Tuesday, June 7, 2016

අම්මි අම්මී අර අර දිගම දිග ට්‍රක් එකක්.....අම්මී අර බලන්නකෝ....

 
   එදත් වෙනදා වගේම ඉක්මනින් සතිඅන්තය උදාවෙනකන් බලන් හිටිය වැඩට යන්න කම්මැලි සිකුරාදා දිනයක්.. කිසිම වෙනසක් තිබුනේ නැ එක දෙයක් ඇරෙන්න. මගේ පියාට තිබුනා කලුපාට "Briefcase" එකක් ඔහුගේ ලියකියවිලි , මතක සටහන් තැන්පත් කරල තියෙන අපිට අල්ලනවත් දෙන්නෙ නැති. ( හොරෙන් ඇරල බලලා තියනව පොඩ්ඩ පොඩ්ඩ ) එකේ තියන දේවල් සාමාන්‍යයෙන් ඔහු අපිත් එක්ක කියන්නේ නැහැ. ඒත් මේ කියන සිකුරාදාට  එළිය වුනු  කලින් දවසේ රැ එතෙක් කල් ගෙනාපු විදිහේ යම් වෙනසක් වුනා. ඔහු ඒ එකිනෙක අපිට පෙන්වා තිබුනා එක විටත්, වෙන  වෙනමත්. අපි පුංචි කාලෙ මුලින්ම ඉරි ඇදපු කොල, ඉපදුනාම විස්තර ලියන්න හම්බුනු පොත්, බැංකු සටහන් වගේ දේවල් තමයි ඒකේ තිබුනේ. 



ඔහු එතෙක් කල් මුදල් හදල් පිළිබද වැඩිපුර සාකච්ඡා කලේ මව සමඟ හෝ මා සමඟ. නමුත් මේ දවසේ ඔහු ඒ සඳහා තෝරගෙන තිබ්බේ එවකට විශ්විද්‍යාල පළමු වසරේ ශිෂ්‍යයෙකු වන මගේ සහෝදරයවයි. නින්දට පෙර ඔහු මගේ මවට පවසා තිබුනා කසාද සහතිකය ඉදිරිපත් කර  ඕනම මොහොතක ඔහු නමින් තැන්පත් කල ඇති සියල්ල ඇයට පවරාගත හැකි බව ඔහු ජීවිතයෙන් සමුගත්තොත්....

මොකක්දෝ සිහියට නඟාගන්න අපහසු සිදුවීමකින් මා පෙර දින හවස් කාලයේ හැඬුබව ඇරෙන්න එදා උදැසන මට වෙනදා වගේමයි. රැකියාවට යන්න පිටත්වෙන මොහොතේ වෙනදට නම් ඒ වෙලාවට ඇහැරලා ඉන්න පියා මාව පාර ලඟට ඇරලවන එක සිරිතක් උනත් එදා මං ලැස්ති වෙලා ඉවර වෙනතුරුත් ඔහු නිදාගෙනයි හිටියේ. මං කාමරයේ දොර රෙද්ද අතරින් බලලා සද්ද නැතුව ගියේ හිතේ වැඩි කැමත්තකින් නෙමේ. බස් එකේ තෙරපිලා යනවට වඩා බොහෝ දවස්වලට වගේ බස් එකක් ගන්න ලේසි වෙන්න කියලා ඔහු මාව වාහනයේ නංවගෙන හන්දියට ගිහින් සෙනඟ පිරුනු බස් දකිනකොට "යන් ගිහින් බස්සනම්" කියල උදේට හරියට කාලවත් නැතුව මං වෙනුවෙන්ම අර එපා කරපු Traffic අස්සෙන් ගිහින් Office එකේ දොරකඩින්ම මාව අදත් බස්සන්න පුලුවන් ද කියල මගේ හිතේ නැඟුනු පැනයට එහෙම්මම හිත ඇතුලෙම නැවතිමේ තිත තිබ්බේ හැමදාම ඒ දේ කරන්න බැනේ. මමත් පුරුදු වෙන්න ඕනේ  බස් එකේ තනියම යන්න , කට්ට කන්න. එහෙම හිතලා පණ්ඩිතය වගේ බස් දෙකක Office එකට ගිහින් වැඩ කලෙත් සාමාන්‍ය සිකුරාදාවක දැනෙන සැහැල්ලුව එක්කමයි. 


පැය 8ක සේවාමුරය අහවර කරල රවුමට තිබ්බ පඬිපෙලින් මම බැහලා පහළට ආවේ හීතලට මුහුණට වැදුනු මුහුදු හුළගත් එක්කම හැමදාමත් වගේ විනාඩි 5ක් හරි ඇතින් පේන නොනවතින රළ නඟින මහ මුහුද දිහා ආරුක්කු හැඩේට තිබ්බ කවුළුවෙන් බලන් ඉඳලයි. පහලට බැස්ස ගමන් මට හිතුනේ මගේ පියාට දුරකථන ඇමතුමක් ගන්න. මාව එක්කන් යන්න එන්න පුලුවන් ද අහන්න ගොඩක් දවස් වලට වෙනව වගේ යන ගමන් මං කියන ඕනම තැනකින්  ඕනම දෙයක් අරන්දෙන නිසා.  ඒ වෙනකොට 24 වෙනිවිය ආසන්නයේ හිටිය මම පොඩි එකෙක් වගේ හැමදේටම තාත්තට කතා කරන්න ඕන නැ කියලා හිතුනු නිසා අතට ගත්ත දුරකථනය ආපහු අත්බැගයට දාල මම හිමින් හිමින් ගාලු පාරට ඇවිදගෙන ආවේ බස් එකක් ගන්න, ගෙදර යන්න. 

ඔය විදිහට වෙනදා වගේම මාත් ගෙදර ආවා, වෙනදා වගේම අම්ම හදල දෙන කිරිකෝපි එක  ඇදුම් මාරු කරනත් කලින් බිව්වෙ ඊට පස්සේ තමයි බස් එකේ තෙරපිලා ආව නිසා හිතේ ඇතිවුනු නොසන්සුන්කම අඩුවෙන්නේ කියලා අත්දැකිමෙන් දන්න නිසා. ඔහොම පුරුදු විදිහටම ඒ සිකුරදාවෙත් අවසානය ලඟාවෙන බව හඟවමින් හතරවටින් අඳුර වැටීගෙන එද්දි හිතට දැනුනෙ හෙට නම් උදෙන් නැගිටින්න ඕනෙත් නැ, වැඩට යන්න ඕනෙත් නැ, බස් වල තෙරපෙන්න ඕනෙත් නැ, අහස පොළව ගැටලවන තරන් හිතන්න වෙන Training නැ, හොඳට එළිය වැටෙනකන් නිදාගන්න පුලුවන් කියන හිතට හරිම නිදහසක් සැනසිල්ලක් ගෙනදෙන හැඟිමක් . හැමදාම ඉතින් වැඩට යන කවුරුත් සිකුරාදාට ඔහොම හිතනවනේ, ඒ නිසා එකේ විශේෂයක් ඒවෙලේ දැනුනේ නැහැ. 

ටික ටික රැ උනා, අපි රැට කැම කැවට අම්මා තත්තා එන පෙරමඟ බලාගෙන ඉන්නවා මිසක්  කන පාටක් නැහැ. ඒ කොහොමත් අපේ අම්මගේ හැටි. අපේ ගෙදර ඉස්සරහින් වාහනය එද්දි තාත්තා හෝන් එක ගහන්නේ අපිට ඉඟියක් දෙන්න පිටිපස්සේ ගරාජ් එකේ විදුලිපහන් දල්වන්න කියලා. ඔන්න ඔය හෝන් හඬ ඇහෙනකන් තමයි අම්මා මඟබලාගෙන ඉන්නේ.  ඒත් 7 උනා, 8 උනා , 9 උනා හෝන් හඬ තාම නැහැ. රැ 9.30 විතර වෙනකොට අපේ ගෙදර දුරකථනය වැදෙන්නෙ ගත්තා, වෙනසක් නැනේ , වෙනදත්  එහෙම තමා.. අම්මා තමයි උත්තර දුන්නේ, අහලා තිබ්බේ අපේ වාහනයේ අංකය මොකක්ද කියලා, ඇමතුම දිලා තිබ්බේ අපේ ගෙදර තියන පාර අද්දරම ඉන්න අම්මගෙම මල්ලි, ඒ කියන්නෙ අපේ මාමා. ඔන්න ඒ පාර මෙතෙක් වෙලා අම්මගේ කන්කෙඳිරිය වැඩිය ගනන් ගන්නේ නැතුව හිටිය මට මොකක්දෝ හැඟිමක් හිතෙන්න ගත්තා, තාත්තගේ වාහනේ හෝන් හඬ පරක්කු ඇයි කියලා.. ඒත් ඉතින් මීට වඩා වාහනේ වැඩ වලට ගිහින් රැ වුනු දවස් තිබුනු නිසා ලොකුවට හිතුවේ නැති උනත් එහෙම වැඩි වෙලා ඉන්න ලැබුනෙ නම් නැහැ. 

"කාගෙදෝ වාහනයක් කන්ටේනරේක හැප්පිලා, ගන්න දෙයක් නැ කියල තමයි කියන්නේ" මේ වාක්‍ය මට මුලින්ම ඇහුනේ කාගෙන් ද කියලා මට මතක නැහැ, හැබැයි ගෙදර හිටිය ඇඳුම පිටින්ම මමත් මල්ලිත් ඇතුලු ලඟපාත හිටිය හැමකෙනෙක්ම පෙරහැර වගේ මහපාරට දුවන්න ගත්තා එක මොහොතක්වත් පමා වෙන්නේ නැතුව.
 
දිගට දිගේ අඩි තියන මල්ලිත් එක්ක හරි හරියට මාත් දුවල ගියාට ලංවෙද්දි මං දැක්කේ මිනිස් ඔලු ගොඩකින් වටවුනු මිනිස් වළල්ලක් විතරයි, වෙන කිසිම දෙයක් මට පෙනුනේ නැහැ. එත් මට දැනුන ඒ වෙන කවුරුවත් නෙමේ , අපිව කුරුළු පැටව් වගේ ලොකු මහත් කරන්න කුරුළු කුඩුවක සුවපහසුව හදන්න තමන්ගේ මුලු ජීවිතයම වෙහෙස නොබලා කැපවුනු මීට මාස කීපයකට පෙර රැකියාවෙන් විශ්‍රාම ගිය අපේ පියා.. අලුත්ම අලුත් කිරිපාටින් බැබලුන ,හදන්න පුලුවන් හැම අඩුපාඩුවක්ම පුලුවන් උපරිමයෙන් හදලා Paint කරලා "Final Touch" කරන්න අරන් ගිය වාහනය කුඩු පට්ටම් වෙලා.. ඒත් තාම Paint සුවඳ දැනෙනවා.. කන්ටේනර් රියදුරු පැන ගිහින්......

"කන්ටේනර් එකේ පැත්තක Light තිබිලා නැලු"
"Wrong Side ලු ආවේ"
"Wrong Side ඇවිත් අනිත් පැත්තට දාන්න ගියේ"

ඔන්න ඔය වගේ කතා එක පිට එක වටවෙලා හිටිය අය කතා වෙනවා මට හීනෙන් වගේ  ඇහුනේ එතන තවත් ඉඳලා තේරුමක් නැ කියලා අපිව ආපහු ගෙදර එක්ක යනවෙලේ, එත් මගේ හිතෙන් ඒ ඇහුනු වචන කවදාවත් ගිලිහිලා යන්නෙ නම් නැ..

ඊට අවුරුදු ගානකට පස්සේ අදත් සිකුරාදාවක්, මම රැට කැම කාලා අත හෝදන්න ආපු වෙලේ එතන තිබුනු කවුළුවෙන් දැක්කා ලස්සනට හැම පැත්තෙන්ම පුංචි පුංචි පාට පාට විදුලි පහන් පත්තු කරගෙන තොරණක් වගෙ දිලිහි දිලිහි යන ලොකුම ලොකු දිගම දිග කන්ටේනර් එකක් අපේ ගෙදර ඉස්සරහින් දිවෙන "Highway" එකේ යනවා. ඒක දැක්ක මට ආයේම අර අවුරුදු ගානකට කලින් හිනෙන් වගෙ ඇහුනු වදන් ආපහු මතක් උනා.

           "අනේ මෙහෙම අර කන්ටේනර් එකත් එළිය වෙලා තිබ්බා නම්"


සමහර මතක තියනවා කොයිතරම් මතකයෙන් ඉවත් කරන්න හැදුවත් එහෙම කරන්න බැහැ. මේ සිදුවීමත් එක්ක එතෙක් කල් මහපොළවට අඩිගානක් උඩ තුබුනු ආරක්ෂිත සැපපහසු උණුසුම් කුරුළු කූඩුවෙන් අපි හැමෝටම එකපාරට බිමට වැටෙන්න වුනේ හීනෙන්වත් හිතපු නැති තරම් කුණාටුවකට පස්සේ. එතනින් එහාට සිදුවුනු සිදුවිම්  මගේ මුලු ජීවිතයම වෙනස් කලා..  මේ සිද්ධිය උනු සිකුරාදාට කලින් දවසේ රැ ඇඬුවෙ ඇයි කියලා මට මතක නැ, හැබැයි මම ඊට පස්සේ ඒ වගේ  ඇඬුවෙ ඊට අවුරුදු 4කට පස්සේ ජනවාරි මාසේ මැද දවසක.. එතකන් එදා දැනුනු වේදනාවට කඳුලු හරහා මං එළියට එන්න දුන්නේ නැ, අම්මයි මල්ලියි දකින හැම තප්පරයකම ආපහු ඇස් ඇතුලේම ඒ කඳුලු හිරකර ගත්තා මිසක්...

ඒත් එදා දැනුනු හිස්කම කිසිම දවසක මගේ හිතේ පිරවෙන්නේ නැති හිඩැසක් ඉතුරු කරලා කාලය ගෙවිලා යනවා තප්පරෙන් තප්පරේ , විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, මාසෙන් මාසේ, අවුරුද්දෙන් අවුරුද්ද අත්දැකිම් එකතු කරමින්, මගේ පියාගේ ගැඹුරු කටහඬ , රත් පැහැ දෙනෙත් , නිතරම හිනාවෙන් හැඩවෙලා තිබුනු මුහුණ මගේ මනසේ සිත්තම් කරමින් ඔහුගේ ශක්තිමත් අත්වල පහස මගේ උරහිස් වලට තවමත් තදින් දැනෙමින්.........


ප.ලි : මේ වගේ එළිය උනු කන්ටේනර් පාරේ යන එක හරිම සුලබයි, ඒ විසිතුරු දකින පුංචි පුතාගේ කටින් පිටවෙන වචන ටිකත් හරී හුරතල්.. එත්........






19 comments:

  1. අදයි හරියට ම දැනගත්තේ එදා දිනයේදී සිදුවුනේ මොකක්ද කියල...

    ReplyDelete
    Replies
    1. ඉසුරු, මට හිතාගන්න පුලුවන් ඔයාගේ ඇස් දෙක වැඩියෙන්ම දැක්ක වචනය මේ මුලු ලියවිල්ලෙන්ම....මේ මගේ අත්දැකීම එදා දවසේ,මේක සම්පූර්ණ වෙන්න නම් එදා දවසේ ඔහුත් එක්ක කාලය ගත කල හැමදෙනාම තමන්ගේ හදවත් විවර කල යුතුයි ඉසුරු.

      Delete
  2. දියණියකගෙ ලොකුම බිය ඔබට අත්දැකීමක් වෙලා. ඔහු ඔබලා වෙනුවෙන් කල කැපකිරීම් නිසා අද කරද දොම්නස් නැති තැනක ඇති. ඊට වඩා අයමක් කියන්න හිතා ගන්න බැහැ.

    ReplyDelete
  3. මේක සංවේදී ලිපියක්, පියෙක්ගේ මතකය, ආදරය ලෙන්ගතු බව පුතෙක්ට වඩා දැනෙන්නේ දුවෙක්ට කියලා මම අහලා තියෙනව..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී..  දුවෙක්ට වැඩියෙන් ඒ ආදරේ දැනෙනවා. මං තාත්තා ගැන කතා කරන එක පුලුවන් තරන් මඟ ඇරලා හිටියා මේ සිදුවීමෙන් පස්සෙ..

      Delete
  4. දුක හිතෙන කතාවක් නිම්නා..
    හුරතල් කතාවක් අස්සෙන් වුනත් දුක හිතෙන මතකයක් නැගෙද්දි හිතට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල මං මෙ හිතල බැලුවෙ...

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඒ හුරතල් කටහඬට පිටුපාන්න මට බැහැ.. ඒ නිසයි මං මගේ මතකය මේ විදිහට ලියලා නිදහස් කරගන්නේ.. පුතත් එක්කම වාහනය එළවද්දිත් පුතා මේ විදිහටම කියනවා.. ඒ වෙලාවට මට එක පාරට ඒ Accident එක මැවිල පේනවා..

      Delete
  5. කොහොම උත්තරයක් ලියන්නද කියලා හිතා ගන්නවත් පුලුවන් කමක් නෑ...ඔයාගෙ පියා වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් දේ තමා එයා බලාපොරොත්තු උනාටත් වඩා සාර්ථක ජීවිතයකට පාර කපාගෙන යන එක.....
    ඒක ඔයාට කරන්න පුලුවන් බව ඔයා ලියන පොස්ට් වලින් මට දෑනෙනවා.......

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ.. මං එදා හිතුවෙත් එකයි.. තාත්තට මාව යවන්න ඕනේ උනු තැනට යනකන් මං අඬන්නෙ නැ කියලා. ඒත් අක්කෙ ජිවිතේ කියන්නේ අපි නොහිතන දේවල් අපේ ලඟට ගෙනත් දෙන පුදුමාකාර දෙයක්. තාත්තට හැමදාම ඕනෙ උනෙ කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව කාටවත් කරදර නොකර අපි ජීවත් වෙනවා බලන්න. වෙන කිසි දෙයක් තාත්තා අපෙන් බලපොරොත්තු උනේ නැහැ.

      Delete
  6. මොනව කියන්නද මන්දා...හිත හිරි වැටුන වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම් වත්සලා..මේ වගේ සිදුවීමකදි හිත හිරි නොවැටෙන අය ගැන අත්දැකිමකුත් මට තියනවා..

      මේ සිදුවීමත් එක්ක මමත් මල්ලිත් කිසිම විරුද්ධත්වයක් නොපෑවත් අම්මට හැමදේම හරවන්න,  බැංකු වල  තැන්පතු නිරවුල් කර ගැනිමෙදී අපිට සිදු උනා බූදල් නඩු කියන්න. එතනදි නීතිවේදිනියෙකුගෙ උදව් අපිට ලැබුනා දන්න කියන කෙනෙක් මාර්ගයෙන්... නොකඩවා දිගින් දිගට කල් යන නඩු වාර අතරෙ දිනක් මගෙ මවට එම උසාවියේම ඊට ඉහළ තලයක සේවය කරන  තවත් නීතිවේදිනියක් හමුවෙලා තිබුනා අහම්බෙන් හදුනන තවත් කෙනෙක් මාර්ගයෙන්.  සිද්ධිය දැන ගත් ඇය ඊට පසු සතියෙම ඉතුරු   නඩුවාර 5-6ක් මඟ හැර තීන්දුව ප්‍රකාශ කරන්න ඉඩ සලසා දුන් බව දැන ගත් මුලින්  නඩුව බාර ගත් කෙනාට සැහෙන්න තරහ ගිහින් තිබුනා. ඇය අපෙ ගෙදර දිගින් දිගට දුරකතන ඇමතුම් දෙමින් ඇයගෙ ඉතුරු ගාස්තුව ඉල්ලා හිටියා කිසිම අනුකම්පාවක් නැතුව... බැරිම තැන අම්මයි මමයි ඇය ඉල්ලු මුදල දෙන්න ගිය දවසෙ කල දුටු කල වල ඉහ ගන්න ඇයගේ කතා  මං  අහගෙන හිටියෙ  හිතේ ආවේගය පාලනය කර ගන්න පොඩි කාලෙ ඉඳන් අපිව හදල තිබ්බ  නිසයි.


      සියලුම නිතිවේදිවරුනි, මේ වගේ සිදුවිම් වලදි ඔබේ ගාස්තුව විදිහට ඔබට ලැබෙන්නේ මුදල්ම නොව.. දරාගන්න බැරි වේදනාවක් එක්ක තමන්ගේ මුලු ජීවිතයටම ආපහු මුදල් වලින් පුරවන්න බැරි  අඩුවක් එක්ක තනි උනු හිත් වල ශක්තියෙන් උපයපු හෝ ඒ මියගිය කෙනා උපයපු, කඳුලු එක්ක වෙන් කල නොහැකි  ලෙස තෙත් වූ වියළි මුදල්.. 

      Delete
  7. සංවේදී සටහනක්...මගේ තාත්තා අපට අහිමි වෙද්දී මටත් අවුරුදු 24 යි...මේ සටහන බොහෝ සේ හිතට දැනුනා...කොයි තරම් අමතක කරන්නට හැදුවත් වසර 14ක් ගෙවිලත් අදටත් මට තාත්තාව මතක් නොවෙන දවසක් නැහැ...ඒක කවදාවත් නොපිරෙවන හිඩැසක්...ජිවිතේ කොයි යම් හෝ ජයග්‍රහණයක් ලැබෙන හැම මොහොතකම, ඒක කියාගන්න තාත්තා කෙනෙක් ළඟ නැති වේදනාව නිසා අද මට මොනවා ලැබුනත් ලොකු සතුටක් නොදැනෙන තත්වෙකට පත් වෙලා කියල හිතෙනවා..අපි වැඩිහිටියන් විදියට වයසින් වැඩෙද්දී දෙමාපියන්ගේ අවශ්‍යතාවය වැඩියෙන් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි.. ඔබ කියනවා වගෙ මටත් ඒක දැනෙන්නේ නැති තැන් තියනවා..මොන දේ ලැබුනත් ආපහු එකම එක සැරයක් තාත්තගේ කටහඬ අහන්න වෙන්නේ නැනේ කියලා හිතෙනකොට..

      මට තාත්තව වැඩියෙන් මතක් වෙන්නෙ හිතට දුකක් දැනුනම.. මොකද මගෙ හොඳම යාලුව තාත්තා.. අපි අතරේ රහස් තිබ්බෙ නැ..

      Delete
  8. නිර්මාණි, කියවලත් ලියන්න අදහසක් හිතා ගන්න බැරුවද ඉන්නේ, මං ඉක්මනින් වෙන පෝස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. චතු.. මං අදයි කියෙව්වේ.. බිසී උනා..

      හඳවත ගොඩක් රිදුනා චතූ.. හැම සිකුරාදාම ඔයාට මතක් වෙනවා ඇති මේවගේ.. ඒ වගේම කන්ටේනර් දකින හැම වෙලාවක්මත්... මටත් ඒ වගේ දවස් සිද්ධි තියනවා චතූ...

      තාත්තා කියන්නේ නුග ගහක් වගේ කෙනෙක් චතූ.. මට දැනෙන්නේ එහෙමයි... ඒ සෙවණ, රැකවරණය අහිමි උනාම ඒක ගොඩාක් හදවතට දැනෙනවා.. ඒ හිදැස අම්මා පුරවන්න ඇති.... ඒත් ඒ හිස් බව ජීවිතේ මොහොතක දැනෙනවා...

      Delete
    2. අනේ ඒකට කමක් නැ නිර්මාණි, මං එහෙම දැම්මේ කීපදෙනෙක් මට එහෙම කියලා එවලා තිබුනු නිසයි.. ඔයා කිව්ව වගේ අම්මා ඊට පස්සේ ඒ අඩුව පුරවන්න පුලුවන් හැමදේම කලා අම්මට පුලුවන් තරමින්...

      Delete
  9. ඔයාගෙ, මම කියවපු පළවෙනි එක ම තාත්තගෙ මරණය වෙච්ච එක දෛවෝපගතයි කියල හිතෙනව. මගෙ තාත්ත නැති උනේ හාට් ඇටෑක් එකකිං, ම‍ගෙ දෑතෙම... එයා නැති අඩුව තවම මගෙ පපුවට දැනෙනව. මගෙ චූටි පුතාගෙ මූණ දකින හැම වෙල්ම මට හිතෙනව, තාත්ත හිටියනං මේ පුතාට කොච්චර ආදරේ වෙයිද කියල. මගෙ ජීවිතේ වැදගත් ජයග්‍රහණ ගොඩක් දකින්න තාත්තට බැරි උනා.

    ඔයා මේ ලියල තියෙන සංයමය සහ හැඟීම්බර ශෛලිය ගොඩක්ම අගය කරනව.

    (ඔයාගෙ නම කෙටි කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න, පුළුවන්නං...)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඩ්‍රැකී, දෙමව්පියො අපිව දාල කවදා හරි යනව උනත් මේ වගෙ අකාලයෙ හදිස්සියෙ හොරු අරන් ගියා වගෙ ගිහාම ඒ අඩුව වැඩියෙන් දැනෙනවා ඇති.. අපි තාත්තව ඊට පස්සෙ ආයෙ දැක්කෙ මතක විදිහට දවස් දෙකකට පස්සෙ..

      පහත නම් වලින් එකක් තෝර ගන්න ඩ්‍රැකී. නිම්නි, නිම්නා, නිතවිහිද.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...