Tuesday, November 29, 2016

ඔබත් දන්නවද නොවෙනස්ව වෙනසට මූණ දෙන්න...




මට දඟමල්ලගේ තාත්තාව මුලින්ම හම්බුනේ අපේ පවුලේ සියලුම වැඩිහිටියන්ගේ කැමැත්තෙන් සහ කරන්න පුලුවන් හැම විදිහෙම සෙවීම් ,ගැලපීම් නොගැලපීම් ඔහු ගැන සහ ඔහුගේ පවුලේ අය ගැන කලාට පස්සේ...ඒ විස්තර ගැන මම අහන්න ගියේ නැත්තේ වෙන අය හොයලා දෙන කෙනෙක් කසාඳ බඳින්න  කිසිම දවසක  කිසිම අදහසක් මට තිබ්බේ නැති නිසා, හැබැයි ඒ වැඩිහිටියන්ගේ අදහස් වලට මම විරුද්ධ උනෙත් නැ.. 

ජිවිතේ ඉරණම් තීරණයක් ගන්න වෙලාවක මාව අමාරුවේ නොවැටෙන්න කරන්න පුලුවන් හැමදේම ඒ වැඩිහිටි හැමෝම කොහොම  හරි කරන බව ඒ වෙනකොට මම තේරුන් අරන් තිබුන දෙයක්..කොහොම හරි මේ වැට කඩොලු සුදුසුකම් ගැලපීම් නොගැලපීම් ඇතුලු හැම කඩයිමක්ම සෑහෙන ඉහලින් පැනපු කෙනෙක් තමා මේ දඟමල්ලගේ තාත්තා....ඔහුගේත් මගේත් දෙමාපියන් ඇතුලු වැඩිහිටිහියන් මේ ගැලපීම් නොගැලපීම් හොයද්දි අපි දෙන්නා දැකලවත් තිබ්බේ නැ.. මම සාමාන්‍යයෙන් මං ගැන අවංකව හිතන අයගේ අදහස් වලට  එකඟ නැති වුනත් ඉඩක් වෙන් කරන්නේ ඒ වගේ අයගේ හිත් රිද්දන එක තේරුමක් නැති වැඩක් කියලා මම දකින නිසයි..

මේ හැම සොයා බැලීමකටම පස්සේ අතීතයේ එක්තරා දවසක ඔහු අපේ ගෙදර ආවේ තනියම නම් නෙමේ... දැකපු පළවෙනි දවසෙම කිසිම දවසක වෙන අය හොයලා දෙන කෙනෙක් කසාඳ බඳින්නේ නැ කියල හිතාගෙන හිටි මගේ හිතට  සෑහෙන බලපෑමක් කරන්න මේ දඟමල්ලගේ තාත්තගේ ඇස් දෙකට පුලුවන් උනා... පස්සේ තමයි දැන ගත්තේ ඔහුත් ඒ ගමන ඇවිත් තිබ්බේ දෙමාපියන්ගේ කීමට මිසක් වෙන කෙනෙක් හොයලා දෙන කෙනෙක් කසාඳ බඳින අදහසකින් නෙමේ කියලා.. කොහොම හරි  දැකපු පළවෙනි දවසෙම දෙන්නම කැමති වෙලා තිබ්බේ ආයේ කිසි කෙනෙක් කිව්වට වෙනස් කරන්න පුලුවන් විදිහකට නෙමේ.....මේ විදිහට තියා මට කෙනෙක් හොයාගන්න අවස්ථාවක් ලැබුනත් කාවවත් කසාඳ බඳින්න කිසිම අදහසක් මට තිබ්බේත් නැ හරියට හිතලා බැලුවොත් අවට පරිසරයේ මම දැක්ක දේවල් නිසා...ඒ වගේම වෙන්න තියනවා නම් දෙයක් වලක්වන්න බැ කියලත් මට හිතෙන්නේ දඟමල්ලගේ තාත්තා අදටත් මගෙන් අහන "කොහොමද මෙච්චර කල් බේරිලා හිටියේ ?"  කියන ප්‍රශ්නෙත් එක්ක..

ඉතින්  ඊට පස්සේ.. අපේ අම්මා මොකද්දෝ හේතුවකට මං පුංචි කාලේ ඉඳලා හඳහන කියන දේ එක්ක මගෙ ජීවිතේ ගලපන්න ගන්නේ පුදුම වෙහෙසක්.. මේ පළවෙනි හමුවීමට කලිනුත් හඳහන් දෙපැත්තෙම වැඩිහිටියන් බලලා තිබ්බත් අම්මා ආපහු බලපු වෙලාවක නොගැලපීමක් ගැන කතාවක් ඇදිලා ආවත් අපි දෙන්නා පැහැදිලි කරන්න බැරි හේතුවකට  වෙන් වෙන්න කැමති වුනේ නැහැ.. මං වගේම ඔහුත් ඒ වෙනකන්ම දෙමාපියන්ගේ කීමකට ඉහළින් නොගිය හොඳ දරුවෙක්...දෙපැත්තෙම වැඩිහිටි අයට හිතෙන්න ඇති එකපාරට අපි හරිම අකීකරු කියන දේ නොඅහන ළමයි දෙන්නෙක් වෙන්න මොකද්ද උනේ කියලා.. ඊට පස්සේ කිසි කෙනෙකුට නොකියා   එකිනෙකාට නොනැමෙන හිත් තියන  අපි  කලේ අපිට හිතුනු දේ කඳුලත් සිනහවත් අතරින්  අද වෙනකන්ම... 

ඉතින් මම ඒ අතීත කතාව කිව්වේ විවාහකදි (කවදහරි කෙරෙනවා නම්) මම කැමැත්තෙන් හිටියේ නීතිමය කටයුතු විතරක් කරලා කසාඳ බඳින කෙනත් මමත් පවුල් දෙකේ ලඟම අය විතරක් දැනගත්තම ඇති වෙන කාටවත් ඇහෙන්න අඬබෙර වාදනය කරන්න ඕන නැ කියලා  මතයක වුනත් ඒ වෙනකොට මගේ මතයට සම්පූර්ණ ඉඩ වෙන් කරපු මාව හොඳින්ම තේරුන් ගත් කෙනා මෙලොවින් සමු අරන් හිටිය නිසා සම්ප්‍රදායික විවාහයක් තමයි වුනේ... මගේම අම්මා නිසා ඉවසුවා මිසක් කිසිම කැමැත්තකින් නෙමේ මම ඒ අත්දැකීමට මූණ දුන්නේ.... මගේ මල්ලිට මාව තේරුනත් තාත්තා නැති වුන අලුතම නිසා අපිව වටකරගෙන කිසිම විදිහකින් තනි නොකරපු   ඒ ආදරණීය  වැඩිහිටි හදවත් වලට පිටු පාන්න හැකියාවක් තිබ්බේ නැහැ ඔහුටත්...

ඉතින් මේ විදිහට බඳින අපි දෙන්නගේ අදහස් වලට වඩා වටේ පිටේ ඉන්න අයගේ අදහස් වලට මූලිකත්වය ලබා දෙමින් සුදානම් කෙරුනු අපි කසාඳ බඳින දවසේ උත්සවයට මගේ අම්මා තෝරපු පළවෙනි සංගීත කණ්ඩය තමයි අර උඩින් මම දැම්මේ.. ඇත්තටම ඒ වාදනයෙන් කියවෙනවා වගේම වචනයෙන් නොකියවුනු ආදරයක් තමයි අපි අතර ඒ වෙනකොට ඇති වෙලා තිබ්බේ.. එකිනෙකාව වටහාගන්න උත්හසයක මිසක් ආදරය ප්‍රකාශ කීරිමක් වෙලා තිබ්බේ නැහැ...

මට ආදරය කරන කෙනෙකුට විඳින්න වෙන්න මිහිරිම වේදනාව ඔහු විඳින බව මම නොදන්නවා නෙමේ.. ඔහුට ආදරය කරන කෙනෙකුට විඳින්න වෙන කටුකම වේදනාව මම නොවිඳිනවත් නෙමේ.. ඒත් කෙනෙක් මේ ලෝකෙට එන විදිහ කාටවත් වෙනස් කරන්න බැරි බව අපි දෙන්නා දන්නා  නිසා එකිනෙකාව අතේ දුරින් හිතේ තියාගන්නේ එදා හදවත ගොලු වු ආදරය නිසාමයි....


ඉතින් එදා ඒ ප්‍රකාශ නොවුනු ආදරය 
අදත් අපේ හදවත් වල නොවෙනස්ව තිබුනත් 
ජීවිතේ නම් ගොඩක් වෙනස් වෙලා..
වෙනසට නොවෙනස්ව මූණ දෙන්න
 හැකියාවක් දෙන්නටම තියන බව එදා අපි දැනගෙන හිටියේ නැති උනාට 
අද අපි දෙන්නම දන්නවා
වෙනස් නොවී වෙනසට මුණ දෙන්න..
ඔබත් දන්නවද නොවෙනස්ව වෙනසට මූණ දෙන්න... 



ප.ලි. : හිතකට නිදහසේ යන්න දෙන්න නම් පළවෙනියෙන්ම තියෙන්න ඕන දේ බය නැතිකම.. මම හිතන්නේ අපි දෙන්නව හදපු දෙමාපියන්ගේ අසීමිත කැපවීම අද අපි ඉන්න තැනට එන්න ලොකු හේතුවක්.. ඒ අතරිනුත් මගේ සැමියගේ අම්මා ගැන මට දැනෙන හැඟිම් වචන වලට හරවන්න මට බැහැ... මම කැමතියි මගේ අම්මගේ හිනාවට වඩා මගේ සැමියගේ අම්මගේ මූණට හිනාවක් ගේන්න පුලුවන් නම්. ඇය කරලා තියන කැපවීම් ඒ තරන්... ඒ හැඟිම මට වැඩියෙන් දැනෙන්නේ මගේ පුතා ලැබුනට පස්සේ... මම දන්නේ නැ අම්මේ මට පුලුවන් වෙයි ද කියලා අම්මා මගෙන් බලාපොරොත්තු උන දේ කරන්න......

ජිවිතේ ගලාගෙන යන ගඟක් උනාට සමහර වෙලාවට එක තැන හිර වෙන්නේ අර ඉස්සර රජ කාලේ හිටියා කියන යෝධයෙක් ඇවිත් හිර වෙන්න හේතු උනු මහා පස් කන්ද එක මොහොතින් අතුරුදහන් කරයි කියලද මන්දා...

කවදාවත් අලුත් බැඳිමක් නිසා පරණ බැඳිම් කඩලා බිඳලා  දාන තැනකට ඔබේ හිත් වලට එන්න දෙන්න එපා සාමකාමි පරිසරයක් ඔබට ඕන නම්....ඒ මම මගේ තාත්තගේ ජිවිතෙන් ඉගෙන ගත්ත තවත් පාඩමක් තාත්තා වැඩ කරන හැටි බලන් ඉඳලා අම්මගේ පවුලේ අයත් එක්ක...මීවිතට වහ වැටෙන ඒ ගැන ආඩම්බර වෙන දවසේ වැඩි කාලයක් අසිහියෙන් දිවි ගෙවන තාත්තලා ඉන්න සමාජයක අපි දෙන්නම වාසනාවන්තයි සිහියෙන් "ජිවිතේ" ගෙවන තාත්තලා ලබන්න....

25 comments:

  1. . ඇත්තටම අපේ දෙමව්පියන්ගෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. හීන දකින්නී කිව්වා වගේ මගේ දෙමව්පියනුත් නීතිරීති දාලා නෑ මේ හිදිහට හැදෙන්න කියලා. ඒත් ඔවුන් අපට ආදර්ශයක් වෙනවිදිහටයි ජීවත්වුනේ, වෙන්නේ. නීති දාල කියනවාට වඩා ආදර්ශමත් වීම වැදගත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී, අපේ මොළේ නිර්මාණය වෙලා තියෙන්නේ වචන වලට වඩා ක්‍රියා වලට ප්‍රතිචාර දක්වන විදිහකට..

      Delete
  2. ආදරය කියන්නේ ජීවිතයේ ලබන්න පුලුවන් මිහිරිතම වේදනාව කියලයි මම නම් අත් දැකලා තියෙන්නේ නිම්නා....
    ඒ කෙසේ වෙතත්...ඇයි අපි අපේ ජීවිත සාර්ථකත්වයන් අඩුමගානේ දෙමව්පියන්ට පවරන්නේ..අපි සියඹලා ගෙනල්ලම නැද්ද...ඇත්තම කියන්නං..මගේ දරුවන් දෙදෙනා ඔවුන්ගේ සාර්ථකත්වයන් ( මේ වචනේ හරි නෑ වගේ අප්පා) ලබා ඇත්තේ ඔවුන් ඔවුන් වූ මිසක් මාගේ දරුවන් වූ පමනින්ම නොවේ යන්නයි මාගේ අදහස...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි ... එක එක කෙනාට වෙනස් වෙනස් විදිහට ජීවිතේ සාර්ථකත්වය අර්ථ දක්වන්න පුලුවන්.. ඒකට මගෙ විරෝධයක් නැ...

      මම නම් ආදරයේ වේදනාව වින්ඳෙම ආපස්සට දෙයක් බලාපොරොත්තුවෙන් ආදරය කල තැන් වලදි විතරමයි...

      Delete
    2. \\මම නම් ආදරයේ වේදනාව වින්ඳෙම ආපස්සට දෙයක් බලාපොරොත්තුවෙන් ආදරය කල තැන් වලදි විතරමයි...//
      මම නම් අද වෙනකම්ම ආදරේ කලේත් හෙට පුලුවන් උනොත් ආදරේ කරන්නෙත් ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි නිම්නා...50% ආදර කථා කොච්චරක් නම් අපි අතරේ තියෙනවද...!

      Delete
    3. චෙෆාකි.. මම හැදුනේ මට ඕන හැමදේම කිසිම අඩුවක් නැතුව ඉල්ලන්නත් කලින් ලැබුන පරිසරයක.. ඒ නිසා නොලැබිමේ වේදනාව පුංචි උනත් මට ගොඩක් වැඩියෙන් දැනෙනවා... හැබැයි අර හැමදේම ලැබුනු පරිසරයක හැදුනු හිතට ගොඩක් හොඳ දරාගැනීමක් ඇති වෙලා තියෙන්නෙත් කොන්දේසි විරහිත ආදරයක් මම ලබපු තැන් ජිවිතේ වැඩි නිසා කියලයි මට හිතෙන්නේ

      අර ආදරයක් නොලැබෙන කොට දුක් වීම ගැන කිව්වොත් චෙෆාකි,තාත්තා ගැන හිතේ තියන ආදරයේ වේදනාව දැනෙන්නේ මගෙ හිතේ තියන ඕනම දෙයක් කියන්න පුලුවන් අවස්ථාවාදි නොවෙන එකම කෙනා තාත්තා නිසා.. ඉතින් මම ඒ ආදරයෙන් දෙයක් බලපොරොත්තු උන නිසා අද තාත්තා එක්ක කතා කරන්න නැති එක මට ලොකු දුකක්...

      Delete
  3. Replies
    1. මං හිතුවේ නැ පැතුම් ඇත්තටම ස රසව කොපි කරයි කියලා :) :)

      Delete
    2. හෙහ් හෙහ් සා රස ගෙන් අවසර ඉල්ලුවේ කොපි කරන්න ඕනේ නිසා තමයි..

      ඕනෙම පෝස්ට් එකක් ගැන සරලව කොමෙන්ට් එකක් දාන්න හොඳම ක්‍රමයක් මට නම් ඒක.. ලිපිය ගැන මගේ අදහස වෙනම දාන්නම්..

      Delete
  4. දෙමව්පියන්ගේ සොයා බැලීම් වැඩිහිටි අවවාද පිළිගැනීම් ඔක්කොම හොඳයි. හැබැයි අවසානයේ වැදගත් වෙන්නේ ඔබට සහ ඔහුට එකිනෙකා ගැන අවංකවම දැනෙන හැඟීම පමණයි. මට ඔය දෙක ගැනම අත්දැකීම් තියෙනවා. සියල්ල හොඳින් ගැලපෙන හැමෝම කැමති වෙච්ච කෙනෙක් එක්ක මම ටික දවසක් යාලු වෙලා හිටියා. අපි දෙන්නා සමහර දේවල් වලින් මාර විදියට මැච් වෙනවා. ඒ කියන්නේ කැමති දේවල්, රසවිඳීම, ජිවත් වෙන්න කැමති විදිය වගේ දේවල්. හැබයි අපිට ගැඹුරින් දැනෙන ආදරය කියන හැඟීම, එකිනෙකා ගැන තියෙන සංවේදී කම කවදාවත් දැනුනේ නෑ.. ටික දවසකින් ඒ සම්බන්ධය නතර වුණා.

    මගේ බිරිඳ මට හමුවුනේ අහම්බෙන් වගේ. හැබැයි ඉතින් වන්ෂොට් දැක්ක ගමන් මෙයා තමයි කියන හැඟීම ආවා. එයාටත් එහෙමයි. පවුල් අවුල් ටිකක් තිබුනා හැබයි සේරම හොඳින් විසඳුනා. අපි දෙන්නගේ අදහස් සහ කැමති දේවල් සෑහෙන දුරට වෙනස්. එදිනෙදා සිද්ද වෙන සීනිබෝල වලි වලට හේතුව ඒ නොගැලපීම්.. හැබැයි පණ ගියත් දාල යන්න බැරි තරම් හැඟීමක් ඇතුලතින් දැනෙනවා.

    අපේ නංගි බැන්දේ මුළු නෑදෑ සනුහරමේ විරුද්ධ වෙච්ච කෙනෙක් ව. හැබැයි පස්සේ කාලෙක අපිට තේරුනේ ඒ දෙන්නා පට්ට විදියට එකිනෙකාට මැච් වෙනවා. දැන් සියලු නෑයෝ ඉහලින්ම ඔවුන් දෙදෙනාව පිලිගන්නවා.

    කවදාහරි දරුවෙකුට උගන්නන්න ඕනේ තමන්ට අවංකව ඕනේ දේ හරියට තේරුම් ගැනීමේ හැකියාව සහ ඒ පිළිබඳව සංවේදී වෙන්න පුළුවන් හදවතක් සහිතව ජිවත් වෙන විදිය. එතකොට වටේ පිටේ අය මොනවා කිව්වත් අපිට හරිම යන දේ අපිට ලැබෙනවා.

    "හෑ" කියල හිතෙනවා නේද හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස එක්ක 100 % ක මම එකඟයි පැතුම්, අපි දෙන්නා අතරෙත් අනිත් අය කොයි තරන් ගැලපුවත් අහසට පොළව වගේ නොගැලපීම් තියනවා.. වැඩියෙන්ම මම හැදුනේ පවුලේ හුරතලා වගේ හැමෝගෙම ආදරය මැද..මට මගේ ජිවිතෙන් කිසිම කෙනෙක්ව මෙන්න මේ දේ නිසා අයින් කරනවා කියලා අයින් කරන්න අය නැහැ.. හැමෝගෙම හොඳත් නරකත් තියනවා..

      හැබැයි ඔහු ගොඩක් ස්වාධීන විදිහකට හැදිලා තියෙන්නේ.. ඔහුගෙම පවුලේ අය අතර වුනත් ලොකු සමීප බවක් නැහැ.. ඒක තමයි අපි අතර තියම ලොකුම නොගැලපීම..ඒ හැදුනු පරිසරයෙන් අපේ හිතන විදිහ වෙනස් වෙලා තියන නිසා මත ගැටුම් පැතුම් කිව්ව වගේ එනවා.. ඒත් ඒවා අපි දෙන්නට අඳාල ගැටුම් නෙමේ..

      පැතුම් අන්තිමට කිව්ව දේ තමයි සමාජයක් ඇතුලේ කරන්න අමාරුම.. විශේෂයෙන් ලංකාව වගේ.. අනිත් අය මොනවා කිව්වත් තමන්ට ජීවත් වෙන්න ඕන විදිහ හොයා ගන්න ඕන තමන්මයි..

      "හෑ" කියලා හිතුනේ නැ... මම මේ ලිපියෙන් එළියට ගන්න උත්සහ කල දේ තමයි පැතුම් ලියලා තියෙන්නේ.. අනිත් අය මොනවා කිව්වත් තමන්ගේ ජිවිතේ අයිති තමන්ට.. අවට පරිසර්යට සංවේදිව කාලය හරහා ගමන යන්න තමයි ඕන.....:)

      Delete
  5. /* දඟමල්ලගේ තාත්තා අදටත් මගෙන් අහන "කොහොමද මෙච්චර කල් බේරිලා හිටියේ ?" කියන ප්‍රශ්නෙ */

    හොඳ යෙදුමක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික.. මම එයාට දුන්න උත්තරේම දෙන්නම්.. විශේෂ දෙයක් කලේ නැ.. කාටවත් ඕන විදිහට නැතුව මං මං විදිහට හිටියා විතරයි..

      Delete
    2. අපේ මාමා මගේ බිරිඳව බලන්න මුලින්ම එයාලගේ ගෙදර ගිහින් එන ගමන් මගෙන් ඇහුවෙත් ඔහොම "පුදුමයි ඒ ළමය මෙච්චර කල් බේරිලා හිටිය" කියන එක. මම දුන්න උත්තරේ "සංසාරේ ඔතාගෙන ආපු එක නේ මාමේ" කියල හෙහ් හෙහ්

      Delete
    3. පැතුම්, සංසාරේ ඔතාගෙන පතාගෙන ආවට දාලා යන්නත් පතාගෙන තමයි අපි එන්නේ... :)

      Delete
  6. Replies
    1. ස්තුතියි කුරුටු... ගී පවුරේ කුරුටුස්ලා වෙන වෙනම නම් වලින් කමෙන්ට් කලාට ඇයි මේ නිම්නයේ නමක් නොදා යන්නේ.... :)

      Delete
  7. මගේ වෙඩිම ගත්ත හැටි මතක් වෙනකොටත් ඇඟ සීතල වෙනවා. සති 3 න් ඔක්කොම ලෑස්තිකරගත්තේ. ඒ හැම මගුලම කරන්න උනෙත් මටමයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ කුරහන්, ඒ ගැන නම් මතක් කරන්නවත් මං ආස නැ.. ඔක්කෝටම වඩා අමාරු උනේ බොරුවට හිනා වෙන එක... හැබැයි අන්තිමට ස්තුති කතා කරන කොට නම් මටත් හිතුනා හැමෝම එකතු වෙන එකෙත් ගන්න දෙයක් තියනවා කියලා..:)

      Delete
  8. ජීවිතේ සුන්දරද මෙතරම්?.......

    අපූරු සටහනක් නෝනා මහත්මයා..බොහොම අපූරු සටහනක්....:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී..බොහොම ස්තුතියි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...