇවිත් හැමදේම හොඳින් වෙනවද කියලා හොයලා බැලුවා....

      Delete
  5. අපූරුයි.... සුපැතුම්....

    ReplyDelete
  6. සියලුම දේ හොඳින් විසඳුන එක ගැන ගොඩක් සතුටුයි...වාසනාවන්ත පුතු පැටියට දීර්ඝායු පතනවා...ඔබත් වාසනාවන්තයි දක්ෂ වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම ලබා ගන්ට හැකි උන නිසා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි, එදා මාව x - ray එකට ගන්නකොට මට අඳින්න දුන්න දේවල් දැක්කම මට ලංකාවේ අපි x - ray එකක් ගනිද්දි මොන තරමක් විකිරන ඇඟට ඇතුල් වෙනවා ඇත්ද කියලා හිතුනා. බබා නිසා සාමාන්‍ය ආරක්ෂන ක්‍රම වලට අමතර තවත් දේවල් එතන තිබුනා..

      අජිත් රාජපක්ෂ වෛද්‍යතුමාගේ "සුවිකා" මධ්‍යස්ථානයේ මට අමතකම නොවෙන දවස තමයි මගේ වාරය එනකන් හිටපු තවත් එක "Clinic" දවසක වැල නොකැඩි එක එක විදිහේ වාහනවලින් , පයින්, එක එක විදිහේ ඇඳුම් පැලඳුම් ඇඳ ගත්ත එක එක ජාතීන් වලට අයත් එක එක විදිහේ අය එක එක තරාතිරමේ කේක් පෙට්ටිත් අරන් එන්න ගත්ත දවස.. මට මුලින් හිතා ගනන් බැරි උනා මොකද්ද මේ වෙන්නේ කියලා.. ඉවරයක් නැතුව එන සෙනඟ අස්සෙම ඇවිත් හිටිය මං වගේ අනිත් අම්මලා හැමෝටමත් කන්න බොන්න දේවලුත් ලැස්ති කියලා දැනුන් දෙද්දි තමා අපි හේතුව දැන ගත්තේ, එදා ඒ වෛද්‍යතුමාගේ උපන් දිනය, අර වැල නොකැඩි එන්නේ ඔහුගෙන් ප්‍රතිකාර අරන් දරු පැටියෙක් ගේ මූණ බලන්න වාසනාවන්ත වුවන්.. මම ඒ අතර වැඩිපුරම දැක්කේ අම්මල නෙමේ, තාත්තලා...

      Delete
  7. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්..
    හැමදේම හොදින් සිද්ද වුනේ පුන්චි පැටියගෙ වාසනවට කියලා හිතාගන්න..
    :)

    ReplyDelete
  8. දුකක් නොවිද ගන්න කිසිම දෙයක් රහ නෑ. ඔය විදපු දුක පොඩ්ඩගේ මූණ දකිද්දී දැනෙන්නෙවත් නෑනේ දැන්....
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා කටුසු.. ජිවිතේ කොහොමත් දුකක්.. ඒකට අපි අමුතුවෙන් දුක් එකතු කරන්න ඕන නැ.. මං එදා කාටවත් නොකියා තීරණ දෙකක් ගත්තා අමුතුවෙන් එකතු වෙලා තිබ්බ ඩේවල් අයින් කරලා දාන්න. හැබැයි ඒ තීරණ ක්‍රියාත්මක කරන්න නම් ලේසි උනේ නැ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...