Sunday, November 6, 2016

පන්සල් , පල්ලි , කෝවිල් එපාද ඕනෙද.....


මට හිතුනා අපි මේ  ඉන්න පරිසරයේ තියන විවිධ ආගම නිසා හැදිලා තියන වැඳුම් පිදුම් කරන ස්ථාන සහ සිරිත් විරිත්  ගැන ටිකක් කතා කරන්න.. මම අපිට බැරිද වෙන් නොකර ඉන්න .. බෙදෙන්නෙ නැතුව ඉන්න.. ලිපියේදි ලිව්වා මම කොහෙත්ම මේ වගේ එක එක දේවල් වලට බෙදෙනවට කැමති නැ  අපි එකම මිනිස් ජාලයක් නිසා.. නමුත් දැනට අපි අතර තියන දෙයක් එකපාරට අතුරුදහන් කරන්න බැනේ නේද.. ඒ වගේම මේ හැමදෙයක්ම බිහි උනෙත් මිනිසුන් වන අපෙන්ම මිසක් අඟහරු ලෝකෙන් ආව පිටසක්වළ ජිවීන් නෙමෙනේ.. ඉතින් අපි අතරින්ම බිහි උනු මේ දේවල් නිසි ලෙස හසුරුවා ගන්න අපිටම පුලුවන් වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ..

මගේ අතීතය ගත්තොත් පොඩි කාලෙ හිටියේ නාවලපිටියේ නිසා මේ ජාතින් ඔක්කොම ගැන අත්දැකිම් මට තියනවා වගේම මේ හැම තැනකටම මම ගිහිල්ලත් තියනවා, හැම ජාතියෙම හිතවතුනුත් මට ඉන්නවා මොන දේ උනත් වෙනස් නොවෙන..ඒ නිසා වෙන්න ඇති මට මේ විවිධ ජාතින් හෝ ආගම් හෝ මට වඩා වෙනස් කියලා හිතෙන්නෙ නැ.. අමුතුයි කියලා හිතෙන්නෙත් නැ.. පන්සලේ පිරිත් වගේම මුස්ලිම් පල්ලියේ අල්ලාහු අක්බර්, කතෝලික පල්ලියේ ගීතිකා නාදයත්,කෝවිලේ යාතිකා නාදයෙත් මට  මිහිරක් දැනෙනවා කවදවත්.. පුංචි කාලේ කන්ඳ උඩ තිබ්බ අපේ ගෙදරට  නගරේ මැද තිබ්බ මුස්ලිම් පල්ලියේ නාදේ ඇහෙන වෙලාවට මමත් ඒක අහනවා මම කරන වැඩත් එක්කම..වෙලාව දැන ගන්නත්  උදව් උනා ඔරලෝසුවක් ලඟ නැති උනත්..මම කොහොමත් ඕනම විදිහේ රිද්මයකට කැමති කෙනෙක්.. හැබැයි  තැනට ඕන විදිහට වෙනස් නොවෙන   නිතී රිතී  වලට කැමති   නැ මම..

මේ නාවලපිටි නගරයේ එක එක පැති එක් එක් ආගම් සහ ජාතින්  වලට වෙන් වී තිබුනු අතර සිංහල බෞද්ධ පවුල් නගරය පුරා විසිරිලා තිබුනා.  අම්මගේ එක් යෙහෙළියක්  කසාඳ බැඳලා හිටියේ මුස්ලිම් කෙනෙක් නිසා ඇය සිංහල උනත් හිටියේ නගරයේ මුස්ලිම් ගහනය වැඩි පැත්තේ..  යාලුකමට නම් එය කිසිසේත්ම බාධාවක් උනේ නැති නිසා අපි එහෙත් ආවා ගියා..ඒ වගේම අපි හවසට  පවුල පිටින්ම ඇවිදින්න හරි හිතවතුන්ගේ ගෙදරක හරි යනකොට තාත්තයි අම්මයි අපිව නගරේ එහා කෙලවරේ තිබ්බ හින්දු කෝවිලටත් එක්කන් යන්නේ පොල් ගෙඩියක් ගහලා සුවඳ දුම් අල්ලලා, නළලේ තිලක තියාගන්නත් එක්ක. එහෙම ගිය වෙලාවට  අවට ඉන්න අය කරන දේවල් අපිත් බලාගෙන හිටියේ හරි ආසාවෙන්.. නගරේ තිබුනු හැම ජාතියකටම අයිති කඩවල හිමියන් එක්කත්  අපේ දෙමාපියන් සුහදයි.. ඒ නිසා අපිට  එදිනෙදා ජිවිතේ විවිධ ජාතින් අතරේ ඉන්න එකේ වෙනසක් දැනුනේ නැ.. මට මතකයි 7  වසරෙදි ඉස්කෝලෙන් එක්කන් ගියා ලඟ තිබුනු කෝවිලකට.. එදා එතන මඟුල් ගෙයක්. අපිටත් එයාලා ඉඳගන්න දිලා කැම බීමත් දිලා ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන හැටි බලාගන්න ඉඩ හදලා දුන්නේ ස්වකැමැත්තෙන්..

පන්සල් ගැන ගත්තොත් අපේ ගෙවල් වල ගොඩක් දාන මාන සහ  ධර්ම දේශන තිබ්බා   අපි ගොඩක් පොඩි කාලේ ඉඳලා.. ඒකට ලොකු හේතුවක් අපේ ලොකු අම්මගේ එක දුවෙක් බොහොම අඩු වයසෙන් ලියුකේමියා රෝගයෙන් අප අතරින් සමු ගැනීම.. (මට ඒ අක්කව මතක නැ, මං අඬද්දි මාව වඩාගෙන ඉන්න පින්තුරයක් තියනවා ඇයගේ)  ඇය පුදුමාකර ගතිගුණ තිබුන හරිම කරුණාවන්ත දරුවෙක් කියලා තමයි හැමකෙනාම කියන්නේ.. ඒ නිසාම ඇයගේ වියෝව දරාගන්න හැමෝටම අමාරු උන නිසයි ගොඩක් දාන මාන ගෙවල් වල කෙරුනේ..

සොහෝදර සහොදරියෝ  7 දෙනෙක් ඉන්න මගේ  අම්මගේ පවුලේ  මේ 7 දෙනාගෙම පවුල් වල හැම කෙනෙක්ම එකට එකතු වෙලා කරන දෙයක් තමයි මේ දාන මාන,එහිදි   අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉබේම. පවුලට පිටින් එකතුවුනු ඕනම පාර්ශවයක අයත් පවුලෙම අය වගේ මේ හැමදේකටම තමන්ගෙ උපරිමය කරන්න පැකිලුනේ නැ ගැටලු තිබ්බත්..එතනදි අපි ඉගෙන ගත්තා කොහොමද වෙනස් අදහස් තියන අය එක්ක වැඩ කරන්නෙ කියන එක  හරිම ප්‍රයෝගිකව, තරහා වෙනවා යාලු වෙනවා ,විහිලු කරනවා (වැඩිහිටියන්ට පමණයි විහිලු අපිට ඇහෙන්නේ නැති  වෙන්න නොපෙනෙන්න), එක්කෙනෙක් කියන දේට අනිත් කෙනා කැමති නැ, ඒත් සාමුහිකව ගහ මරා ගන්නේ නැතුව පටන්ගත්  වැඩේ ඉවර  කරන හැටි, මේ හැමදෙයකින්ම  ඊලඟ දානේ වඩා හොඳින්  කෙරෙන්න ඕනේ විදිහ ගැන අවබෝධයක් හැමෝටම ලැබෙන්නේ නිරායාසයෙන්.

උයන්න ඕන දේවල් හැමෝම එකට එකතු වෙලා සාකච්ඡා කරන තැන රස සාගරයක්.. අපේ ලොකු තාත්තා කුකුල් කේන්තිකාරයෙක්.. ඒ වගේම ඔහු හිටපු හමුදා නිලධාරියෙක්.. හරිම සංවිධානාත්මකව පිළිවෙලට දෙයක් කරන ඔහු පවුලට පිටින් එකතු උනු කෙනෙක් උනත් ඔහු තමයි මේ වැඩ වල මුලිකයා අනිත් හැමෝගෙම කැමැත්තෙන්..(ඔහුට හොරා පොඩි පොඩි වෙනස්කම් වෙන බව ඔහු දන්නවා)  හැම පවුලකම අය අතරේ මේ වගකීම් බෙදා දෙන්නෙ ඔහු.  මේ වගේ හැමෝම එකට එකතු වෙලා දිඟු කාලයක් කතා කරද්දි ඊලඟ පරම්පරාව උනු අපි ඒ දේවල් අහලා දැකලා තේරුන් ගත්තා වැඩක් කරන හැටි.. එක එක අයගේ දුර්වලකම් අනිත් අය තේරුන් අරන් පිරිමහගන්න හැටි, සල්ලි නැති අය තමන්ගේ ශ්‍රමයෙන් දායක වෙන හැටි..අනිත් අය ඒක අගය කිරීමක් එක්ක බාර ගන්න හැටි,තරහා මරහා අමතක කරන හැටි,එක එක අයගේ කැමැත්තට තමන් අකමැති උනත් ඉඩ දෙන්නේ කොහොමද මෙකී නොකී හැම දෙයක්ම අපේ වැඩිහිටියන් නිසා අපි හිමින් හිමින් ඉගෙන ගත්ත වටිනා දේවල්..
 
මේ පෙර සැලසුම් කරලා ඇත්තටම දානේ තියන දවසේ මොන  වැඩේ තිබ්බත් හැම කෙනාම එකට එකතු වෙන්නේ දානේ දෙන්න විතරක්ම නෙමේ.. මේ සුහද පරිසරයේ සුන්දරත්වය විඳගන්න තියන නොනිත් ආශාවත් එක්ක.. දානේ දවස තීරණය කරන්නෙත් හැමෝගෙම අදහස් අහලා මාස කීපයකට කලින්..ලංකාවේ  හතරදිග්බාගේ විතරක් නෙමේ පිටරටවල් වල ඉන්න සාමාජිකයොත් එතනදි එකතු වෙනවා. හැමෝම එකා වගේ, කෙනෙක්ගෙන් මඟ හැරෙන දේ උනත් වෙන කෙනෙක් කරනවා මැසිවිලි නැතුව.. මේ අස්සේ රසබර මතක ගොඩක් එකතු වෙනවා හැමෝගෙම හිත් වල.. ඉක්මන් කේන්තිකාරයෝ පොඩ්ඩ ඇත්නම් තරහා වෙලා පැත්තකට ගිහින් ආයේ විනාඩි 5න් එනවා.. 7 දෙනෙකුගේ පවුල් එකට එකතු උනාම සැහෙන පිරිසක්නේ..

ගෑනු ළමයි උන අපිට පොඩිම කාලේ දුන්න වගකීම තමයි ගෙවල් අස් කරන්නයි,  මල් මාල හදන්න මල් කඩාගෙන එන්නයි,  පුංචි පුංචි උදව් උයන අයට කරලා දෙන්නයි. මල් මාලයක් හදන්නත් සෑහෙන ඉවසීමක් තියන්න ඕනෙ වගේම එක එක විදිහේ මාල හදන්න අපිට කියලා දුන්නා වයසක අය, පස්සේ අපිම අලුත් විදි වලට හැදුවේ හරිම ආසාවෙන්. මට අදත් දැනෙනවා ඒ වතුසුද්ද මල් වල නැටි කඩද්දි දැනුන සුවඳ..අපිම හදපු මාලේ ඒ මිය ගිය කෙනාගේ ඡයාරූපයට පළදවනකොට දැනෙන්නේ හරි අමුතුම හැඟිමක්.. මගේ තාත්තගේ පින්තූරෙට දාන්න මල් මාලේ හැදුවේ මමයි හැම පාරම..   ටික ටික ලොකු වෙනකොට අපේ වගකීම් ටික ටික වැඩි කරමින් වැඩිහිටියන් පිටිපස්සෙන් ඉඳලා අපිව මෙහෙයවලා ඒ වැඩ සම්පූර්ණයෙන් අපිටම කරන්න පුරුදු කලා අවශ්‍ය තැන් වල උදව් දෙන ගමන්.

මුණින් අතට හරවපු පිඟානක් භාවිතා කරලා කෙසෙල් කොල වලින් රවුම් කපන එක මොන තරන් සීරුවෙන් කරන්න ඕන වැඩක් ද කියන එක අපිට පෙන්නලා දුන්නේ මීවිත නැතුවම බැරි ඒත් මේ වගේ වැඩ වලදි මඟ නොඅරින එක වැඩිහිටියෙක්...(බයිසිකල් පදින්න හුරුවෙන කාලේ මාව එකපාරට පිටිස්සෙන් ඇවිත් තල්ලු කරලා වැටෙන්න නොදී එක සැරෙන් පදින්න පුරුදු කලේ ඔහු,මිවිත මද පමණින් අරන් ඉන්න වෙලාවක) 

මේ වගේ වැඩ වලදි එක එක කෙනාගේ හැසිරීමත්, ජීවන රාටාව ගැනත් හොඳ අවබෝධයකුත් ලබා ගන්න ඉබේම ඉඩ හැදෙන හැදෙන අතරෙම  සමහර අය කරන තේරුමක් නැති බොළද වැඩ හිනාවක්  මුණේ තියාගෙන  ඉවසන්න පුරුදු කලේ  තේරුන් ගැනිමෙන්..මෙහෙම කාලයක් කරද්දි අපි දන්නවා එක එක පවුලේ අයගේ රුචි  අරුචිකම්,  කම්මැලි අය, අයිස් ගහන අය, අනිත් අය කලාට පස්සේ තමන්ට ළකුනු දාගන්න අය.. වැඩක් කරද්දි පැත්ත පලාතේ එන්නේ නැතුව ඉඳලා අන්තිම මොහොතෙ ඇවිත් කටින් බතල හිටවලා යන අය..

මේ මොන අඩුපාඩුව තිබ්බත් ලබන සැරෙත් අපි හැමෝම දානේ එකට එකතු වෙලා කරන බවත්  ඕනකම තියනවා නම් එකිනෙකාගෙන්  වෙන්වෙලා වෙන වෙන  රටවල් වලට ගියත් බැදිම්, වගකීම්, යුතුකම් මඟ හැරන්නේ නැ කියලා මම දන්නේ අත්දැකීමෙන්..මේ නිසා  මට පෙනුනේ පවුලේ අයව එකට බැඳලා තියන දම්වැලක පුරුක් වගේ මේ අවට පරිසරයේ තිබුනු දේවල් එක්ක යා වීම. මං ඉස්සෙල්ලා කිව්ව අක්කගෙන් පස්සේ අපිට මතක තියන කාලේ පවුලේ වයසක අය හිමින් හිමින් අපි අතරින් සමු අරගෙන යද්දි ඒ අයවත් මුල්  කරගෙන මේ දාන දිගටම කෙරුනේ අපි අතර තේරුන් ගැනීමත් වැඩි කරමින් ,

ඒ වගේම මේ වගේ වැඩක් ඉවර උනාට පස්සේ ඉතුරු වෙන කෑම අහල පහල නැති බැරි අයට බෙදලා දෙන්නත් අපිට පුරුදු කලේ අපේ වැඩිහිටියෝ.. මේ වගේ වැඩ වලදි  අහල පහල අය උදව් වෙන්න ආවම ඇති වෙන්න කෑමත් ගෙනියන්න  දීලා සල්ලිත් දෙන්නෙ ඒ දවස් කීපයේ එයාලවත් පවුලේ අය වගේම හදවතට කිට්ටු  වෙන නිසයි..  මේ අයගේ පුද්ගලික අමාරුකම් දැක්කොත්  මතක තියාගෙන උදව් කරන්නත් අමතක කලේ නැහැ  අපේ වැඩිහිටියන්  .

හැබැයි පන්සලේ කෙරෙන හැමදේම මේ වැඩිහිටියෝ අනුමත කලේ නැ, සමහර වෙලාවට  පන්සලත් එක්ක කෙලින්ම තමන්ගේ මතය කියන්නත් තවත් සමහර වෙලාවක නිහඬව අයින් වෙන්නත් එයාලා හුරු වෙලා තිබුනු අතරම මඟහරින්න බැරි තැන් වලදි අකමැත්තෙන් උනත් කෙරෙන්න ඕනෙ දේ කරලා එය එතනින් අමතක කරන්නත්..

ඇත්තටම අපේ ගෙවල් ලඟ තියන පන්සලෙත්  හාමුදුරුවො රු  1000ක් ආධාර දුන්න කෙනාට වඩා මතක තියාගන්නේ රු 10 000ක් දුන්න කෙනාව... මිනිස්සු දැන ගන්න ඕන තමන් වැටෙන්නේ මොන ගොඩටද කියන එක.. තමන් අවට ඉන්න අය අතරේ කැපිලා පේන්න ආසාවන් ඇති අය රු 10 000ක් දෙද්දි එහෙම ඕනේ කමක් නැති අය රුපියලක් පින් කැටේට දාලා යනවා.,. හාමුදුරුවෝ දැල එලන්නේ අර රු 10 000ක් අයට, මිනිස්සු අනිත් අයට පේන්න  ලොකු මිනිස්සු  වෙන්න  හදන එක නැවැත්තුවා නම් ඒ දැල එලන්න හිතෙන්නේ  නැ හාමුදුරුවන්ට, පන්සල වල ඉන්න හාමුදුරුවරු රහත් වෙලා නැනේ.. ඉල්ලුම තියන තැනට සැපයුම ලැබෙනවා.. සැපයුම නැති වෙන්න නම් ඉල්ලුම නැති වෙන්න ඕනේ..කොහොමද ඉල්ලුම නැති කරන්නේ..

ඉතින් මම ඒ අතීතය කිව්වේ පන්සල නිසා අපි වැඩක් මුල සිට පෙර සුදානම් වීමක් ඇතුව ලොකු පිරිසක් එක්ක ගැටුම් අවම කරගෙන විනෝදෙන් කරන හැටිත් එය ඉවර කරන හැටිත් වගේම ඊලඟට වෙන්න ඕන, නොවෙන්න ඕන දේවල් ගැනත් අවබෝධයක් අවට පරිසරයේ ඇති දේ එක්ක සුහදව යා වෙන අපේ වැඩිහිටියන්ගෙන් ලබාගත්ත හැටි කියන්න..අප අවට පරිසරයේ  තියන දේවල්  නිසි පරිදි තෝරා  බේරාගෙන තමන්ගේ ජීවන රටාවට අපහසුවක් නොවෙන පරිදි හැමෝම එක්ක සුහදව වැඩ කරන්න ඉගෙන ගන්න භාවිතා කරනවා නම් මට හිතෙන්නෙ මේ දේවල් එකක්වත් නරක දේවල් නෙමේ.. නරක් වෙන්නේ ඕනෙම දෙයක අන්තෙට ගිහාම.. ඉතින් මට හිතෙන්නෙ වැඩිහිටියන්ට තියනවා ලොකු වගකීමක්, තමන්ගේ බාල පරම්පාරාව කොහෙද යන්නේ, කැපිලා පේන්න ඕන අයද, තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන අයද, හෘදසාක්ෂියට එකඟ අයද , සහයෝගයෙන් ඉදිරියට යන අයද කියන එක තීරණය කරන්න.

තවමත්  ඒ වැඩිහිටියන් අපිට කියලා දුන්නු දේවල් වලින් අපි අපේ ජීවිත හදාගනිමින් යන ඕනම තැනක තියන දේවල් වල ධනාත්මක දේ අරගෙන හැඩ ගැහෙන්නත් සෘනාත්මක  දේ බැහැර කරන්නත් අපි හුරු උනේ අපේ වැඩිහිටියන් එයාලගේ ජීවන රටාවෙන්ම අපිට ඒ දේ කරලා පෙන්නුව නිසයි.. අද වෙනකොට අපේ  පරම්පරාව ලොකේ දස අතේ විසිරිලා..  ඒත්  අපිට ඒ ලැබුනු අත්දැකිම් හැමදාටම අපේ ජිවිත වලට  වැදගත්.. ඔස්ට්‍රේලියාව වගේ බහුජාතික රටකදි හැමෝම එක්ක අමුත්තක් නැතුව එකා වගේ වැඩ කරන්න  මට ගොඩක් ලේසි උනේ ඒ නිසයි.  අප අවට ඉන්න අයව වෙනස් කියලා මහා ලොකු අමුත්තක් දැනෙන්නේ අපි අපි තුලම සිරකරුවන් උනාම.. අපි අපෙන් එළියට ඇවිත් නිදහස්ව අනිත් අයගේ ජිවිත එක්ක යා උනාම තේරෙනවා එයාලා අමුතු අය නෙමේ, අපි වගේම අය.. අපි කරන දේවල් වෙනස් උනාට  එකම අරමුණු..

ඉතින් ඔබම හිතලා බලන්න අවට තියන දෙයින් ධනාත්මක දෙයක් කරන්න පෙළබෙනවද, නැත්නම් තියන දේට බැන බැන ඒ දේවල් විනාශ කරන්න, අතුරුදහන් කරන්න සිහින දකිමින්  එකම තැන ඉඳගෙන ප්‍රශ්න හදමින් ජීවත් වෙනවද කියන එක..තමන් අවට තියන දේවල් තමන්ගේ බුද්ධිය සහ පෙර අත්දැකිම් එකතු කරගෙන සුහදව ගලපගන්න හැකියාවක් නැති වැඩිටියන්ගේ ඇසුර ලබන දරු පරම්පරාවට අබ සරණයි..


ප.ලි. අද අපි ලංකාවෙන් පිට ජීවත් උනත් අපි අවට තියන විවිධ ආගම් සහ ජාතීන්ට අයත් ස්ථාන වලට යන එන එක නම් නැවතිලා නැහැ.. ගේ ලඟම අක්කර ගානක් පුරා විහිදිලා තියන කතෝලික පල්ලියට හැමපාරම  නත්තලට අපි  යන්නේ මනස්කාන්ත විදුලි සැරසිලි බලන්න.. රැ කලුවරේ හැඟුම් අතර අතරන් වෙමින්..




දකුණු ඉන්දියානු කෝවිලකුත් තියනවා ටිකක් දුරින්.. ඒකට නම් ගොඩක් අය යන්නේ එතන බොහොම අඩු මුදලට ඉන්දියානු කෑම ගන්න පුලුවන්  රසම රස.. ඒ ඒ තැනට ගිහාම ඒ ඒ තැන අනූව හැඩ ගැහෙන්න හැකියාවක් අපිට තියෙන්න ඕන විවේචනය නොකර.. තමන් අකමැති නම් නොයා ඉන්න පුලුවන්නේ..



තවත් ටිකක් ඈතට වෙන්න චීන පන්සලකුත් තියනවා.. මහායාන නිකායට අයත් කියන්න පුලුවන් බොහෝම අලංකාර පන්සලක්.. මට ඒ පන්සල්ට ගිය දවසේ පුදුම හිතුනේ පිරිසිදුකම දැකලා, කොහොමද එහෙම තියාගන්නේ..  



මේ පන්සලේ තවත් පින්තූර මෙන්න මේ ලිපියෙන් බලන්න පුලුවන් ඔයාලට...

12 comments:

  1. මමත් පන්සලට වගේම හින්දු, ක්‍රිස්තියානි ආගමික ස්ථානවලටත් ගිහින් තියෙනවා. මුස්ලිම්වරුත් ආශ්‍රය කෙරුවට ඒ පල්ලියට යන්නනම් කැමැත්තක් ඇත්තෙම නෑ.
    ඒ වගේම හීන දකින්නී තව දෙයක් කියන්න ඕනෙමයි.
    අද වෙනකොට බොහෝ ලාංකික පන්සල් පිළිබඳව මට ඇත්තේ කණගාටුවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් සෑහෙන්ට එකඟ වෙන්ට පුළුවන් අදහසක් තමයි මේක...

      Delete
    2. මුස්ලිම් පල්ලියක් ඇතුලට මමත් ගිහින් නැ දුමී.. අකමැති නම් නොයා ඉන්න එක තමා මමත් හිතන්නේ වඩා උචිත..

      පන්සල් ගැන නම් කතා කරලා වැඩක් නැ දුමි.. තමන් කල්පනාවෙන් වැඩ කරනවා මිසක්..වෙන ආගම් වල දේවල් වලට මැදිහත් වෙනවට වඩා මේ පන්සල් යන පාර ටිකක් එළි පෙහෙළි කරන්න අපිට පුලුවන් නම්...

      Delete
    3. එළි පෙහෙළි කරන්න විරුද්ධ වෙන්නෙත් පන්සලේ හිමිකාරිත්වයමනේ හීන දකින්නී.

      ජයවේවා!!!

      Delete
    4. දුමී හිතනවද අනිත් ආගම් ගැන කතා කරද්දි ඇතුලතින් විරෝධයක් එන්නේ නැ කියලා.. වෙන ආගම් ගැන කතා කරද්දි සිංහයෝ වෙන මිනිස්සු පන්සල් ගැන කතා කරද්දි ගොලුබෙල්ලෙක් කටුව අස්සට රිංග ගන්නවා වගේ..

      ඔය දෙපැත්ත මාරු වෙලා මිනිස්සු කතා කලා නම් අපිට ගොඩක් දේවල් පන්සලක් හරහා කරන්න පුලුවන් දුමි සාමකාමි සහජිවනයක් ඇති සමාජයක් හදා ගන්න...

      Delete
  2. එපා ද???ඕනේ ද??? කියන එක මටත්තවම ප්‍රශ්නයක්...

    පුද්ගලිකව මම නම් සෑහෙන දුරට ආගමික ස්ථාන වලින්, ආගමික වතාවන් වලින් ඈත් වෙලා ඉන්නේ...

    ඒත්
    " මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම "
    තමයි...

    ReplyDelete
    Replies
    1. //ඒත්
      " මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම "
      තමයි... //

      එය තමයි මමත් හිතන්නේ විය යුත්තේ...

      චතුරන්ග ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිම්නයේ..

      Delete
  3. ඉස්සරවෙලාම පන්සල්/පල්ලි/කෝවිල්/ ගොඩනැගෙන්න ඕනේ අපේ මනස ඇතුළේ. අපේ මනස තුළ පන්සල්/පල්ලි/කෝවිල්/ කලවම් කරගන්නේ නැතුව, විරුද්ධවාදී වෙන්නේ නැතුව, අනෙක් පුද්ගලයාගේ ආගමික නිදහස සහ මගේ ආගම් ඇදහීමෙන් අනෙක් අයට හිරිහැරයක් නොවන බව තහවුරු කරගෙන සිටිනවානම්, මහපොළොවේ කොතරම් පන්සල්/පල්ලි/කෝවිල් ඉදිවුනත්, ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
  4. හමුදාවල ඉන්නා අනිත් අයත් විචාරක වගේ උනානම් කොච්චර එකක්ද......................

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඇනෝ, හමුදා වල ඉන්න අයටත් වඩා නැති අය (බහුතරය) ඒ වගේ උනා නම්...( එහෙම උනා නම් හමුදා ඕන නැ නේද.... විචාරක වගේ අයටත් එහෙනන් හිතට සැහැල්ලු තෘප්තිමත් රැකියාවක් කරන්න තිබ්බා, හීනයක් පමණී )

      Delete

Related Posts Plugin for WordPress, Blogger...