Saturday, June 18, 2016

බ්ලොග් පොස්ට් , Commnets සහ නිදහස් බ්ලොග් අවකාශය.

 
   කලාන්තරයක් තිස්සෙ බ්ලොග් ඇතුලු විවිධ වෙබ් අඩවි කියවන්න හුරු වි සිටින්නියක් ලෙස ඒවායෙ ඇති "Comments" කියවීමද "Comments" ගැන බ්ලොග් ලියන්නන්  දි ඇති අර්ථකතන  කියවිමද මගේ පුරුද්දක්.  ඒකත් හරියට තුන් රෝද රථවල පිටුපස සහ ඉදිරිපස ඇති වැකි කියවිම හා සමාන වෙනස්ම කලාවක්. මෙහිදි මං දුටුව එක් කාරණයක් තමයි බ්ලොග් හෝ වෙනත් වෙබ් අඩවි ලියන්නන් විවිධ ආකාරයෙන් තම ලිපි කියවන්නට අදහස් ඉදිරිපත් කරයන මෙන් ඉල්ලා ඇති වැකි වලින් ලියන්නන් පිලිබඳ බොහෝ කරුණු අවබෝධ කර ගත හැකියි යන්න සුහදව "Comments" හරහා සංවාදයක් ගොඩ නඟා ගන්න.



නමුත් බොහෝ අය සඳහන් කර ඇති පරිදි "ඔබේ අවංක අදහස්" පිලිබඳව නම් මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මේ තියන අසීමිත බ්ලොග් ලිපි ප්‍රමාණයත්  සීමිත කාලයත් සමඟ හැම පොස්ට් එකටම "අවංක" අදහස් පලකිරිම මගෙ මතයේ හැටියට නම් අපට බලපොරොත්තු විය නොහැක්කක්. එයට හේතුව ලෙස මා දකින්නෙ "අවංක" අදහස් ඇති විමට තරම් නිසංසල හිතක් කියවන්න හට ලබා දෙන පරිසරයන් ඔවුන් අවට නැති හෝ ඉතා සිමාසහිත බව මම දකින නිසයි. එයින් කියවෙන්නෙ නැ "අවංක" අදහස් "Comments" තුල නැහැ කියලා. ඒ වගේම තමන්ගෙ හිතට දැනෙන "අවංක" අදහස ඒ අයුරින්ම පවසන්න තරන් බොහෝ දෙනෙකුට ධෛර්ය්‍යක් එහෙමත් නැත්නම් තමන් ගැනම ආත්ම විශ්වාසයක් තියනවා කියලත් මම විශ්වාස කරන්නේ නැහැ.  කොහොම නමුත්  ලැබෙන "Comments" නිසා පැවැත්මට නම් සැහෙන පිටිවහලක් වෙන බව නොකියාම බැහැ. කුමන හෝ සංවාදයක දී විරාමයක් තැබිය යුතු මුල්ම තැන හඳුනගන්නත්, විරාමයක් තියන්නත් අපි ගොඩක් දෙනෙකුට අසීරු කරුණක් වන්නෙ අකීකරු නොමඟ යවන සුළු නොනවතින අපේ "සිත්" නිසයි.  ඒ වගේම බොහොමයක් දිගින් දිගට "Comments"හරහා ඇදී යන සංවාදවල ඵල රහිත බව පැහැදිලිව පෙනෙන්න තිබුනත් ඒවා හරහාම යම්කිසි ප්‍රමාණයකට කරුණු කාරණා එළිදැක්විමක් සිදු වෙනවා වගේම නිවැරදි මාවතකට ඉදිරි  සංවාද හැරවීමටත් රුකුලක්.
 
තවත් තැනක මෙලොවටත් එලොවටත් වැඩකට නැති තම තමන්ගෙ පෞර්ශ්‍ය දුර්වලතා ලොවටම නොමිලේ හඬගා පවසන පොස්ට් සහ සංවාදත් දැක ඇත්තෙමි. එවැනි දැ දුටු විට නම් අනුකම්පා කර නොවැදගත් කොටසට දමා ඉදිරියට යාම මිස වෙන කල හැක්කක් නැත්තේ මෙවැනි අයව උසි ගන්වන පිරිසක්ද මේවා අතරම නිරන්තරයෙන් සැරිසරමින් කල්මරමින් රැඳි සිටින නිසාවෙනි. ඉල්ලුම නැති නම් සැපයුම ඉබේම ඇනහිටිනවා යන ආර්ථික විද්‍යාවේ සරල මුලික නීතිය තමයි මට එහිදි මතක් වන්නෙ.

තවත් කරුණක් තමයි යම් පිරිසක් බ්ලොග් ලිවීම හරහා කියවන්නන්ගෙන් සහ අනිකුත් බ්ලොග්කරුවන්ගෙන් බලපොරොත්තු වෙනවා කියල මට දැනුනු, තමන්ට ගරු කරන්න එහෙමත් නැත්නම් "පොර" චරිත හදාගන්න උත්සහ දැරීම මේ බ්ලොග් අවකාශය තුල ඔවුන්ගේ සැබැ ජිවිතය තුල සිහිනෙන්වත් සදාගත නොහැකි. එවැනි අයට යාන්තමින් හෝ දැනුනොත් තමන් වෙහෙස මහන්සි වී තනාගත් "පොර" චරිතය යම් බිඳ වැටිමකට ලක්වෙන තැනක්, පසු නොබලා පහර ගහන්නත් පෙළබෙන්නෙ ලොවට වසා සිටින තමන්ගෙ ඇතුලු චරිත ස්වභාවය මනාව එළි දක්වමින් බලන් ඉන්න හැමෝටම. මෙතනදි හොඳ හෝ නරක වැදගත් වන්නේ නැහැ, බොහෝවිට තම "පොර" චරිතය අවකාශය තුල දිගින් දිගට රඳාවගැනිම පමණයි ඔවුන් සලකන්නෙ, ඒ සඳහා නොයෙකුත් බාල රසවින්දනයන් ලබාදෙන වදන් ඔහේ ලිස්සා යන්න ලියන්නත් මෙවැනි අය ඔවුන්ගෙ තරාතිරම, වයස, උගත්කම, රැකියාව පසෙකලා ඉත සිතින් සැදි පැහැදි සිටින්නෙ හරියට තමන්ගෙ මුලු ජිවිතයම රැඳි පවතින්නෙ බ්ලොග්  අවකාශයෙ "පොර" චරිතය හරහා වගෙයි, බාග විට නොපෙනෙන සත්‍යයත් ඒකම වෙන්න ඇති, සැබැ ලෝකයෙ  රඟපාන්න බැරි චරිත බොහෝවිට "නිදහස්" බ්ලොග් අවකාශය තුල රඟපාන්න කාගෙන් තහනමක් ද ?

බොහෝදෙනෙකුට කොතරම් ඉගෙන ගත්තත් විභාග වලින් ජය ලැබුවත් නම්බුනාම ලැබුනත් මිල මුදල් ලැබුනත් නිහතමානිකම ගොඩ නඟාගන්න ඇති නොහැකියාව හොඳින් විදහා දක්වන තැන් මම "Comments" සහ බ්ලොග් පොස්ට් හරහා ද දැක ඇත්තෙමි. එවැනි තැන් වලදි මට මතක් වෙන්නේ බොල් වී ඇට මඳ පවනටත්  එහා මෙහා වැනුනත් පිරුණු පැසුනු වී ඇට එසේ වැනෙන්නේ නැහැ යනුවෙන් මා කියවා ඇති පැරණි කියමනක්.. තවත් එවැනි වැකියක් නම් "පිරුණු කලේ දිය නොසැලේ... "  මෙවැනි හැසිරිම් වලින් කාගෙ කාගෙත් කල පිරී ඇති නැති බව... වී කරල් පැසි ඇති නැති බව  බලන් ඉන්න අයට මනාව වටහාගත හැකියි...

මෙහිදි මට සිහිවෙන්නේ අප කුඩා කල සිටම අධ්‍යාපනය ලබනවා.. අනතුරුව යම් පිරිසක් උසස් අධ්‍යාපනයත් ලබනවා.. එහි පරමාර්ථතය විය යුත්තේ උසස් ආකල්ප දරන  මිනිස් සතෙක් මිසක් තනතුරු සහ විවිධ ලේබල් ඇලවුනු  උද්ධ්ච්ච නොමිනිසුන් පිරිසක් බිහිවිම නම් නොවේ... මැක්සිම් ගෝර්කි කියනවා සම්පූර්ණ මිනිසෙක් බිහිවෙන්න නම් "හදවතේ ගීතයත්, මොළයේ ගීතයත් සමවිය යුතුයි" කියලා. මගේ අදහසත් උගත්කම සහ ගුණවත්කම එකම සරල රේඛාවක ගමන් කළ යුතු දෙයක් බවයි. එහෙම නැතිව අපි හදන්නේ තව කෙනෙක් නොතකන, අනිත් අයට වඩා මම උසස්ය කියා හිතන පිරිසක් නම් ඒක නෙවේ අධ්‍යාපනය කියන්නේ මම දකින විදිහට.. මම ( හීන දකින ) ලෝකයට ඊට වඩා වෙනස් අර්ථ එනම් තමා ලෝකය විසින්ද ලෝකය තමාගෙන්ද වෙන්කරන්න බැහැ කියන ආදරණීය චින්තනය අපට ඇතිවිය යුතු බව  දකිමි.


ඒ වගේම "Comments" හරහාම තම කුහකම, ඉරිසියාව ලොවටම හඬගා පවසන්නද හිඟ නැත. ප්‍රේමකිර්ති නම් සොඳුරු මිනිසා අකාලයේ සමු ගන්නේද මෙවැනිම අන් කෙනෙකුගේ නැගිටිමක් උපේක්ෂාවෙන් විඳ දරාගත නොහැකි මානසික මට්ටක් හිමි නිර්ලජ්ජිත මිනිසුන්ගේ කුරිරු ගොදුරක් වෙමිනි. අප රටක්, ජාතියක් ලෙස පෞඩ ඉතිහාසයකට හිමිකම් කිව්වත් මෙවැනි සිදුවිම් අතීතය පුරාවටත් වර්ථමානයෙත් වෙනස් නොවුනොත් අනාගතයෙත් සුලබව සොයා ගත හැකිවේවී. ඉතින්  කොහොමද රටක් ජාතියක් ලෙස අපි දියුණු වෙන්නෙ උඩට නඟින කෙනාගෙ කකුලෙන් තව කෙනෙක් ඇදලා පාගලා දාන්න සැදි පැහැදි බලා ඉන්න උගත්, නූගත් ,දුප්පත් ,පොහොසත් ,ලොකු පොඩි,  තරුණ ,මහලු මෙකී නොකී මිනිසුන්ගෙන් පිරි සමාජයක් අපට හිමි කොට..


මෙවැන්නන් දුටු විට මසිතට නැගෙන්නෙ ඔවුන් වෙනුවෙන් උපන් ආත්මානුකම්පාවක්. පව් අසරණ මිනිසුන්.. කොයි ලොව යන්නෙ මරණින් පස්සෙ - පින් පව් එනවා අපි පිටිපස්සේ..... කිසිම විදිහකින්  තමන්ගේ ජිවිතය ගැන තමන් තෘප්තිමත් නැති අයගෙ යටි හිතේ ඇති මානසික පීඩනය, නොසන්සුකම, කලකිරිම වැනි සෘනාත්මක හැඟිම් බොහෝ විට මෙවැනි ක්‍රියාවලට හේතුවක් වියහැකියි.  මොකද ඔවුන්ගේ යටි හිත කැමති නැහැ තමන් නොවිඳි , නොවිඳනා සතුටක් සැහැල්ලුවක් අන් අය ලබනවට.එමෙන්ම බුදුන් වදාල පරිදිත් යමකට අසීමිත ලෙස බැඳුනු විට අපගේ කෙලෙස් පිරුනු හිත තුල ලෝබය මෝහය වැනි අකුසල් හැඟිම් මතුවිම ස්වභාවික බවත් එයින් මිදිමට  තරම් කුසල් සිත් ඇති අය ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන් බවත් අප සැවොම හොඳින් වටහාගත යුතු මතක තබා ගත යුතු කරුණක්.


ඒ වගේම ඇනෝ ගැනත් කියන්න ඕන.. වැඩකට ඇති සංවාද ගෙනයන වගේම තම පහත් අරමුණු වලට පෙනී සිටින කොන්ද පණ නැති ඇනෝලාද මෙහි සිටිනව මම දැක ඇත්තෙමි. තාක්ෂනය අතින් යම් තරමක දැනුවත්භාවයක් තිබ්බත් තවමත් බහුතරයකට "Comment" කරන්න පහසුම විදිහ ඇනෝ ලෙස මං දකිනවා.. හැබැයි තමන්ගෙ නියම නමින් වැඩකට ඇති දෙයක් කියන්න තරන් කොන්ද පණ තියන අය හැර අන් අය "Invisible Mode " එකක් ලෙසයි මම දකින්නේ.   ඒ වගේම මට සමහර වෙලාවට හිතිලා තියනවා තමන්ගෙ "Post" එකට "Hits" වැඩි කරගන්න හරි "Comments" වැඩි කරගන්න (ළදරු ආශාවන්)  හරි  තමන්ම ඇනෝ විදිහට "Comments" කරගන්නවද කියලත්..

මට දැනට ලැබි තිබෙනව අප අතර සිටින ඇනෝලා අතරින්  අන්ත දෙකක් විදහා දක්වන  ඇනෝ "Comments" දෙකක්.. එකක් මා ලියු "නිර්මාණකරු , නිදහස , නිර්මාණය" පොස්ට් එකට.

 **** AnonymousApril 13, 2016 at 12:51 PM
විශිෂ්ට ලිපියක්. ඔබේ අදහස් අගෙයි. නිදහස් අතකින් ඇඳෙන සිතුවම් යම්තාක් සොඳුරුද එමෙන්ම නිදහසේ ගලන සිතුවිලි අතිශය චමත්කාරජනක නිර්මාණ ලොවට දායාද කරන බව නොරහසක්.

කෙසේ නමුත් මෙහි ඇනෝ කමෙන්ට් වලට ඉඩදී තිබෙන නිසා පරිස්සමින්. අපවැනි අමන ඇනෝවරුන් පැමිණ නුසුදුසු දෑ කමෙන්ටු තුළ බහා ඇත්දැයි නිතර සෙවිල්ලෙන් සිටින ලෙසත් ඉතාම ප්‍රවේසම් වන ලෙසත් ඔබගෙන් ඉතාම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබගේ ලිවීමේ හැකියාව සුපිරියි. දිගටම ලියන්න. ඔබට ජය පතමි. ****

අනිත් එක මා ලියු " දිවිමඟ වෙනස් කල දේශයන් දෙකක සොඳුරු මතකයන් සිහිගන්වන රූපරාමු ." පොස්ට් එකට.


**** AnonymousMay 21, 2016 at 9:14 PM
//මෙකේ යද්දි උනු දෙවලින්// ඔයයි දෙමළද අප්පා එන්නා ඉදි ශිංගල****

අල්ලා ගත් එක් වචනයක් අතහැර ගැනිමට නොහැකිව ලතවෙන මේ දෙවෙනි ඇනෝ  නම්  මා ලියු OWLING සහ ROCK පොස්ට් දෙකම කියවා ඇති බව මට විශ්වාස නමුත් ආයෙත් කියවන්න ඇනෝ..

(මා මේ ලිපිය ලියමින් සිටින අතරතුරේම සිදුවෙන මේ දෙවැනි ඇනෝගේ "හැසිරීම" නම් කියලවත් කර ගන්න බැරි දෙයක්. මට මේ ඇනෝ "Asperger Syndrome"  වලින් පෙළෙන්නෙක් විය හැකි බවට සාධාරණ සැකයක් ද මතුව ඇත. ඒ  අනුව මට දැනට එළබිය හැකි එකම නිගමනය මේ ඇනෝ හදවතින් බොහෝ සේ තනිවු අයකු වියහැකි බව බොහෝ පිරිසක් මැද සිටියත්, සාර්ථකත්වයන් ලබාතිබුනත් ජීවිතයේ.  ) 



මෙන්න මේ පැනයද මගේ සිතට නැගෙන්නේ මෙවැනි පසුබිමක මමද බ්ලොග් ලිවීමට පටන්ගත් පසු මමද මුහුණ දෙන සිදුවිම් නිසාවෙනි.. කොතෙක් දස්කම් පැ මිනිසුන් බිහි උනත් අප රටක් ජාතියක් ලෙස එක තැන සැහෙන කාලයක් රැඳි සිටින්නේ මෙන්න මේ අයිතිය පිළිබඳ හෝ කැපී පෙනිමට හෝ  උඩට නැඟිමට කුලල් කා ගැනීම මිස ප්‍රයෝගිකව තනි තනිව හෝ  එකතුවි හෝ ඵලදායි යමක් නොකෙරෙන බැවින්ද?   රටක් ජාතියක් ලෙස සම(හරක්)ට කොන්ද පණ තිබෙන්නේ කෙනෙකුට අත දිමට නොව  බලපැම් කරන්න අපහසුතාවයට පත් කරන්න ,  චෝදනා කරන්න වැනි සෘනාත්මක දේවල වලට  පමණක්  ද කියා ද මට සිතේ... ටිකින් ටික ළදරු විය ,ළමා විය, යොවුන් විය, ඉක්මවලා යාන්තමින් මැදිවියට ලංවෙන "බ්ලොග් අවකාශය" තම පහුගිය ජීවිතය දිහා ආපස්සට හැරිලා අතීතාවර්ජනයක් කරන්න පෙළබෙනවා නම් මේ තමයි එයට හොඳම කාලය කියලයි මම දකින්නේ.

රටේ පවතිනා සාමාන්‍ය නීතිය පවා තම තමන්ගේ  අභිමතය පරිදි වෙනස් කර ගන්නා මිනිසුන්ගෙන් සැදුම්ලත්   රටක ජීවත් වන හෝ හැදුනු වැඩුනු   මිනිසුන්ගෙන් සැදුම්ලත් බ්ලොග් අවකාශයේ හෝ වෙනත් වෙබ් අවකාශ තුල  මෙවැනි හැසිරිම් මට නම් පුදුමයට කරුණක් නොවේ.. "අපිත් දුක් විඳලා සැප ලබන්නේ. ඔබත් දුක් විඳලා සැප ලබන්න" යන පාඨය  මුලික කර ගෙන මුල් බැස ඇති සමාජයක අනාගත පරපුරේ මනස මෙවැනි සිදුවිම් වලට බලාපොරොත්තුවෙන් ශක්තිමත් කරනු වීනා වෙනත් ප්‍රායෝගික විසඳුමක් ද මට  නම් නොපෙනේ.. එය නම් දුකට වගේම පුදුමයටත් හේතුවක් මට නම් උගතුන් වියතුන් බිහිවෙන සිරිලකේ...

කෙසේ වුනත් අද හිරු බැස ගොස් හෙට නව දිනක් එළිය කරමින් හිරු නැගෙනු ඇත.. අප මරණය කරා තවත් එක් දිනකින් ලඟාවනු ඇත...පමා වීම යනු අකුසලයකි. බුදුන් දෙසු ලෙස.. එබැවින් පමා නොවි හෙට දින එළිය දකින නව හිරුත් සමඟ නැගෙමු නව හැඟුමින්,එක්වෙමු සියලු භේද දුරු කර, තනමු සැමට නව ලොවක් හිනැහෙන්න අඬන්න නටන්න ගයන්න  මුමුණන්න... තරහ වෙන්න හැබැයි යාලු වෙන්න...




ප. ලි. : මම දන්නවා පළකරන ඕනම ලිපියක හෝ බ්ලොග් අඩවියේ හෝ  කියවෙන පණිවිඩය නොව වැරැද්දක් , අඩුපාඩුවක් සෙවීම තම පරම අපේක්ෂාව කරගත් පිරිසක් ද  මේ "නිදහස් බ්ලොග් අවකාශය" තුල නිරතුරු සැරිසරන බව....එය ද එක්තරා පැතිකඩකින් ධනාත්මකව බැලිමට මගේ දෙමාපියන් ඇතුලු මෙතෙක් සියලු ධනාත්මක ජීවිත අත්දැකිම් එක් කල හැමදෙනාමට ස්තුතිවන්ත වෙන්න  මගේ මනස හැඩගැසි තිබිම මා ලද මහඟු භාග්‍යයක් බව මම හොඳාකාරව දනිමි.......

අලුතෙන් කෙනෙක් බ්ලොගයක් ලිවිම ආරම්භ කල විට එම ලියමන් තමන්ගේ මෙතෙක් පැවති අණසකට, සාර්ථකභාවයට අකුල් හෙලිමක් වෙවි කියන සිතුවිල්ල පහළ විම වලකන්න බැහැ ප්‍රසිද්ධිය, සම්මාන, ඇගයිම් ,පිලිගැනිම් බලාපොරොත්තුවෙන්  ලියමන් ලියවෙනා සිතක..  තමන් ලියන්නේ ලොකෙන් ලැබෙන පිලිගැනිමට වඩා තම සිත වින්දනීය ලොවක් කරා ගෙන යාමටත් ලොකෙට කිසියම් වැඩදායි දෙයක් තිලිණ කරන්නත් යන අරමුණ ඇති සිත් සැලෙනවා වෙනුවට අලුතින් පැමිනෙන අයත් සමඟ අත්වැල්බැඳ ගැනිමෙන් වඩාත් ශක්තිමත් වෙන බවයි මගේ හැඟිම.....  



මෙම ලිපිය කියවා නොසන්සුන්වන අය කරුණාකර  මා ලියු " ගමු ගැඹුරු හුස්මක් - පිට කරමු සොඳුරු හැඟුමක්..." ලිපිය කියවා සන්සුන් වන ලෙස දන්වා සිටිමි.


31 comments:

  1. "Post" එකට "Hits" වැඩි කරගන්න හරි "Comments" වැඩි කරගන්න (ළදරු ආශාවන්)

    එහෙනං ඉතින් ඔක්කොමලා ළදරු ආසා කරයෝ

    හැමෝම හිට්ස් කමෙන්ට් වලට ආසයිනේ

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් ළමයිනෙ අටම් හැමදාම හදවතින්...:)

      Delete
  2. බ්ලොග් ඇතුලේ වෙන්ඩ පොර වල සහ පොරවල් යන දෙවර්ගයම ඉන්නවා. වෙන්ඩ පොරවල් ටික කාලෙකින් හැලිලා යනවා. ඇත්ත පොරවල් කාලාන්තරෙකට ඉතුරු වෙනවා.
    බ්ලොග් වල ඇත්තම පොරවල් එ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ තමුන් ළඟ තියෙන ඇති විශිෂ්ට ලිවීමේ හැකියාව නිසයි.

    ඔය ඔක්කොම අතර ඉතින් මේ අපි වගේ හිතෙ සන්තෝසෙට ලියන එවුනුත් ගොඩක් ඉන්නවා.
    අපි ඉතින් අපේ පොස්ට්ම් වලට කමෙන්ට් කලත් නොකලත් සතුටින් බාර ගන්නවා.
    මොකද කියනවා නම් ඔව්වා පස්සේ පන්නන්න පටන් ගත්තාම අපේ හිතේ තියෙන දේවල් ලියවෙන්න ඕන කරන විදියට ලියන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. විභි.. ඔබේ අදහස එක්ක මම එකඟයි.. ඕනම දෙයක් පස්සේ තමන් ගේ වැඩේ පැත්තකට දාලා පන්නන හිතෙන හිත් නිසා තමන්ගේ තියන නිර්මාණශීලි හැකියාවත් මොට වෙලා අනන් මනන් ටිකක් එළියට එන්න තියන ඉඩකඩ වැඩී.."දුවන මුවන් දැක නොදමන් නෙළු පලා...."

      Delete
  3. බොහොම අපූරු සහ එමෙන්ම තර්කානුකූල විශ්ලේෂණයක්...ස්තූතියි ඔබට ...:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රවී.. නිම්නයට ගොඩ වුනේ පළමුවරට මං හිතන්නේ ඔබ...

      Delete
  4. සින්හලයා කවදත් මොන තරම් දියුණු උනත්, උගත් උනත් ඊරිසියාව , මානය දුරු කර ගන්න බෑරි නිසා එකමුතු වෙලා කිසිම දෙයක් සුහදව කර ගන්න බෑරි ජාතියක්.....

    සමහරුන්ගෙ පොස්ට් වල තියෙන සමහර කමෙන්ට් කියෙව්වම අපිටත් හිත් රිදෙනවා ඈයි මිනිස්සු ඒ තරම් අකමෑත්තෙන් අන් අයගෙ පොස්ට් කියවන්නෙ කියල හිතිලා....

    වෙන කෙනෙක් ලියන දේවල් අපිට ගෑලපෙන්නෙ නෑත්තම් හොදම දේ තමා තමන්ට ගෑලපෙන පොස්ට් විතරක් තොරගෙන කියවන එක.....

    බ්ලොග් ලියන කවුරුත් අපිට බලකරන්නෙ නෑනෙ කියවන්න කියලා....

    අනුන්ට නරකක් වෙන විදියට වචන පාවිච්ච් කරනකොට තරහ සිතිවිලි ඈති වෙනවා....
    බුදු දහම අනුව තරහ සිතුවිලි දුක් විපාක ලබා දෙනවා....
    ඒ අනුව අන් අයගේ පොස්ට් නිසා දුක් විපාක නොලෑබෙන ලෙස...
    දිගු සුසුමක් ගෙන සිත් සතුටින් කමෙන්ට් කරමු....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අක්කේ..වචන තියෙන්නේ එකිනෙනකා රිදවන්න , පහත හෙලන්න අවි විදිහට භාවිතා කරන්න නෙමෙ උනත් වැඩිපුරම වෙන්නෙ ඒක.. ඊට වඩා වචන භාවිතා කරලා අපිට කෙනෙක්ව තේරුන් ගන්න මොන තරමක් දේ කරන්න පුලුවන් ද..මොන තරම් රසවත් දේ මවන්න පුලුවන් ද....

      තමන්ට තමන්ගේ හිතේ කුමන හේතුවක් නිසා හෝ ඇතිවෙන ඇති වෙන අනිත් කෙනා රිදවන්න හිතෙන සිතුවිලි අර කතාවක තිබ්බ වගෙ පොළවෙ හිලක් හාරල හරි ගහක බෙනේකට හරි කියන්න පුලුවන් නම් දෙපැත්තෙම හිත් සැහැල්ලුයි... සමහරු කතා කරන විදිහ දැක්කම හිතෙනවා කතා කිරිමේ හැකියාව ගොලුවෙකුට මාරු කර ගන්න තිබ්බා නම් කියල හිත් සංවේදි...

      අනිත් එක මිහිපිට ඉන්න සත්ව විශේෂ වලින් තම හිතේ ඇතිවෙන සිතිවිලි කතා කිරිමේ හැකියාව මඟින් පිට කරන්න හැකියාව තියෙන්නෙත් මිනිස් සතාට විතරයි..ඇයි ඒ සුවිශේෂි හැකියාව සෘනාත්මක විදිහට තවමත් භාවිතා වෙන්නේ, ඒ කියන්නේ අපි තාමත් තිරිසන් සත්තුන්ගෙන් උඩට ඇවිත් නැද්ද ???????

      Delete
  5. බ්ලොග් කියන්නේ මේ මහා සමාජයෙම තියෙන උප සඟිස්කුරුතියක් පමණයි. බ්ලොග් වලින් නිවන සොයන්න ලෑස්ති වෙන්නේ එපා. සමාජයේ ඉන්න හැම චරිතයම මෙතනත් ඉන්නවා. එච්චරයි. මේ මම අවුරුදු 6 කට කිට්ටු කාලයක් දැකපු දේ.

    අද ඔය "දකින්නි" කියන කාන්තා නමකින් බ්ලොග් එකක් කරනවා. ඒත් කාන්තවකට කිසිම බ්ලොග් එකක් තියා කොමෙන්ට් එකක් වත් දාන්න නොදුන් ලෙඩ්ඩු හිටපු තැනක් මේක. රට වගේම මෙතනත් හදන්න උත්සාහ කරමු.

    නමට පෙර තනතුරු නාම තිබුනට වැඩක් නෑ ඒවායෙන් බැබලෙන්න උත්සාහ කරනවා නම්. කළ යුතේ තමන් විසින් තනතුරු බැබලීවමයි.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි මාතලන් ඇවිත් නිම්නයේ මේ විදිහට අදහස් අකුරු කරනවා දකින්න ලැබීම. ඔබ කියනවා හරියටම හරි. මම එහෙම කමෙන්ට් එකක් එනකන් බලන් හිටියෙ.. මට ලැබුනු පලවෙනි ඇනො කමෙන්ට් එක ගැන කතා කරන්න.

      මුහුණට මුහුණ හමු නොවෙන මෙවැනි අවකාශය උනත් මෙතනත්, එදිනෙදා අපට ජනසමාජයේ දක්නට ලැබෙන හැම චරිතයක්ම මෙහි සිටින බවත්, හිත් රිදෙන තමන්ගේ පාඩුවේ ගමන යන්න නොදෙන සිදුවිම් අනාගතයේදි සිදු විය හැකි බවත් කල් තියා කෙරුනු දැනුවත් කිරිමක් , අනතුරු ඇඟවීමක් ලෙසයි මම එම කමෙන්ට් එක දකින්නේ.

      අපගේ හිත් රිදෙන්නේ හෝ යම්කිසි පසුගාමි බවක් අන් අයගේ වදන් වලින් දැන්නෙනේ හෝ 90% ම වචන නිසා නොව, එම වචන පවසන ස්වරයේ ගැබ්වී ඇති හැඟිම මතයි. ඉතින් මෙවැනි වෙබ් අවකාශ තුල තවම එම හැකියාව අදහස් දක්වන්න හට නැති බැවින් මේ අදහස් දැක්වීම "වචන " විදිහට විතරක් බාර ගත් විට ( හැඟිම් නොගැවුනු ) තමන්ගේ ගමන පාඩුවේ යා හැක.. එයයි මගේ අදහස..

      තමන්ගේ නම්බුන නාම, තනතුරු වලින් අන් අය බැබලවීම කලහැක්කේ ඉතාම සීමිත දෙනුකුට පමනයි මාතලන් මගේ අත්දැකිම් අනුව... ඔවුන් ඉතාම සුන්දර මිනිසුන් ලිංගබේධයෙන් තොරව...

      Delete
  6. පළමුව කියන්න ඕනේ අපූරු විග්‍රහයක් චතූ....

    මාත් හිතන්නේ ඕනෙම බ්ලොග් ලිපියකට කොමෙන්ටුවක් දානකොට ඒ කෙනාගේ මානසික ස්වභාවය බලපානවා කියන එක... මං කොමෙන්ට් කරනකොට නම් හිතන්නේ ලියන කෙනා දිරිමත් වෙන දෙයක් ලියන්නයන්න පුලුවන් නම් හොඳයි කියලා..... මට ඕනෙ එච්චරයි... මොකද බ්ලොග් ලියන කියවන එක ගොඩක් කැමැත්තෙන් කරන දෙයක් නිසා...


    ඇනෝල ගැන නම් ඔයා කියල තියන අදහස් වලට මගෙ අදහස් ගොඩක් සමානයි... මටත් හිතල තියනවා ඒ අයම ඇනෝ විදිහට එනවා කියලා... හොඳ හෝ වේවා නරක හෝ වේවා නමක් ඇතුව කියනවා නම් ඒක වැදගත් කාර්යක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. දිරිමත් වීම එකිනෙකා අනූව වෙනස් වෙනවා.. මගේ ජීවිතෙ මුල ඉඳල අද වෙනකන් ගත්තොත් මගේ කම්මැලිකම, කිසි දෙයක් ඕනේ නැතිකම පස්සට ඇදල දාල හිතා ගන්නත් බැරි ශක්තියකින් වැඩක නිරත වීමේ හැකියව වැඩි කරපු එක කාරණයක් තමයි අන් අයගෙ සෘනාත්මක වදන් සහ ක්‍රියා... සමහර වෙලාවට අගය කිරිම් වලට වඩා වැරදි අඩුපාඩු වෙනස් විදි වලට පෙනවා දීමත් ඉදිරි ගමනට ලොකු පිටුවහලක් නිර්මාණි...ඒ විදිහේ සෘනාත්මක සිදුවිම්/පුද්ගලයන් මට හමුනොවුනා නම් අනිත් අය තියා මමවත් මගේ සමහර හැකියාවන් දකින්නේ නැහැ

      ඇනෝ වනාහි ඇණයක් නොකරගන්නා තෙක් අනගි නිර්මාණ කල හැකි පුංචි හිලකින් වුනට්න් රිංගිය හැකි ඇණයක්... :)

      Delete
  7. විග්‍රහය අපූරුයි. නමුත් මේකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් ඔබගේ අසතුටට පිහිටක් වීම පමණමයි. මේ ලෝකයේ මට වෙනස්කිරීමට හැකි එකම පුද්ගලයා මමම විතරයි කියල හිතා ගත්තම වඩා ලේසියි.

    ReplyDelete
    Replies
    1. ඉයන්.. කලයුතු එකම සහ හොඳම දේ තමන්ගෙ හිත හැඩ ගස්වා ගැනිම.. එතනින් නවතින එක සාධාරනද .. නොසැලෙන හිත් හදා ගත් අය සැලෙන හිත් ඇති අයට හැකි අයුරින් මඟ පෙන්න්විම මං හිතන්නේ නොසැලෙන හිත් වැඩි කර ගන්න හේතුවක් වේවි...

      Delete
  8. ඔබේ අදහස් පැහැදිළිව ඉදිරිපත් කරපු අපූරු ලිපියක්...

    ඔබ කියා ඇති බොහෝ දෑ බ්ලොග් ලෝකයට පමණක් නෙවේ, අප සමාජයේ හැසිරෙන ඕනෑම පොදු තැනකට පොදු ලක්‍ෂණ...විවිධාකාරයේ සිතුම් පැතුම් ඇති පෘතග්ජන මිනිසුන්...බ්ලොගයක් කියන්නේ තමන්ගේ මතයන් ඉදිරිපත් කරන්න තමන්ට ඉඩ ඇති තැනක්..එතැනදී විවිධ පුද්ගල ලක්‍ෂණ ඉස්මතු වෙන එක සාමන්‍ය දෙයක්..කමෙන්ටුවෙන් වෙන්නෙත් ඒකමයි...මිනිස්සු බොහෝ විට තමන්ට හිතෙන දේ ලියනවා, එහෙමත් නැත්නම් වෙනත් අරමුණක් පිණිස කමෙන්ටුවක් පල කරනවා...

    වඩා වැදගත්ම දේ කිසිම දෙයක ඕනාවට වඩා නොඇලිමයි...බ්ලොගය කියන්නේ ජිවිතයම නෙවෙයි..සමාජය, පවුල ඔය කිසිම දෙයක් ජීවිතය නෙවේ..ඉයන් උඩ කියා තිබෙනවා වගේ, මගේ ජීවිතය කියන්නේ මගේ සිත...අපේ හිත අනුව තමයි අපි යන අත තීරණය වෙන්නේ...එතැනදී අනිකාගේ සිතුම් පැතුම් හෝ ඔවුන් ලියන දේ ගැන අනවශ්‍ය පමණට වඩා වද වීම අනවශ්‍යයි...අපිට අවශ්‍ය දෑ ග්‍රහණය කරගෙන ඉදිරියට යන එක තමයි හොඳම දේ..ඒ වගේම පුද්ගලයින් ගැන යම් අවබෝධයක් ඇති කරගැනීමත් කරන්න පුළුවන් අවශ්‍ය නම්...ඒ වගේම ඒ ලියන හැම කෙනෙක්වම හැකි අයුරින් දිරිමත් කරන්න පුළුවන් නම්, ඒක තමයි වැදගත්ම දේ...

    හැමෝම ජීවත් වෙන්නේ මේ වේගවත් ජිවන රටාව ඇතුලේ හෙම්බත් වෙලා...මිනිස්සු ලියන්නෙත් තමන්ගේ හිතේ තියන අදහස් පිට කරගන්න...මොකද කණ්ඩායම් ගැහිලා ජීවිතේ ගැන ලෝකේ ගැන කථා කරන්න අද දවසේ මේ තරඟයේ කොටස් කාරයෝ වෙලා ඉන්නේ අපිට ඉස්පාසුවක් නැහැ...එහෙම මිනිස්සු කම්පියුටර් එක ඉස්සරහ වාඩි වෙලා තමන්ට හිතෙන දේ ලියල දානවා...එතැනදී සමහර වෙලාවට ආවේගශීලි වෙනවා, මාතෘකාවෙන් පිට යනවා...තමන්ගේ දේ හරියි කියල කියාගන්නවා...විවිධ අදහස් තියන මිනිස්සු එක තැනකට එක්කාසු උනාම ඒක අනිවාර්යෙන් එහෙම වෙනවා...ඒ තමයි අපි ජීවත්ස වන සමාජය..

    උගත් කම කියන්නේ බුද්ධිමත් කම නෙවෙයි කොහෙත්ම...අපි මොන උපාධිය ගත්තත්, නමට පිටි පසින් අකුරු කිහිපයක් තිබුනත් එතැන තියන්නේ අපේ උගත් කම පමණයි...බුද්ධිමත් කම තියෙන්නේ වෙනම තැනක, එයට උපාධි හෝ වෙනත් පාටමාලා කිරීම අත්‍යවශ්‍ය නැහැ...ඒකයි කොයි තරම් උපාධි තිබුනත් සමහරු බොහොම බොළඳ විදියට හැසිරෙන්නේ...ඒක ඉතින් මිනිස් ගතිය...

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි, ඔබේ අදහස් දැක්වීම හරි අපූරුයි.. ඔව් ඔබ කියනවා වගේ හැමකෙනෙක්වම හැකි අයුරින් දිරිමත් කරන්න උත්සහ ගමු..ඔබ කියා ඇති පරිදිම උගත්කම සහ බුද්ධිමත් කම වෙනම සැලකියයුත්තක්...ඔබට ස්තුතියි...

      Delete
  9. අලු පාට මිනිස්සු හැම තැනම.තේරුම් අරගන ජීවත්වෙන එක තමයි එකම විසදුම.පුලුවන්‍ තරම් ඒ මිනිස්සුන්ගේ හොද ගැන විතරක් හිතන්න පුලුවන්නම් වැඩේ තවත් ගොඩ.අපි ඔක්කොම මිනිස්සුන්ගේ.
    හිතේ තියන හයිය දිගටම තියාගන තව ගොඩකාලයක් නිර්මාණකරනයේ යෙදෙන්න.
    ජයවේවා.....

    ReplyDelete
  10. අලු පාට මිනිස්සු හැම තැනම.තේරුම් අරගන ජීවත්වෙන එක තමයි එකම විසදුම.පුලුවන්‍ තරම් ඒ මිනිස්සුන්ගේ හොද ගැන විතරක් හිතන්න පුලුවන්නම් වැඩේ තවත් ගොඩ.අපි ඔක්කොම මිනිස්සුන්ගේ.
    හිතේ තියන හයිය දිගටම තියාගන තව ගොඩකාලයක් නිර්මාණකරනයේ යෙදෙන්න.
    ජයවේවා.....

    ReplyDelete
  11. බ්ලොග් පෝස්ටු වගේම කමෙන්ටු කියවලත් රසවිඳින කෙනෙක් මම. සමහර කමෙන්ට් පෝස්ටු රසවත් කරනවා පෝස්ටුවට වටිනාකමක් එක් කරනව වගේම සමහර කමෙන්ට් පෝස්ටු වල අගය විනාස කරලා දානව.අසබ්ය වචන එකතු වෙච්ච කමෙන්ටු , තවකෙනෙක්ට මඩ ගහන කමෙන්ටු ඇරෙන්න අනෙක් හැම කමෙන්ටුවකටම මම කැමතියි.අදහස පරස්පර උනත් තර්කයක් ඇතිව ඉදිරිපත් කරන පරස්පර විරෝධී අදහසක වුනත් වෙලාවකට හිතන්න යමක් ඉතිරිකරනව :) වටින්නෙ තමන්ට දැනෙන අවංක අදහස කමෙන්ටුවක් විදිහට පළකිරීම.

    ReplyDelete
    Replies
    1. මමත් ඔබ වගේ පෝස්ටුයි , කමෙන්ටුයි දෙකම කියවල රසවිඳිනවා..අවංක අදහස කියවන ඕනෙම කෙනෙකුට අපුලක් නැතුව කියවීමට හැකි ලෙස ඉදිරිපත් කලා නම් ඕනම කමෙන්ට් එකක් රස විඳින්නත් හිතන්න යමක් ඉතුරු කර ගන්නත් පුලුවන් වේවි... හංසි ස්තුතියි ඔබට...

      Delete
  12. වැඩකට නැත්නං අතෑරල දාන්ඩ අනේ.. එච්චරයි..

    ReplyDelete
    Replies
    1. එව්රිතින්ග්.. මයි ඩියර්..

      Delete
    2. මං හිතන්නේ දේශක ඒක අපි අදාල පුද්ගලයට තිරණය කර ගන්න ඉඩ දුන්නා නම් තමයි හොඳ නේද.. මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසක් එනතුරු...බ්ලොග් ලොකේ විතරක් නෙමේ කොහේ උනත් .....

      Delete
  13. මා බ්ලොග් ලියන්නේ නම් මට ලියන්නට දේ ඇති නිසා සහ ලිවීමෙන් දැඩි සතුටක් ලැබෙන නිසායි.

    හැබැයි දැඩි සිතක් නැතුව මේ වැඩේ සීමාවලින් තොරව කරන්න බෑ.

    දිගටම මේ කාර්යයේ යෙදීමට ඔබට සුභ පැතුම්!

    කොහොමද එදා සංගීත ප්‍රසංගය?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික... ඒ ඔබේ අන්‍යතාව සහ ඔබේ කැමැත්ත... අපි හැමෝම එකිනෙකාට වෙනස්, ඒ වෙනස වෙනසක් විදිහට දකිමින් යනවා වීනා වෙනස සම කරන්න හීන දැකීම තේරුමක් නැ මං හිතන්නේ...

      මම කොහේ එන්න ද රසික ???

      Delete
  14. මම මේ කතිකාවට සම්බන්ධ වෙන්න හිතුවේ අවුරුදු 15ක් විතර කාලයක් පුවත්පත්කලා කටයුතුවල යෙදී සිටි කෙනෙක් විදියට. පුවත්පත් කලා ක්ෂේත්‍රයේ නිර්නාමිකව වැඩ කරන එක මෙයට වඩා වෙනස් අත්දැකීමක්. ඇත්තටම මම පුවත්පත්කලාවේදී පාවිච්චි කළ අන්වර්ථ නාම දැන් මටවත් මතක නැති තරම්. නමුත් අපි අන්වර්ථ නාමවලින් ලියුවේ හැංගිලා කාටවත් මඩ ගහන්න නෙවෙයි. ඒ වගේම මාධ්‍ය හැඳුනුම්පත බෙල්ලෙ එල්ලාගෙන පොරවල් වීමේ වුවමනාවක් අපට තිබුනෙත් නැහැ. අපි ලියුවෙ සමාජය වෙනුවෙන්, සමාජ අවශ්‍යතාවක් ඉෂ්ට කිරීම වෙනුවෙන්. එතැනදි අපේ පුද්ගල නාමය වැදගත් කාරණයක් වුණේ නැහැ. එසේ අන්වර්ථ නාමයකින් ලියූ ලිපියක් ගැන හිතවතකු ‘හොඳ ආර්ටිකල් එකක් උඹලගෙ සඟරාවේ තිබුණා‘ කියන කොට නොදන්නවා වාගේ නිහඬව අසාගෙන සිටින්නටත්, ‘අර ආර්ටිකල් එක නම් එච්චරම හොඳට ලියලා නෑ‘ කියන කොට ඒකෙ වගකීම භාර ගන්නත් අපට විනයක් තිබුණා.

    ඒ වගේ අතීත පසුබිමක ගොඩනැගුණු අපට, වර්තමාන බ්ලොග්කරණය සුවිශේෂ අත්දැකීමක්. ඒ වගේම බ්ලොග් ලෝකයට මගේ ආගමනය අහම්බෙන් සිදු වුණු දෙයක්. ගූගල්+ හි මගේ නිර්මාණයකට ප්‍රතිචාරයක් දක්වා තිබුණු ‘කල්‍යාණ මිත්‍රගේ‘ උපදෙසක් සහ ඉන්පසුව ‘මාතලන්ගේ‘ මඟ පෙන්වීමක් අනුවයි, බ්ලොග් අඩවි දෙකක් නිර්මාණය කරගත්තේ. මගේ අරමුණ වුණේ එදිනෙදා සමාජ දේශපාලන සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන පෝස්ටු මුදා හරිනවාට වඩා අදටත්, හෙටටත් යම් අධ්‍යයන හා දැනුම් අවශ්‍ය තාවක් සපුරාගැනීම සඳහා වැදගත් වන ලිපි, නිර්මාණ බ්ලොග් අවකාශයට මුදා හැරීම.

    ඇත්තටම අපි පුවත්පත් හෝ සඟරා ලිපියකට අවශ්‍ය කරුණු සොයන්න ලේඛනාගාරය, ජාතික පුස්තකාලය වගේ තැන්වල දවස් ගණන් වාත වුණු හැටි තාම මතකයි. විද්වතකු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වල ඒක පළ කිරීමට සුදුසු ආකාරයට සංස්කරණය කරන්නට පැය ගණන් ගත කළ හැටි තාමත් මතකයි. එදා ඒ විදියට ලිපියක් නිවැරදිව ලියන්නට අප ගත් වෙහෙස දිහා ආපසු හැරී බලද්දි ඒ කාපු කට්ට සුන්දරයි. ජීවිතයට එකතු කරපු අත්දැකීම් බොහොමයි. එක රැයින් ලේඛකයින් වීමේ සිහිනයක් ඒ වෙහෙස ඇතුළෙ තිබුණෙ නැහැ.

    නමුත් අද පරම්පරාව අධ්‍යයන කටයුත්තක් සඳහා හෝ පුවත්පත් ලිපියක් සකස් කිරීම සඳහා හෝ එවැනි වෙහෙසක් දරන්න සූදානම් බවක් පෙනෙන්නට නැහැ. අපි වගේ පුස්තකාලයක පරණ පොත් පත්තර පෙරළමින් දූවිලි කාගෙන තොරතුරක් හොයා ගන්නවට වඩා සනීපෙට ඉඳගෙන අන්තර්ජාලයේ තිබෙන තොරතුරකින් සෑහීමකට පත්වෙන්න ඔවුන් කැමතියි. ‘මං පුළුවන් තරං නෙට් එකේ සර්ච් කළා. ඒත් මොකවත් හොයාගන්න බැරිවුණා.... ‘ වගේ උත්තර මේ පරපුර අතර සුලබයි. මේ තත්ත්වය ආපසු හරවන්න කියනව නෙවෙයි.

    ඉතිං මම කලකට පෙර පුවත්පත් හා සඟරා සඳහා ලියූ ලිපි හා යම් යම් අධ්‍යයන කටයුතු වෙනුවෙන් කළ ලිපි අතරින් තෝරාගත් ලේඛන බ්ලොග් අවකාශයට මුදා හරින්න හිතුවෙ ඒ වගේ දැනුම සොයන කෙනෙකුට කවදා හෝ ප්‍රයෝජනයක් වේවි කියන බලාපොරොත්තුවෙන්. පෘථිවියේ කොතැන හෝ වෙසෙන සිංහලෙන් සිතන කෙනෙකුට කවදා හෝ වැඩක් වේවි කියන අදහස තමයි බ්ලොග් කරණයේදී මට තිබෙන්නේ. එතැනදි ප්‍රතිචාරවලින් මගේ ලේඛන කාර්යයට දක්වන බලපෑම තීරණාත්මක නැහැ. මොකද, මගේ හෘද සාක්ෂ්‍යයට එකඟව නිවැරදියි කියා සිතන, ඒ වගේම කාට හෝ ප්‍රයෝජනයක් අත් වේවි කියා මා සිතන ලේඛනය/නිර්මාණය සමාජගත කිරීමේ අරමුණ පමණයි මට වැදගත් වෙන්නේ.

    ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ඒ වගේම අන්තර්ජාලයට සිංහල භාෂාව ඇතුළත් කරගැනීම සඳහා විශාල අරගලයක යෙදුණු ටියුරන්ස් නන්දසාර මහතා දැනට අවුරුදු දහයකට වගේ ඉහත දවසක වැඩමුළුවකදි පැවසූ අදහසක් මගේ සිතේ තදින් වැඩ කරනවා. ඔහු කිවුවේ, අන්තර්ජාලයේ තවමත් සිංහල භාෂාව භාවිත කරන වෙබ් අඩවි, බ්ලොග් අඩවි තියෙන්නේ කීයෙන් කීයද? කියලා. ඇත්තටම අනාගත දවසක ලෝකයේ භාෂා පිළිබඳව හඳුනාගන්නා, අධ්‍යයන කරන හා තීන්දු තීරණ ගන්නා ක්ෂේත්‍රයක් බවට අන්තර්ජාලය පත්වේවි. සෑහෙන කාලයක් තිස්සේ සිංහල අකුරු එක්ක හටන් කරන කෙනෙකු විදියට සයිබර් අවකාශයේ සිංහල භාෂාව භාවිත වන ප්‍රතිශතය අංශු මාත්‍රයකින් හෝ වැඩි කරන්න බ්ලොග්කරණය ඔස්සේ මමත් දායක වෙනවා කියන පුංචි සතුටක් පෘථග්ජනයකු හැටියට මට දැන් දැනෙනවා.

    ඇත්තටම පුවත්පත්කලාවේදී අපි ලියන ලිපියකට ‘දොරටුපාලයින්‘ ගොඩක් හිටියා. නමුත් බ්ලොග් අවකාශයේදී ලේඛකයාම තමයි සර්ව බලධාරියා වන්නේ. එය අතකින් විශාල නිදහසක් තමයි. ඒත් ඒ නිදහස තුළම ලියන කෙනාට පැවරෙන වගකීම බැරෑරුම් කියලයි මට හිතෙන්නේ. යමක් බ්ලොග් අවකාශයට මුදා හැරීම සම්බන්ධව විනයක් හා ශික්ෂණයක් මෙහිදී අවශ්‍යයි. කුමක් හෝ ලියා මුදා හරින්නට පෙර තමන් ලියන දෙය අනෙකාට කෙතරම් වැදගත්ද කියා තමන්ම සිතා බැලීම අවශ්‍යයි.

    ඉතිං මේ නව මාධ්‍ය අවකාශය ඇතුළේ අපේ හැකියාවෙන් අපි සමාජය වෙනුවෙන් යම් දෙයක් කරමු. අපග‍ේ වෙනස් වෙනස් හැකියාවන්,වෙනස් වෙනස් පරිකල්පන උල්පත් ඔස්සේ ගලන නිර්මාණ ධාරාවලින් පෝෂණය වී හෙට අලුත් දෙයක් ගොඩනැගේවි කියන විශ්වාසයෙන් වැඩකරමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ප්‍රභාත්, ඔබේ දිඟු අදහස් දැක්වීම මම ගොඩක් අගය කරනවා.. මගේ ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවම ඔබ කිව්වා වගේ ඕනම දේකදි පුලුවන් තරන් විවිධාකරයෙන් තොරතොරු එක් රැස් කරන පුරුද්ද එන්න ඇත්තේ ගෙදර පරිසරයෙන් වෙන්න ඕන. මම මේ බ්ලොග් කලාවට එන්නේ හරිම අහම්බෙන්.. ඔබ කියනවා වගේ මටත් නිර්නාමිකව මගේ සැබැ අනන්‍යතාව සඟවලා එන්න අවශ්‍යතාවයක් නැති උනත් මම කැමතියි කිසියම් විදිහකින් නිර්මාණාත්මකව මගේ අනන්‍යතාව එළිදක්වන්න...ඒ නිසයි මම දන්න කියන කීප දෙනෙක්ට ඇරුනම මේ ගැන මම තාම කිව්වෙත් නැත්තේ..හැබැයි මම මුහුණු පොතේ මේ ලිපි බ්ලොගයේ නමින් බෙදා හරිද්දි දැකපු අය අවංකව කියන අදහස් දැක්වීම් හරි වැදගත් වගේම ලියන්නේ මම කියලා නොදන්න නිසා හොඳ වගේම අඩුපාඩුත් කියවෙනවා.. මට ඒ දෙකම එක වගේ බාර ගන්න පුලුවන්.

      ඔබ කියලා තියනව වගේ අද ලෝකය හරි සිඝ්‍රග්‍රාමි ප්‍රභාත්..ලියන්න අසා උනත් ඕන උනත් හැකියාවක් තිබ්බත් කියවන්න , තොරතුරු එක රැස් කරන්න මිඩංගු කරන්න කාලයක් බොහෝ දෙනෙකුට නැහැ.. ඒ නිසාවෙන් අන්තර්ජාලය අතරමැදියෙක් වෙලා.. ඉන් ඔබ්බට යන්නේ එහෙමත් කෙනෙක් දැන්..

      O/L කාලේ මගේ සිංහල ගුරුතුමිය අපිට හැමවෙලේම කිව්වා පත්තර වල කතුවැකිය කියවන්න කියලා.. මම අදටත් Online බලන පත්තර වල කතුවැකිය කියවනවා..

      මේ වගේ අවකාශයක තියන අසීමිත නිදහසේ සීමාවන් තීරණය වෙන්නේ එක් එක් පුද්ගලයාගේ මෙතෙක් ලබාඇති අධ්‍යාත්මික දියුණුව සහ තමන්ගේ ප්‍රතිපත්ති නිර්මාණයට වගේම පෞර්ශයට හේතු උනු හැදී වැඩුනු පරිසරය මම හිතන්නේ.. කොහොම උනත් මේ ලියන හැමකෙනෙක්ගෙම හිත් වල සමාජයට යම් දෙයක් කිරීමේ ඕනකම තියනව.. එහිදි ඔබ කියනව වගේ දොරටු පාලකයා තමාම නිසා විනයත් ශික්ෂණයත් හරි පාරේ ගෙන යාම අපහසු වෙන වෙලාවල් තිබුනත් මේ වෙනස් වෙනස් හැකියාවන් එළිදැක්වීම අඩුවීම නම් නොවිය යුතුයි...ඔබ පවසා ඇති පරිදිම වෙනස් වෙනස් පරිකල්පන උල්පත් ඔස්සේ ගලන නිර්මාණ වලින් මේ බ්ලොග් අවකාශය පෝෂණය වී හෙට අලුත් දෙයක් ගොඩනැගේවි කියන විශ්වාසයෙන් වැඩකරමු.

      දොරටු පාලකයන් අතින් තේරි බේරි නිමවු ඔබේ ලිපි මෙවැනි නිදහස් අවකාශයක ඔබම දොරටු පාලකය වු විට ඔබ, ඔබ තුල ඇති උපරිම දොරටු පාලක හැකියාව අවදි කරගන්න උත්සාහ දරන එක ගැන මට ඇත්තටම සතුටුයි.. ඒ වගේම එය සාර්ථකයි...

      Delete
  15. වෙනත් අයගේ බ්ලොග් ලිපි කීපයක් කියවු පසු මට මේ ලිපිය ලියවුනු ආකාරය ගැනත් මා මගේ බ්ලොගය ගැන දකින ආකාරය ගැනත් අදහස් කීපයක් ලියා තබන්න මට හිතුනා.

    මගේ හිතේ මෙවැනි ලිපියක් ලියන්න අදහසක් තිබුනෙ මුල ඉඳන්මයි, කාලයක් තිස්සෙ අන්තර්ජාලයේ ලිපි කියවිම කරන නිසා.. නමුත් ලියවුනු අනිත් ලිපි ඊට වඩා වැදගත් කියල හිතුනු නිසත් බ්ලොගය දිගටම ලිවීම කෙරෙනවද කියා තීරණයක නොසිටි නිසත් මේ ලිපිය බොහෝ කල් "Draft" අතරෙයි තිබ්බෙ..(මේ ලිපිය පමණක් නොව මගේ ලිවීමේ වේගය හා බ්ලොග් ලොකේ වේගය නොගැලපෙන නිසාවෙන් තවත් බොහෝ ලිපි ලියවි "Draft" අතර තිබේ) ඒ අතර සිදු වු සහ මම දකින දේවල් අනුව තවත් අදහස් මේ ලිපියට එකතු උනා සුපුරුදු පරිදි අනිත් ලිපි වලටත් ඒ දේම මගේ අතින් වෙනවා.

    මම බ්ලොග් එක හදන කොට හිතා මතාම කියවන අයගෙ අදහස් කියලා යන්න කියන වාක්‍ය දැම්මේ නැ.. මට ඕනෙ උනේ මම ලියන දේ දැනෙන කෙනෙක් ඉන්නවා නම් අදහස් ඉදිරිපත් කරන්න අකමැතිත් නැත්නම් කම්මැලි නැතුව වචන ගලපලා ලියල පළ කරන්න තරම් කාලයක් සහ ඕන කමක් ඇති අයට ඉඩක් හදා ගන්න. මගේ ඒ අරමුණ සාර්ථක ද කියන දේ අහන්න ඕන මෙතෙක් ලිපි කියවන්නන්ගෙන් සහ අදහස් දැක්වූවන්ගෙන්. කාගෙ හෝ ලිපියකට මම "Comment" කලත් එක එක කෙනාට දැනෙන විදිහ අනුවයි එයට කවුරුන් අතින් හෝ පිළිතුරු ලියවෙන්නෙ.. එය තමන් බාර ගන්නා විදිහ අනුවයි අපි හැමෝම වැඩ කරන්නේ.. එතනදි මගේ විදිහ නම් හොඳ හෝ නරක මට ආදාල කර නොගෙන එය අදහස් දැකිවීමක් පමණක් ලෙස ගෙන පිළිතුරු බැඳ එය එතනින් අවසන් කිරීම,ලිපියක් ලියුවත් "Comment "එකක් දැම්මත්.. කොහොමත් පුරුද්දක් විදිහට මට දැනුනොත් මොන දේකට හරි ඇබ්බහි වීමක් වෙනවා කියලා මම හිතාමතාම එයින් අයින් වෙනවා සීමාවකට..

    අද වෙනකොට හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේ මම කියන කෙනා උපතින් ලබා ඇති සහ හැදී වැඩුනු පරිසරයෙන් උකහා ගෙන ඇති පරිදි හැඩගැසි ඇති නොකඩවා වෙනස් වීම් වලට භාජනය වන මම කියන චරිතය එක්තරා ක්‍රමයකට මේ සමාජයට මූණ දෙනවා.. එහිදි මම කියන චරිතය නොයෙකුත් හැඩ ගන්නවා.ඒ හැඩය ගන්නෙ මාත් එක්ක ඉන්න අනිත් කෙනා රඟපාන චරිතය අනූවයි. එය මට ඉගැන්වු හොඳම සහ සාර්ථකම ගුරුතුමා මගෙ සැමියා...

    කිසිවක් නිත්‍ය නැත.. ඒ නිසාවෙන් පටන් ගත් තැනට වඩා අවසානය වෙනස්ම මඟක් ගෙනේවී ,නිත්‍ය නොවන ලොවක නිර්මාණකරයේ යෙදෙන අප අපේ හිත් පරිස්සන් කර ගතයුත්තේ අනුන්ගෙන් නොව තමන්ගෙන්....ඒ මක් නිසාද යත් කෙනෙකුට තමන්ට බලපෑම් (හොඳ හෝ නරක ) කල හැක්කේ තමන් ඉඩ දෙන සීමාවට පමණක්ම නිසාවෙනි.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...