Saturday, June 4, 2016

දික්කසාදය, වත්කම් සහ දරුවන්

         මම දැනට ජිවත් වන රටේ,ජීවත් වන ප්‍රාන්තයේ ඉහත සඳහන් මාතෘකා යටතේ නීතිය පිලිබඳ යම්තාක් දුරට විස්තරාත්මකව සොයා බලන්න පහුගිය කාලයේ බොහොම විරල අවස්ථාවක් මට උදා උනා. එහිදි දැන කියා ගත් කරුණු මේ  විදිහට ලියන්න මට මගේ හිත දහස්වරක් බල කලේ මේ විදිහෙ නීති මාලාවක් එක්ක මේ රට තුල රජය ඇතුලු වගකිවයුත්තන් දැනට සපයා ඇති පහසුකම් වලින් 1% හරි ලංකාවෙත් ඇති කරගන්න (හීනයක් පමණයි ) පුලුවන් උනා නම් කියන සිතුවිල්ල මගෙ හිතෙන් බැහර කරගන්න නොහැකි වු නිසයි. (තවමත් ආපු මුල් කාලේ වගේම ලංකාව එක්ක සසඳාබැලිම නැවතිල නැ)  හැබැයි ඕනම දෙයක කලු , සුදු පැති දෙකක් ,ඒ දෙකම මිශ්‍ර උනු අළු පාටකුත් තියෙන බව හොඳින් හිතේ තියාගෙනයි මම මේ ලිපිය ලියන්නෙ. 


මුලින්ම මම දැක්ක ලොකුම සහ වැදගත්ම කරුණ නම් මොනයම් හෝ හේතුවක් පදනම් කරගෙන නුල් බෝල වගෙ පැටලිලා තියන "කසාදයක්" (නමට) ගත කරන යුවලක් "දික්කසාද" වෙන්න තිරණය කලොත් ඒ දෙදෙනා අතර තියන පටලැවිල්ල තවත් පටලවන්නෙ නැති නීතිමය පැහැදිලිකම. ලංකාවේ අහල දැකල තියන විදිහට විවාහයක් නම් එක් දිනක් ඇතුලත බොහෝ පාර්ශව වල උදව් ඇතුව සාමකාමිව කර ගන්න පුලුවන් උනත් "දික්කසාදය" කියන්නෙ කොහෙත්ම විඳින්න අකමැති අවස්ථාවන්ට දෙපාර්ශවයටම මුහුණ දෙන්න සිදුවෙන ඒ නිසාම "ලැජ්ජාව",  " බය " කියන කරුණු දෙක නිසාම බැඳ ගත්ත බෙරේ ගහන අය ඕන තරන්.

මෙහිදි මම මාතෘකාවෙ සඳහන් කරල තියන කරුණු තුන ලංකාවේ අපිට නම්  හුරු පුරුදු එකිනෙකට බැඳුනු වෙන් කල නොහැකි කරුණු 3 ක් විදිහට  කසාදයකදි. නමුත් මේ රටේ මේ කරුණු 3 වෙන වෙනම තමයි නීතිය ඉදිරියේ සලකන්නෙ, ඒ කියන්නෙ "කසාදයකින්" , "දික්කසාද" වෙද්දි , දික්කසාදය , දරුවන් සහ එකිනෙකාට වගේම දෙදෙනාටම අයත් වත්කම් පිලිබඳව වෙන වෙනම එකිනෙකට ස්වායත්ත එකිනෙකට කිසිඳු බලපැමක් නොවෙන විදිහට බොහොම පැහැදිලි නීති පද්ධති 3ක් යටතෙ තමයි  "දික්කසාදයක් " සිදුවෙන්නෙ.

මේ ක්‍රියාමාර්ගයෙදි දෙපාර්ශවයටම මුහුණ දෙන්න වෙන අපහසුතා අවම හරියට බැලුවොත් ශුන්‍ය වෙන විදිහට සැකසිලා තියන විදිහ දැක්ක මට මතක් උනේ කාලෙකට ඉහතදි ලංකාවේ උසාවියක ඇහුනු හිත කලකිරවන සිදුවිම් වලින් ගහන "දික්කසාද" නඩුවක්. ඒ වගේම කිසිම කෙනෙකුගෙ අඩුම ගානෙ නිතිවේදියකුගෙවත් සහයක් හෝ මැදිහත් වීමක් නොමැතිව දෙපාර්ශවයෙන් කාට උනත් තනියම අවසන් අදියර දක්වාම ඉතාම පැහැදිලිව කරන්න අවශය වන දේවල් සඳහන් වෙබ් අඩවි, නොමිලේ සපයන නීති උපදෙස්  ස්ථාන සෑම නගරයකම ස්ථාපිත කරන්න වගකිව යුත්තන් අමතක කරල නැහැ. 

අපි හිතමු "කසාදයක්" ගෙවන දෙදෙනාටම හෝ එක් අයෙකුට අවශ්‍ය වෙනවා කියල වෙන් වෙන්න, එතනදි මුලින්ම අවුරුද්දක කාලයක් දෙදෙනාටම ලබා දෙනවා නැවත හිතන්න, අඩු පාඩු හදා ගන්න, අවශ්‍ය තැන් වල දි උපදේශන සේවා පවා ලබා දෙනවා නොමිලේ පැහැදිලි මනසක් හදාගෙන වැරදි වැටහිම් ඇත්නම් දුරුකර ගන්න. මේ නිසාම බොහෝ පිරිස් අවුරුද්ද අවසාන වෙන්නත් කලින්ම "දික්කසාද" වෙන තිරණය අත්හරින අවස්ථා උදා වෙන ඉඩකඩ වැඩි වෙනවා.  

මේ අවුරුද්දක කාලයෙන් පසුව දෙපාර්ශවයෙන් ඕනම පාර්ශවයකට ඉහත කිසිඳු ක්‍රියාමාර්ගයකින් නැවත යථාතත්වයට එන්න නොහැකි උනොත් "කසාදය" ඉදිරියට ගෙන යන්න , තනිව හෝ දෙදෙනාම එකතු වි හෝ  " දික්කසාද අයදුම් පතක්" යොමු කරන්න පුලුවන් තමන්ගෙ නගරයෙ තියන ප්‍රාදේශිය උසාවියක් හරහා.. මේ උසාවි ගැන වෙනම ලියන්න ඕන, හරියට තරු පහේ හොටලේකට ගියා වගේ... මේ ක්‍රියාමාර්ගය ගන්නත් කිසිම විදිහකින් නීතිවේදියෙකුගෙ මැදිහත් විමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. වෙබ් අඩවියේ තියන අයදුම්පත බාගත කරගෙන තමන්ගේ සහ අනිත් පාර්ශවයේ තමන් දන්නා  තොරතුරු ඇතුලත් කර අවශ්‍ය කරන ලියවිලි සමඟ උසාවියට බාරදිම පමණයි කල යුත්තේ. තමන් යන්න ඔනෙත් නැ,  "Online" කරන්නත් පහසුකම් සලසල තියනව.     (  මේ වගේම "Citizenship" අයදුම් කරද්දිත් හැමදෙයක්ම ගෙදර ඉදන් කරන්න පුලුවන්, ඒ ගැනත් ලියන්නම් පසුව වෙනත් ලිපියකින්) 

මේ අයදුම්පතත් බොහොම විශේෂයි. මෙහි මම දැක්කේ නැහැ කිසිම තැනක දික්කාසද විමට "හේතු" විමසන තැනක් පුරවන්න තියනව. තම තමන්ගෙ ජිවදත්ත සහ  දැනට ලියාපදින්චි ලිපිනය , දරුවන් පිලිබඳ විස්තර ,අඩු ආදායම්ලාභිද වැනි විස්තර  වගෙම එක ගෙදර වුනත් වෙන වෙනම ජිවත්විම ආරම්භ කල දිනය පමණයි මෙහිදි විමසන්නේ, ඒකින් පැහැදිලි වෙන්නේ නීතිය රජයන උසාවියක ප්‍රධාන නීතිවේදියාටවත් මේ දෙදෙනාගේ පෞද්ගලික ජිවිතය කිසිම විදිහකින් නිරාවරණය නොවෙන බව. ඕපදුප වලින් ඔලු පුරවා ගැනිමක් මෙහිදි කොහෙත්ම සිදුවෙන්න නැහැ. 

අයදුම්පත බාරදුන් දිනම අවුරුදු 18 ට අඩු දරුවන් සිටිනවා නම් පමණක් උසාවි දිනයක් ලබා දෙනවා, දරුවන් නැත්නම් උසාවියට අඩිය තියනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නීතිය අනුව එකිනෙකා සමඟ අඹුසැමි සබඳතාව අවුරුද්දක් සහ එක් දිනයක් පැවතිල නැත්නම් ඒ "කසාදය" තව දුරටත් වලංගු වෙන්න නැහැ. තනිව අයදුම් කරන විටකදි තමන්ගේ අකමැත්තක් නැත්නම් "දික්කසාදයට", අනිත් පාර්ශවය දරුවන් සිටියත් උසාවියට ඒම අනිවාර්ය නැහැ. බලන්න කාලය ඉතුරු කර ගන්න, දෙලොවටම වැඩක් නැති දේවල් ඉවත් කරන්න මොනතරම් ඉඩ සලසලා තියන්වද කියලා මට හිතුනේ වරක් දෙවරක් නෙමේ.. 

 මෙතනදි මම තව දෙයක් දෙයක් දැක්කා.. අවුරුදු 18 ට වැඩි ඕන කෙනෙක් සලකන්නේ වැඩිහිටියන් විදිහටනේ. මේ හැම පියවරක්ම වැඩිහිටියෙක් විදිහට තමන්ගෙ ජිවිතේ තිරණ ගන්න තියන  ඒ ඒ පුද්ගලයා සතු ස්වාධීන අයිතිවාසිකම ,වගකීම ගොඩක් හොඳින් පේන විදිහට  හැඩ ගැහිල. මෙන්න මේ ස්වාධින ආකල්පමය වෙනස නිසාම බොහෝ දරුවන්ගෙ වැඩිමේ දුර්වලතා, මානසික ගැටලු, වෙනස්කම් ඇතුලු විවිධාකාරයෙ ගැටලු අඩුම වයසකදි හඳූනාගෙන නිවැරදි කරන්න කටයුතු වගකිවයුත්තන් අතින් සිදු වෙනව නොකඩවාම. අපේ රටේ නම් 18 නෙමේ ගොඩක් වෙලාවට 38 වෙලත් අපි නාමික වැඩිහිටියො දෙමාපියන්ගෙන් හරි  යැපෙන නිවැරදි තනි කෙලින් තිරණයක් ගන්න බැරි එක තැන පල්වෙන. .. 

උසාවි දිනයේ "කසාදය" වලංගු ද නැද්ද පමණයි විමසන්නේ, වලංගු නැතනම්   "දික්කාසදය" ලබා දෙනව විනාඩි දහයක් වැනි බොහොම පොඩි කාලයක් ඇතුලත. ඉහත එක් අවුරුදු වෙන්ව සිටිමේ නිතියට අමතරව කිසිඳු දෙයක් මෙහිදි විමසන්නේ හාරාවුසන්නේ නැහැ. එක් පාර්ශවයකට ඒ නීතිය සපුරා  තියේදිදිත් "දික්කසාදය" එපා කිව්වත් අනිත් පාර්ශවයට අවශ්‍යයි කියනව නම් "දික්කසාදය" ලැබෙනවා.. එතනදි වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙක් විදිහට තම තමන්ගේ වගකිම හරියාකාරව පවුල් ජිවිතය තුල ඉටු වීම(නොවීම)  සිදුවී නම් අනිත් පාර්ශවය "දික්කසාදය" ඉල්ලන්නෙ නැහැ කියන කාරණය ඉස්මතු කරල පෙන්වනවා. 

එතනින් අනතුරුව මාස 12 ක් ඇතුලත වත්කම් පිලිබඳ නීතිමය පියවර ගන්න වෙනම නීති පද්ධතියක් සකස් වෙලා තියනවා. වත්කම් බෙදිමෙදි රස්සාවක් නොකර දරුවන් බලාගෙන ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්න පාර්ශවයට (ගැහැනු/පිරිමී)  කිසිම අසාධාරණයක් වෙන්නෙ නැ, මොකද ඒ ශ්‍රමය සලකන්නෙත් අර වත්කම් ඉපයීම සඳහා වැයවීමක් විදිහටයි. තමන්ට යාන වාහන , ගෙවල් දොරවල්, ඇති තරන් මුදල් හදල් හොයා ගන්න පුලුවන් රැකියාවක නිදහසේ නිරතවිමේ පහසුකම් සලසලා අනිකුත් හැම වගකීමක්ම  ගත්ත පාර්ශවය අමතක කිරිම හරි සුලබයිනේ වෙන්වීමකදි, මේ නීතිය යටතේ එහෙම  වෙන්න  ඉඩක් නැහැ.. 

දරුවන් අවුරුදු 18 වනතෙක්  , විශේෂ අවස්ථාවල ඊට ඉහල වයස් සිමා වලදිත් දෙපාර්ශවයම සමාන වගකිම් දරනවා නීතිය ඉදිරියේ. දරුවන්  එක් පාර්ශවයකට පමණක් බෙදා වෙන් කිරිමක් මෙහිදි කෙරෙන්නෙ නැහැ දෙමාපියන් කියන චරිතය දෙන්න තරන් නුසුදුසු ක්‍රියාවල දෙපාර්ශවයෙන් කවුරුහරි නිරත වෙනවා නම් මිසක්. මෙහිදි දෙපාර්ශවය අතර තිබෙන විවිධාකාර ගැටලු  නිසා දරුවන්ට වෙන්න පුලුවන් හානිය අවම කරන්න ක්‍රියාමාර්ග රැසක් නොමිලයේම ලබා දෙනව ඕනම කෙනෙකුට. ඒ වගේම  දරුවන්ගේ වැඩි වගකීමක් ගන්න සිදුවෙන  කුමන හෝ පාර්ශවයකට රජයෙන් දිමනාවක් සහ වෙනත් ප්‍රතිලාබ  ගෙවන්නෙ කිසිම විදිහකින් වෙන්විම ආර්ථිකයට බලනොපාන්න..  

විවිධාකාරයේ වැඩමුලු මඟින් දරුවන් ඉදිරියේ තමන්ගෙ විවිධ මත ගැටුම් පාලනය කරගන්න හැටි, එකට එකතු වි එකිනෙකාට ගෞරව කරමින් දරුවන්ගෙ ඉතිරි අනාගත වැඩකටුතු බාධාවකින් තොරව කර ගැනිමට උපදෙස්, ඒවගෙම තමන්ගේ ගැටලුකාරි හැසිරිම් වලින් දරුවන්ට වෙන්න පුලුවන් හානි අවම කර ගන්න උපදේශන සේවා නොමිලයේම ලබා දෙන්න කටයුතු යොදලා තියෙන්නේ සමානව. 


දරුවන් සිටින දෙමාපියන් වෙන්විම නම් විවාධාත්මක දෙයක් උනත් ,ජිවිතය කියන්නේ මොනම ප්‍රශ්නයක් නිසාවත් දරන්න බැරි බර කරේ තියන් විඳවන්න ඕන දෙයක් නොවෙන  බවත් ,දරන්න බැරි බර පුලුවන් උපරිම අයුරින් සැහැල්ලු කර ජිවිතය විඳින්න හැම කෙනෙක්ටම තරාතිරම නොබලා, ආගම , ජාතිය නොබලා, රටේ පාලනත්‍රන්ත්‍රය විසිනුත්, නීතිය විසිනුත් කිසිඳු බලපැමකට යටත් නොවී ඉඩ සලසා දීම මම මෙහි දැක්ක සුවිශේෂම කාරණයයි.


ප. ලි. : මගේ පියාගේ හදිසි සමුගැනිමත් සමඟ මුහුණ දෙන්න සිදුවු සමහර නීතිමය  සිදුවිම් වලදි  මට මාව පාලනය කර ගන්න සිදුවුනේ  ලංකාවේ උසාවි වලත් දැකිය හැකි "The Lady Justice"  ප්‍රතිමාවේ ඇස් වසා තියෙන්නෙ මිනිස් වර්ගයාගේ  බව දැක්ක නිසයි.  හැබැයි සොබාදහම එසේ ඇස් වසා නොසිටින බව මම මගේ ඇස් දෙකෙන්ම දැක්කෙමි....


19 comments:

  1. අපේ රටේ නීති පද්ධතියත් අවධානය යොමු කරන්න ඕනෙ කරුණු රැසක් තියනවා.. අපේ අය මේ වගේ ඵලක් ඇති දේට යොමු වෙනවනම් කොච්චර හොඳද??

    දන්න අංකල් කෙනෙක් දික්කසාද නඩුවක් දැම්මා... ඒ නඩුව අවුරුදු 15 ක් ඇදුනා.. ඇපිල් කළාට පස්සේ ආයෙත් නඩුව ඇදෙනවා...

    ඔයාගෙ ලිපිය හරවත් ලිපියක් අපේ රටට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි. ඇත්තෙන්ම, ඒ විදිහට අපතේ ගිය අවුරුදු 15 පුරාවට ඒ අන්කල් ඇතුලු සියලු පාර්ශව වල ඵලදායිතාවය මැන බැලුවොත් මොන තරන් අපරාධයක් ද ? මේ වගේ දිගින් දිගට බිඳ වැටුනු මනසවල් එක්ක අපි කොහොමද දියුණු වෙන්නේ?

      Delete
    2. නිර්මාණි ඔයා මට ඕන කල තවත් වැදගත් කරුණක් ලියලා තියනවා... මේ හැම නඩු වාරෙකටම ගෙවන්න ඕන.. එතකොට මේ නීති පද්ධතිය හැදිලා තියෙන්නේ හරි ක්‍රියාත්මක වෙන්නේ හරි මනුස්සකම , සාධාරණය ගැන හිතලද එහෙමත් නැත්නම් තවත් එක බිස්නස් එකක් කියලා හිතලද ...

      Delete
  2. හුඟක් වටින අදහසක්....ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කොච්චර හොඳද?දික්කසාද,ඉඩං නඩු කියන්න එවුව ගැන කතා කරල වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වත්සලා...ඉඩං නඩු .. ඒ අනිත් එක..කොටි වලිගේ අල්ල ගත්තා වගේ..

      Delete
  3. හොඳ ලිපියක්. ලංකාවේ සිස්ටම්ස් හදද්දී ඒවාට සම්බන්ධ වන අයගේ වුවමනා එපා කම් වලට තැල ලැබෙනවා මිසක් පාරිභෝගිකයාගේ අදහසට තැන ලැබෙනවා අඩුයි. මීට ටික කාලයකට පෙර ඉඩම් පැවරීම පිලිබඳව පරිගණක ගත ක්‍රමයක් හඳුන්වා දීමට උත්සාහ කරන විට එයට නීතීඥයන් විරුද්ධ වුණා. ඔවුන්ට ඉඩම් පැවරීමේදී සහ ඉඩම් නඩුවලින් ලැබෙන ආදායම නොලැබී යාම ඉඩ තිබෙන නිසා.

    ලගකඳී ඉඳන් සිවිල් සමාජය බලවත් වීගෙන එන නිසා මේවගේ දේවලට සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉල්ලීමක් තිබිය යුතුයි. ඒ ගැන අපිව නියෝජනය කරන්න කවුරුවත් නැහැ. උදාහරනණයකට ජනතා විමුක්ති පෙරමුණ වුණත් කාගෙ හරි වැරදි හොය හොයා ඉන්නව මිසක් මේවගේ දේවල් වෙනස් කිරීමට මැදිහත්වෙනව නම් සමාජයට විශාල යහපතක් වෙනවා. ඔබ කියනවා වගේ 'රෝදය අළුතින් සොයා ගැනීම' අවශ්‍ය වන්නේ නැහැ. විදේශ රටවල තිබෙන හොඳම ක්‍රම සොයා හඳුන්වා දුන්නම හරි.

    ReplyDelete
    Replies
    1. ඉයන්.. සුළුතරයකගෙ පටු ඕනෑ එපා කම් සපුරන්න ගිහාම බහුතරයකගේ පොදු වැදගත්  අරමුණු  මඟ හැරෙන එක සාමාන්‍යයි..සමාජය ඇතුලෙ තියන ගොඩක් පැටලුම් වලින් දරුණුවට පිඩාවට පත් වෙන්නෙ ඒ සඳහා හඬක් නගන්න ධනය බලය හැකියාව දැනුවත්කම නැති සමාජ තල වල අය. අනිත් අය තමන් ගාව තියන මෙවලම් ටික කරකවලා තමනුත් බේරිල තමන්ගෙ වටේ ඉන්න අයත් බේර ගන්නවා. නමුත් අර පීඩාවට පත් වුනු බහුතරය මත තමයි රටේ ඉදිරි ගමන රැඳිල තියෙන්නෙත් පැහැදිලිව හිතල බැලුවාම මං හිතන්නේ..

      Delete
  4. කූඹි කකුල් අකුරු කළු පසුබිම කියවන්න හරිම අමාරුයි ළමයෝ.

    ReplyDelete
    Replies
    1. ඉන්න බලන්න හැලප කඩේ..පැහැදිලිව පේන්න වෙනසක් කරන්න බලන්නම්..කුරුමිනි අඬු..

      Delete
  5. //අපේ රටේ නම් 18 නෙමේ ගොඩක් වෙලාවට 38 වෙලත් අපි නාමික වැඩිහිටියො දෙමාපියන්ගෙන් හරි යැපෙන නිවැරදි තනි කෙලින් තිරණයක් ගන්න බැරි එක තැන පල්වෙන.//

    දරුවෝ තමන් ගැන ආත්ම විශ්වාසයක් ගොඩනගා නොගැනීමට ගුරුවරු සහ දෙමවුපියෝ දෙගොල්ලම වගකිවයුතුයි කියා මම සිතන්නේ. යමක් තේරෙන වයසට ආවටත් පස්සේ කොන්ඩේ පීරනහැටි කලිසමේ පළල හෝ ගවුමේ රැලි වගේ හැමදේම අන්වශ්‍යවිදියට පාලනය කරලා හදන මිනිස්සුන්ගෙන් ඒවගේ ස්වාදීනත්වයක් බලාපොරත්තුවීම නිෂ්පලයි.

    මුදල් සහ කාලය කැපකරලා දරුවොන්ට අධ්‍යාපනය ලබාදීල ඊට පස්සෙත් දරුවන්ට තමාගේ ජීවිතය ගැන තීරණයක් ගන්න බැරිය කියල්ල හිතාගෙන ඒවාට බලෙන්ම මැදිහත්වෙන දෙමවුපියොත් ඒගැන ලජ්ජාවට සහ කණගාටුවට පත්වෙන්න ඕනේ.

    ආතර් සී. ක්ලාක් මහතාගේ 2010 විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තනයේ, ලියනොෆ් යානයේ නියමුවරිය වන ටන්යා ඔර්ලොවා සහ හේවුඩ් ප්ලොයිඩ් අතර එන පහත දෙබස මම කියෙව්වේ මට අවුරුදු 11 වගේ කුඩා කාලේදී. අවුරුදු 20 කට පමණ පසුවත් මට එය ඉතා හොදින් මතකයි. "වුඩී, නියමුවෙකුට වරදින්න පුළුවන්. එත් වැනෙනසුළු වෙන්න බෑ." මම අදටත් එය තදින් විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා..ඔයාට මතකද මගේ එක් ලිපියකට ඔයා කල comment එකකට පිළිතුරු ලියද්දි මං කිව්වා මේ නීති පද්ධති වෙනස ලියනවා කියලා.. මම මුලින්ම ලංකාවේ නීතිය ගැන දන්ඩ නීති සංග්‍රහය සහ අනෙකුත් සටහන් කියෙව්වෙ මට වයස අවුරුදු 12-13 කාලේ.. මගේ පියා රැකියාවට බාහිරින් නීති උපාධිය හදාරන කාලේ..

      ගොඩක් දෙමාපියො බයයි කෙන්කියුෂා සමාජ ආකල්ප වලට පිටින් යන්න..මොකද සමහර මිනිස්සු ඉන්නවා එළව එළවා පහර දෙන හොඳ අතට හෝ සිදුවෙන සම්මතයට එහා ගිය වෙනසකදි..ඇත්තෙන්ම ඔබ කියනවා වගේ ඒ ගැන දුක් විය යුතුයි ලැජ්ජා විය යුතුයි..

      හැබැයි ඒ ගැන කතා කරන බාල පරපුර දිහා අවඥාවෙන් බලනව වීනා වෙනසක් නම් වෙන්නේ හරි හෙමින්..හරියට ඔහොම ගිහින් බලන්නකො ඔයාලට වැරදෙන හැටි කියන්නා වගෙ බැල්මවල් කතාවල් ඕන තරන්...

      ලොකේ "වැරදීම" නැති වෙන්නෙ නැ, වැරදෙනවා කියන්නේ හරි යන්න උත්තරේකුත් තියනවා.. නැත්නම් වැරදිමක් කොහෙන්ද ? අන්න ඒ උත්තරේ සෙවීමයි නොකෙරෙන්නේ මං හිතන්නේ..වැරදුනොත් වැරදුනාමයි..එහෙම වෙන්න ඕනෙද???

      Delete
  6. අගෙයි, අගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
  7. එංගලන්තයේ හුඟක් දුරට මේ වගේ සිස්ටම් එකක් තියෙන්නේ. මුලින් කොහොමත් අවවාද ගණන් යවනවා. අඩියෙන් අඩිය තමා කෙරෙන්නේ. දික්කසාද දෙන විධි 5යි තියෙන්නේ. නමුත් දික්කසාදයක් ළමයින්ට බලපාන්නේ හුඟක් තදින්. කොපමණ හොන්ඩ අක්රමයක වුනත්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අජිත් නීති තිබ්බට එවා ක්‍රියාත්මක කරන්න ඕනෙ කොහෙත් ඉන්න මිනිස්සු. හැමදේකින්ම නොහිතන දේවල් වලට මූණ දෙන්නෙ ළමයි තමා කොයි පැත්තෙන් බැලුව්ත්.. වෙන් උනත් නැතත්....

      Delete
  8. විදේශ රටකට වඩා අපේ රටේ මිනිස්සු "දික්කසාදය" කියන සිදුවීම දිහා බලන විධිය හරිම වෙනස්....

    අපේ රටේ බොහොමයක් පවුල් වල දික්කසාදය සදහා නෑන්දම්මාගේ ...මාමන්ඩියගේ ...
    නෑනණ්ඩියගේ දායකත්වයත් දකින්න පුලුවන්...

    මුලින්ම අපේ රටේ මිනිසුන්ගේ ජීවිත වල වදගත් තීරන ගෑනීම් වලදී තියෙන කොන්ද පන නෑති ගතිය නෑති කර ගන්න වෙනවා ඔක්කොටම කලින්....

    විවාහ වු දෙදෙනාගේ ප්‍රශ්න ඒ දෙදෙනාට කෑමති ලෙස විසදා ගෑනීමට ඉඩ දීමත් මගින් නෑති ප්‍රශ්න මගහරවා ගන්නත් පුලුවන් වෙනවා.....

    ඊට පස්සෙ විවාහ වෙලා ඉන්න අයගෙ ගෑටලු විසදන්න උපද්ශන සේවා නොමිලේ සපයන්නත්... පුලුවන්


    අපේ රටේ මුලින්ම විය යුතු වෑදගත්ම දේ වෙන්නෙ දික්කසාදයට පහසුකම් සෑපයීම නම් නෙවෙයි....

    ජීවිතය ගෑන මීට වඩා විවාහ වන වයසේ දරුවන් සිටින දෙමාපියන්, පාසල හො ආගමික මද්දයස්ථාන එකතු වෙලා තරුණ දරුවන්ට ජීවිත අවබොධයක් ලබාදීමයි......

    අපේ රටේ සමහර මවිවරු කල වයස හරි ගිය දියණිවරුන්ට බත් හොදි උයන්න කියල දෙන්න ගන්න මහන්සිය ජීවිතය ගෑන කියල දෙන්න යෙදෙව්වනම් දික්කසාදය මේ තරම් උඩු දුවන්නෙ නෑති වෙන්න තිබුනා.....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් ඇත්ත අක්කේ..මොන විදිහෙන් හරි මේ රේස් යන තරඟයෙන් මිදිලා දරුවන්ට ජීවිතය නිවැරදිව අවබෝධ කර ගන්න අලුත් ක්‍රම යෙදුවොත් ඔයා කියනව වගේ දැනට තියන ගැටලු ගොඩක් අඩු කර ගන්න පුලුවන් වෙයි.

      " Think out of box & plan ahead , expect errors, find solutions , review plan , go ahead "

      Delete
  9. දෙන්නෙක් - පවුලකට සතුටින් එකට ඉන්න බැරි නම් දික්කසාදය තමා හොඳම පිලිතුර. මේ වගේ පැහැදිලි ක්‍රමවේදයක් ලන්කාවෙත් තියෙ නම් කොයි තරම් හොඳයිද

    ReplyDelete
    Replies
    1. දුකා.. ඔබේ මේ කොමෙටුව මට මඟ හැරිලා.. සමාවෙන්න ඒ ගැන.. ඒ වගේ නීති පද්ධතියක් හැදෙන්න දුකා මිනිස්සු වෙනස් වෙන්න ඕන.. දැනට තියන යල්පැන ගිය සංස්කෘතික රාමුව බිඳෙන්න ඕන..මිනිස් වර්ගයාගේ පැවැත්ම අවබෝධ කරගන්න ඕන නිදහසව.. සතුට අනුන්ගෙන් නොව තමන්ගෙන් හොයාගන්න පුරුදු වෙන්න ඕන...කොටින්ම ස්වාධීන වෙන්න ඕන සමාජය.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...