Wednesday, October 19, 2016

Say (Less & Stress) + Go (Slow & Show)

The Four S's

මීට අවුරුදු 3කට කලින් පටන් ගත්ත මගේ දෙවෙනි උපාධියේ අලුත් අධ්‍යයන කටයුතු වලදි තමයි මට මුලින්ම ඔටිසම් කියන තත්වය ගැන දැන ගන්න ලැබුනේ. එතෙක් මම කරගෙන ආපු රැකියා අංශය සහ අධ්‍යාපන අංශය එක පාරට වෙනස් කරන්න වුන විදිහ ගැන මම ලිපියක් ලියාගෙන යනවා. එහිදි මම කියන්නම් ඇයි මම මේ විදිහට හිටපු ගමන් මගේ ගමනේ පිළි මාරු කලේ කියලා..මේ මගේ ජීවිතේ දෙවෙනි හැරවුම් ලක්ෂය සහ හොඳම හැරවුම.. පළවෙනි හැරවුම ගැන මම ලිව්වා  හොඳම යෙහෙළිය කියාදුන් පාඩම් ලිපියේ...


ඉතින් මම ඔටිසම් ගැන ඉගෙන ගනිද්දි මට හරිම ආසා හිතුනා ඒ දරුවන්ට කරන්න පුලුවන් ප්‍රතිකාර ක්‍රම ගැනත් ඉගෙන ගන්න. අනිත් වැඩත් එක්කම මම මේ ප්‍රතිකාර ක්‍රම ගැන වෙනම ඉගෙන ගන්න විදි හොයද්දි මේ ප්‍රදේශයේ තියන විශේෂ දරුවන් සම්බන්ධ ආයතන වලින් නොමිලේ පැවැත්වුනු වැඩමුලු කීපයකට දායක වෙන්න මට අවස්ථාව ලැබුනා.. ඊට අමතරව Online තිබුනු පාඨමාලවකුත් මම හැදැරුවා ඔස්ට්‍රේලියාවේ රජයෙන් අනුමත.. එකින් එක ක්‍රම ඉගෙන ගනිද්දි මගේ කුතුලය තවත් වැඩි උනා. ඒ නිසාම දැනට ලෝකයේ ඔටිසම් සඳහා කෙරෙන මිල අධිකම ප්‍රතිකාර විදිහක් වන Applied Behavior Analysis  (ව්‍යවහාරික හැසිරීම විශ්ලේෂණය)   ගැනත් මම ඉගෙන ගත්තා. 

මේ හැම විදිහම එකපාර ඉගෙන ගනිද්දි මට තේරුන කරුණක් තමයි ඔටිසම් දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට ප්‍රතිකාර කරද්දි එක් එක් ක්‍රමය වෙනම වෙනම කරනවට වඩා ක්‍රම කීපයක් එකට එකතු  කරලා කලොත් අඩු කාලයකින් වගේම අඩු වෙහෙසකින් වැඩි දියුණුවක් දකින්න පුලුවන් වේවි කියන දෙය..

මේ වෙනකොට මට අවබෝධයක් තිබ්බා ඔස්ට්‍රේලියාවේ  මම ඉන්න ප්‍රාන්තයේ කොහොමද ඔටිසම් දරුවෙකුට ප්‍රතිකාර කරන්න හැඩ ගැහිලා තියෙන්නේ කියලා. ඒ අතරේ මම දැක්ක දෙයක් තමයි කිසිම කෙනෙක් මේ ප්‍රතිකාර ක්‍රම කීපයක් එකට එකතු කරලා දරුවගේ මොළයේ හැම පැත්තක්ම එකවර උත්තේජනය කරමින් ප්‍රතිකාර කරන්නේ නැති බව. ඊට වඩා වෙන්නේ එක එක ප්‍රතිකාර ක්‍රමය කරන අය ලඟට දරුවා රැගෙන යාම. උදාහරණයකට කථන පුහුණුව (Speech Therapy), වෘත්තීය චිකිත්සා (Occupational Therapy), ව්‍යවහාරික හැසිරීම විශ්ලේෂණය (ABA) කියන ප්‍රධාන  ක්‍රම (තව ප්‍රතිකාර ක්‍රම රැසක් තියනවා)  කරන ආයතන හරහා වෙන වෙනම දරුවට ප්‍රතිකාර කිරිම. ඒක හරියට අපි 6 වසරේ ඉඳලා 13 වසර වෙනකන් එක එක ගුරුවරුන් යටතේ විෂයන් ගොඩක් ඉගෙන ගන්නවා වගේ. (එක ගුරුවරයෙකුට මේ ඔක්කොම විෂයන් උගන්නන්න බැරි නම් අපි කොහොමද මේ ඔක්කොම ඉගෙන ගන්නේ... )  ඒත් ඇත්තටම මේ එක් එක් අය දෙන උපදෙස් පිළිපදින්න ගිහාම මේ හැමවිදිහක් ගැනම අවබෝධයක් තිබීම හරිම වැදගත් දරුවව තේරුන් ගන්න.

ඒත් ඒක ලේසි දෙයක් නෙමේ. ඒ නිසා තමයි එක එක ක්‍රම පිළිබඳ ප්‍රවීනයණ්ගෙන් සේවා ලබා ගන්න විදිහට මේ ක්‍රමය හැදිලා තියෙන්නේ. හැබැයි දෙමාපියන් දරුවා එක්ක වැඩ කරද්දි මේ හැම ක්‍රමයකින්ම ලැබුනු උපදෙස් එකට  එකතු කරලයි දරුවා එක්ක වැඩ කරන්න විදිහක් හොයා ගන්න ඕන.  මෙන්න මේ නිසා මේ හැම ආයතනයකින්ම දෙමාපියන්ගේ දරුවා පිළිබඳ ඇති තේරුන් ගැනීම තමන්ගේ ප්‍රතිකාර විදි තීරණය කරන්න යොදා ගන්න එක තීරණාත්මක සාධකයක්.. තමන්ගේ දරුවා ගැන තමන් තමයි වැඩියෙන්ම දන්නේ කියන එක හැම ප්‍රතිකාර ආයතනයකින්ම දෙමාපියන්ට දෙන ධනාත්මක පණිවිඩයක්.. එතනදි ඔටිසම් ගැන දෙමාපියන්ගේ දැනුම අඩු උනත්  ප්‍රතිකාර කරන අය දෙමාපියන්ට දෙනවා ලොකු වටිනාකමක්.

මෙන්න මෙතනදි දරුවා එක්ක නිතර ගැවසෙන ඕනම කෙනෙක් දරුවා ගැන තේරුන් ගන්න නම් දරුවා එක්ක සුහද නොකැඩෙන ද්විපාර්ශවීය සන්නිවේදනයක් පවත්වා ගත යුතුයි දවසේ පැය විසිහතරෙම.  අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ලෙස වැඩෙන දරුවන් ගැන නෙමේ. මේ දරුවන්ගෙන් 90%ක්ම කතා කිරිමේ සහ කතා කිරිම කියන සංකල්පය තේරුන් ගන්න අපහසු දරුවන්. ඒ වගේම අවට පරිසරය වෙනස්ම විදිහකට දැනෙන දරුවන්. ඉතින් එයාලත් එක්ක අපි නොකැඩෙන සම්බන්ධයක් තියා ගන්න නම් අපිටත් එයාලා වගේ හිතන්න දැනෙන්න විදිහක් හදා ගන්න වෙනවා අනිවාර්යයෙන්..

ඒ විදිහේ සම්බන්ධයක් තියාගන්න පහසු කරන විදි 4ක් ගැන තමයි අද මම ලියන්නේ.. මේ ක්‍රම හතර ඕනම කෙනෙක් එක්ක නොකැඩෙන සම්බන්ධයක් තියා ගන්න භාවිතා කරන්නත් පුලුවන් නිසා ඔයාලත් එක්ක මේ විදිහට බෙදා ගන්න මට හිතුනා..මේ ක්‍රමය හඳුනවන්වා 4S කියලා.. අර ජපන් ජාතිකයන්ගේ 5S වගේ තමයි ටිකක්..එහිදි පිළිවෙලට හදන්නේ අපි වැඩ කරන විදිහනේ... මේ S අකුරු හතරෙන් පිළිවෙලට හදන්නේ අපි කතා කරන  සහ හැසිරෙන විදිහ.

Say Less  & Stress

Go Slow & Show


Say Less

කවදාහරි දරුවෙකුට ඔබ කතා කරන විදිහ රෙකෝඩ් කරලා නැවත අහලා තියනවද.. විශේෂයෙන් දරුවෙක් ඔබ අනුමත නොකරන දෙයක් කල විට.. ඔබ කරලා නැත්නම් වෙලාවක කරලා බලන්න. තප්පරේකට වචන කීයක් ඔබ කියනවද කියන එක.. විශේෂයෙන් අම්මලා....තවමත් භාෂාව ඉගෙන ගනිමින් ඉන්න අවුරුදු 3-4 දරුවන්ට ඔබේ මේ කතාවෙන් භාගයක්වත් හරිහැටි වැටහෙන්නේ නැ.. අන්ඩර දෙමළ වගේ..ඊට ඉහල වයස් කාණ්ඩ වල දරුවන්ගේ උනත් කථනය හා සම්බන්ධ මොළයේ ක්‍රියාකාරීත්වය අනූව තේරුන් ගන්න පුලුවන් ප්‍රමාණය වෙනස්. ඉතින් ඔබ කියන දේවල් වලින් වැඩි හරියක් නොතේරෙන කොට දරුවන් ටික ටික ඔබෙන් ඈතට යනවා.. ඒ කියන්නේ අපි මුලදි කතා කල නොකැඩෙන ද්වීප්‍රාර්ශවීය සන්නිවේදනය දිගටම තියා ගන්න බැරි වෙනවා කියන එක. 

ඒ නිසා මේ වගේ දරුවෙකුට හරි සාමාන්‍ය දරුවෙකුට හරි කතා කරද්දි ඒ දරුවට වැටහෙන සීමාවේ ඉඳලයි අපි කතා කරන්න ඕන.  දරුවෙකුට විතරක් නෙමේ, වැඩිහිටියෙකුට උනත් කතා කරදිදි ඒ ඒ කෙනාට වැටහෙන සීමාව ගැන අවබෝධයක් තිබීම වැදගත්. අවුරුදු 3ක ඔටිසම් දරුවෙක් ගත්තොත් ඒ දරුවට ඔබ කතා කරන්න ඕන බොහෝ විට අවුරුදු 1ක 2ක අලුතෙන්ම භාශාව ඉගෙන ගන්න දරුවෙකුගේ සීමාවට බැහලා.. පුලුවන් තරන් අවම වචන ගනණක් භාවිතා කරලා කියන්න ඕනම දෙය කෙටියෙන් කියන එක තමයි මේ S අකුරෙන් කියවෙන්නේ.

අපි හිතමු අපිට ඕන දරුවා සෙල්ලම් කරලා ඉවර උනාට පස්සේ ඒ සෙල්ලම් බඩු අස් කරන්න කියලා කියන්න. හිතලා බලන්න අපි ඕක දරුවාට සාමාන්‍යයෙන් කියන විදිහ.. එකම දේ බොහෝ විට අපි නැවත නැවත කියන්න පෙළබෙනවා දරුවට අපි කියන දේ තේරුන් ගන්න කාලයක් දෙන්නෙත් නැතුව වචන ගොඩක් භාවිත කරලා..

ඒ වගේම මේ දරුවන්ට වචන අස්සේ තියන සැඟවුන අරුත තේරුන් ගන්නත් අමාරුයි.. අපි හිතමු දරුවෙක් ටීවි බලනවා කියලා.. අපිට කිව්වොත්  දරුවට "මං හිතන්නේ දැන් ටිවි බැලුව ඇති" කියලා බොහෝ විට එයින් අදහස් වෙන "ටීවි එක ඔෆ් කරන්න" කියන සැඟවුන පණිවිඩය දරුවට වැටහෙන්නේ නැ.. ඉතින් කියන දේ නැහුනා වගේ ඉන්න දරුවා දකින අපේ හිතේ කේන්තියක් ගොඩනැඟෙනව හිමිට.. ඉන් පස්සේ අපි කතා කරන ස්වත් උස් කරලා ආයෙත් අපි මුලින් කියපු දේම කියනව "ඇහුනේ නැද්ද මං කිව්ව දේ" කියලා.. ඒත් දරුවට ඔබ ඔබට ඕන පනිවිඩය හරියට දෙන්නේ නැ.. ඔබ කියන්න ඕන "දැන් ටිවි එක off කරන්න" කියන  දේ විතරයි. ඔබත් මේ ඉගැන්විම් ගැන දැනුවත් උනොත් වැටෙහේවි අපිට තරහ ගන්න තරන් දෙයක් අපි අවට ඇත්තටම වෙන්නේ නැති බව. අපිම මවා ගත්ත තරහ යාමක් තමයි තියෙන්නේ.

මේ විදිහට කතා කරන්න පුරුදු වීම කොයි දරුවටත් ගැලපෙන අතරම දරුවන් සහ ඔබ අතර තියන සම්බන්ධය ශක්තිමත් කරන්න යොදාගන්න පුලුවන් විදිහක්. වැඩිහිටි අය දෙන්නෙක් ගත්තත් මේ ක්‍රමය හැම අතින්ම ඒ දෙදෙනාව කිට්ටු කරන්න හේතු වෙනවා


Stress

මොකක්ද මේ Stress කියන්නේ.. මේ කාලේ නම් Stress නැති කෙනෙක් හොයා ගන්නත් බැනේ.. මේ කියන්නේ ඒ අපි දන්න Stress නෙමේ.. අපි දරුවෙකුට හරි  වෙන කෙනෙකුට හරි කතා කරද්දි අපිට කියන්න ඕන පණිවිඩයට අඳාල සමහර වචන වලට වැඩි බරක් යොදා කතා කිරිම තමයි මේ Stress කියන්නේ.  මෙතනදි වැඩි බරක් යනුවෙන් අදහස් කරන්නේ ටිකක් උස් හඬින් හෝ කෙනෙක්ගේ අවධානය දිනා ගන්න පුලුවන් ස්වරයකින් අපි කියන පණිවිඩයේ වැදගත් වචන කීම. බොහෝ විට ඔටිසම් දරුවන්ගේ මතකයේ රැඳෙන්නේ මේ දැන් පැවසුව දේ විතරයි. ඒ නිසා වාක්‍යක වැදගත් වචන කියන්න ඕන අන්තිමට. නැත්නම් එයාට මුලදි කිව්ව දේ අමතක වෙන්න පුලුවන්.

අපි හිතමු අපිට ඕන මේ වගේ දරුවෙකුට කියන්න පාඩම් කරලා ඉවර නම් පොත් ටික අස් කරන්න කියලා..අපිට ඒක කියන්න පුලුවන් "පොත්" කියන වචනය අන්තිමට දාල "අස් කරන්න" කියන වචනයට වැඩි බරක් එන විදිහේ ස්වරයකින්...


 "අපි අස් කරමුද පොත් ? "

මේ වාක්‍ය දරුවගේ මට්ටමට පහත් වෙලා එයාගේ මුණට මුණ බලාගෙන හැකි තරම් සන්සුන්ව ටිකක් විනෝදයට බර ඉරියව්වකින් ආදරෙන්  කියන්න පුලුවන් නම් එක සැරෙන් දරුවා ඔබ කියන දේ කරාවි.

Slow

මේක නම් ගොඩක් දෙනෙකුට කරන්න ගොඩක් අමාරු දෙයක්. ඇත්තම කිව්වොත් මටත් ගොඩක්ම අමාරු දෙයක්. හිතා මතා  කතා නොකොලොත් මම සමහර වෙලාවට කතා කරන වේගය හරිම වැඩි. මම මුලින් කිව්ව වැඩමුළු වලට ගිහාම අපිට එක වාක්‍ය කණ්ඩයක් දිලා ඒක කියන විදිහ රෙකෝඩ් කරලා නැවත අහන්න කියලා ප්‍රයෝගික පැවරුමක් දුන්නා.. අපි හැමෝටම එක හරි විනෝදජනක වගේම අපේම කටහඬට නැවත නැවතත් සවන්දෙන එක අමුතුම අත්දැකීමක් උනා.

මෙතනදි කියන්නේ අපි කතා කරන වචන සහ වාක්‍ය අතර නැවතිමේ තිත් තබමින් කතා කරන්න කියල.. හැබැයි ඒක ස්වාභාවික විදිහට අහන් ඉන්න කෙනාට ඇහෙන්නත් ඕන.. එහෙම නැතුව අකුරෙන් අකුර වචනෙන් වචනේ නවත්තමින් කියන්න නෙමේ. ඕනම දරුවෙක් කතා කරන්න ඉගෙන ගන්නේ තමන් අවට ඉන්න අයව අනුකරණය කරමින්. ඉතින් විශේෂයෙන් ඔටිසම් දරුවන්ට වෙනස්කම් කරන්න අමාරු නිසා මුලින්ම හරි දේ කියලා දෙන්න ඕන.  ඒ නිසා මෙවැනි දරුවන් ඉන්න දෙමාපියන්ට සිදුවෙනවා තමන්ගේ කතා බහ, හැසිරීම හරිම පරිස්සමින් කරන්න ගෙදර ඉන්න ඕනම කෙනෙක් එක්ක.

අපි කියන දේ අවස්ථාව අනූව හිතලා  වචන වල අරුත වටහා ගැනීමේ ක්‍රියාවලිය මොළයේ  ඇතුලේ  සිදු වෙලා තේරුන් ගන්න, එක එක දරුවට යන වෙලාව වෙනස්. ඒ ඒ දරුවට ආවේණික වෙලාව නිවැරදිව හොයා ගන්න පුලුවන් එකම කෙනා අම්මා හෝ තාත්තා වගේ දරුවත් එක්ක නිතර ඉන්න කෙනෙක්. ඒ සොයා ගැනීම අනූව තමයි මේ නැවතිමේ තිත් කොයි වෙලේද කොහොමද තියන්න ඕන කියලා තීරණය වෙන්නේ..

Show.

අපි ගොඩක් දෙනෙකුට වචන වලින් කියන දේ රුපයකින් හරි විඩියෝවකින් හරි බලන්න පුලුවන් නම් තවත් හොඳින් තේරුන් ගන්න පුලුවන්.. ඉතින් කතා කරන සංකල්පය හරිහැටි නොවැහටෙන ඔටිසම් දරුවන්ට මේ පින්තූර පෙන්වීම , සිදුවිමට අඳාල විඩියෝවක් පෙන්වීම කියන්නේ ඔවුන්ට කරන ලොකුම ලොකු උදව්වක් දෙයක් හරිහැටි වටහා ගන්න.

එදිනෙදා ඕන වෙන දේවල් වල ඇත්තම වස්තුව (Object) පෙන්වීම, පැහැදිලි අංගචලන සහිතව කතා කිරිම, පින්තුර හෝ විඩියෝ පට පෙන්වීම, වචන ලියලා පෙන්වීම මෙතනදි  අපිට කරන්න පුලුවන් දෙවල් අපි කියන දේ දරුවට හොඳින් වටහා ගන්න.

මේ වගේ දරුවෙකුට උදේ නැගිටලා දත් මැදලා මුණ සෝදන්න පුරුදු කරන්න ඕන නම් මුලින්ම ඒ ඒ පියවරට අඳාල පින්තුර හදා ගන්න ඕන. එතනදි අපිට පුලුවන් එයාට කතා කරන ගමන්ම දත් බුරුසුව, දන්තාලේප පෙන්වන්න.. අපිට පුලුවන් කරලා පෙන්නන්න පියවරෙන් පියවර කොහොමද දත් මදින්නේ කියලා. ටික ටික මේ විදිහට උපරිම උදව් දෙමින් හුරු කලාම ටික දවසකින් ලියල තියන වචන දකින කොට අපි කියන දේ ඉක්මනින් වටහාගෙන කරන්න පුලුවන් වෙනවා. තව දුරටත් හෙමින් උදව් කරගෙන යන විට අපි කියන වචන වලින් විතරක් කරන්න ඕන දේ තේරුන් ගන්න පුලුවන් වෙනව.. දෙමාපියන් හුරු කරන්න උත්සහ කරන කිසියම් දෙයක් තනියෙන් මේ දරුවෙක්  කරන දවසට   දෙමාපියන්ට දැනෙන සතුට වචන වලින් නම් කියන්න බැහැ...

ඔබ දන්නවද බොහෝ විට මේ දරුවන්ට තමන්ගේ ලඟම  අයව වුනත් මතක තියාගෙන අඳුරගන්න හරිම අමාරුයි.. තමන්ගේ අම්මාව උනත්.. ඒකට තියන හොඳම විසඳුම තමයි ඒ ඒ අයගේ පින්තුර නිතර දරුවට පෙන්වීම.. එතනදි මුහුණ විතරක් මුලින් පෙන්වීමට තමයි උපදෙස් ලැබෙන්නේ.. මේ දරුවන්ට කෙනෙක් ඇඳගෙන ඉන්න පාට අනූවත් එකම කෙනාව වුනත් වෙනස්ව දැනෙන්න ඉඩ තියන නිසා...

ඔබට වැටෙහෙනවා ඇති ඔටිසම් දරුවෙක් ඉන්නවා කියන්නේ ජීවිතේ මොන තරන් වෙනස් වීම් දෙමාපියන් කරගන්න ඕනද, මොන තරන් හිමින් ද එදිනෙදා වැඩ කරන්න ඕන කියන එක. හැබැයි මේ ඔටිසම් දරුවන්ට තේරෙන ක්‍රමය හොයා ගත්තට පස්සේ සාමාන්‍ය දරුවෙකුටත් වඩා හොඳින් දේවල් තේරුන් අරන් කරන්න හැකියාවක් බොහෝ  විට තියනවා.. අමාරුම දේ තමයි ඒ ඒ දරුවට වැටහෙන ක්‍රමය හොයා ගන්න එක, දැනට ලොකේ කිසිම තැනක  මෙන්න මේ විදිහට කරලා හොයා ගන්න කියල එක ක්‍රමවේදයක් නැති නිසා..   ඒ නිසා තමයි මට හිතුනේ මම දැන් කරන Early Education & Care  කියන  උපාධියෙන් පස්සේ  මේ ඔටිසම්  දරුවන්ගේ ප්‍රතිකාර ක්‍රම ගැන පර්යේෂණ කරන ආයතනයකට බැඳෙන්න..

මේ මොන දේ කලත් මොන අවස්ථාව ලැබුනත් මගේ ජිවිතේ සතුටෙන්, විනෝදෙන්, සැහැල්ලුවෙන්  ගත කරන්න  සෑහෙන ඉඩක් තියාගෙන තමයි මම කරන්නේ..තමන්ගේ ජිවිතය   පිළිවෙලට හදාගන්න ඕන තමන්. අවට ඉන්න අයට  එක එක විදිහේ චෝදනා එල්ල කරලා කිසිම තේරුමක් නැහැ. හැමකෙනාගෙන්ම අපිට ගන්න දේකුත් තියනවා, නොගන්න දේකුත් තියනවා.. තීරණය තියෙන්නේ ඔබේ අතේ.....

 ඔබ + අවට ඉන්න අයගේ [  (හොඳ) - (නරක )  ]  =  ඔබ

25 comments:

  1. ගොඩාක් වැදගත් ලිපියක් චතූ... මේ ක්‍රම ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා ගොඩක් අඩුයි... ක්‍රියාත්මක වෙනවා නම් වටිනාකම කියල වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි, මෙහේ තියන දැනුමෙන් සහ පහසුකම් වලින් පුංචි හරි ප්‍රමාණයක් ලංකාවෙත් ඇති කරන්න පුලුවන් නම් කොයි තරන් හොඳයි ද...

      මේ වගේ විශේෂ අවශ්‍යතා තියන දරුවන් පොඩි වයසෙන් අඳුරගත්තට පස්සේ වෙනම රක්ෂණ ක්‍රමයක් මේ රජය හඳුන්වලා දිලා තියනවා මුලු ජීවිත කාලයම මේ දරුවන් පුලුවන් හැකි උපරිමයෙන් ස්වාධින කරන්න.. දෙමාපියන්ට දැනෙන බර අඩු කරන්න..

      ඒ අනුව බලන කොට මේ රටවල් වල අනාගත්යේ මේ විශේෂ අවශ්‍යතා තියන දරුවන් බරක් වෙන්නේ නැ කාටවත්.. කුමන හෝ ජීවන උපායකට ඔවුන් පුරුදු පුහුණු කරන්න හැකි සෑම දේම සිදු වෙනවා ඒ දරුවන්ගේ මට්ටම අනූව..

      Delete
    2. ඔය රටේ මේ ළයි වෙනුවෙන් භාවිත කරන ක්‍රම උපායන් දැනගන්න කැමතී චතූ...

      Delete
    3. ඔටිසම් දරුවන්ටද නිර්මාණි ?

      ඒක ටිකක් සංකිර්ණයි.. ඔටිසම් හැම දරුවෙක්ම එකිනකාට හරිම වෙනස්.. එක්කෙනෙකුට කරන ක්‍රමය අනිත් කෙනාට ගැලපෙන්නෙ නැ.. ඒ නිසා ඒ ඒ දරුවට වෙන වෙනම ක්‍රම හදන්න වෙනවා උපදෙස් අරගෙන නිර්මාණි.

      මුලින්ම ඔටිසම් කියලා දරුවෙකුට රිපොර්ට් එක ලැබුනම Autism Advisor කියලා වැඩසටහනකින් මේ ප්‍රාන්තයේ තියන උපදෙස් ගන්න පුලුවන් ආයතන ගැන සම්පුර්ණ විස්තර කියලා දෙනවා... අවුරුදු 7 වෙනකන් ගන්න පුලුවන් සහනාධාරයකුත් හිමි වෙනවා ඕනම තරාතිරමක දරුවෙකුට..

      Delete
    4. ඔටිසම්, ඩවුන්ස් ඒ වගේම බුද්ධිහීනතාවෙන් පෙලන වගේ හැම කාණ්ඩයකම ළමයිට මේ පහසුකම් ලැබෙනවද?

      Delete
    5. ඔව් නිර්මාණි, කුමන හෝ විශේෂ අවශ්‍යතාවයක් තියනවා නම් ලැබෙනවා..

      Delete
    6. මේ අයගේ ප්‍රතිකාර ක්‍රම ගැන ඔයා ලඟ විස්තර තියනවා නම්, ඔයාට වැඩ අඩු වෙලාවක මට මේල් එකක් දානවාද... කරදර නැත්නම් විතරක්..

      මෙන්න මේල් එක
      wsnirmani@gmail.com

      Delete
    7. මං ගාව තියෙන්නේ ඔටිසම් ගැන තමයි වැඩි විස්තර.. මේ රක්ෂණ ක්‍රමය හැම විශේෂ අවශ්‍යතා ඇති කෙනෙකුම අදාලයි කියලා අපි ඉගෙන ගන්නවා.. ඒ ඇරුනම ඒ ගැන වැඩි විස්තරයක් මගේ ලඟ නැ..

      ඔටිසම් ගැන මං ගාව තියන දේවල් මම ඔයාට එවන්නම්..

      Delete
    8. නිර්මාණි, මට ඔබේ ලංකාවේ ලිපිනය දෙන්න පුලුවන් නම් මං ගාව තියන නැවත මට අවශ්‍ය නොවන පොත්, විස්තර පත්‍රිකා ඔබට එවන්න පුලුවන්, මම ඔබ මේ දීලා තියන email එකට මගේ email එක එවන්නම්.. ඔබ කැමති නම් මට ලිපිනයක් එවන්න...

      Delete
  2. Read Jilly Cooper's "Rivals"

    You will find Taggy (Agatha) O'hara a nice study model.

    ReplyDelete
  3. බොහොම වැදගත් ලිපියක්. කණගාටුවට කාරණය ඔය දේ ලංකාවේ සිද්ධ නොවීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත...ඒ ගැන නම් මටත් හරි කණගාටුයි...

      Delete
  4. හීන දකින්නි කියනවා වගේ අපි කියන සමහර දේවල්වල යටි අර්ථය දරුවන්ට තේරුම් ගන්න වෙලා යනවා. එතකොට අපිත් ළමයිට කෑ ගහනවා. බලන් යනකොට අපිටයි ඔවුන්ව තේරුම් ගන්න බැරි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් දුමී, අපි ගොඩක් වෙලාවට දෙයක් කියලා ඊට පස්සේ තමයි හිතන්නේ මොකද්ද ඒ කිව්වේ කියලා.. නොතේරුන දේවල් හිමින් කතා කරලා තේරුන් කරගන්න පුලුවන් ඕන කමක් ඉවසීමක් තියනවා නම්.. සමහර වෙලාවට අපිට දෙයක් තේරුන් ගන්න ඕන නැති වෙලාවලුත් තියනවනේ...අපේ අම්මා ඒකට කියන්නේ හිතුවක්කාරකම කියලා.. හි හී

      Delete
  5. බොහොම වැදගත් ලිපියක්.

    Nadee akka

    ReplyDelete
  6. http://www.bbc.co.uk/newsbeat/article/37712162/an-autistic-boy-who-cant-be-touched-has-connected-with-a-service-dog?ocid=socialflow_facebook&ns_mchannel=social&ns_campaign=bbcnews&ns_source=facebook


    බොහෝ විට මම වැරදි වෙන්න පුළුවන් වුනත්, මම තවම හිතන්නේ ඔටිසම් යනු මිනිස් පරිණාමයේ මීළඟ පියවරක් වෙන්නට පුළුවන් බව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්කුයුෂා, මම පෞද්ගලිකව ඔටිසම් රෝගයක් විදිහට දකින්න අකමැති එහි තියනවා ධනාත්මක ලකුණු ජීවිතේට මුහුණ දෙන්න ගිහාම හැඟිම් වලින් වේදනා නොවිඳ ඉදිරියට යා හැකියි කියලා මට හිතෙන..

      ඔබේ ලින්ක් එකට ස්තුතියි. මමත් සෑහෙන්න කියෙව්වා ඒ ගැන.

      Delete
  7. ඔටිසම් පිළිබඳව නම් පළමුවත අත්දැකීමක් (First hand experience) නැත. එහෙත් ඥාති සොයුරකුගේ දියණිය ඩවුන් සහලක්ෂණයෙන් පෙළෙනා බැවින් ඒ පිළිබඳව යම් පමණකට දනිමි.

    ස්තූතියි නිම්නී, ඔබේ කරුණු ඉදිරිපත්කිරීමේ විලාසය ඉතා සිත්ගන්නා සුළුයි...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී ඔබේ අගය කිරිමට..

      මමත් මීට කලින් එකම එක ආර්ටිකල් එකයි ඔටිසම් ගැන ලංකාවෙදි කියවලා තියෙන්නේ.. මේ වගේ දේවල් වලට වඩා ලංකාවේ මාධ්‍ය තැන දෙන්නේ ඉක්මනින් මිනිසුන්ගේ හිත ඇදගන්න පුලුවන් ගොසිප්, දේශපාලනය, හඳහන්, රුපලාවන්‍ය වගේ දේවල් වලටනේ..

      Delete
  8. වටිනා ලියැවිල්ලක් නිම්නා. මීට කලින් තිබුණු මේ ලිපියේම මුල් කොටසක් දැකලා තමා ඔයාගේ බ්ලොග් එක හිතට වැදුනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙඩූසා.. මම ලියන දේකින් ටික ටික හරි ඔයාලට මේ වගේ දැනුම බෙදලා දෙන්න පුලුවන් වීම මට ලොකු සතුටක්..

      මට මේ දරුවන් එක්ක ගැවසෙන කොට හිතුනු දෙයක් තමයි, මේ දරුවන්ව අපි හැඩ ගස්වන්නේ අපි දැනට සම්මත කරගෙන ඉන්න සාමන්‍ය විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියන එක.. මේ සමහර දරුවන්ට නිදා ගන්න ඕන නැ කොයි තරන් රැ උනත්, කන්න ඕන නැ අපිට පුරුදු තුන් වේල.. සෙල්ලම් කරන්න යාලුවෝ එක්ක ඉන්න ඕන නැ අපි හිතන විදිහට.. කොටින්ම එයාලා ඉන්නේ එයාලගෙම ලෝකෙක...

      ඒත් ඒ දේවල් අපි දැනට දන්න දේ එක්ක නොගැලපෙන නිසා අපි දන්න සාමාන්‍ය දේ හුරු කරවීම කොතෙක් දුරට ගැලපෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා..ඒ වගේම එහෙම හුරු නොකොලොත් ඒ දරුවන් මේ සමාජයේ පවතින්නේ කොහොමද කියලත් හිතෙනවා..

      Delete
  9. වැදගත් ලිපියක් නිම්නා...දරුවෝ එක්ක නෙවේ වැඩිහිට්යෝ එක්ක ගනුදෙනු කරද්දී පවා මේ දේවල් වැදගත්...වේගයෙන් නැවත නැවත කියවගෙන යන දේට ඇහුම්කන් දෙන්න කවුරුත් කැමති නැහැ...මමත් ටිකක් වේගයෙන් කතා කරනවා...නමුත් රාජකාරීමය කටුයුතු වලදී පුළුවන් තරම් අඩුවෙන් පැහැදිලිව කතා කිරීම ඉතාම පලදායක බව මම අත්දැකීමෙන් දන්නවා...ඒ වගේම නිතරම කෑගහන කෙනාට කවුරුත් ඇහුම්කන් නොදෙන බවත් මං හොඳින්ම අත්දුටු දෙයක්...

    ඔටිසම් දරුවන් වෙනුවෙන් දියුණු රටවල් වල ඇති ක්‍රම වේද නිසා ඔවුන්ගේ අනාගතය බොහෝ විට සුරැකෙනවා...නමුත් ලංකාවේ එවැනි දරුවන් හඳුනා ගන්නට නිසි ක්‍රමවේදයක් තිබෙනවාද පවා කියන දේ ගැන නම් මා දන්නේ නැහැ ...

    වෙනදා වගේම වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු.. පුරුද්දට වගේ මෙහෙ දෙයක් කරන කොට ලංකාව එක්ක සසඳල බලන්න හිතෙන නිසා මම හෙව්වා ලංකාවේ මේ දරුවන්ට ප්‍රතිකාර කරන තැනක් තියනවද කියලා..

      මට හම්බුනා ඔස්ලිමො කියල ආයතනයක්.. වැඩි විස්තර නම් දන්නෙ නැ.. බැලු බල්මට එතන යමක් මේ දරුව්නට වෙනවා කියලා හිතුනා..

      ඔස්ලිමො

      Delete

Related Posts Plugin for WordPress, Blogger...