Saturday, July 2, 2016

හැසිරිම් සහ ඔබ කවුද - පළවෙනි කොටස


   අද මට හිතුනා එකිනෙකා අවබෝධ කර ගැනිමේදි ඉතා වැදගත් වන "හැසිරීම්" ගැන සහ තමන්ටම තමන් කවුද කියල අඳුරගන්න පුලුවන් ක්‍රම ගැන කතා කරන්න. මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය මේ හා සම්බන්ධ දිඟු ලිපි පෙලක ආරම්භය පමණක් බව... 

මම "හැසිරීම්" තෝර ගත්තේ ඔබ, මම , අප ඕනම කෙනෙකුගේ "හැසිරීම්" කියන්නෙ එක්තරා පණිවිඩ හුවමාරු ක්‍රමවේදයක්, නොදැනුවත්වම අපේ මනසෙ මතුවන සිතුවිලි අවට පරිසයට මුදා හරින අපව තේරුන් ගන්න හැකි වෙන අනිත් අයට... බොහෝ විට මේ "හැසිරීම්" නිවැරදිව හඳුනා ගැනිමක් සිදුවන්නේ නැහැ බොහොමයක් තැන වල ලොකු පොඩි බේධයක් නැතුවම.. ඒ නිසාමයි මට හිතුනෙ  අපතේ යන දැනුම හරියාකාරව භාවිතා කරන්න "හැසිරීම්" වලින් එළියට එන්න කලින් සිදුවන ක්‍රියාදාමය පැහැදිලි කරන්න. එවිට කෙනෙකුගෙ "හැසිරීමකින්" කියවෙන දැනට අපතේ යන දැනුම වැඩකට ගත හැකි වෙන  ලෙස අවට ඉන්න අයට වටහාගන්න පහසු වෙයි කියලා මම හිතනවා.

මම විශ්වාස කරනව අපි මිනිසුන් හෝ සතුන් හෝ ස්වභාවධර්මය හෝ වෙන මොනයම් දෙයක් අධ්‍යයනය කලත්, වටහාගැනිමක් මිස චෝදනා කිරිමක්, වැරදි නිවැරදි සෙවිමක් එහෙමත් නැත්නම් "හංවඩු ගැහිමක්", (Judging) නොකල යුතු බව. මම එහෙම හිතන්න හේතුව අපි හැමෝටම ආවේණික වු පසුබිම් කතාවක් තිබෙන බව අත්දැකිමෙන් දන්නා නිසා  "හැසිරීම්"  විදිහට අපගේ අදහස්, සිතුවිලි  එළියට එන්න. 

ඒත් එක්කම "ඔබ කවුද ?" යන්න ගැන කතා කරන්න හිතුවෙ හැමදෙයකම ආරම්භය සිදුවිය යුත්තේ තමගෙන් බව මම දකින නිසා... අර කතාවටත් කියන්නෙ "ඔබ එක ඇඟිල්ලක් දික් කරන විට ඇඟිලි හතරක් තමා දෙසට දික් වි ඇති බව මතක තබා ගන්න කියල"  ඒ  වගෙ තව කියමනක් " ඔවා දෙනු පරහට , තමා සම්මතයේ පිහිටා සිට"

දැන් අපි බලමු පහත දැක්වෙන පිරමීඩය දිහා...



ඉහත පිරමීඩයෙන් පෙන්වන්නේ "හැසිරීම්" (BEHAVE) ගැන කතා කරන විට ඊට පහළින්  ඒ "හැසිරීම්" ගොඩනැඟෙන ආකාරය සරලව රුපසටහනකින් දැක්විමක්. ඔබට පෙනෙනවා ඇති අපි කෙනෙකුගෙ "හැසිරිමක්" බොහොම පහසුවෙන් දැක්කට  එය ගොඩනැඟෙන්න පියවර 4ක් සම්පූර්ණ විය යුතු බව. මෙන්න මේ පියවර 4 දි සිදුවන දේවල් පැහැදිලිව දන්නා කෙනෙකුට බොහොම පහසුවෙන් කෙනෙකුගේ ඊළගට වෙන්න යන "හැසිරීම්" හඳුනාගෙන  තැනට ගැලපෙන අයුරින් වැඩ කිරිමේ හැකියාව ලැබෙනවා වැරදි වැටහිම් සහ සිත් රිදිම් වෙනුවට.

මුලින්ම පිරමීඩයේ පහලින්ම ඇති "SENSE" , ඒ කියන්නේ අපිට "දැනෙන" ක්‍රම ගැන බලමු. මෙහිදි අපිට  දැනෙන ආකාරයත් එම "දැනිම්" අපගේ මොළය තුල ක්‍රියාත්මක වෙන ආකාරයත් ගැන තමයි මුලිකව කතා කරන්නේ. එදිනෙදා ජිවිතයෙ ඵලදායි ලෙස වැඩ කිරිමේදි අපි හැමොම දන්නවා අපිට  "දැනෙන" ක්‍රම  5ක් තිබෙන බව. මේ කවුරුත් දන්නා පස් විදිහ "FAR SENSE" විදිහට හැඳින්වෙනවා.


ඇසින්      -    දැකීම

කනින්      -    ඇසීම

දිවෙන්  -    රස දැනීම

නාසයෙන්  -    ගඳ / සුවඳ දැනීම

සමෙන්  -  ස්පර්ශය


 
මීටඅමතරව තවත් ඉතා වැදගත් විදි 3ක් තියෙනව  "NEAR SENSE " නමින් හඳුන්වන බොහෝදෙනෙක් නොදන්න එහෙත් අපගේ නිරෝගි , කාර්ය්‍යක්ශම පැවත්මට අතිශයින් උපකාරි වන නැතුවම බැරි. මේ තුන්විදිය නැති නම් ඉහත ක්‍රම 5න් කිසිම වැඩක් ගන්න අපිට පුලුවන්කමක් ලැබෙන්නෙ නැහැ. මේ ක්‍රම 3න් 1ක් අපිට හුරුපුරුදුයි. මම මුලින්ම පුරුදු නැති ක්‍රම 2ක ගැන කියල ඉන්නම්.  පළවෙනි එක තමයි "VESTIBULAR" එහෙමත් නැත්නම් "MOVEMENTS" , අපිට අපේ අවයව එහා මෙහා කිරීමේදි ඇතිවෙන "දැනිම්".  

 
දෙවැනි එක "PROPRIOCEPTIVE" එහෙමත් නැත්නම් "POSITION" . අපි ඉන්න ස්ථානය පිළිබඳ අපට දැනෙන "දැනිම්". 








තුන්වැනිඑක අපිට හුරුපුරුදු "TACTILE",එහෙමත් නැත්නම් "TOUCH" ස්පර්ශය හරහා ඇතිවන "දැනිම්".  


 මං හිතන්නේ අපි හැමෝම මුලින් කිව්ව "FAR SENSE " ගැන හොඳින් දන්නවා සහ හොඳ අවබෝධයක් තියනවා එමඟින් අපිට "දැනෙන" විදිහ ගැන. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නෙ නැහැ. 

"NEAR SENSE" ගැන තමයි ඊලඟට ටිකක් විස්තරාත්මකව කතා කරන්න යන්නෙ. මුලින්ම "TACTILE" එහෙමත් නැත්නම් "TOUCH".  යමක් ස්පර්ශ වීමෙදි මොකද වෙන්නෙ කියල බලමු.  අපි දෙයක් ස්පර්ශ කලාම අපේ සමේ තියන ස්පර්ශ ස්නායු හරහා (මම විද්‍යාත්මක වචන භාවිතා කිරිම අවම කරනවා කාටත් තේරුන් ගැනිමේ පහසුව සලසන්න ඕන නිසා)  පණිවිඩ අපේ මොළය වෙත ගෙන යනවා, එම ස්පර්ශය පිළිබද සවිස්තරාත්මකව එක තප්පරයක් ඇතුලතදි. එහිදි මෘදු, රළු, තද, උණුසුම්, සීතල, වේදනාව වැනි විවිධ "දැනිම්"   අපේ මොළය මැන බලනව එයාට  ලැබුනු විස්තර වලට අනුකූලව අපේ සම හරහා ලැබුනු, බාහිර උත්තේජනය අඳුරගන්න. මෙතනදි අපෙ මොළය ලැබුනු තොරතුරු විශ්ලේෂනය කරල අපිට ක්‍රියා කරන්න ඕන ප්‍රධාන විදි දෙකක් පුලුවන් අඩුම කාලයක්දි අපිට ලබා දෙනවා. ඒ තමයි "PROTECTIVE" , ආරක්ෂාකාරි ක්‍රියාකාරකම්, මේවා බොහෝ විට උපතේ සිට ක්‍රියාකාරියි. අනිත් එක "DISCRIMINATING" ගුණාත්මක දැනිම්, එකිනෙක වෙන් කර හඳුනා ගැනිම. මේවා උපතේ දි එතරම් ක්‍රියාකාරි නැහැ. ලැබෙන අත්දැකිම් අනුව තමයි මෙම "දැනිම්" හැදෙන්නෙ. ඒ නිසා තමයි බොහෝවිට එකම දෙය පිළිබඳව උනත් කෙනෙකුට "දැනෙන"  දෙයක්  තවත් කෙනෙකුට "ස්පර්ශය" හරහා එලෙසින්ම නොදැනෙන්නේ. මොකද කිසිමවිටක දෙදෙනෙක් එකම පරිසර  පද්ධති වල එක හා සමාන අත්දැකිම් වලට මුහුණ නොදෙන නිසා. අර කියමනක් තියෙන්නෙ "අතේ ඇඟිලි පහ පස් විදිහක් " කියල.  අන්න ඒ වගේ.....

මෙන්න මේ ස්පර්ශය කියන පද්ධතිය හරි හැටි වැඩ කලේ නැත්නම් අපේ අත පය ඇතුලු ශරිරයේ සියලු අවයව හරිහැටි පාලනය කිරිම ඇතුලු සියලු දෛනික ක්‍රියා වලට බධා ඇති විම වැලැක්විය නොහැකියි. 

දෙවනුව අපි බලමු මොකද්ද මේ "VESTIBULAR" එහෙමත් නැත්නම් "MOVEMENTS" කියන්නෙ කියලා. මම හිතෙන්නේ අපි හැමෝම පොඩි කාලේ ඔංචිල්ලාව පැදලා තියනවා. ඔයාලට මතකද අපි ඔංචිල්ලාවෙ දෙපැත්තෙ ලනු දෙක අත් දෙකින් අල්ල ගෙන  ඔංචිල්ලාවේ   ඉඳගෙන අපේ කකුල් වලින් පස්සට ගිහින් වාරු අරන් තමයි පදින්නේ කවුරු හරි තල්ලු කලේ නැත්නම්. මේ මුලු ක්‍රියාවලියේමක්‍රියාත්මක වෙන්නෙ "VESTIBULAR" "MOVEMENTS". එක අවයවයක් එහෙම නෙමේ. අපෙ මුලු ශරිරයේම තියන සෑම අවයවයක්ම මෙතන්දි බොහොම හොඳින් ක්‍රියාකාරි වෙනවා. ඔංචිල්ලාව පැදිම වගේ සරල ක්‍රිඩාවකින් ලමයෙක්/වැඩිහිටියෙක් ගේ ශාරීරික හා මානසික වැඩිමට,සංසුන්විමට සිදුවන මෙහෙය විස්තර කල නොහැකියි. නූතන පරම්පරාවේ දරුවන් එන්න එන්න ම පොත් පතට, පරිගණක ආදි ශරිරය  හා මනස එක විට සමගාමිව නොසොල්වන  තාක්ෂනික පැත්තට පමනක් යොමු විමේ භයානකම මට නම් පැහැදිලි කරන්න අමාරුයි. 

මේ "MOVEMENTS" ක්‍රියාවලියෙදි අපේ හිස, ශරීරය පොළවට සාපේක්ෂව පිහිටන, ක්‍රියා කරන විදිහ අනුව දැනෙන "දැනිම " තමයි මොළයට ගමන් කරන්නේ. අපි කොහෙද හිටගෙන ඉන්නෙ, අපි ඇවිදිනවද, මොන දිශාවටද, අප අවට පරිසරයේ වෙනස්කම් ( ඒ කියන්නෙ කුරුල්ලෙක් පියාඹනවද, ගසක් සෙලවෙනවද, වාහනයක් ගමන් කරනවද වැනි ) කාරණා තීරණය කිරිමට අවශය කරන තොරතුරු මොළය මේ ක්‍රියාවලිය හරහා එකතු කරලා විශ්ලේෂනය කරලා අපිට ප්‍රතිඵල ලබා දෙනවා. මේ සඳහා අපේ ඇතුලු කනේ තියන ස්පර්ශක සෛල ලොකු කාර්ය්‍යභාරයක් සිදුකරනවා. අපි කවුරුත් හෙම්බිරිස්සාව හැදුනම නිදාගන්න පෙළබෙන්නෙ මොළයට ඇතුලු කන හරහා  ලැබෙන "දැනිම්" වලට ඇති වන බාධාවල ප්‍රතිඵලයක් විදිහට  සමබරතාවය පිළිබඳ ගැටලු වලින් අපව ආරක්ෂා කරගන්න.

එක එක විදිහේ "MOVEMENTS" හරහා අපිට එක එක විදිහේ "දැනිම්" දැනෙන්න පුලුවන්, සමරහට වෙලාවට අපිව සන්සුන් කරන, තවත් සමහර වෙලාවට අපිව කලබල කරන , අපහසුතාවයට පත් කරන. මේ පද්ධතියේ ගැටලු නිසා අපේ සමබරතාවයට, කතා කිරීමෙ ගැටලු, මාංශපේශි වල දුර්වලතා, අතපය හසුරවලා වැඩ කිරිමේ දුර්වලතා, වම දකුණ යන ශරිරයේ දෙපසම භාවිතයෙදි ඇති වන අපහසුතා පැන නැඟිය හැකියි. මේ නිසා ඔබට හමු උනොත් සෙමින් වැඩ කරන, එහෙමත් නැත්නම් ඔබ කියන උපදෙස් පිළිපැදලා වැඩක් කරන්න තේරෙන්නේ නැති අය , තරහ නොගෙන බලන්න ටිකක් ඉවසීමෙන් එයාල අතරත් මෙවැනි ගැටලු තියන අය ඉන්න පුලුවන් නිසා. වමට හරවන්න කිව්වම දකුණට හරවන අය ගැන නෙමේ මම ඒ කිව්වෙ ..

අවසාන සහ බොහෝ වැදගත් "දැනිම" තමයි "PROPRIOCEPTIVE" එහෙමත් නැත්නම් "POSITION", අපි ඉන්න ස්ථානය  පිළිබඳ අපිට ඇතිවන "දැනිම්".  අපි හැමෝටම අනිච්ඡානුගව එහෙමත් නැත්නම් නොදැනුවත්වම, හිතන්නෙ නැතුව අපේ ශරිරය කොහෙද තියෙන්නේ කියල වැටහිමක්, තේරුන් ගැනිමක් තියනවා. මේ තේරුන් ගැනිම නිසා තමයි අපිට අපේ "MOVEMENTS" චලනයන් වල වේගය එහෙමත් නැත්නම් මොන විදිහේ  චලනයක් ද විය යුත්තේ යන්න පැහැදිළිව තිරණය කරගන්න හැකිවෙන්නේ.  අපි දුවන්න ඕනෙද, ඇවිදින්න ඕනෙද, පනින්න ඕනෙද, ඉඳගන්න ඕනෙද වගේ..සමහර වෙලාවට ඉඟිලෙන්න හිතෙන්නේ..


මේ සඳහා අපේ මාංශපේශි වල තියන විවිධාකාරයේ ස්පර්ශ සෛල වල ක්‍රියාකාරිත්වය උපකාරි වෙනවා මොළය කරා මේ සන්නිවේදන අරන් ගිහින් අවශය කරන ගැලපෙන ක්‍රියාමාර්ගය තීරණය කරන්න. මේ ක්‍රියාමාර්ග අපව සන්සුන් කරන්න  , ක්‍රමානුකුලව හැසිරෙන්න අපිට උදව් වෙනව. ඔයාලා දැකලා තියනවද පාරවල් වල තියෙන වල ගොඬැලි හරි ගෙදරක තියන එක හා සමාන නොමැති ස්ථාන වලදි පය පැටලි වැටෙන්න යන අය. අන්න ඒ වගේ අයට මෙවැනි දුර්වලතා තිබිය හැකියි, මොළයට තීරණය කර ගන්න අපහසු. කියන ඕන නැහැනෙ එහෙම අයට ටිකක් උදව් කරන්න, වෙනස්කම් ටිකක් කලින් කියන එක එයාලට ලොකු උදව්වක් වෙයි.  මේ "POSITION" පද්ධතියේ ගැටලු නිසා ශරිරය තියන ස්ථානය හා හැසිරවිමෙ ගැටලු, සමබරතාවයේ ගැටලු පැන නැඟිය හැකියි.


අදට මං මේ  පාඩම පහත ක්‍රියාදාමය පැහැදිලි කරල නවත්තන්නම්. මේ "දැනෙන" හැම "දැනීමක්" හරහාම බාහිර පරිසරයෙන් ලැබුනු තොරතුරු එකතු කරගෙන තමයි "දැනිම්" හරහා සිදුවන ඕනම ක්‍රියාවලියක් අපේ ශරිරය තුල සිදුවන්නේ. එය පැහැදිලි කිරිමට තමයි පහත ක්‍රමවේදය භාවිත කරන්නේ, මෙය හඳුන්වනවා "SENSORY INTEGRATION" යනුවෙන්.  අපි සමාන්‍යයෙන් හිතන්නේ මේ "SENSE" වෙන වෙනම පිහිටලා තියන නිසා වෙන වෙනම අවට තොරතුරු රැස් කරනව කියල. ඒ කියන්නෙ ඇස් හා කන් ගත්තොත් තියන්නෙ ශරීරයේ වෙනම වෙනම උනාට මොළය ඇතුලේ මෙයාල වැඩ කරන්නේ එකට එකතු වෙලා.  ඒ වගේ මෙතෙක් පැහැදිලි කල හැම "SENSE" වර්ගයක්ම තමන්ට බාහිරින් ලැබුනු තොරතුරු මොළය තුලට හැකි ඉක්මනින් සම්ප්‍රේශනය කරලා ඒ තොරතුරු එක්කොට කැටි කරල තමයි අපෙ මොළය අපිට විශ්වාසදායි පින්තුරයක් අපේ බාහිර  පරිසරය ගැන හදල , ඒ පරිසරයෙ අපි කොහෙද ඉන්නේ කියන කාරණය ගැන වැටහිමක් අපට ලබාදෙන්නේ.


SENSORY INTEGRATION

REGISTRATION  - ඔබට ඉහත පැහැදිලි කල එක  "SENSE" එකක් හෝ කීපයක් හරහා "දැනිම්"  ලැබිම.

ORIENTATION  -  එම  "දැනිම්"  හරහා ලැබුනු තොරතුරු වලට අපේ අවධානය යොමු විම. වැදගත් ද නැද්ද යන්න තීරණය කිරිම.

INTERPRETATION  - "දැනිම්" හරහා ලැබුනු තොරතුරු ගැන අවබෝධයක් ලබා ගැනිම, බාහිර උත්තේජනය ලැබෙන පුද්ගලයාට ආවේණිකව පරිවර්තනය කිරිම,මොන විදිහෙ ප්‍රතිචාරයක් ද දැක්විය යුත්තේ කියලා , මෙතනදි අපේ කතා කිරිම , මතකය, සහ හැඟිම්  දැනිම් පිලිබඳ දැනෙන මුලස්ථාන එකට එකතු වෙනවා.

ORGANIZATION OF THE RESPONSE - අපේ මොළය තීරණය කරනවා ලැබුනු "දැනිම්" වලට ප්‍රතිචාර අවශ්‍යය ද කියලා, අවශ්‍යය නම් ප්‍රතිචාර ලබා දෙන්න ඕන  කරන ක්‍රියාවලිය අපිට හදල දෙනවා.

EXECUTION  - මොළය සදා දුන් ප්‍රතිචාරය ක්‍රියාත්මක කිරිම.  මෙම ප්‍රතිචාරය ශාරීරික දෙයක් , අවබෝධාත්මක දෙයක්, හෝ හැඟිම් හරහා සිදුවෙන සංවේදි ප්‍රතිචාරයක් හෝ මේ හැම එකකම එකතුවක් විය හැකියි.

අපේ ශරිරයේ විවිධ අවයව හරහා ලැබෙන "දැනිම්" සහ මොළය එකට එකතු වෙලා වැඩ කිරීමෙන් තමයි බාහිරට පෙනෙන පුද්ගලයාගෙ පෞර්ශය ගොඩනැඟෙන්නෙ... ඉතින් මේ "දැනිම්" හෝ අපි පොත පතින් ඉගෙන ගන්න දැනුම හෝ විවිධාකාරයෙන් භාවිතා වෙන්නේ නැත්නම් මොළයේ පරිපථ වලට එක පාරට  බැහැ හොඳ පැහැදිලි සම්පුර්ණ රූපයක් අප අවට තියන පරිසරය ගැන අපට ලබා දෙන්නත් අපි ඒ පරිසරයේ නියමිත ස්ථානයේ ස්ථානගත කරන්නත්. ඒ නිසා දරුවන් හෝ තමන් හෝ දැනුම එකතු කරද්දි පමා නොවී එම දැනුම විවිධාකරයෙන් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. එවිට ඔබේ මොළය බොහොම හොඳ නිවැරදි දැක්මක් ඔබට ලබා දේවි නොවරදින  තීරණ ගන්න ජිවිතයේ ඕනම දෙයකදි..

ඔබ අහල තියනවද නැත්නම් "දැනිලා" තියනවද "ඔලුවේ ගොඩක් දේවල් හිර වෙලා තියනවා නමුත් එළියට එන්නේ නැ කර ගන්න බැ" කියලා කියන  වෙලාවල්. අන්න ඒ වගෙ වෙන්න එක හේතුවක් තමයි දැනුම එකතු උනාට මොළයේ පරිපථ හරියාකාරව පැස්සෙන්න අවශ්‍ය කරන විවිධ ක්‍රියකාරකම් වල  දැනුම එකතු කරන කාලයේම සමගාමීව යෙදිල නැතිකම. මේ මොළයේ පරිපථ පැස්සීම ඉතා සියුම් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සෙමින් විය යුත්තක්.  ගොඩක් දෙනෙක් හිතනව අපි දරුවනට සැප දෙනව කියල කිසිම වැඩක් කරන්න නොදී ඉගෙන ගන්න ඉඩ දෙනවා කියලා. ඇත්තටම ඒ ඔබ කරන්නෙ දරුවට හොඳක් නම් නෙමෙ.   අධ්‍යාපන සහතික නොතිබුනු ඈත අතිතයෙ මිනිස්සු දැන් වගෙ අධ්‍යාපන ක්‍රම වලින් නෙමෙ ඉගෙන ගත්තේ.. නොකඩවා පරිසරයත් බාල මහලු හැමෝමත් එක්ක ලබා ගත් අත්දැකීම් මෙහෙයවිමෙනුයි ඉගෙන ගත්තෙ.  මං ඒකින් අදහස් කලේ නැ අපි ආයෙත් අතීතයේ වගෙ දුක් ගැහැට විඳින්න ඕන කියලා. වර්ථමානයේ පවතින දියුණුව හරියාකාරව මොළයෙ පරිපථ ජාලය පැස්සීමට අවශ්‍ය කරන ,දරුවෙක් කුස පිළිසිඳ ගත් දා පටන් දැනුවත් විමයි වැදගත් වන්නෙ.

එහෙම නැතුව එක දිගටම දරුවෙක් දැනුම එකතු කිරිමේ පාරේ ගමන් කරවලා වැඩිවියට පත් උනාම එකපාරට සමාජයට මුදා හැරල " ආ දැන් ඔයා වැඩිහිටියෙක්, පාර හොයාගෙන යන්න"  කිව්වම දරුවා අතරමන් වෙන්න තියන ඉඩ කඩ වැඩි දැනුම තිබ්බත් මොළය මෙහෙයවා හරි පාර තෝර ගන්න තියන  පරිපථ ජාලයේ අඩුලුහුඩුකම් වල බලපැමෙන් ඇතිවෙන  නොදැනුවත්කම නිසාවෙන්.


ඉතින් බලන්න අපි සුලුවෙන් හිතුවට මොන තරන් සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවෙනවද මේ "දැනිම්" හරහා අපට දෙයක් වටහාගන්න. මෙතෙක් වෙලා පැහැදිලි කල එක "SENSE" එකක හරි තියන පුංචිම පුංචි අඩුපාඩුවක් වුනත් මොළයේ මේ ක්‍රියාවලියට සිදු කරන්නේ ලොකු බලපැමක්. සමහර විට ඇත්තට තියන දේ වෙනස්ම විදිහකින් කෙනෙක්ට දැනෙන්න පුලුවන් ඒ නිසා. අපි අවට ඉන්න ඕනම කෙනෙකුගෙ මේ ඕනම "SENSE" එක්ක උපතින් හෝ පසුව ඇතිවන  විවිධාකාරයේ හේතු සාධක නිසා හරියාකාරව ක්‍රියා නොකරන්න පුලුවන්. ඒ නිසා වැරැද්දක් , යම් අතපසුවීමක්, සිදුවෙන තැන් වලදි එක පාරටම කැ ගහන්න , බනින්න, විහිලුවට ලක් කරන්න  පෙලබෙන්නෙ නැතුව බලන්න කල්පනාවෙන් අධ්‍යයනය කරලා මේ වගේ දුර්වලතා තියනවද කියලා.  මොකද අපේ හිතේ තාවකාලිකව ඇතිවෙන නොසන්සුන් හැඟිමක් නිසා පිටවෙන වචන වලින් රිදෙන හිතක් ආපහු හදන්න අමාරු නිසා...

දෙවනි කොටස.

16 comments:

  1. වෙනදා වගේම ජීවිතයට වටිනා ලිපියක්. අපූරුයි, හීන දකින්නී. ඔබේ ලිපි කියවගෙන යන්න ආසාවක් ඇතිවෙන විදිහටලියලා තියෙනවා. මෙවැනි ලිපි දිගටම ලිවීමට හැකිවේවා කියා සුභ පතනවා!

    ජයවේවා!!!

    ReplyDelete
  2. වටිනා ලිපියක්...තමන්ගේ වට පිටාවේ ජීවත් වන පුද්ගලයින් ගැන ගැඹුරින් හැදෑරීමක් කරන්න ඕනේ සාමකාමිව වැඩකටයුතු කරන්න ඕනේ නම්..එහෙම උනාම තමයි ඔබ සඳහන් කරලා තියන මේ දේවල් දකින්න ලැබෙන්නේ... ඒ වගේම තමනුත් ස්වයං අධ්‍යනයක් කල යුතුයි තමන්ගේ සෙන්ස් ඒකයි මොළෙයි වැඩ කරන්නේ කොහොමද කියල අවබෝධ කරගන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පොකුරු වැහි... මේ තරඟකාරී ජිවිතේ මේ වගේ දේවල් කරන්න වෙලාව හොයා ගන්න හරිම අමාරුයි.. කාට හරි පුලුවන් නම් පොඩ්ඩක් නැවතිලා අනිත් අය දුවන රේස් එක දුවන්නේ නැතුව ජීවිතේට මූණ දෙන්න මම දකින්නේ ඒ කෙනා ලබන සතුට සැහැල්ලුව කාටවත් විඳින්න බැ....

      Delete
  3. //එක දිගටම දරුවෙක් දැනුම එකතු කිරිමේ පාරේ ගමන් කරවලා වැඩිවියට පත් උනාම එකපාරට සමාජයට මුදා හැරල " ආ දැන් ඔයා වැඩිහිටියෙක්, පාර හොයාගෙන යන්න" කිව්වම දරුවා අතරමන් වෙන්න තියන ඉඩ කඩ වැඩි දැනුම තිබ්බත් මොළය මෙහෙයවා හරි පාර තෝර ගන්න තියන පරිපථ ජාලයේ අඩුලුහුඩුකම් වල බලපැමේන් ඇතිවෙන නොදැනුවත්කම නිසාවෙන්.//

    ඉතාම වැදගත් ලිපියක්. මේ ටික තමයි මුළු ලිපියේම හරය. ළමයින්ගේ 'මොලය වයර්' වෙන කාලයට අත්දැකීම් ගන්න ඉඩ දීමේ වැදගත් කම කියල නිම කරන්න බැහැ. ඒ අත්දැකීම් ගන්න ඔන Trial and error මෙතඩ් එකෙන්. ඒ නිසා ඔවුන් අතින් වෙන වැරදීම් වලින් ඔවුන් ඉගෙනගන්නවා. ඒ අවස්ථා උදාකරල දෙන්න 'බය' වෙන්න එපා.

    කරන්න පුළුවන් එක දෙයක් කියන්නම්. ඔබ ඉන්නේ විදේශ රටකනම් වයස 7-9 කාලයේ තනියම ලංකාවට එවන්න. ගුවන් සමාගම් වල තියෙන Unaccompanied Minor ක්‍රමය යටතේ. තනියම එවන් ගමනක යෙදීමෙන් ඔවුන් ලබාගන්නා ආත්ම විශ්වාසය ජීවිතයේදී ඉතා වැදගත් වේවි.

    වාහනයක ටයර් එකක් මාරු කරන්න, ගේ පේන්ට් කරන කොට ඒකෙ කොටසක් කරන්න, ගෙදර ගැටළුවක් විසඳීමේ වගකීම භාර දෙන්න, තනියම වේලක් උයන්න, උත්සවයකදී එක අංශයක් භාර දෙන්න, පාසැලේ ප්‍රශ්ණයක් තනියම විසඳගන්න, වගේ දේවල් 7-14 කාලයේදී ඔවුන්ට කරන්න ඉඩ දෙන්න. සුළු පාඩුවක් හෝ වැරදීමක් හෝ නොගැලපෙන outcome එකක් ඒවයින් ආවොත් ඒ ගැන විශාල ප්‍රශ්ණයක් ඇති නොකරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,ඔබ කියන දේවල් කරලා බලන්න ගොඩක් දෙමාපියන්ට විශේෂයෙන් අම්මා කෙනෙක්ට අමාරුයි ලංකාව වගේ රටක හැදුනු . ඒත් කරලා බලන්න පුලුවන් නම් කඩේකට ගිහින් පාන් ගෙඩියක් ගේන වගේ සුළු දෙයක් හරි ලොකු දෙයක් දරුවෙකුට ජීවත් වෙන්න ඉගෙන ගන්න.

      ඒත් එක්කම අපි හිතන්න ඕන සමාජයේ ඉන්න අසහනකාරිගෙන් දරුවා බේරිලා මේ trial & error ක්‍රමේ කරවන්නේ කොහොමද.. ගොඩක් දෙමාපියන් බය දරුවට කරදරයක් වෙයි කියලා..ඒක සධාරණයි මම හිතන්නේ...

      Delete
    2. //ගොඩක් දෙමාපියන් බය දරුවට කරදරයක් වෙයි කියලා.//

      රැවුලයි කැඳයි දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවීම හැමදේකටම පොදුයි. මම කියපු දේවල් වලින් සමහරක් මගේ දෙමව්පියො අපි පොඩි කාලෙ කරන්න දුන්නා. සමහරක් මගේ දරුවන් එක්ක මම කලා. මගෙ දරුවන් තනියම ගුවන් යානයක ගියේ වයස 6 දී. අද ඔවුන්ව අතින් අල්ලගෙන පාර පෙන්නන්න ඕන නැහැ. ප්‍රතිඵල අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.

      Delete
    3. අනිවාර්යයෙන් ඉයන්... දෙකෙන් එකක් තෝර ගන්නම ඕන.. තාත්තලා ඒක ලේසියෙන් කරනවා.. මගෙත් තාත්තා මට ස්වාධීන වෙන්න කල දේවල් නිසයි මම අද කෙලින් ඉන්නේ.. මගේ අම්මා සාමාන්‍ය අම්මා කෙනෙකුටත් වඩා ආරක්ෂා කරන කෙනෙක්.. ඒක අපිට සමාජයේ තනියම ජීවත් වෙන්න අවාසියක් කියන එක අපේ අම්මා අදටත් හිතන්නේ නැහැ.. පැහැදිලි කරන්න යන හැමදාම කඳුලු වලින් තමා තමා නවතින්නේ....මේ හේතුව නිසාම මට මාවම නැතිවෙන තැන් තියනවා..හැබැයි අම්මගේ මේ විදිහ නිසාම මම මගේ ජීවිතේ දුක් කියලා දෙයක් විඳලා නැ වගේම, මගේ දරාගැනීමේ හැකියාව බොහෝ දුරට අඩු වෙලා.. සමාජයත් එක්ක ගැටීම කප්පාදු කරපු නිසා..

      ඒ නිසාම මම පුතාව පුලුවන් උපරිමෙන් පොඩි කාලේ ඉඳලා ස්වාධීනව හදන්න උත්සහ කරනවා.. මේ දේවල් ඉගෙන ගන්නේ එකේ ප්‍රතිඵලයක් විදිහට..

      Delete
  4. හැබයි මෙහෙම දේකුත් තියෙනවා අද ඉන්න දරුවෝ සෑහෙන ප්‍රමානයක්.. ඉස්සර ඒ දැණුම තිබුනේ ඉන්ගිරිස් දැන ගත්ත දරුවන්ට විතරයි.. හේතුව පොත් පත් සඟරා වලින් ලබා ගත් දැනුම.. ඒත් අද දැණුමේ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට ඒවා හොයා ගන්න එක බොහොම පහසුයි.. අපේ කාලයේ දරුවන්ට වඩා සමාජය හා රට ළෝකේ ගැන දැණුවත්.. මම නම් පොඩි කාළේ ඉඳන් විශ්වාස කරන දේ තමයි සමාජයත් එක්ක ඉඳලා ඉගෙනගන්න එක.. එහෙම නැත්නම් අපේ දැණුම ඇවිල්ලා "ලූ" දැණුමක්. අනෙක ස්වාධීන චින්තනය.. අපේ රටේ කොච්චර උගත්තු උන්නත් බුද්ධිමතුන් නැත්තේ ඒකයි.

    උදාහරණය්කට සාහිත්‍යයෙන් ගත්තත්.. මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, මහගමසෙකර, අමරදේව, ජෝ අබේවික්‍රම, කේමදාස, ඇකඩමික් පොරවල් නෙමෙයි... සමාජයෙන් උඅග්ත් මිනිස්සු...

    ව්‍යාපාරික ක්ෂේෂ්ත්‍රයන් ගත්තත් එහෙමයි... ඔය ආන්ඩුවේ සේවයේ ඉන්නේ. ඉන්න තරමක් උපාධි කාරයෝ නේ.. ඒත් උන් මල්ලක් හරි හෑන්ඩ් බෑග් එකක් උස්සගෙන පෙන්ෂන් යනකන් කෝච්චියේ බස් එකේ හිඟන්නෝ වගේ එනවා යනවා.. ඒත් ඕ ලෙවල් වත් නැති මිනිස්සු එක්ක ඉන්න පුළුවන් උන් පොඩි කාළෙකින් ජීවිතය ජය ගන්නවා... උපාඪිය උන් ළඟ ෆේල්.. අන්න ඒකයි.. උගත් කම සමහර තැන්වල අනිවාර්ය කරලා තියෙන්නේ.. දේශපාලනය ගත්තත් එච්චරයි.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න..

    මම කියන්නේ නෑ උපාධි වටින්නේ නෑ කියලා.. වටිනවා සමාජයෙන් උපාධිය ගත්ත එකෙකුට.. ඒ වගේ එකෙකුට පුළුවන් උපාධිය බබලවන්න...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඇත්ත මාතලන්, මම කියන්නේ සමබර විය යුතුයි කියලා විතරයි, තාක්ෂනය අයින් කරන්න නෙමේ...

      // මම නම් පොඩි කාළේ ඉඳන් විශ්වාස කරන දේ තමයි සමාජයත් එක්ක ඉඳලා ඉගෙනගන්න එක.. එහෙම නැත්නම් අපේ දැණුම ඇවිල්ලා "ලූ" දැණුමක්. අනෙක ස්වාධීන චින්තනය.. අපේ රටේ කොච්චර උගත්තු උන්නත් බුද්ධිමතුන් නැත්තේ ඒකයි. //

      ඔබේ මේ කියමන එක්ක මම 100% එකඟයි, ස්වාධින චින්තනය නම් නැති කරන තරමක් නැති කරන්නේ දෙමාපියන්මයි දරුවෙකුගේ... අපේ රටවල් වල ඒකට වැරදියි කියන්නත් බැහැ.. මම පෞද්ගලිකව උත්සහ කරන්නේ මගේ ස්වාධීන මනසත් රැකගෙන අනිත් අය එක්ක ගැටලු පැනනොනඟින විදිහක් හදා ගන්න.

      මම හිතන්නෙත් ඔබ හිතනවා වගෙ ඉගෙන ගන්න දැනුම ( උපාධි , PHD ඕන එකක්) සමාජය එක්ක ගැලපෙන්න ඕන.. ප්‍රායෝගික වෙන්න ඕන, වෙන්නේ නැත්තෙත් ඒක. සමහර වෙලාවට ජීවිතේ පොතේ විදිහට කරන්න බැහැ. ඒකට පලපුරුද්ද කියන දේ වැදගත් .. එක තැන පල් වීම වෙනස් වෙන්න නම් අපි හිතන පතන විදිහ අපි ජීවිත මනින විදිහත් වෙනස් වෙන්න ඕන.

      කසාඳ වෙළදපොළ අරන් බලන්න, වටිනාකම දෙන්නේ දිය යුතු ඒවට නෙමේ... සමහරවිට උපාධි තියෙන කෙනෙකුට වඩා සාර්ථක පවුල් ජීවිතයක් O/L පාස් නැති කෙනෙකුට ගෙනියන්න පුලුවන්. හැබැයි ඒකට ඉඩක් නම් නැහැ.. ඒ නිසාම දරුවන්ව උපාධි පස්සේ පන්නන තත්වයක් මම දකිනවා , හැබැයි ඒ දරුවා ජීවිතේ ඉගෙන ගන්නේ කසාඳ බැන්දට පස්සේ..

      මේ මුලු ලිපියෙම මූලික අදහස අද තියන රේස් යන අධ්‍යාපන ක්‍රමය දරුවනට ජීවිතය උගන්නේ නැහැ කියන එක.. උගත් උනාට බුද්ධිය වැඩෙන්නේ නැහැ...එකින් උගත් වැඩිහිටියන් නොවන ළමයින් පිරිසක් බිහිවෙනවදෝ කියලා මට හිතෙනවා..

      Delete
  5. වැදගත් ලිපියක්.. කවදාවත් මේවා ගැන හිතල නෑනේ.. මේක කියවද්දී ඔළුවට ආපු දෙයක් අහන්නම්.. සමහර විට අදාලම නැති මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඔය හිටපු ගමන් රෑට නිදාගෙන ඉන්න කොට වැටෙන්න යනවා වගේ දැනිල අපි ගැස්සෙන්නේ ඇයි..? මට ඕක සාමාන්යෙන් වෙන දෙයක්.. නිතරම නෙවෙයි.. කිහිප වරක් වෙලා තියෙනවා.. හෙහ් හෙහ්


    මට මේ ඊයේ පෙරේදා මතක් වුනේ පොඩි කාලේ අම්මල තාත්තල අපිව ඕහේ ගමේ ඇවිදින්න සෙල්ලම් කරන්න ඇරලා එයාල වැඩට ගිය එක කොච්චර වැදගත් දෙයක් ද කියල... එයාල ගෙදර එනකම් පරිස්සම් වෙලා ඉන්න අපි ඉබේම පුරුදු වුණා.. එහෙ මෙහෙ යද්දී පරිස්සම් වෙන්න කියල දීපු විදියට අපි හැදුන... ඒ අවස්තාව පාලනයකින් තොරව අපිට ලබා දුන්න නිසා අපි කොච්චර දේවල් ඉගෙන ගත්ත ද.. කටින් කියල උගන්නන්නේ නැතුව.. ඔහේ යන්න ඇරලා අපිට වැඩක් කරගෙන එන්න ඉඩ ඇරලා අපිට ඉගෙන ගන්න අවස්තාව ලබා දුන්න එක නිසා අද අපිට කොච්චර පහසුවෙන් මේ සංකීර්ණ ලෝකෙත් එක්ක ගැටෙන්න පුළුවන් වෙලා තියෙනවද..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...ඕනම දෙයක් අහන්න පැතුම්, සමහර විට ඒ අහන දේ නිසා මට නොදන්න දෙයක් ඉගෙන ගනන් පුලුවන්... නින්ද ගැන පැහැදිලි කරන කොට පැතුම් නින්දේ පියවර 5ක් ගැන කියන්න පුලුවන්.. අපි නිදා ගත්තට මොළයේ ගොඩක් ක්‍රියාකාරකම් සම්පූර්නයෙන් නැවතෙන්නේ නැ සමහර වෙලාවට නැගිටල ඉන්නවටත් වඩා ක්‍රියාකාරී.. ඒ පියවර 5න් 2ක්ම තද නින්දක් නෙමේ.. නින්දට ලැස්ති විමක්. අපේ ශරීරය , මොළය හිමින් වැසීයාමක් තමයි වෙන්නේ.. මේ වගේ තැනකදි අවට පරිසරයේ හෝ අපේ මනසේ ඇතිවන වෙනස් වීමකට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්විමක වියහැකියි ඔබට ඒ දැනෙන ගැස්සිම.. වැටෙන්න යනවා වගේ දැනෙන්න හේතුවක් වෙන්න පුලුවන් අපේ මාංශපේශි නින්දේදි පණ නැති තත්වයකට පත් වෙනවා.. එක පාරට නින්දෙන් ඇහැරුනොත් අතපය ක්‍රියාකරි නැති නිසා වැටෙන්න යනවා වගේ දැනෙන්න පුලුවන්.

      අපි ගැඹුරු නින්දකට පත් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 90 ක් වගේ යනවා. මම මේ නින්දේ පියවර ගැන ලියන්නම් වෙනම...

      ඔබ කියල තියනවා වගේ පොඩි කාලේ අනවශ්‍ය පාලනයකින් තොරව දරුවනට දුවන්න , පනින්න සම වයසේ අය එක්ක ස්වාධීනව ඇසුරු කරන්න තනියම සෙල්ලන් කරද්දි එන පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න ඉඩහදලා දුන්නු එක ලොකු දෙයක්.. මම දකිනවා පිරිමි ළමයින්ට මේ අවස්ථාව ලැබෙනවා වැඩි ගෑනු ළමයින්ට වඩා...

      මේ විදිහට ඉන්න ඇරලා කල්පනාවෙන් බැලුවොත් දරුවන්ගේ වැඩිමේ ගැටලු අඳුරගන්න ලේසි..මං හිතන්නේ ඒ අඳුරාගැනීම ළමයෙක්ව විභාගයකට සුදානම් කිරීමට වෙහෙසෙනවට වඩා වැදගත්..

      Delete
  6. වැදගත් හොඳ ලිපියක් චතූ... ඊලඟ කොටසත් දාන්නකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. ලියාගෙන යනවා, පුලුවන් ඉක්මනින් දාන්නම්..

      Delete
  7. බොහොම වැදගත් සහ හරවත් කරුණු තියන ලිපියක්.. විචාරයක් දෙනවට ,අදහස් ප්‍රකාශ කරනවට වඩා ලියල තියන දේවල් ඔළුවට දාගත්ත. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සජ්ජා මගෙත් මූලික අරමුණ. බොහෝම ස්තුතියි.. එක එක කෙනා හරි මේ දේවල් වලින් දැනුවත් උනොත් අපි අවට තියෙන්නෙ ලස්සන ලෝකයක්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...