Wednesday, June 15, 2016

ගමු ගැඹුරු හුස්මක් - පිට කරමු සොඳුරු හැඟුමක්...



අපි හැමෝම කරන දෙයක්නෙ "හුස්ම" ගන්න එක ඉපදුනු දා ඉඳලා,නැත්නම් ඉතින් අපේ ජීවිතයත් අනතුරෙනේ.. දන්නවද "හුස්ම" ගැනිමයි අපිට දැනෙන හැඟිමුයි අතරේ තියන්නේ නොබිඳිය හැකි යාලුකමක්. අපි "හුස්ම" ගන්න රිද්මය වෙනස් වෙනවා අපිට දැනෙන හැඟිම් එක්ක... හරියට හිරුත් එක්ක අපේ හෙවනැල්ලේ දිග පළල වෙනස් වෙනව වගේ... මම අද කියන්න යන්නේ මෙන්න මේ වෙනස අනිත් පැත්ත හරව ගන්න විදිහක් ගැන. ඒ කිව්වේ කොහොමද "හුස්ම" ගන්න රිද්මය භාවිතා කරලා අපේ හැඟිම්  වඩා හොඳ අතට හරව ගන්නේ කියලා.  එන්න හුස්මක් දුරින් ඉන්න ඔබත්...


සමහර වෙලාවට අපිට දැනෙන හැඟිම් පාලනය කර ගන්න හරිම අමාරුයි.. ඒක අපි හැමෝම හොඳින් අත්දැකල තියන දෙයක්.. අපිට තරහ ගියාම, කලබල උනාම කතා කරගන්නත් බැරි වෙන, සමහරදාට නිදාගන්න ගියාට පැය ගානක් එහාට මෙහාට පෙරළි පෙරළි ඉන්න වෙන්නේ හිතේ ඇති වුන හැඟිම් නිසා සැහැල්ලු මනසක් අප සතුව නැති නිසයි. හැබැයි අපිට පුලුවන් හරිම ලේසියෙන් අප "හුස්ම" ගන්න රටාව හිතා මතා වෙනස් කරගැනිමෙන් මේ අකීකරු කියන දේ අහන්නේ නැති හැඟිම් එක්ක වැඩ කරන මනස සැහැල්ලු කරගන්න.  මට මතක් උනා ආනපාන සති භාවනාවත්..  හරියට කරනවා නම් "හුස්ම" කියන්නේ බොහොම බලගතු ආයුධයක් මනස පාලනයට තියන.

ගොඩක් වෙලාවට ඉබේ සිදුවෙන ක්‍රියාවලියක් නිසා අපේ අවධානය මේ "හුස්ම" ගැනීම ගැන යොමු වෙන්නේම නැති තරන්.. අර කියන්නේ නිකන් ලැබෙනකොට අගයක් නැ කියලා..ඒ වගේ තමා.. පහුගිය කාලේ නිකන් ලැබුනු සහනාධාරත් අපතේ ගියේ හරි කලමණාකරනයක් නැති නිසා.. ඔබ දන්නේ නැති උනාට ගොඩ දෙනෙක් "හුස්ම" ගන්නේත් වැරදියට වුනාට සාමාන්‍යයෙන් අපිට විනාඩි 3ක් වත් ඉන්න බැහැ "හුස්ම" ගන්නේ නැතුව.. ඒ වගේම හරියාකාරව ගන්න "හුස්ම" තමයි ලොකුම රහස නිරෝගිකමෙත්, නිදහස් වගෙම වැඩකට ඇති  මනසෙත්..  ( අපි පොඩි කාලේ නිදා ගන්න ඇඳට ගිහාම බිත්තියේ තිබ්බ ඔරලෝසුවේ තප්පර කට්ට එක්ක ඔට්ටු අල්ලනව හුස්ම ගන්න එක වැඩිම වෙලා නතර කරන්නේ කව්ද කියල බලන්න )


අපිට පාසැලෙන් වත් ගෙවල් වලින්වත් හිතේ ඇතිවන  තරහ, බය , අනවශ්‍ය කලබලය වැනි සෘනාත්මක  ගැඹුරු හැගීම්  එක්ක හරියාකාරව  ගනුදෙනු කරන්න කියලා දීම වෙන්නේ හරි අඩුවෙන්.. මට මෙතනදි මතක් උනා අපි කෙනෙක් එක්ක  තරහින්, අමනාපෙන් ඉන්නවා කියන්නේ සල්ලි දිලා වස පානය කරන්නවා වගේ වැඩක් කියන කියමන. නමුත් අපිට පුලුවන් මේ වගේ හැඟිම් "හුස්ම" එක්ක පිට කරලා හරින හැටි ඉගෙන ගන්න හිත ඇතුලේ එකතු වෙන්න දෙන්නේ නැතුව. මෙහිදි එක එක විදිහේ හැඟිම් වලට එක එක විදිහේ "හුස්ම" ගැනිමේ රිද්මයන් යාවෙන නිසා එක එක රටාවන් ට "හුස්ම" ගැනීම පුරුදු කිරිමෙන් හැඟිම් වලට බලපැමක් කරන්න පුලුවන්. මේ රිද්මයන් වල ඇති කර ගන්න වෙනස්කම් තුලින් තරහ යාම, අනවශ්‍ය කලබලවිම්, කලකිරිම් අඩු කරගෙන සතුටත් , ධනාත්මක සිතුවිලිත් වැඩි කරගෙන බොහෝදුරට තම තමන්ට  පාලනය කරගත හැකි මනසක් හදාගැනිමෙන් සුවදායක නින්දක්, සමබර මනසක්, වැඩි දරාගැනීමේ ශක්තියක්  ඇතිව සාර්ථකව ජීවිතයට මූණ දීමේ  හැකියාව වැඩි කර ගන්න පුලුවන්.

මෙහෙම වෙන්න හේතුව තමයි අපේ "හුස්ම" ගැනිමත් අනිච්ඡානුග ස්නා‍යු පද්ධතියත් අතර තියන සම්බන්ධය.. අපිට හැකි  නම් හරියාකාරව "හුස්ම" ගැනිම පාලනය කරන්න එතුලින්  අපේ ආහාර ජීර්ණය හා විවේකයට  හේතු වන ස්නායු පද්ධතියේ  ක්‍රියාකාරිත්වය ආර්ම්භ වීමෙන්,  සාමකාමි මනසක් සහ විවේකි සිරුරක් සඳහා අවශය කරන පරිසරය ඇති කර ගන්න පුලුවන්  දැනුවත්වම තමන්ටම අවට පරිසරයේ බලපැමෙන් මිදිලා. 

ගොඩක් වෙලාවට අපේ හිතේ ඇතිවන අසහනකාරි තත්වයන් ගැඹුරු "හුස්ම ගැනිමත් මඳ වේලාවක් රඳවා පිට කිරිමෙනුත්  සමනය කර ගන්න පුලුවන්.  ඒ වගේම  විනාඩි 5ක් වගේ කාලයක් තුල වරකට එක් නාස් කුහරය බැගින් භාවිතා කර ගැඹුරු  "හුස්ම" ගැනීමත් හිමින් අනිත් නාස් කුහරය හරහා  "හුස්ම" පිට කිරිමත්  මඟින් ඕනම විදිහේ හැඟිමක් පාලනය කරගැනිමේ හැකියාව වැඩි වෙනවා පුරුදු කරන වාර ගාන වැඩි වෙන තරමට.  (දෙවෙනි වර කරද්දි  මාරු කරන්න වසන නාස් කුහරය  )

 මේ වගේ දිනපතා අනිත් දිනචරියාවන් වගේම "හුස්ම" ගැනීමේ රිද්මයන් අත්හදා බැලිමෙන් බලාපොරොත්තු නොවෙන සිදුවීමකදි වුනත් ඒ අවස්ථාවේදීම   පැහැදිලිව සිතිමේ හැකියාව වැඩි කරගන්න පුලුවන් කලබල වීම් අඩු කරගෙන.  
 

ප.ලි. : ඔබත් විනාඩියක් හෝ මෙය අත්හදා බලා දැනෙන හැඟිම මෙහි සටහන් කර යන්න. 

27 comments:

  1. මෙය සාර්ථක ක්‍රමයක් බව අත්දැකීමෙන් දන්නවා.
    ඔබ මෙය කියවා ප්‍රයෝජන ගත හැකි කෙනෙක් බව හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඉයන්, ස්තුතියි. මගේ ජීවිතයේ පළමු විශේෂ මෛත්‍රි භාවනාවත් සිදු වු අසාධාරනය නිසා හිතේ හට ගත් නොසන්සුන් හැඟිමුත් මෙවැනි ක්‍රියා මඟින් මඟ හැරගන්න මට කියා දුන්නේ තාත්තා.. ඔහු හැමවෙලේම අපිට පුරුදු කලා අවට පරිසරයේ සිදුවන සිදුවිම් වලින් අපේ මනසේ සාමයට හානි කර නොගෙන ජීවිතය ඉදිරියට යන ආකාරය ගැන..අද වෙනකොට මෙම ක්‍රම ඉතාම සාර්ථකව මගේ ජිවිතය සැහැල්ලුවෙන් ගෙනියන්න භාවිතා වෙනවා..

      Delete
    2. ටිකක් වැඩිපුර වෙලාවක් තියෙන විටක මම දීල තියෙන ලින්ක් එකේ තියෙන පෝස්ට් එක කියවන්න.

      Delete
    3. වැදගත් කියවන්න ආස හිතෙන හරවත් දෙයක් හම්බුනාම ඒ වෙලාව තමයි ඉයන් මගෙ වැඩිපුර ඉඩ තියන වෙලාව..

      Delete

    4. ඉයන් මුලු ලිපියම කියෙව්ව.. මේ සරල දෙය වටහා ගන්න ගොඩක් දෙනෙකුට බැහැ ඉයන්.. පුලුවන් විදිහට තමන්ගෙ ජීවිතය තුලින් අන් අයට මේ සරලත්වය පෙනෙන පරිදි ජීවත්වීම මිස පැහැදිලි කරදෙන්න යන එකත් භායනකයි වෙලාවකට මට හිතෙන්නේ. තම තමන් රැස් කල දැ තම තමන් ගෙන යාවි...

      Delete
  2. අද්දැකීමෙන්ම කියන්න පුලුවන් සාර්ථක ක්‍රමයක් තමයි... මනෝ ප්‍රතිකාරවල දී හුස්ම ගැනීම භාවිත කරනවා.... ඒකට කියන වචනය දැන් මතක් වෙන්නෙ නෑ...
    අපූරු ලිපියක් චතූ...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි.. යොගා ක්‍රම වලදිත් යොදා ගන්නව බහුලව..මතකද 3 Ideots ෆිල්ම් එකෙ තැනක තිබ්බා...

      Delete
    2. මට මේක කියවනකොට මතක් උනේ ශෂිකා නිසන්සලාගේ හුස්මක් දුරින් ඉන්න මට බෑ ඉතින් කියන සිංදුව චතූ....

      හුස්ම ගන්න එක නිරායාසයෙන්ම වෙන නිසා ලැබෙන වාතයත් නිකන්ම නිසා මිනිස්සුන්ට ඒ ගැන වටිනාකමක් නෑ....

      Delete
    3. ඒ සින්දුව තමයි නිර්මාණි මම ලින්ක් කරල තියෙන්නේ.....

      Delete
  3. බොහොම කාලෙකින් මේ වගේ ලිපියක් කියවන්න ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. දිනේශ් , මම ජාලයේ පින්තූර හොයද්දි තමයි මුලින්ම තියන පින්තුරය දැක්කේ. ඒ වෙලාවේ මෙහෙම ලියන්න අදහසක් තිබ්බේ නැති උනත් මම ඒක save කර ගත්තා..මේ සතියේ මට මේ ගැන ලියන්න හිතුනම මෙතනට යොදා ගත්තා..

      Delete
  4. මේක බලද්දී ආනා පානා සති භාවනාව මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත් එහිඳි වෙන්නෙත් හුස්ම ගැන සිහියෙන් සිතිමනේ...

      ලලිත් කියවල තියනවද " මුතු කරාඹුව පැලඳි යුවතිය " කියල පොතක්... එහි එන සේවිකාව එක එක පාට එක එක රටාවට ඇති එලවලු කපන්නෙත් වෙන කරන්නෙත් මේ වගෙ සිහියෙන්..කලාත්මකව හිතන ගමන්..

      "Ramen Girl" කියන ෆිල්ම් එකෙත් හිත සන්සුන් කරගැනිම ගැන කතා කරනවා..

      Delete
  5. චතූ මේවගේ තව අභ්‍යාසයක් කියන්නම්. මනස සම්පූර්ණයෙන්ම හිස් කරන්න උත්සාහ කරල බලන්න. ඇස් දෙක වහගෙන කරනවනම් සම්පූර්ණයෙන් සුදු කොන් නොපෙනෙන තිරයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඉන්න. ටික වෙලාවකින් ඔබට තේරෙන්නෙ හුස්ම වැටීම පමණමයි. මෙය ඔබ කියන එකේ අනික් පැත්ත. ඇස් ඇරගෙන කරනවානම් ඈත තියෙන ගසක් දිහා තත්පර කීපයක් බලාගෙන සිට ගස අපැහැදිලි වෙන සේ ටිකක් ලඟ පැත්තට ඇහැ නාභිගත කරන්න. එතකොට පැහැදිලි යමක් නොපෙනී හිත හිස් වෙනවා. එවිටත් ටික වෙලාවකින් දැනෙනෙනි හුස්ම විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉයන් , මම කරල බලන්නම්, මම පොඩි කාලේ ඉඳලා කරන් දෙයක් තමයි ඇස් වහගෙන නලළ හරියට මනස යොමු කරන එක, එවිට කලුවර තුලින් එක එක ආලෝක වලට හැරිල අන්තිමේ අපැහැදිලි ඡයාවල් වගෙ ඇතින් ඇතට පෙනෙනවා

      Delete
  6. වටිනා ලිපියක්. ගැඹුරු හුස්මක් ගැනීම හොදයි කියලා අහලා තිබ්බත් නාස්පුඩු මාරුවෙන් මාරුවට වසා හුස්ම ගැනීම පිට කිරීම ගැන අහලා නෑ. ඉයන්ගේ ක්‍රියාකාරකමත් වටිනවා.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමී , මම මුලින්ම මේ හුස්ම ගැනිමේ ක්‍රමය කියෙව්වේ 2010, කරන්න කිසිම වැඩක් නැතුව බැංකොක් වල ගතවුනු 2වෙනි අවුරුද්දේ,, නිවාඩුවට ආවාම මම මගේ සැමියගේ මහගෙදර තිබ්බ පොත් වලින් කිසිම වර්ගීකරණයක් නැතුව size එක විතරක් බලලා පොත් අරන් ගියා, ඒ අතර තිබ්බ යෝග ක්‍රම ගැන පොත් දෙකකුත්..

      අපි හුස්ම ගන්නවා කියල කරන්නේ අවට වාතයේ තියන ඔක්සිජන් ඇඟ ඇතුලට ප්‍රවාහනය කිරිමනේ, ගොඩක් දෙනෙක් ගන්න පුලුවන් උපරිම හුස්ම ගන්නේ නැ , Short Breath තමයි ගන්නේ, එවිට අපේ කාර්යක්ශමතාවයත් බහිනවා සිරුර ඇතුලට ලැබෙන ඔක්සිජන් ප්‍රමානය අඩු නිසා.. හරි සම්පුර්ණ හුස්මකදි අපේ උදරයත් පිමිබිය යුතුයි, උරස් කුහරය පමණක් නොවේ..කරල බලන්න ඔබ හුස්ම ගන්න කොට ඉහළ පහල යන්නේ උරස් කුහරය පමණද, උදයරත් උස පහත් වෙනවද ....හරියට හුස්ම ගැනිමෙන් හැඟිම් විතරක් නෙමේ, අපේ කම්මැලිකමත් පාලනය කල හැකියි.. ඔන්න හුස්මයි, විද්‍යාවයි link කලා...

      Delete
  7. වටිනා ලිපියක්...ඔබ කියනා ලෙස ගැඹුරු හුස්ම ගැනීමෙන් මනස ඒකාත්මික කිරීම මා අත්දුටු සත්‍යක්...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි පොකුරු වැහි... මේ ක්‍රම පුරුදු කරන අය එක්ක ඉන්න හරිම ලේසියි,හොස්ස ලඟින් මැස්ස යන්න බැරි අයව මෙහෙම ක්‍රම වලට හුරු කරවන එක අභියෝගයක්....

      Delete
  8. හුස්ම ගෑන එක හුසිමට කියවගෙන ගියා....
    හරිම අර්ථවත් ලිපියක්....

    අපේ සිරුරෙ සියලු ක්‍රියාකාරකම් වල රිද්මය හෑසිරවීමේ බලය, හුස්ම තුල හෑන්ගිලා තියෙනව කියලා මට හිතෙනවා.....

    හුස්ම එක්ක තදින් බෑදුනු දෙයක් තමයි හිත.....
    හිතේ හෑගීම් හුස්ම වල රිද්මයට බලපානවා.....
    ප්‍රතිපල විදියට හයි/ලො ප්‍රෙෂර් හෑදෙනවා.....

    හුස්ම බාවිතා කරල හිතේ ඈතිවන ඔනෙම හෑගීමක් පාලනය කරන්නත් පුලුව....

    බලාගෙන ගිහාම හුස්ම කියන්නෙ පොඩි පහේ වෑඩකාරයෙක් නෙවේ....

    අපවිත්‍ර නොවු හුස්ම පොදක් වෙනුවෙන් නුදුරු අනාගතයෙදී මිලක් නියම වෙන්නත් බෑරිනෑ....
    ඒ නිසා හොදට හුස්ම ගමු......

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ///අපවිත්‍ර නොවු හුස්ම පොදක් වෙනුවෙන් නුදුරු අනාගතයෙදී මිලක් නියම වෙන්නත් බෑරිනෑ..////

      ඒක නම් ඇත්ත අක්කේ..

      Delete
  9. ස්තුතියි හීන දකින්නිය .... මේ දවස්වල වාතාවරණය හැටියට මේ ලිපිය ලොකුම ලොකු උදව්වක් !

    ReplyDelete
    Replies
    1. උදව්වක් උනා නම් හරිම සතුටුයි.. ස්තුතියි මෙතූ...

      Delete
  10. මට ටිකක් (ටිකක් කිව්වට ටිකක්මත් නෙමේ) කේන්ති යනව චතූ. ඉස්සර මට ඒ තරහ පාලනේ කරගන්න හරි අමාරුයි. ඒත් දැන් මං ගැඹුරු හුස්ම විසඬුමක් විදියට හොයන් ඉන්නෙ. ඒකට හිත යොමුවුණාම මට තරහ ගැන හිතන්න අමතක වෙනව

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම කාලයක් තිබ්බ ලේ. පා. හීන.. හිතට ලඟ අය එක්ක වෙලාවකට තරහා යන.. අතට අහුවෙන කොට්ටයකින් හරි ගහන. ඒ පුරුද්ද හැදුනෙම නැ.. ඒත් මං අර කියන නිහඬ කාර්යබහුල සැමියා නිසා සැහෙන්න ඒ පුරුදු අඩු උනා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...