Sunday, June 12, 2016

පුංචි කාලේ මං දැක්ක අමතක නොවෙන හීන.....

  මම පහුගිය ලිපියක ලිව්වනේ කොහොමද මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කියලා.. ඒ ලිපියේ මම අන්තිමට ලිව්වනේ මගේ අතීතයෙන් ලියන්න හිටිය සටහනක්  ගැන.. අන්න ඒ සටහන තමයි අද මේ විදිහට ලියන්න හිතුවේ.  මුලින්ම  මගේ පුංචි කාලෙ ගැන ටිකක් ලියන්නම්.. ටිකක් කිව්වෙ ඔක්කොම ලියන්න සෑහෙන කාලයක් ඕන වෙන නිසා..අනිත් එක ගොඩක් දිගට ලිව්වාම කියවන අය අයියෝ මේක ඉවර වෙන්නේ නැද්ද හිත හිතානේ කියවන්නේ.. නේද...

 
මං ඉපදිලා තියෙන්නෙ අපේ පවුලේ පළවෙනි දරුවා විදිහට ඈත සීතල කඳු වලින් වටවුනු හරිම සුන්දර පරිසරයක අවුරුද්දේ මැද මාසෙක..මාසේ මුල දවසක, දවසේ හවස් කාලයේ.. අම්මගේ බඩේ ඉන්න කාලෙ ඉඳන්ම  මගේ හිතුවක්කාරකම ගැන නම් උදාරහණ ඕන තරන්.. දොස්තර මහත්තයා කොයි තරන් හැරෙව්වත් අම්මගෙ බඩ ඇතුලෙ මං ආයෙමත් පෙරලි කරලා වැරදි අතටම හැරෙන නිසා තීරණය කරලා තියනවා සැත්කමකින් මේ දඟ පැටියව මෙලොවට ගේන්න. ඒ කාලෙ හැටියට අම්මව මුලුමනින්ම සිහිනැති කරවනේ බබාව ගන්න. අපේ අම්මටත් එහෙම තමා. සිහිය ආවම අම්මට එතන හිටිය හැමෝම කිව්වලු ඔයාට ඉන්නවා සුදුම සුදු බෝලයක් වගේ රෝස පාට දුවෙක් කියලා..එදා ඉඳන් අද වෙනකන් අපේ අම්මා ඒ රෝස මල රකිනවා අඩුම ගානේ රෝස මලටවත් රෝස මලේ  සුවඳ බලන්න දෙන්නේ නැති ගානට ආදරේ වැඩිකමට රෝස පඳුරේ තියන කටු  රෝස මලේ ඇනෙයි   කියන බයට..

ටික ටික ලොකු වෙද්දි මල්ලියෙකුත් එකතු වුනාට පවුලේ බාලයාට ලැබිය යුතු හුරතලය අවධානය ලැබුනෙ එයාට නම් නෙමේ. පුංචි කාලෙ මගේ එක තැනක තියන්න බැරි දඟකම මට්ටු කරන්න තාත්තා නොයෙකුත් විදි හදාගෙන තිබ්බත් ඒ හැම එකකින්ම  හිනා වෙලා එක තප්පරෙන් තාත්තා හිතන්නත් කලින් පැනලා යන්න මට තිබ්බ හැකියාව නිසා හැමදාම ගුටියක් කැවා නම් කැවේ මගෙ මල්ලියා. සහෝදරයෙක් ඉතාම කුඩා කාලයෙ පටන්ම තමන්ගෙ සොහොයුරියව රැක ගන්න එකට බොහොම හොඳ උදාහරණයක්  ඒ සිදුවීම්.  ඉතින් මේ දඟකම කියලා බැනලා හදන්න බැ කියලා තාත්තා තේරුන් ගත්තම තාත්තා මට ජීවිතේ වැදගත් පාඩමක් ඉගෙන ගන්න ඉඩ හදල දුන්නා නිහඬවම. ඒ තමයි තමන් කරන දේවල් වල වගකීම තමන් ගන්න ඕන කියන දේ.  දවසක් කොයි තරන් එපා කියල කිව්වත් ලඟ තියන බිත්ති දෙකක් අතර  හරහට කකුල් තියලා ඉහළට නඟින මගේ පුරුද්ද නිසා වැඩි ඉහළකට යන්න කලින්ම මං ඇදගෙන බිමට වැටුනා. තාත්තා මගෙ ලඟම එහා පැත්තෙන් හිටියත්  හැරිලවත් බැලුවෙ නැ.  හරියට මුකුත් උනේ නැ වගෙ ඉන්නව දැක්ක මං රිදිල්ලත් එක්කම නැගිටලා සද්ද නැතුව එතනින් ගියා.

  අපේ ගෙදර පුංචි කාලෙ තිබ්බා දර ලිපක්. උදේම අපිට ඇහුනේ   "පිණිබර යාමේ සැවුලන් හඬලනවා - අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා"  , ඒ තාලෙත් එක්ක අම්මා ගැන ඇතිවෙන අසීමිත ආදරය හින්දම කම්මැලිකම පැත්තකින් තියලා ඉක්මනට ලැස්ති වෙලා, උදේම ගෙදර ගේට්ටුවෙන් එළියට බහින තැනම පේන්න තිබ්බේ පින්න මල් යායක්.. තාත්තා හිමිට මුමුණවා " පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා..", අපිට යන්න තිබ්බා සුලං කපොල්ලක් හරහා, ඒ යනකොට නම් තාත්තා මාව බොහොම තදින් අල්ල ගන්නවා. රේල් පාර හරහා වැටිලා තිබුනු  කෙටි පාරෙන් යද්දි තණකොල වලට වැටිලා තියන පිණි බිංදු අම්මා පෙන්නලා කියලා දුන්නා ජීවිතෙ නම් තණ අග පිනි බිඳු වැන්නේ කියලා...

අම්මටයි තාත්තටයි හැමදෙනාගෙන්ම ලැබුනු ගෞරවය පිළිගැනිම නිසාම අපිටත් යන යන තැන බලාපොරොත්තු නොවිම මුල් තැන කාගෙත් පිළිගැනිම ලැබුන අතරෙම කැපිලි කෙටිලත් අතරින් පතර තිබුනා තමන්ගෙම අයගෙන්.. මෙන්න මේ හැමෝම දන්න කියන ගතිය නිසා මගේ පාඩුවෙ මට ඕන දෙයක් මට ඕන විදිහට කරලා ඉන්න බැරි තැන් සෑහෙන්න තිබුනා උනත් අපිව විඳිය යුතු නැති සිදුවිම් වලින් ජිවීතෙ හැමදාම ඈත් කරලා තියන්නත් ඒ දන්න කියනකම උපකාරි වෙලා තිබුනු හැටි මම දැක්කේ  පස්සේ කාලෙක ..

මං පුංචි කාලේ අම්මගෙ වැඩේම එක එක පාට හැඩට මහපු ගවුම් මට අන්දලා හැඩ බලන එක.. සැහෙන්න බැනුන් අහල තියනව මං එක විදිහකට ඉන්නෙ නැ කියල අම්මා අඩුපාඩු බලා ගන්නකන්...එපා වෙනකන් එකම ඇඳුම ඇඳලා බලන්න උනු නිසා වෙන්න ඇති මම අදටත් ආස නැ සාප්පු සවාරි යන්න. කඩේක තියන ඇඳුම් දිහා එක බැල්මකින් බලලා හිතට ගොඩක් දැනුනු ඇඳුමක් තිබ්බොත් ඇඳලා බලනවා ඇරෙන්න.

තාත්තා මට කිසිම දේකට තහංචි දැම්මේ නැහැ. ගස් නඟින්න, බයිසිකල් පදින්න..දුවන්න පනින්න,සෙල්ලන් ගෙවල් හදන්න, ඔන්චිලි පදින්න , ඔන්චිල්ලාව බඳින තිරස් ආධාරකයේ එල්ලිලා ජිම්නාස්ටික් වැඩ කරන්න. හැබැයි තාත්තගේ ඇස් මානෙන් එහාට නම් යන්න දුන්නෙත් නැ මම ගියෙත් නැ. ලොකු වෙද්දි නම් මේ නිදහස තාත්තා සෑහෙන්න සීමා කලත් පුංචි කාලෙ දුවල පැනලා ලබා ගත්ත අත්දැකීම් ජිවිතෙ පස්සේ කාලෙදිත් සැහෙන්න වැදගත්  උනා...

අපිටම කියලා කැමරාවක් නොතුබුනු ඒ කාලේ මගේ පෙර පාසැල් විවිධප්‍රසංගයේ පින්තුර පත්තර වලට වැටුනේ තමන්ගෙම දියණියත් එයට සහභාගි වුවත් කොහේ ගියත් අපේ අම්මාගේ කීමට මගේ පින්තුර ගත් ධර්මසේන සර් එදා නොකියාම ඔහු ගත් පින්තුර වලින් මා සිටි පින්තුර පත්තරේට යොමු කල නිසාවෙන්....ඔහුම මල්ලිගේ පින්තුරත් පළකලේ ඊට සත් අවුරුද්දකට පසු ශිෂ්ශත්ව ප්‍රතිඵලත් එක්ක....   


අදත් මට  කන්ඳ උඩ තිබ්බ අපේ පුංචි ගෙදර , ලොකු නඟින්න අමාරු ගල් පඩි.. උදේට මීදුම අතරින් පේන සමනල කන්ද.. දරා ගන්න බැරි හීතලේ කලු පාලම උඩින් ගිහින් කෝච්චියෙ ඉස්කොලේ ගිය හැටි , තාත්තා දෙන රු 2 න් හරි 5 න් හරි බැදපු රටකජු හරි ගල් සියඹලා හරි අරන් කකා ආපහු කෝච්චියෙ ගෙදර ආපු හටි.. ඇස් වහගෙන ඒ විදිහටම විඳින්න පුලුවන් සුන්දර මතයකන්...

ඒ සුන්දර කාලය ගෙවිලා ගිහින් කොලඹ කාස්ටක දුවිලි වල පහස ලබන්නත් ගෙදරටම කොටු වෙන්නත් මට සිද්ධ උනේ අවුරුදු 10ක් වින්ඳ සුන්දර පරිසරයට සඳහටම ආයුබෝවන් කියලා යන්න උනු නිසා තාත්තයි අම්මයි ළමයි දෙන්නා තැන් දෙකක තියන්න අකමැති උනු නිසා.....ඒත් කවදහරි ආපහු මට යන්න ඕනේ දොලොස්බාගෙ කන්ද බලන්න, කලු පාලමෙ ගිහින් බංගලි රෝස පඳුරේ පිපිනු ලොකුම ලොකු රෝස මල් තාම පිපෙනවද බලන්න, නගරසභා භුමියෙ තිබුනු බෝ ගහ ලග තිබ්බ නිසංසල පරිසරය තාම තියනවද බලන්න. නගරයේ ඒ කොනෙ ඉදලා මේ කොන වෙනකන් අම්මයි තාත්තයි දන්න කියන සිංහල, දෙමල, මුස්ලිම් ,බර්ගර් අය තාම ඉන්නවද බලන්න. කෝවිලෙ සුවඳ දුම් එක්ක නළලේ තිලක තියා ගන්න.. 
 
අපෙ ගෙදරට උඩින් තිබුනු පඬි පෙල වගේ පුංචි එවුන් එක්ක ජිවත් වෙන්න සටන්  කරපු දුප්පත්කමින් බැට කැවත් හිනාවෙත් අඩුවක් නැති සිංහල දෙමල පවුලක් හිටිය කටුමැටි ගෙදර තාම තියනවද බලන්න...අපේ ගෙදරට පහලින් තිබ්බ ජැම් පේර ගහේ ගෙඩි හැදුනාම  ඇන්ටිට හොරෙන් ඒ ගෙඩි අපිට කඩලා දුන්න අන්කල් තාම ඉන්නවද බලන්න.. අපේ ගෙදරට ඉස්සර තිබුනු ඉඩම  හරහා වැටුනු පාරට නඩු කිව්වත් මම නොදන්න හේතුවකට  නඩුව  ඉදිරියට නොගිය, ඒ නිසාම පසු කලෙක අපේ ඉඩම ඉතාම පාඩුවට විකුනන්න සිදුවුවත්  අවුරුද්දට නොකඩවා කැම පිඟන් හුවමාරු වුනු මුස්ලිම් ගෙදර තාම තියනවද බලන්න...


කරාබු ගස් යට  වැටෙන කරාබු නැටි අහුලන්න, තාප්පේ ලඟ තිබුනු ජපන්  බටු  ගහේ ගෙඩි කඩලා පහළ ගෙදර වහලෙට විසිකරල කාගේ ඒවද ඉස්සෙල්ලා පහළට එන්නේ බලන්න, කවදහරි මං හදන ගෙදර ඉස්සරහ දොර ඇරියාම තියෙන්න ඕනේ බට්ටා පනින්න පුලුවන් විදිහට කියල හිතුනු   ගෙදර ඉස්සහර තිබ්බ පුංචි කොරිඩෝවේ තාමත් වැටෙන්නේ නැතුව බයිසිකලෙන් 8 පදින්න පුලුවන් ද බලන්න..

සුදු සිහින් වැලිත් එක්ක බොරලුත් පිරිලා තිබ්බ පුංචි  මිදුල තාත්තා කියල දුන්නු රටාවට  අතු ගාද්දි හිමින්  මිදුල පුරා මැන  මැන ගිය සිහින් කුඩැල්ලො ජුඩියාගෙ ඇඟේ දිඟ පළල මැන්න දාට පිම්බිලා හිටපු හැටි බලන්න.. ගේ පිටිපස්සේ තිබුනු  කන්ද දිගේ උල්පත් වලින් එන පැහැදිලි  වතුර බිංදු වලට ඉර එළිය වැටුනම දේදුන්නක් වගේ දිලිසෙන හැටි බලාගෙන අම්මගේ බැනුන් නැහුනා වගෙ ඉන්න....කක්කුට්ටො ඇදේට ඇවිදින හැටි බලන්න..

පුංචි කාලේ ඉස්කොලෙ ගිය පාරේ තිබ්බ මැයි මල් ගහ තාම රතු පාට මලින්  පිරෙනවද බලන්න.. වයලින් වාදනය උගවන්වන්න ගෙදරට ආව සර් මගේ දිහාම බලාගෙන ඉන්නවා කියලා විහිලු කල සම වයසේ යාලුවො එක්ක  ඒ කාලෙ වගේ නිදහසේ හිනා වෙවි ඉන්න.

5 වසර වෙනකන් ගිය ඉස්කොලේ අරලිය ගස් අතරේ බැවුමෙ සිරිපාදෙ යන්න, දුප්පත් පෝසත් බේදයක් නැතුව පන්තියේ හිටිය හැමෝම එක්ක.... විශාල තේ වත්තක එකම හිමිකාරිය වුනු මගේ හොඳම යෙහෙලියත් එක්ක  සමහරදාට ඉස්කොලේ ඇරිල ඇවිත් කඩාපු තේ දළු පිරුනු එක එක විදිහේ තේ කොල පෙට්ටි පිරෙන්න තිබ්බ කඩේ තාම තියනවද බලන්න....කවදහරි ආපහු මට යන්න ඕනේ........එනවද ඔයාලත් මගේ තනියට.





37 comments:

  1. ‍යමු යමු ආයෙත්....
    මාත් එන්නම් ඔයත් එක්ක..
    ඒ සුන්දර මතකයන්ට පණ දෙන්න ආයෙමත්.....
    ඔයාගෙ මේ අතීතාවර්ජනය මාවත් අරගෙන ගියා බදුලු කොච්ච්යෙන්.....බදුල්ලට
    ම්දුමෙන් වෑහුනු කදු පන්ති.....
    පිණි බිදු විසිරුනු ලා තණ පත්......
    නේක පෑහෑ සුගන්දවත් මලින් පිරුනු ගෙමිදුල්...
    හිමින් සීරුවෙ ගලන දිය පාරවල්.....

    කොලොම් පුරේ ජීවිතයට වඩා ජීවිතය විදපු.....
    වචනයෙන් විස්තර කල නොහෙන....
    මගෙ සුන්දර මිල කල නෙහෙන මගේ ලමා කාලයට....

    හරිම සුන්දර මතක ගොන්නක්නෙ හීන දකින්නිගෙ ලමා කාලය....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. යමු යමු . ‍යනවා නම් යන්නෙ කෝච්චියෙ තමා.. උඩරට මැණිකේ..පේරාදෙණිය station එකේ හිටිය රස ලුනු මිරිසක් එක්ක ආප්ප විකුනන්න ආච්චි කෙනෙකුත්.. ඉස්සො වඩේ , පැනි දොඩම් කියල ඇඹුල් දොඩම් විකුනපු අය..
      සුන්දරයි අක්කේ හැබැයි එදිනෙදා ජිවිතේ ලේසි නැ.. එදා අම්මයි තාත්තයි අපිව ලොකු කරන්න ගත්ත මහන්සියෙන් දශමයක් වත් මං අද මගේ පුතා ලොකු කරන්න ගන්නේ නැහැ . ගන්නත් බැහැ ඒ අතින් එයාල දෙන්නම හරිම ශක්තිමත්.

      කොලඹ මීට වඩා හාත්පසින් වෙනස් පරිසයක හැදුනු අම්මා අපි දෙන්නාවම බඩෙ තියන් ඒ පරිසරයට මූන දිල තියන විදිහ , කරල තියන දේවල් මට හිතා ගන්නත් බැ.

      Delete
    2. ඔව් නිම්නි...අපේ දෙමව්පියො කරපු දේවල් අපිට කොහොමවත් හිතාගන්නවත් බෑ එයාලා අපිට වඩා හිතෙන් ගතෙන් හොදට ශක්තිමත්....
      මටත් පුදුමයි අපි පොඩි කාලෙ අපි බදුල්ලෙ ඉන්නකොට බස් නෑති පාරවල් වල අපිව වඩාගෙන ලොකුම ලොකු කදු පල්ලම් නෑගපු බෑහෑපු හෑටි.... රාජ්ය සේවයේ දුෂ්කර සේවය කිසිදු කන් කෙදිරි ගෑමක් නෑතුව එයාල ඉෂ්ට කරපු හෑටි අපේ ජීවිත වලටත් ආදර්ශයක් උනා....

      ණිර්මාණි කියන දේ නම් හරිම ඈත්ත...අයෙ ගිහින් බලනකොට ඔය පරන මතක හෑමදේම හිතාගන්න බෑරි විදියට වෙනස් වෙලා තියේවි....
      එතකොට මට නම් හරිම දුක හිතේවි.....නිම්නි ඔයාටත් එහෙම දුක හිතෙයි....එහෙම නේද?

      Nadee akka

      Delete
    3. ඔව් අක්කේ එයාල ජිවිත ගත කල විදිහ අපිට ආදර්ශයක්.. නිර්මාණි කියනව වගේ වෙනස් වෙලා , විනාස වෙලා ඇති ගොඩක්.. 

      Delete
  2. ඔයාගෙපුංචි කාළෙ ගැන කියනකොට මට මගේ පුංචි කාලේ මතක් උනා චතූ....
    පිනිබර යාමේ සිංදුව ගැන අද ඇහුව දෙවෙනි වතාව... මේ වගේම දෙයක් කවිදුත් ලියලා තියනවා....

    ඔයාගෙ හීන එක්ක ඇවිදින්න එකතු වෙන්නන්කෝ... හැබැයි සමහර දේවල් ගොඩක් වෙනස් වෙලා ඇති කියලත් හිතෙනවා චතූ.... විශේෂයෙන් පරිසරය......

    අපූරු සටහන...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න නිර්මාණි. කවිඳුගේ විස්තරේ කිව්වට ස්තුතියි. ගිහින් බලන්නම් ඒ පැත්තත්.

      ඔයා කියනවා වගේ වෙනස් වෙලා ඇති ගොඩක්. මට අමතක කරන්නම බැරි station එක.

      Delete
    2. ඒ වගේ පරිසරයකට ආයේ යන්න ආසාවක් ඇති වෙන එක සාධාරණයි.. දොලොස්බාගේ කියන්නේ හරිම ලස්සන පැත්තක්...

      Delete
    3. මට ඒ මතකය ලස්සන නිර්මාණි පරිසරය නිසාම නෙමේ. අම්මගෙයි තාත්තගෙයි ආදරයත්, එහෙ හිටිය මිනිස්සුන්ගේ තිබුනු මනුස්සකමත් නිසා.. කොලඹ මගේ අත්දැකීම් ඊට වඩා ගොඩක් වෙනස්.. කැපිලි කෙටිලි , පාගා දැමිම් , අපහාස කිරිම, අසාධාරන ක්‍රියා , එකිනෙකා පරයන තරඟය.. මට මේ පුංචි කාලේ වින්ඳ සුන්දර මතකයන් නොමැකෙන මතකයන් බවට හැරෙව්වා.

      Delete
    4. //කොලඹ මගේ අත්දැකීම් ඊට වඩා ගොඩක් වෙනස්.. කැපිලි කෙටිලි , පාගා දැමිම් , අපහාස කිරිම, අසාධාරන ක්‍රියා , එකිනෙකා පරයන තරඟය.//

      වැරදි මිනිස්සු ඇසුරු කරල, වැරදි තැන් වල වැඩ කරල පොදුවේ මතයක් ප්‍රකාශ කරන එක වැරදියි. තව එකක්. මෙතන තියෙන්නේ ගෙදර සහ පාසැලේ තිබෙන සාධාරණ ක්‍රම සහ වැඩිහිටි ජීවිතේ තිබෙන එක එක පරයා යන සටන. මම හැදුනෙ කොලඹ. මටත් ළමා කාලයේ පවුලේ, පාසැලේ, මිතුරන් අතරේ ,නෑදෑයන් අතර සුන්දර අත්දැකීම් තිබුණා. මම වැඩිහිටි කාලේ චතූගෙ ගමේ රැකියාවල් කලානම් එහිදී මට දකින්න වෙන්නේ පාගා දැමීම්, බෙලි කැපීම් තමයි.

      Delete
    5. ඒකයි ඉයන් මම "මගේ" කියලා දැම්මේ....මම හිතන්නේ නැ කොලඹ හිටපු මිනිස්සු වැරදියි, ගමේ හිටිය මිනිස්සු හරියි කියලා. දිගටම කියවන්න්කො ඉයන් මගේ සටහන්, එවිට වැටහෙවි ඇයි මම එහෙම කිව්වේ කියලා..

      Delete
    6. ඒ වගේම කොලඹ හිටිය එක්කෙනෙක් වත් වැරදි තැනක වත් වැරදි වැඩක් වත් කරලා නැ කියලත් මට විශ්වාසයි ඉයන්.

      Delete
    7. ඇයි ඉයන්ට හිතුනේ කොලඹ හිටපු අයයි තැනුයි නරකයි කියලා ? මං එහෙම දෙයක් ලියලා නම් නැහැ. අනිත් එක මේ මගේ ළමා කාලය.. මෙහි නැහැ වැඩිහිටි කාලයේ සිදුවීම්.
      වැඩිහිටි කාලයේ කොලඹදි මට හම්බුනේ ජීවීතය ඔසවා තබන්නන් ඉයන්.

      Delete
    8. //එහෙ හිටිය මිනිස්සුන්ගේ තිබුනු මනුස්සකමත් නිසා.. කොලඹ මගේ අත්දැකීම් ඊට වඩා ගොඩක් වෙනස්.. කැපිලි කෙටිලි //

      මේ වාක්‍ය දෙක එකට කියෙව්වම මට ආවේ එහෙම අදහසක්. එහෙම නෙමෙයි නම් පිළිගන්නම්.

      Delete
    9. එහෙම වාක්‍ය දෙකක් එකතු කරල හිතන්න එපා ඉයන්. කොලඹ ජිවිතෙත් සුන්දර මතක තියනවා. කොස් , දෙල් පොල්, ගස් වලින් දිගටම හෙවණ වුනු අඩි පාරක් දිගේ, වාරෙට ගහේ මුල ඉඳල වැහෙන්නම ලා කොල පාට ගෙඩි හැදුනු බිලිං ගහ පහුකරගෙන ඉඩමේ එහා කොනේ තිබ්බ අතින් අරන් නාන්න පුලුවන් තරමට නිල් කැටේට වතුර පිරිලා තිබ්බ අම්මල පොඩි කාලෙ ඉඳන් නාපු ළිඳ, ගේ ඉස්සරහ තිබ්බ විශාල වෙල් යාය, .. නැදැයො එකතු වෙන ඕනම වෙලාවක ගෙදර ඉස්සරහ තිබුනු පාරෙ ලොකු පොඩි හැමෝම cricket ගහපු හැටි වගේ...

      Delete
  3. අපි කාටත්, අමතක කරන්න බැරි ලස්සන පුන්චි අතීතයක් තියෙනවා හීන දකින්නී. ඔය කියන ගම් පලාතේ සුන්දරත්වය හිතාගන්න පුලුවන් ලිපිය කියවද්දී. ලස්සනට ලියලා තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී. ඔව් අපි හැමෝටම තියනවා ලස්සන අමතක නොවෙන පුංචි කාලේ පුංචි අතීත මතක..

      Delete
  4. උපන්දිනේ ලඟයි වගේ. පිරිමි නැකතකින්ද ඉපදිලා තියෙන්නෙ . හෙහ් හෙහ්. මරු මතක ටික චතූ

    ReplyDelete
    Replies
    1. ලඟයි ලඟයි ඉයන්, අනේ මන්දා මොන නැකතකින්ද කියලා හි හී...

      Delete
  5. අපි හැමෝගෙම සුන්දරම කාලේ ඕක තමා චතූ............. ඒ කාලේ මතක් වෙනකොට ආයෙමත් යන්න හිතෙනවා...... ඒ තරම්ම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කුරුට්ටනේ, හැබැයි තනියම ගියාට මට ඒ සුන්දරත්වය දැනෙන එකක් නැ..

      Delete
  6. ඔන්න සිරා කොලුවා ඉස් ඉස්සෙල්ලාම මේ පැත්තට ආව දවස...

    ඉතාම සුන්දර ළමා කාලයක නටඹුන් ඔබේ ලියවිල්ල අස්සෙන් මම දැක්කා. ජාලයෙන් ගත්ත පින්තූර වෙනුවට සැබෑ පින්තූර මේ ලිපියට එකතු කරන්න තිබුනා නම් තවත් අගෙයි. ඔබේ ඇතැම් අත්දැකීම් කියවගෙන යද්දි මගේ හිතේ චිත්ත රූප මැවුනා. අපි කවුරුත් අතීතයට ආදරෙයි. ඒ සුවඳට කැමතියි. ඒ අපි හැමෝගෙම මුල් අතීතය ඔස්සේ වැටී තිබෙන නිසා. ජය !

    ReplyDelete
    Replies
    1. චතූ ඩයනා කුමාරි වගෙන් කැතයිලු. ඇස්වහ වදියි කියලලු එකතු කලේ නැත්තේ.

      Delete
    2. @ සිරා : හරිම සතුටුයි ඔබේ බ්ලොගයෙ විශේෂ දවසක නිම්නයටත් ආව එක. හිමින් අනිත් ලිපිත් කියවා ඔබේ අදහස් දක්වනවා නම් මම කැමති.

      ඔබ කිව්වා වගේ අපෙ මුල් අතීතය හරහා වැටි ඇති බව නම් මාත් 100% පිලිගන්නව.

      @ ඉයන්: ඉයන් ඩයනා කුමරි කැතයි ද ?

      Delete
    3. සිරා, මගේ හොඳම යෙහෙලියකුත් කිව්වා සැබැ පින්තූර දැම්මා නම් ලිපිය තවත් තාත්වික වෙයි කියලා

      Delete
    4. ඔව් මගේ අදහසත් එයමයි. අපේ හිත් වල ඇදෙන චිත්ත රූප බිදෙනවා මේ විදේශයන්හි පින්තූර දැක්කම.

      Delete
    5. ඔව් මගේ අදහසත් එයමයි. අපේ හිත් වල ඇදෙන චිත්ත රූප බිදෙනවා මේ විදේශයන්හි පින්තූර දැක්කම.

      Delete
    6. සිරා, මෙහි ඇතුලත් 1,4,5 රූප වල තියෙන්නෙ මම හිටපු පරිසරයෙම රූප. එහෙම තමයි ජාලයේ සඳහන් වෙලා තිබ්බේ.. මං ලඟ සැබැ පින්තූර නැහැ.. කවදහරි ගිහින් ගන්න ඕනේ හිතේ ඇඳිලා තියන මේ පින්තුර සැබැවටත්..

      Delete
  7. අපිට හැරයන්න බැරි, ඒත් හැර යන්නම වෙන කාලයක සුන්දර මතක. කොහොම නම් අමතක කරන්නද ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේශ්, මට එහෙන් යද්දි වැඩිය හිත රිදුනේ නැ. අපිට අපේ බලු පැටියව ගෙනියන්න විදිහක් තිබ්බේ නැ. එයාව බඩු පටවපු ලොරියට තාත්ත දාන්න හදනකොට එයාගේ මුලු ඇඟම ගැහෙන්න ගත්තා. හරියට "මම නම් කොහෙවත් යන්නේ නැ " කියන්න වගේ.. හොඳ වෙලාවට ඊලඟට අපේ ගෙදරට එන්න හිටියෙ එයාවත් හොඳින් දන්න පවුලක්. ඒ අන්කල් කිව්වා තියලා යන්න බලාගන්නම් කියලා .එයාගේ දුවත් එකතු නිසා. අපි එයාව ගේන්නම වෙනම වාහනයක් කතා කරගෙන පස්සේ කාලෙක ගියා.

      Delete
  8. සුන්දර අතීත මතකයන්...මේ ආවර්ජනයන් විටක සුන්දරයි...තවත් වෙලාවකට දුක්බරයි...

    රසවත් සටහනක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්, ස්තුතියි..පොකුරු පිටින් වැහි තිබ්බා එහේ අවුරුද්දේ වැඩි කාලයක්.

      Delete
  9. මට ඔයාගේ සටහන දැනෙන්නේ මගේ දුව අනාගතයේ දවසක ලියනු අැති සටහනක් සහ මගේ ළමා වියේ අැතැම් අත්දැකීම් සහිත සටහනක් යා කරන පාලමක් වගේ. අතීතයේ අපි අත්විඳි පරිසරය සමග බැඳුණු සුන්දරත්වය වගේම දුෂ්කරත්වයත්, අපට තිබූ නිදහසත් තුළින් අප ඉගෙනගත් නිහඬ පාඩම් කෙතරම් වටිනවද? සාමූහිකත්වය, දරාගැනීම, අභියෝග භාරගැනීම ... වගේ පාඩම්වලට මුල් වුණු ළමාවියේ දඟ වැඩ ජීවිතේ පසුකාලීනව කෙතරම් වටිනවද? අප විඳි අත්දැකීම්වල අංශු මාත්‍රයක්වත් මගේ දුවගේ සහ පුතාගේ පරම්පරාවට කවදාවත් අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒ ජීවිතේ හිස්තැන ගැන දැනෙන්නේ මාර දුකක්. ''පිනිබර යාමේ සැවුලන් හඬලනවා..'', ''සඳ මඬලේ සිට තරු මඬලේ සිට දිවැස් හෙළන පුතුණේ..'' වගේ උදා ගීත හඬ සමග අවදි වුණු ''උදෑසනම පොඩි අපි දිව යනවා..'' වගේ ගීත සමග පාසල් ගිය අවසාන පරම්පරාව අපි. ඒ මතකය අවදිකළාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත් මගේ ලිපිය කියෙව්ව ගොඩක් විදේශ වල ඉන්න අයත් ලංකාවෙ ඉන්න අයත් ඔබ කියනවා හා සමාන අදහස් මාත් එක්ක කිව්වා. ඒ අතීතය අපෙ දරුවන්ට විඳින්න නැති එක ලොකු අඩුවක් තමයි. ඒ නිසාම මට පුලුවන් හැමවෙලේම මම මං අවට තියන පරිසරයේ පුතාට මේ වගේ අත්දැකිම් නිර්මාණය කරල දෙනවා.. car එකෙ යද්දි දාන්න පරණ සිංහල සින්දු youtube එකින් හොයලා cd වලට අරන් තියනවා. ලඟපාත තියන බැවුම් පරිසරයක් දැක්කොත් මං එයාවත් අරන් ගිහින් ඔනේ තරමක් නිදහසේ ඉන්න දෙනවා..කුරුල්ලෝ පස්සේ දුවන්න දෙනවා, පාලනයක් ඇතුව වතුර එක්කත් සෙල්ලන් කරන්න දෙනව එහෙම තැන් වල. උදේට පෙර පාසල් එක්ක යද්දි තණකොල ගොන්නේ ඔහේ වැවිලා තියන ඩැන්ඩිලන් මල් කඩල පිබින්න.. කපන්න අමතක උනු දණක් උස තණකොල වල ඇවිදින්න වෙලාව තියලා තමා මං එයාව එක්කන් යන්නේ, ගේ ලඟ තියන Flower Farm එකෙ සමනල්ලු, මී මැස්සො පස්සෙ දුවන්න, මල් පැණි බොන හැටි බලන්න මං එයාව එක්කන් යන්න වෙලාව හදා ගන්නව.. නිදා ගන්න ගිහාම බ්ලැන්කට් වලින් කුඩාරම් වගෙ හදල ඇතුලට වෙලා පොත් කියවන්න රහස් කියන්න .. සීලිමට වැටෙන්න තරු රට දාලා සද්ද නැතුව බලාගෙන ඉන්න..

      තාම මට අවස්ථාවක් ආවේ නැ කඩදාසි බොට්ටු හදලා යවන්න එයා එක්ක, ගොඩක් වෙලාවට මං කලින් ලැස්ති කර ගත් විදිහකට ගෙදර හදලා තියනව එයාට අභියෝගයක් වෙන දේවල් එක්ක. එයාට මං උදව් කරන්නේ නැ. මඟ පෙන්වනවා එයාම විසඳ ගෙන ඉදිරියට යන්න. මට අමාරුම දේ උනේ සම වයසේ දරුවොත් එක්ක ගැවසෙන ඉඩ වැඩි කරගන්නේ කොහොමද කියන එක, ලංකාවේ වගේ එකතු වීමක් දකින්න අමාරු නිසා.

      ඔබටත් ස්තුතියි මතකය බෙදා ගන්න එකතු උනාට..

      Delete
  10. හැඟීම් බරව ලියල තියනවා. කන්දක් පාමුල, වෙල් යායවල් පෙනින් පෙනී ගංගා ගලන මිටියාවත් අතර ගම වල ජිවත් වෙලා තියනවා නම් එක අක්වදවත් අමතක වෙන්නේ නැහැ. කොළඹට ආපු ගමයට උනෙත් ඒකමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත්.. උදේ 5.55 ට කෝච්චියෙ පැයකට ආසන්න ගමන අතරෙ දැක්ක කොලම කොල පාට පරිසරය.. ගලාගෙන යන එක එක විදිහෙ දිය පාරවල් , වෙල් යායවල් අමතක වෙන්නෙ නැ. අපි ආසාවෙන් කරපු වැඩක් තියනවා කෝච්චියෙ යනකොට. පොතක හරි පත්තර පිටුවක් හරි වටේට ඉරල හදා ගත්ත දිගම දිග සරුංගල් කෝච්චියෙ කවුළුවෙන් එළියට දලා හුළගත් එක්ක පොර බඳින හැටි බලන එක. තව අපි කට්ටියම එකතු වෙල කල සෙල්ලමක් තිබ්බා "හයි ඩැශ්" කියල.. සත 25 වගෙ පොඩි කාසියක් ඇඟිලි අතරෙ හිර කරගෙන එක හොයන්න කරන සෙල්ලමක්. කාසිය නොපෙනෙන්න අත් වලින් එක එක රටා මවන්න ඕන අනිත් පිල කියම විදිහට..මම 6 - 9 වසර වෙනකන් ඉස්කෝලෙ ගියේ මේ විදිහට කෝච්චියේ.

      Delete
  11. උපන්දිනේ කියපු හැටි... තනිකරම ප්‍රෙහේලිකාවක්නෙ. ආත්තම්මෙක් කියල අපි දැනගනී කියල නේද චතූ...ආ?
    ඔබ ලියන කියන ඒවයින් දැනෙන්නෙ ඔබ ඉන්නෙ දුර රටක. ඒ නිසාම තවත් මේ හැගීම් තදබල විදියට දැනෙනවත් ඇති. Home sick

    ReplyDelete
    Replies
    1. හි හී..  උපන් දිනේට තියෙන්නෙ තව හරිටම සති 3 කුයි දවස් 2 කයි.. ඔබ කිව්ව හරි .. මං ඉන්නේ මේ මතකයෙන් ගොඩක් ඇත..සමහර වලාවට මෙහෙත් ඒ හා සමාන තැන් දැක්කම මගේ හිත යා වෙනවා මේ මතක එක්ක....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...