Monday, October 10, 2016

හොඳම යෙහෙළිය කියාදුන් පාඩම්......

Nawalapitiya station - මේ කෝච්චිය එන්නේ මම පුංචි කාලේ ගැන ලිව්ව පොස්ට් එකේදී කිව්ව කලු පාලම යටින්...

මම මගේ පුංචි කාලය ගැන ලියද්දි ලිව්වනේ මම ඉපදිලා හැදිලා වැඩුනේ ඈත සීතල හතර වටෙන් කඳු වලින් වටවුන නගරයක කියලා.. ඒ නගරයේ නම නාවලපිටිය. ඉතින් ඒ සීතල නගරේ අවුරුද්දේ වැඩි කාලයක් වහින වැස්සට මැදි වෙලා අවුරුදු 10 ක් විතර ගත කලාට පස්සේ මගේ අම්මයි තාත්තයි තීරණයක් ගන්නවා නැවත කොලඹ ස්ථිර පදිංචියට එන්න. නැවත කියලා කිව්වේ අපි පුංචිම කාලේ ඉඳලා තියෙන්නේ අම්මගේ මහගෙදර  තියෙන කොලඹ. නමුත් පවුල් පන්සල් උනාට පස්සේ නිදහසේ කොන්දක් ඇතුව තමන්ගේ  මහන්සියෙන් පවුල ගොඩනඟන්න ඕන කියලා තාත්තයි අම්මයි දෙන්නම හිතපු අය නිසයි අපිවත් අරන්  මේ සීතල සුන්දර නගරෙට ඇවිත් තිබ්බේ.

මේ විදිහට නිදහස හොයාගෙන ආවට දෛවය ආපහු අපිව කොලඹ නගරයේ පුංචි කාලේ හිටිය පරිසරයටම ගෙන එන්නේ අපිට ජිවිතයේ පාඩම් ගොඩක් එක තැනකින් කියලා දෙන්න වෙන්න ඇති කියලා එදා අම්මත් තාත්තවත් හීනෙන්වත් හිතන්න නැතුව ඇති.මේ විදිහට හිටි ගමන් කොලඹ එන්නේ 9 වසරේ හිටිය මාව හදිස්සියේ පාසැලෙන් අස් කරගෙන කොලඹින් පාසැලක් හොයාගන්නෙත් නැතුවයි..ඒ ගැන මම වෙනම ලියන්නම්, එතකන් හැමදේම වෙන්නේ හොඳටයි කියල හිතන්නකො..

අහසින් කඩා පාත් උනා වගේ එකපාරට කොලඹට ආපු මම ආපහු පාසැල් ගියේ මාස 6-7ක දීර්ඝ නිවාඩුවකට පස්සේ ගෙදරම ගතවුන නිදැල්ලේ.. මගේ ජීවිතය මුලුමනින්ම වෙනස් දිශාවකට හැරවුනු මේ පාසැල කොලඹ ප්‍රධාන පෙලේ පාසැලක්..එතෙක් බොහොම නිදහස්, කිසිම බරක් පතලක් නැති දන්න කියන හැමෝගෙම ආදරයට විශේෂ සැලකිල්ලට මැදිව දඟකාර පාසැල් දිවියක් ගතකල මට  හිටපු ගමන් බොහොම තැන්පත් වගකීම්  බහුල අවීවේකි සිසුවියක් බවට හරිම වේගවත් පරිවර්තනයක්  සිදුකරගන්න උනා අලුත් පරිසරයට හැඩගැහෙන්න, ගැලපෙන්න. හැබැයි නොමිලෙම ලැබුනු කාගෙත්  වීශේෂ සැලකිල්ල මගේ පස්සෙන්  දිගටම හෙවනැල්ල වගේ ඇවිත් කියලා මම  දැනගත්තේ A/L  කාලේ..

මම එතෙක් හිටපු සීත කඳුකර පාසැලට වඩා මේ කොලඹ  ජනාකිර්ණ උණුසුම් පරිසරයක පිහිටි තරඟකාරී   පාසැලේ හැමදෙයක්ම පුදුම විදිහට වෙනස්.. මේ පාසැලේ 9 වසර පන්තියකට තමයි මාව ඇතුළත් කරගන්නේ.. මුල්ම දවසේ ඉඳ ගත්තේ සුදුම සුදු මලක් වගේ මූණක්  තියන දිගම දිග මොනර පිළක් වගෙ කොණ්ඩයක් තිබුනු ගෑනු ළමයෙක් ලඟ.. ඇගේ නම මතකයට නඟාගන්න අද මට බැරි උනත්, ඇයගේ සුවීශේෂි හැකියාව හොඳට මතකයි.. ඇයට පුලුවන් හරිම තාත්වික විදිහට සිත්ගන්නාසුලු වර්ණ සංයෝග සහිතව මිනිස් රූප සහ  අවට පරිසරය චිත්‍රයට නඟන්න. මට අදත් මතකයි ඇය  අඳින මිනිස් රූප වල කවදාවත් ඇස් කන් නාස ඇන්ඳේ නැහැ. ඒත් මේ අපූරු හැකියාවෙන් ඇයගේ අනාගතයට වැඩක් ගන්න පුලුවන්  මාවතක් පෙන්නා  දෙන්න කාගෙ හරි ඇස්  යොමු උනාද කියන එක නම් ප්‍රශ්නයක්.. හැබැයි ඇයට අකුරු ලියන්න, නිවැරදිව වාක්‍යයක්  ගලපගන්න හැකියාවක් තිබ්බේ නැහැ. මතකනේ  මේ මම ඉගෙන ගන්නේ 9 වසරේ පන්තියක පාසැලේ දෙවෙනි වාරේ..තව නොබෝ දිනකින් සාමාන්‍ය පෙළ කඩයිම ඇය ඉදීරියේ. ඇයට ගානක්වත් නැහැ.

මේ වගේ තමන්ගෙම හීන ලෝක වල අතරමන් වෙලා  හිටි කීපදෙනෙක් මේ අලුත් පන්තියේ මගෙ ඇස ගැටුනත් ඒ අයව ඇහැරවලා මේ ලොකේට ගන්න උත්සහ කරන කෙනෙක් නම් මම දැක්කේ නැහැ. මේ විදිහට කාලේ ගෙවිලා යද්දි පන්තිභාර ගුරුතුමිය මට දුන්නා ස්ථාන මාරුවක්, පන්තියේ වැඩට දක්ෂයි කියල සම්මත කණ්ඩායමක නිත්‍ය සාමාජිකාවක් ලෙස.. ඇය ඒකට දුන්නු හේතුව වුනේ මමත්  අර හීන ලොකේට යයි  කියන බොළද පැහැදිලි කිරීම..

ඒ අවුරුද්ද වෙගෙන් වෙනස් වීම්  රැසකට හිටි හැටියේ මුණ දුන්නු මම 10   වසරට එද්දී   බාර උනේ අලුත් පන්තිභාර ගුරුතුමියකට.. (ඇය ගැන මම ලිව්වා "මිස් මම මිස්ට ගොඩාක් ආදරෙයි.")  ඒ වගෙම ළමයි බෙදා වෙන්  කිරිමක් සිදුවෙලා තිබුණු නිසා තව දුරටත් ඉතාම දුර්වල ළමයි අපෙ පන්තියෙ හිටියේ නැ.. ඒ කියන්නේ මගේ සිත්ගත් සිත්තරාවිය  මට හමු උනේ නැ  එතනින් එහාට. මේ  අලුත්  පන්තියේ කලින් පන්තියේ මම හිටිය ඉගෙන ගන්න පුලුවන් කණ්ඩායම එහෙම්ම හිටියා. ඒ වෙනකොට 13 දෙනෙකුගෙන්  සමන්විත වුනු ඒ කණ්ඩායම එක්කත් බොහොම ලඟ සම්බන්ධයක් ගොඩ නැඟෙමින් තිබුනා අපිත් නොදැනුවත්ව, ඒකට එක හේතුවක් වෙන්න ඇති මේ කණ්ඩායම  බොහොම ඉදිරිගාමි වීම.

Team Spirit
ඔන්න ඔහොම කාලේ ගෙවිලා  යද්දී  අපි හැමෝගෙම හිත්  වල කාටත්  නොකියන ඒත් හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් තිබුනා. ඒ තමයි තමන්ටම කියල හොදම යෙහෙළියක් මේ  13 දෙනා අතරින් වෙන් කරගෙන කල්ලි ගැහෙන්න. මතකනේ  මම මේ පාසැලව ආවේ  අතරමැදින්, අහසෙන් කඩාපාත්  උනු  මට මදි නොකියන්න ආදරයත්  ලෙන්ගතුකමත් දුන්නු කිසිම වෙලාවක තනි වෙන්න නොදුන්නු මේ කණ්ඩායමේ සමහරු එකට එන්නේ 1 වසරෙ ඉඳලා..හැබැයි අපේ කණ්ඩායම් ගතිපැවතුම් වලට කිසිම වෙනසක් වුනේ නැහැ. තවමත්  13 දෙනාම කෑවේ එකට, වරදක් කලොත් දඩුවම්   වින්දේ එකට.  ඒත් හිත් වල හොඳම යෙහෙළියකගේ  නමක් රහසේ මුමුණ මුමුණ ඉන්න බව හැමෝම දන්න රහසක් ඒ වෙනකොට.. ඒ රහස වැඩිකල් නොයා එළියට පනින දවසට ඇති වෙන්න අඬන්න අපි හැමොම හිටියේ ලැස්ති  පිට.. හිමින් හිමින්  තෝර ගත් දෙන්න දෙන්නා රහස් මුමුණන්ත්, තනියම ගමන් බිමන් යන්නත්, එකට  පාසල් එන්න යන්නත් පටන් ගත්තේ අතරින්  පතර කෙනෙක්ගේ ඇස් වලට කඳුලක් ගේන ගමන්.. 


මේ විදිහට මගේ වාරෙත් ආවා.. මම හිටියේ එක පොදු  යෙහෙළියක් මැදි  කරගත් මගේම නම තියන තවත්  යෙහෙළියක් එක්ක. අපි තුන්දෙනා  9 වසරෙ ඉඳලා හිටියෙ එකට  එකම පේළියේ, හැමදේම කලේ එකට.. එත් දැන්  මේ තුන්කොන්  යාළුකමට  සමු දෙන්න වෙලාව ඇවිත්.. මේ මැද හිටපු පොදු යෙහෙළිය වටා  තමයි අපේ යාළුකම ගොඩනැඟිලා  තිබුනේ, ඇය මැදි කරගෙන  හිටිය මමත්  අනිත් යෙහෙළියත්  නමින් සමාන උනාට අනිත් හැම  අතින්ම ඉඳුරාම වෙනස්. ඒ  වගේම ඒ දෙන්නා එකට එන්නේ  1 වසරේ ඉදලා.  ඒ නිසා ඒ දෙන්නා එක් වෙන්න තියන හැකියාව වැඩියි කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ.   කොහොම උනත් වැඩිකල් නොයාම ඒ දෙන්නා වෙනම යන හැටි කදුළු පිරි දෙනෙතින් මට බලාගෙන ඉන්න සිදු උනා. මගේ ගෙදරින් මට  ලැබෙන නිදහස අඩුකමත් තව හේතුවක් වෙන්න ඇති ඒ තෝරාගැනීමට.. ඒ තරන් මාව රිදවපු සිදුවිමක් මගේ මුලු පාසල් දිවියෙම නැහැ . මේ මොන දේ උනත් අපේ කණ්ඩායම කැඩුනේ නම් නැහැ.. වෙන වෙනම ගිය අය  එනකන් ඉඳල තවමත් අපි කෑවේ එකට, පාඩම් වැඩ කලේ  එකට, දඬුවම් වින්ඳේ එකට.

මෙන්න මේ  සිදුවිම මාව රිදවපු තරම මම හිතුවටත් වඩා වැඩි නිසාම ගෙදර ගිය වෙලේ ඉඳන් මම මේ යාළුකම් වල ආරම්භය හිතන්න ගත්තා, මගේ හිත රිදුනෙ ඇයි.. ඇයි මම මෙහෙම ලං වුනේ.. ඇයි මට පෙනුනෙ නැත්තේ මේ දේ අනාගතයේ වෙන බව කලින්.. ඇස්  වල කදුළුත් පුරවාගෙන මෙන්න මේ  ප්‍රශ්න මම ඇහුවෙ මගේ තාත්තගෙන්..ඊට ටික කාලෙකට කලින් තාත්තා සැහෙන්න මහන්සි වෙලා මට කොළඹ  විශාකා විද්‍යාලයට යන්න අවස්ථාවක් හදලා දුන්නට මම එදා යාලුවෝ දාල යන්න  බැ කියලා  හිතුවක්කාර තීරණයක් අරන් තිබ්බත් ඒ යාලුවන්ගෙන්ම වෙන්වීමේ කදුළු කතාවත්  එක්ක ආව මට තාත්තා බැන්නේ නැහැ.. කිසිම විදිහක දොස් පැවරීමක් කලෙත් නැහැ. 

Live without pretending, Love without depending, Listen without defending, Speak without offending

තාත්තා  මටම පහුගිය සිදුවීම්  දිහා ආපහු හැරිලා බලන්න වෙලාව හදලා දුන්න වගේම මං වෙනුවෙන්  ඕනෑම වෙලාවක ලඟ හිටියා. තාත්තගේ මේ හැසිරීම නිසා මම මං ගැනම ගොඩක් දේ තෙරුන්  ගත්තා.  ඒ අතරින් මම ලඟ ඉන්න අයට ඒ  අය මොනවා කලත් හරිම තදින් බැඳෙන බව ඒ බැඳීම්  කිසිම දෙයක්  නිසා වෙනස් නොවන බවත් ඒ  බැඳීම් වලින් ඇත්  නොවෙන්න ඕනෑම දෙයක් කැප කිරීමට  දෙවරක් නොසිතන  බවත්  දෙමාපියන්ට උනත් අකීකරු වෙන්නත් මට හැකි  බවත් ඒ  ගැන මම පසුතැවෙන්නේ නැති බවත්, මම අකීකරු උනත් අම්මයි තාත්තයි ඒ වේදනාව දරාගෙන නොවෙනස්ව ඉන්න බවත් විශේෂයි. 

ඒ වෙනකොටත් එක් විශේෂිත  සම වයස් පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න තිබ්බ නොමැඬිය හැකි ඕනකම ගැන මතක් උනු මට මේ තේරුන් ගැනීම එක්ක මං ගැනම බය හිතුනා.  ඉපදුනු දා ඉඳලා කිසිම දුකක් නොදී රෝස මලක් වගේ  මාව රැකගත්ත මගේ  ලඟ ඕනෑම දේකට ඉන්න අම්මටයි තාත්තටයි  මම අකීකරු වෙයි ද  ????

45 comments:

  1. මිදුල අතුගාලා කූඩැල්ලෝ යනකන් ඉදලා ගිණි තියනවා කියළා හීන දකින්නී එක් පෝස්ටුවකට දාපු කොමෙන්ටුවක් දැක්කාම මට හිතුණා හීන දකින්නී සීතල පළාතක ඉන්න ඇති කියළා.
    ඉදිරියෙදී බලමු අකීකරු වුණාද නැද්ද කියළා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු දුමී... මේ සීත පළාතේ හිටපු කාලය හරිම සුන්දරයි..

      Delete
  2. පොඩි ගෑණු ළමයි හිතන්නේ මෙහෙමයි ...එතකොට

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අටම්.. ඒ කාලේ එක්නෙකුට කොල්ලෙක් දෙන ලියුම් කියෙව්වේ මුලු පන්තියටම ඇහෙන්න..ඊට පස්සේ ලියුම ගැන කාටවත් වැඩි උනන්දුවක් නැ..

      Delete
  3. Replies
    1. මොකෝ සා රස "හෑ" , සා රසට කියන්න මම කලින් නුවරදි ගිය පාසැලට වඩා මේ පාසැලේ ළමයි සහ ගුරුවරු අතරේ තිබ්බේ ලඟ බැඳිමක්..

      Delete
  4. මාර ප්‍රශ්න නේ හැබෑටම මේ ගෑනු ළමයින්ට තියෙන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ පැතුම්.. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න..

      Delete
  5. මම නම් දන්නෙ මෙහෙමයි...:)

    Live without caring,
    Love without committing,
    Listen without hearing,
    Speak without halting,

    ReplyDelete
    Replies
    1. ඒක ගණං ගන්න එපා. ඔය කටට ආවට කියපු එකක්...හෙහ්,හෙහ්,

      Delete
  6. ඉගෙන ගන්න කාලෙදි මිතුරු මිතුරියන්ට කල හැකි දේවල් ගොඩයි. ලස්සන කතාවක්. අහගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත මෙඩුසා..මිතුරු මිතුරියෝ දෙගොල්ලන්ටම අපිට ගොඩක් දේවල් ජිවිතෙට එකතු කරන්න පුලුවන් කාලයක් පාසල් කාලය.. ආයේ ඒ වගේ කාලයක් එන්නේ නැ..

      සතුටුයි ඔබත් කතාව අහන් ඉන්න එක ගැන..
      අහගෙන ඉන්න.. මගෙ හිත මොනවද මුමුණනවා..

      Delete
  7. ගෑල්ලමෙක්ගේ තාත්තෙක් මාත්...වැඩේ කියන්නේ බොහොම ඉස්සර ඉඳන් අපි දෙන්නා එකඟ උනා කථාබහ ලිවීමෙන් කරන්න..හේතුව අපි දෙන්නාටම ඕනි after a discussion to have the last word...කොහොමහරි මේ කෙල්ල එක්ක දැන් තර්ක කරන්නම බෑ මට එයාගෙ PhD එකෙන් පස්සේ...ඒත් එයා මට තාම පොඩි කාලේ මල්ලි එක්ක මගේ කකුල් දෙකේ වාඩි වෙලා උන්චිලි පැද්ද පොඩි එකීමයි...
    ඒ දෙන්නාත් නිම්නා වගේම කල්චර් ෂොක් එකකට ෆේස් කලා බොහොම පොඩි සංදියේදි අම්මියි තාත්තියි නිසා...වෙන රටකට යන්න වෙච්ච නිසා...කොහොම හරි මේ කියන මගේ දෝනියැන්දාගේ PhD thesis එක උනෙත් ඒ හැඟීම් නිසා උද්දීපනය උන cultural identity issues of kids of expats කියන දේ...වෙලාව තියේ නම් කියවන්නම ඕනි නං නිම්නාට thesis එකේ online link එක එවතෑකි..මට හිතෙනවා ඒක කියෙව්වොත් ඔයාට ගොඩාක් උත්තර හොයා ගන්න ඇහැකි වේවි..නිම්නාගෙ තියෙන පන්ඩිත කමට ඕවාට උත්තර හොයාගෙනත් ඇති මෙලහකට..නැද්ද හා....!

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ එක්ක තර්ක කරලා දින්නන පුලුවන් ද චෙෆාකි ...හි හී

      මගේ අම්මා මාව හසුරුවන විදිහට මම කැමති නැති නිසා තාත්තා නැති උනාට පස්සේ මට අදටත් හිතෙනවා කොයි වෙලේ හරි ඒ හිනා වෙන මූණත් එක්ක මගේ ගෙයි දොර ලඟ තාත්තව දකින්න ලැබෙයි කියලා.. එහෙම උනොත් ඒකට මම මුණ දෙන හැටි ගැනත් මම වෙලාවකට හිතනවා..එදා සමු ගත්ත තැනින්ම අදත් මට තාත්තා එක්ක කතා කරන්න පුලුවන්.


      එවන්න චෙෆාකි, If it's interesting I will read holding everything I do...

      Delete
    2. theses.gla.ac.uk/6001/1/2013ranasinghephd.pdf

      Delete
    3. sorry its a PDF which you have to download by cut and paste the above link..I don't know how to give you a direct link....!

      Delete
  8. ඉතින් විශාඛාවට ආවෙ නැද්ද.. එහෙම ආවා නම් ඔයා අපේ ජ්‍යෙෂ්ඨ උත්තමාවියක් වෙන්න තිබුණා නොවැ.ඒත් මටත් තියෙනවා ඔහොම මතකයක්.තාත්තා පේරාදෙණියේ පත්විමකට ඉල්ලුම් නොකළේ මං පාසලේ යාලුවන් දාලා යන්න බැහැ කිව්ව නිසා.ඒ යාලුවන් කාලයත් සමඟ දුරස් වුණා.ඒත් ළඟක නැතත් දුරකථනයෙන් හරි අපි කතාබහ කරනවා.ලස්සන මතක-මිතුරු මතක..))

    ReplyDelete
    Replies
    1. නැ වර්ෂා, මම ඒ පාසැලේම හිටියා A/L කරන්න. O/L වලින් පස්සේ අපේ මේ කණ්ඩායම හතර අතේ විසිරුනා... අපි තුන්දෙනා තෝර ගත්තෙන් විෂය ධාරා තුනක්.. ඒත් අදටත් යාලුකම හිතේ තියනවා.. කතා කරන්න නම් ලැබෙන්නේ හරි සීමිතව මම වෙන රටක ඉන්න නිසා....

      අපි හැමෝගෙම හිත් වල මගේ ඉස්කොලේ කියලා එකක් වෙන් වෙලා තියනවනේ වර්ෂා.. ඉස්කෝල 4කට ගිය මගේ හිතේ ඒ විදිහට මගේ කියලා රැඳිලා තියෙන්නේ 5 වසර වෙනකන් මම ගිය නාවලපිටිය කණිෂ්ඨ විද්‍යාලය... මැයි මල් වලින් රතු පාට කරලා තිබ්බ දිගටම ලොකුම ලොකු ගස් වලින් හෙවන වෙලා තිබ්බ පාරක කෙළවරේ තමයි ඒ ඉස්කෝලේ තිබ්බේ.. ලොකු තාප්ප ගහල වෙන් කරලා නැ.. හැම තැනම කොළ පාටයි.. බෑවුම් වල එක එක පාට මලින් පිරුනු අරලිය ගස්..

      මං ගාව තියනවා ඒ ඉස්කොලේ අන්තිම දවසේ යාලුවොයි ගුරුතුමියයි එක්ක ගත්ත ෆොටෝ එකක්...ඒ යාලුකම් නම් අද වෙනකොට සෑහෙන ඈතයි..

      Delete
  9. මගේ දුවත් මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ පාසලකට එන්න දැන් නොඉවසිල්ලෙන් ඉන්නේ.
    ඔයාගෙ ලිපි පෙළ හොඳයි 'ගෑණු ළමයින්ට පාසලේදී මුහුණ දීමට සිදුවන බරපතළ ප්‍රශ්න සහ ඒවාට අදාළ විසඳුම්'' ගැන මට පූර්ව අවබෝධයක් ගන්න. හිහ්...!
    අනේ කෙල්ලනේ...!

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි වෙනසට දුව ආසාවෙන් මුණ දෙන්න බලාගෙන ඉන්නව කියන එක ප්‍රභාත්..

      මේවා ප්‍රශ්න නෙමේ ඇතුලේ වෙන දේවල් එක්ක බැලුවම.. මේ ඉස්කොලේ හිටියා දුම්වැටි භාවිතා කරන්න හුරු උනු ළමයිත් A/L කාලේ වෙනකොට....

      Delete
    2. අැත්ත. දැන් තත්ත්වය ඊට වඩා භයානකයි.

      Delete
  10. අර පොත එවන්නේ කවදාද? ඒ වෙනුවට වැඩගත් පොතක් එවන්න බලාපොරොත්තුවෙමි. මෙල්බන් වල ලිපිනයක් දෙන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ ඉයන්, මේ දවස් වල මෙහෙන් ලංකාවට එන කෙනෙක් හොයා ගන්න තාම බැරි උනා.. මගේ හොඳම යාලුවා ලංකාවට එනවා දෙසැම්බර් මාසේ , ඒ එනකොට මම එවන්නම්... මෙල්බන් ලිපියනත් දෙන්නකෝ ඉයන්..

      Delete
  11. ගොඩාක් ලස්සනයි මෙ අත්දැකිම් ලියවිලා තියෙන විදිය. ඇයි අර යාළුවන් අතරේ හොඳම යාළුවා කියල එක්කකෙනෙක් තෝරගන්න වුණේ ?
    http://cyberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයිබර් හදවත, එහෙම විශේෂ හේතුවක් නැ.. තමන්ගේ අදහස් වලට ගොඩක්ම ගැලපෙන කෙනෙක් එක්ක නිතර ඉන්න ලේසි නිසා වෙන්න ඇති....

      Delete
  12. Teenage කෙල්ලෙක්ගේ හැගීම් ගැන ඔයාගේ ප්‍රායෝගික අත්දැකීම. පාසල් ජීවිතය තුල අපි හැමෝම ඔය විදියේ ඝට්ටන වලට මුහුණ දීලා තියෙනවා ... ඒවා පන්නරයන්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කොච්චී... Teenage කාලේ කියන්නේ ඉගෙන ගන්නවට වඩා වෙන වෙන දේවල් හිත හිතා ඉන්න කාලයක්නේ.. ඒ කාලේ ලැබෙන අත්දැකීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් සිහියෙන් ඉන්නවා නම්..

      Delete
  13. දහතුන් දෙනෙකුගේ කණ්ඩායමක් කියන්නේ ඉතා ලොකු එකක්. මේ කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමික පාසලක් ද?

    මගේ නමවෙනි ශ්‍රේනියේ ක්ලික් එකේ (අපිට නමක් තිබුණා පිවිසිර) හිටියේ හතර දෙනයි.

    උසස් පෙළ කාලේත් හිටියේ හතර දෙනෙකු ගේ කණ්ඩායමක්, දෙන්නෙක් මැත්ස්, දෙන්නෙක් බයෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් රසික.. පන්තියෙ පේළි කීපයක හිටිය අය තමයි මෙහෙම එකතු උනේ..ඒක අපි හිතලා කලාට වඩා ඉගෙන ගන්න පුලුවන් අය 9 වසර පන්තිභාර ගුරුතුමිය එක තැනකට ගත්ත නිසා උන දෙයක් ගොඩක්ම..

      මේ පාසල රසික මුල් කාලයේ කතෝලික පැත්තට බර පාසලක් .. නමුත්  පසු කාලිනව සම්පූර්ණ බෞද්ධ පාසලක්. හැම ආගමකම අය හිටියා මං යන කාලේ..

      O/L කාලෙන් පස්සේ මේ වගෙ ලොකු කන්ඩායමක් හැදුනෙ නැ.. A/L වලදි මං යාලු උනේ අලුත්ම යාලුවෝ දෙන්නෙක් එක්ක.  ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මාත් එක්ක මෙහෙ ඉන්නේ දැන්....

      Delete
  14. බොරු කියන්න ඕන නෑ මට හීන දකින්නි මේලෝ දෙයක් තේරුම් ගන්න බෑ.අපේ පාසල වගේ මිශ්‍ර පාසලක ඔය වගේ කෙල්ලෝ ඩබල් දාන්න ගියොතින් උන්ටනම් වසන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. රොමාරස් නිම්නය කියවන්න ගත්තේ ලඟදිනේ.. මුල් ලිපි වල තමයි මේ කතාවල මුල තියෙන්නේ.. ටිකින් ටික තමයි "නිම්නයක තනි වී හීන දකින්නියක්" වු හැටි ලියවෙන්නෙ..අපැහැදිලි තැන් කිව්වොත් මම තේරුන් කරන්න බලන්නම්. ඒ නැත්තත් දිඟටම කියෙව්වොත් දෙකින් එකක් වෙයි...:)


      ඒක නම් ඇත්ත.. අපේ ඉස්කෝල වලත් කතා වලින් නම් අඩුවක් නැ.. ඒවා කවුද ගනන් ගන්නේ..:) :)

      Delete
  15. මේක කියවලා මගේ අතීතයත් මතක් වුණා . මං ගියෙ නම් පුංචි ඉස්කෝලෙකට. ඒත් ඒක බාලිකා පාසලක්. මට නම් හොඳම යාළුවෙක් කියලා කෙනෙක් හිටියෙ නෑ. හැමෝම එක්ක කතාබහ කරලා හිටපු අය තමයි මගේ යාළුවො වුණේ . ඒත් මටත් වුවමනාව තිබුණා තදිින්ම පෞද්ගලිකව එක යාළුවෙක් අයිති කරගන්න . ඒ ගැන මං හරියට දුක් වුණා . ඒත් වැඩක් වුණේ නෑ. හැබැයි උසස්පෙළ පන්තියට ආවම යාළුවො දෙන්නගෙ සංකල්පය මඟහැරිලා යාළුවො කණ්ඩායම් සංකල්පය ආවා . එතනදි නම් මට හොඳම යාළුවො කණ්ඩායමක්ම ලැබුණා . මං හිතන්නේ ඕනම ගෑණු ළමයෙක්ගෙ ජීවිතේ අනිත් අයගෙ ආකර්ෂණය උපරිමව ලබා ගන්න කාලයක් තියෙනවා . ඒත් පහේ පන්තිය වෙනකල් හිටපු මිශ්‍ර පාසලේම ඉන්න තිබුණා නම් කියලා මට අදටත් හිතෙනවා . ස්තුතියි ලිපිය වෙනුවෙන් .

    ReplyDelete
    Replies
    1. පුංචි ලොකු කියලා වෙනසක් නැ මෙත්මා , ඉන්න ගුරුවරු උගන්වනවා කියන දේ දන්නවා නම්.. ගොඩක් පුංචි ඉස්කෝල වල ඉන්නවා ගන්න පඩියට වඩා ඉගැන්වීමේ තෘප්තිය ලබාගන්න උගන්වන ගුරුවරු.

      කාලයක් තියනවා අපි හැමෝම කෙනෙක්ගේ ආකර්ශණය තමන්ට විතරක් දිනාගන්න උත්සහ කරන.. ඉන්පස්සේ ඒක ඒ තරන් වැදගත් වෙන්නේ නැ, ඊට පස්සේ වැදගත් වෙන්නේ පිරිසක් මැද තමන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගන්නේ කොහොමද කියන එක...

      මිශ්‍ර පාසැලක අත්දැකීමක් මට නැ මෙත්මා, ස්තුතියි ඔයාගේ මතකයක් බෙදා ගත්තට.. සතුටුයි නිම්නයට එකතු උනාට ඔයත්...

      Delete
  16. මගේ පියා කලක් නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. මගේ මවගේ නැන්දා කෙනෙක් හිටියා නාවලපිටියේ. කුඩා කාලයේ එහි ගියාම රාත්‍රිය ගතකලේ මහා සීතලක් එක්ක (1960 දශකයේ)

    පාසල් සමයේ මිතුදම්, අපි කාටත්, අදටත් ලබාදෙන්නේ මහඟු අත්වැලක්.

    ReplyDelete
    Replies
    1. විචාරක නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය කියන්නේ මගේ මතකයෙන් කවදාවත් අයින් නොවෙන තැනක්. ඒ පාසලේ අස්සක් මුල්ලක් නැර මම ඇවිදලා තියනවා.. පුස්තකාලය,කැන්ටිම,ගුරු විවේකාගර, පුංචි දොළ පාරෙන් එහා තිබ්බ ප්‍රාතිමික පන්ති... තනියම නෙමේ මම ඇවිද්දේ නම්.. බොහෝ විට මගේ මල්ලිත්, ඒ පාසලේම ගුරුවරුන්ගේ දරුවන් උනු මගේ යෙහෙළියන් එක්ක.

      මගේ පියාගේ ගම නාවලපිටිය..පසු කාලිනව ඔහුගේ පවුලේ අය කොලඹ, නුවර සහ කුරුණැගල යන ප්‍රදේශ වලට ගියත් අපි හැමෝම තාමත් ආදරෙයි නාවලපිටියට...

      ඇත්ත විචාරක පාසල් කාලේ මිතුදම් නොමැකෙන මතක..

      Delete
    2. පුංචි දොළ පාරක් උඩින් තියන වැල් පාලමක අත්වැල අල්ලගෙන පාලම මැද නතර වෙලා පහළින් ගලාගෙන යන හීන් වතුර පාර දිහා බලගෙන ඉන්න බෝරිච්චි අත් තියන මල් වැටුනු පොඩි ගවුම් දෙකක් ඇඳගෙන ඉන්න වයස 11-12 ගැහැනු ළමයි දෙදෙනෙක්..

      "මට බයයි චතුරි"

      "ඒ මොකටද බය වෙන්නේ, මල්ලිලා හොඳට ලියයි.."

      "ඔයාගේ මල්ලි ලියාවි, ඒත් මගේ මල්ලි.."

      "නැ , එයා ලියයි..ඔයා බලන්නකෝ "

      මෙහෙම කිව්ව ලොකේ පෙරලුනත් ගානක් නැ වගේ හිටිය පුංචි ගැනු ළමයා තමන්ගෙ අතේ තිබ්බ පුංචි ගල් කැට එකින් එක ගලාගෙන යන පහළ වතුර පාරට විසි කලේ හරියට ඒ ගල වගේ තමන්ගෙ යාලුවගේ හිතේ තියන බයත් විසි කරන්න පුලුවන් කියල හිතලා වෙන්න ඇති..

      (ප්‍රධාන ශාලාවේ ශිශ්ශත්වය ලියන මල්ලිලා ගැන අක්කලා දෙන්නෙක් ඒ කතා කලේ දැනට අවුරුදු බර ගානකට කලින් අතීතයේ දවසක...)

      Delete
  17. මට හිතෙන්නෙ අකීකරු වෙන්නැති කියල. ඔයාගෙ තාත්තා අපූරුයි නිම්නි.

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන්ම නිම්නයට එන ඔයාට එහෙම හිතෙන එක පුදුමයක් නෙමේ ලේ.පා.හීන.. අපි බලමු ඉස්සරහට මොකද උනේ කියලා.. :) තාත්තගේ තිබ්බේ හරි පුදුම ගතිගුණ...මට ඒ ගැන ලියන්න වචන නැ ලේ.පා. හීන.

      තාත්තා ගොඩක් අඩු වයසෙන් එයාගේ හීන අමතක කරලා රස්සාවකට ගිහින් නංගිලා මල්ලිලා ගොඩ දැම්ම කෙනෙක්.. එයාලගේ තාත්තා නැති උනාට පස්සේ අත්තම්මට විතරක් 7 දෙනෙක් හිටිය පවුල තනියම ගෙනියන්න බැරි නිසා.. ඒ හැමෝවම සමාජයේ හොඳ තැන් වලට යැව්වට පස්සේ තාත්තා අපි නිසා එයාගේ හීන අමතක කල කෙනෙක්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...