Tuesday, October 25, 2016

ආයෙත් එන්න මගේ යාලුවේ.. ඇවිත් යන්න...


ඒ 200_ අවුරුද්ද.. A/L ඉවර වෙලා ප්‍රතිඵල එනකන් ඉන්න කාලේ හදාරන්න ගිය පරිගණක පාඨමාලාවක පළවෙනි වාරේ විභාගය..  විභාග ශාලාවේ ඇල්පෙනිත්තක් වැටුනත් ඇහෙන තරමට තිබුනු නිෂ්ශබ්ධතාවය බිඳගෙන ඇහෙන්නේ කවුරු හරි  පුටුවට තට්ටූ කරන සද්දයක්.  100 - 200කට අධික පිරිසක් විභාගේ ලියන මේ ශාලාවෙ ප්‍රශ්නයක් මතු උනොත් එහෙම  කරන්න කියලා තමයි අපිට උපදෙස් ලැබිලා තිබුනෙ.. කාටහරි ගැටලුවක් මතුවෙලා ඇති කියලා හිතුනු නිසා මමත්  ඔලුව උස්සලා බැලුවෙ ඒ කවුද කියලා.. 


මට  පේළි දෙකකට  විතර ඉස්සරහින්  හිටි ඒ තට්ටු කල අතේ ඇඟිලි හිමි  කෙනාව දැකලා පුරුදුයි.. තාමත් ගත වෙන්නේ අපේ එක් අවුරුදු පාඨමාලාවේ පළමු වාරය නිසා නම් ගම් වලින් දන්නේ නැති උනත්. ඔහුට ඕන වෙලා තිබ්බේ මකන කැල්ලක් කියලා සද්දේ ඇහිලා ආව  අපේ ශාලාව බාර වෙලා හිටපු  පරික්ෂකතුමා (එහෙම කිව්වට ඔහු අපිට ඉහළ වසරක ඉගෙන ගන්න සිසුවෙක් Instructor කෙනෙක් ලෙස වැඩත් කල ඒ ආයතනෙයේම) කියනවා ඇහුනු අපි කීප දෙනෙක් ලඟ තිබ්බ මකන කැලි ඔහුට දිඟු කලේ එක මොහොතේ,  ඔහු ගත්තෙ මගේ අතේ තිබ්බ මකනය.. මකන්න බැරි මතකයක ආරම්භය උනේ මෙන්න මේ මකනය.. 

ඊට පස්සේ කාලය අපිට නොදැනුවත්වම ගෙවිල ගිහින් ලියු ප්‍රශ්න පත්තර එකතු කරගෙන යන අවසාන වෙලාවේ, සු සු සද්දයක් ඇහුනත් කවදත් ඒ වගේ  සද්ද වලට හැරවෙන්නේ නැති මගෙ හිස මොන හේතුවක් නිසාද මන්දා එදා එක පාරට ඒ පැත්තට හැරුනම මං දැක්කේ අර මකන කැල්ල ඉල්ල ගත්ත අතේම ඇඟිල්ලකින් තවත් මොකක්දෝ පෙන්නනවා..  එහා මෙහා බැලුවත් බිම බැලුවත් මට තේරුනේ නැ ඔහු මොකද්ද පෙන්නන්නේ කියලා..  අන්ද මන්ද වෙලා බලන් ඉන්න මට  ඇහුනා ඔහු කියනවා "පිටිපස්ස බලන්න" කියලා..බිම  වැටිලා තිබ්බ  පෑන් ක්ලිප් එකක් අරන් දෙන්නලු ඔහුට.. මගේ දෙතොලඟට හිනාවක් ආවත් මං ඔහුට එය අහුලලා  දිලා ශාලාවෙන් එළියට ආවේ අනිත් යාලුවෝ මොකද කියන්නේ කියල දැන ගන්න නොඉවසිල්ලෙන් අපේ පළමු වාරයේ අන්තිම විභාගය මෙය නිසා....

හැමෝම වගේ හොඳින් උත්තර ලියලා තිබුන නිසා ටිකක් වෙලා රැඳිල ඉදලා අපි හැමෝම ගෙවල් වලට ගියේ නිවාඩුවෙන් පස්සේ ඊලඟ වාරේ පටන් ගන්නකන්  වෙන කරන්න වැඩක් නැති නිසා හරි සැහැල්ලුවෙන්..මේ කාලෙත් මගේ තාත්තා මගේ හෙවනැල්ල. ඒ හෙවනැල්ලෙන් මිදෙන්න එතකොටත් මට ඕන කමක් තිබ්බේ නැති නිසා මම ගෙදර ගියේ තාත්තා එක්ක..

දෙවනි වාරය පටන් ගනිද්දි නම් ගොඩක් අයගේ නම්ගම් අපි දැනගෙන හිටියා.. ඉස්කෝලෙට වඩා පුදුමාකාර නිදහසක් තිබ්බ මේ පරිසරයේ පෙම් සබඳතා එක දෙක එළිපිටම  පටන් ගන්නත් අහුමුලු වලට වෙලා ඕන දෙයක් කතා කරන්නත් වගේම lectures cut  කරලා ඕනම දෙයක් කරන්නත් කාගෙන්වත් තහනමක් තිබ්බේ නැහැ.. ඔය අතරේ මම හිටියේ ගිය වාරේ  අලුතෙන්ම  අඳුර ගත්ත යාලුවෝ 4 දෙනෙක් එක්ක...එක දවසක් lecture එකක් ඉවර වෙලා ලැබුනු විරාමයකදි අපි 4 දෙනා පේළියට ශාලාවෙන්  එළියට යද්දි එකපාරට මගේ පිටි පස්සෙන් කවුරු හරි ඉන්නවා කියලා දැනුනු නිසා හැරිල බලද්දි, මම දැක්කේ  අර ගිය වාරේ මකන කැල්ල අරගෙන අන්තීමේ  කොහේවත් නැති පෑන් ක්ලිප්  එකක් ඉල්ලුව  පිරිමි ළමයා මගෙ පිටිපස්සේ.. ඒත් එක්කම මගේ ඇස් ගියේ ශාලාවේ අනිත් කෙලවරේ දොරෙන් මුණූ විතරක් එළියට පේන්න  හිටිය  එයාගේ යාලුවන්ට..මොකද්ද දන්නවද මේ කරලා තිබ්බේ, මම කියන මේ පිරිමි ළමයා ටිකක් කොටයි .. මට වඩා උසද කියල තමා  මේ බලලා තිබ්බේ..

හිනාවක් යන්න ආවත් රවලා බලලා මං දිගටම ගියා.. ඔහොම කාලේ ගෙවිලා යද්දි එක දවසක් මම පන්තියට එන්න ගොඩක් පරක්කු උනා, මොකක් හරි හේතුවක් නිසා, එදා මම යනකොට දෙවෙනි තට්ටූවෙ බැල්කනියට වෙලා මේ කට්ට්යම   ඉන්නව  පාර බලාගෙන. මට එකපාරට මතක් උනේ කවුරුහරි පරක්කු වෙලා එනකොට ළමයි සිය ගානක් ඉන්න පන්තියේ  කොල්ලො ටික කරන එක එක  සද්ද.. රොකට් යනවා එක පැත්තකින්, රෝද වල හුලන් යනවා තව පැත්තකින්, ආ නංගි අද මොකද පරක්කු තව පැත්තකින්.. මට මේවා අහගෙන තමා අද යන්න වෙන්නේ කියලා හිත හිත මම බිම බලාගෙනම පන්තියට ඇතුල් උනා.. ඔලුව උස්සලා බලන්න තරන් හිතේ හයියක් නැති උනත් කන් දෙක හොඳට ඇරගෙන මං ඇහුවෙ සද්ද .. ම්ම්ම්හු, කවුරුත් සද්ද කලේ නැ.. මං ඒ පාර ඔලුව උස්සල බලද්දි අර දෙවෙනි තට්ටුවේ  පාර බලන් හිටිය අයත් එන්නෙ දැන්...

ඊට පස්සේ මතක තියන සිද්ධිය තමයි දෙවෙනි semester එකේ ළකුණු දීපු දවස, මම මේ කියන පිරිමි ළමයා හෙන බ්‍රයිටෙක්.. A/L  ගණිත අංශයෙන් හැදැරුව ඔහුත් ඇවිත් හිටියේ මං වගේම ප්‍රතිඵල එනකන්   නුවර පළාතේ ඉඳලා.. එදා   උඩම තට්ටුවට ගිහින්  ළකුණු බලලා පහළට  එන ගමන් පුංචි කොරිඩෝවේ මගෙ යාලුවෙක් අර පිරිමි ළමයි සෙට් එක මැද්දේ හිර උනා.. ඒ පැත්තෙන්  යන්නත් බැ, මේ පැත්තෙන් යන්නත් බැ,   ඒ ළමයා ගත්ත ලකුණු ගානත් ඒ අස්සේ කවුද කියනවා අපිට ඇහුනා..අපි 3දෙනා  කොහොම හරි ඒ කලබලය පාස් කරලා එද්දි එක් කෙනෙක් කියනවා "ඕන කෙනා නෙමෙනේ හිර උනේ"  කියලා. එත් එක්කම පිටිපස්සෙන් පටන් ගත්තා ඉවුරු තලා ඟංගා බැස යනවා..

අපි හතරදෙනා  පය ඉක්මන් කරලා හිනාව තද කරගෙන පන්තියට  ඇවිත් මුකුත් නොදන්න හොඳ ළමයි  වගේ ඉඳගෙන ඊලඟ Lecture එක එනකන් හිටියා..ඔහොම කාලේ ගෙවිලා ගිහින් පන්තියේ  අන්තිම දවසත් උදා උනා.. අවුරුද්දක් ගෙවිලා ගිහින් .. එදා Lectures රෑ  උනා ඉවර වෙන්න.. අපි මැදින් දුන්නු break එකේ එළියට එනකොට මෙයාල ඉන්නවා අර පුංචි කොරිඩෝවේ බිත්තියට හේත්තු වෙලා පෝලිමට.. එතනින් පාස් වෙනකොට " මේ මෙයාට ඔයාගේ ෆොටෝ එකක් ඕනෙලු" කැමරාවක් අතේ තියාගෙන හිටපු එක පිරිමි ළමයෙක් ඇහෙන් අර ළමයව  පෙන්නල කිව්වාම මම නැවතුනා ඇත්තටම.. එක මොහොතක් අපි බලන් ඉන්න ඇති අපේ ඇස් දිහා.. ඊලඟ මොහොතේ මම හිටියේ මගේ යාලුවෝ ලඟ.. 

අපි ආපහු එද්දි කට්ටිය හිටියේ එළියේ ෆොටෝ ගන්න ගමන්.. අදින් පස්සෙ මේ අයව දකින්න වෙන්නෙ නැ මේ වගේ නිදහසේ..කොහොම හරි පන්තිය ඉවර වෙලා වෙනදා පුරුදු විදිහට අපි හතරදෙනා නැඟිටලා පෝලිමට එනකොට ශාලාවේ එහා කෙලවරේ ඉඳලා වැදුනු flash  එළියක් මගේ ඇස් නිලංකාර කරගෙන වැදුනා මගේ හිත පතුලටම.. එක තප්පරෙන් හැඟිම් ගොඩක් එක්ක.. පුදුමය,තරහා, ලැජ්ජාව, බය, දුක.. අනුකම්පාව.....  මට එක පාරට බැලුනේ  කැමරාව අතේ තියාගෙන හිටපු කෙනා දිහා, පුලුවන් නම් ඒ බැල්මෙන්ම අලු කරලා දාන්න  තරන් තරහක් ආවත් ඊලඟ තප්පරේ බැලුනේ  මෙතෙක් කල් හොර ගල් අහුලපු පිරිමි ළමයා දිහා, ඔහු  ඇසිපිය නොහෙලා බලන් ඉන්න හැටි දැක්ක මගේ   හිත ඇත්තටම එක මොහොතකට නැවතුනා නොකිව්වොත් බොරු.. 

ඒත් එක්කම මේ තරන් කල් මම හිර කරගෙන හිටි හිනාව තවත් හිර කරගෙන ඉන්න බැරි  උනා මට. හැබැයි ඒත් එක්කම මුලු ශාලාව පුරාම නැඟිගෙන ආව සද්දේ නිසාම ආයෙත්  මම හිනාව හිර කරගෙන හීනෙන් ඇවිදිනවා වගේ දොර ලඟට එනකන් බිම බලාගෙන ඇවිත්, මේ වගේ වෙලාවක ෆිල්ම් එකක වෙනවා වගේ අන්තිම තප්පරේ දොරෙන් එහාට යන්න කලින් හැරිල අර ළමයා දිහා ආයෙමත් බලද්දිත් අර ඉස්සෙල්ල්ල මම දැක්ක විදිහටම ඇසිපිය නොහෙලා බලන් ඉන්නවා දැක්ක මම "මොකද හලෝ ඔයාට වෙලා තියෙන්නේ" කියලා හිතෙන බැල්මක් බලලා හැරිලා යන්න ගියා කලුවරේ තාත්තා හොයාගෙන ගෙදර යන්න..

සති දෙකක නිවාඩුවකට පස්සේ   අපි හැමෝම ආවෙ අන්තිම විභාගේ ලියන්න.. එදා මගේ යාලුවන්ට විභාගේ තිබ්බේ පහළ ශාලාවක,මට තිබ්බේ උඩු මහළේ ශාලාවක, ඒ  නිසා මම අන්තිම මොහොත වෙනකන්ම හිටියේ යාලුවෝ එක්ක පහළ.. විභාගෙට විනාඩියක් විතර තියලා දඩි බිඩි ගාල මම උඩට දුවගෙන එනකොට  මෙන්න අර සෙට් එකම ඉන්නවා විභාග ශාලාවට යන්නේ නැතුව එළියට වෙලා.. හිතන්න ඇති මුලු අවුරුද්දම මට දුන්නු වදේට මං නෑවිත් ඉඳිවී කියලා අන්තිම විභාගෙට ලියන්න.. හැමෝම දිහා බලපු මම වචනයක්වත් නොකියා ගිහින් මට හිමි ආසනේ ඉඳ ගත්තා වටපිට නොබලා..

ඔන්න ඔහොම ඒ  අවසාන විභාගයත් අපි ලියලා ඉවර කලා.. ඉන් පස්සේ මම මේ පිරිමි ළමයි  සෙට් එක එක්ක ෆිට් මගේ තව යාලුවෙක් අතේ පණිවිඩයක්  යැව්වා  අර මං දිහා  අවුරුද්ද පුරාම ඇසි පිය නොහෙලා බලන් ඉන්න ළමයට එන්න කියලා  කතා කරන්න.. ඒත් එදා ඒ ළමයා ආවෙ නැ, ඊට පහුවෙනිදා  මගෙ  යාලුවා ඇවිත් කියනවා අර ළමයට අද  කතා කරන්න ඕනලු කියලා.. ඒ පාර මගේ යාලුවන්ට කියලා මම  ඒ ළමයත් එක්ක ආවා එළියට.. 

දැන් අපි දෙන්නා මුණට මූණ බලාගෙන ඉන්නවා, ගොඩක්  ලං වෙලා.. එකිනෙකාගේ හුස්මත් දැනෙන්න තරන්...හදවතේ සද්දෙත් ඇහෙන තරන්.. ඒත් කතා කරන පාටක් නැ එක්කෙනෙක් වත්.. මට තවත් එතන ඉන්න ඕන උනේ නැති නිසා.. "මාත් නුවර හිටියා පොඩි කාලේ" කියල ඒ ළමයා දිහා එක බැල්මක්  බලලා  මම හැරිලා එන්න ආවා.. ඒ ළමයා එතනම ඉද්දි... ඊට ටික වෙලාවකට පස්සේ මගේ යාලුවා කොලේක ලියපු Phone No එකක් ගෙනත් දුන්නා බැරි වෙලා හරි පස්සේ කාලෙක අදහසක් හිතුනොත් කතා කරන්න කියලා...  මම  ඒ Phone no එක ලඟ තියා ගත්තා කවදාවත් නැතුව...

අපේ final project  ඉවර වෙලා අපි හැමෝම  විසිරිලා ගියාට පස්සේ ලංකාවේ එක එක පැති වලට,  එක දවසක් මම ගෙදර ඉන්න වෙලාවක මේ No එකට call එකක් ගත්තා.. එත් ඒ වෙලාවෙ කතා  කලේ ගෙදර වැඩිහිටියෙක්.. මම යාලුවෙක් කියලා තියලා ගත්ත දෙවෙනි දවසෙ  මට හුරු පුරුදු කටහඬ එහා පැත්තෙන් ඇහුනා.. 

"කවුද මේ ..."   මට එක පාරට කියවුනේ .. 

"ලඟදි දාල ආව කෙනෙක්" කියලා.. 

අර ළමය සෑහෙන්න කලබල උනා.. කොයි තරන් කලබල උනාද කිව්වොත් එයාගේ Mobile No එක මට දිල ඒකට ගන්න කිව්වා.  එත් මං ඒකට ගත්තේ නැ.. හැබැයි  මම ඒ No එක save කලා ..ඒ  විදිහට තමයි  අපේ යාළුකම පටන් ගත්තේ.  

ඉන් පස්සේ අවුරුදු 5ක් විතර  SMS වලින් විතරක් අපේ යාලුකම තිබ්බා, ඒකත් අපි දෙන්නා යවන පුද්ගලික   විස්තර තියන SMS නෙමේ Standard SMS  තමයි හුවමාරු උනේ. එක එක quotes හරි එක එක ප්‍රශ්න හරි  අහලා තියන SMS කාගෙන් හරි ආවම අපි දෙන්න අතරේ එවා හුවමාරු උනා..ඒ අතරේ මට තියන එකම SMS මතකය තමයි.. 

"Describe me in one word"

මට මේ SMS එක කවුද එව්වේ කියලා මතක නැ, මම ඒ  SMS එක මේ කියන මගේ යාලුවට ඒ වෙලාවෙම යැව්වා.. හැරෙන තැපැලෙන් මට Reply එක ආවා..  එකේ තිබ්බේ

 "PEARL"

ඒත් එක්කම තවත්  SMS එකක් එන සද්දේ මට ඇහුනා, ඒ SMS එකම ආපහු මට එවලා.. දැන් මම මොකද්ද කියන්නේ.. උත්තරයක් මතකයට ආවෙ නැති නිසා ටිකක්  හිතන්න උනා මට.. ඔහොම ඉන්න කොට ආයෙත්  SMS එකක් ආවා.. 

"Why late ?" 

ඒ පාර මම හිතට ආපු පළවෙනි උත්තරේ යැව්වා

 " TRUST"

තවත් දවසක  මොකකට හරි මම කිව්වම අම්මලගෙන්  ඇවිත් අහන්න  කියලා එවලා තිබ්බා,

 "I will never ever married to anyone , you deserve a complete life with someone better than me" 

ඔය විදිහට කාලේ ගතවෙලා ගිහින් මමත් බැඳලා වෙන රටකට ගියා. අපි ආයෙත් සෑහෙන කාලෙකට පස්සේ මුහුණු පොතෙන් හම්බුනා. ඒ වෙනකොට මම  හිටියේ බැංකොක්, ඔහු හිටියේ ඇමරිකාවේ.. ඔහු ගණිතයට ඉතාම දක්ෂ කෙනෙක්, ඇමරිකාවේ ගණිතයෙන් PHD එක කරන්න ඔහු ගිහින් හිටියේ, ඒ ගමන් ඔහු එහි Lecturer කෙනෙක් විදිහට වැඩ කරනවත් මම මුහුණු පොත හරහා දැක්කා. අලුත්ම අලුත් වාහන එක්ක ගොඩක් සැපපහසුකම් ඔහු ලඟ නොඅඩුව තිබුනා.. එත් ටිකක් කල් යද්දි හැමදාම ඇති වෙන්න බොන post එක්ක ජිවිතේ ගැන එක එක විදිහේ post වැටුනා මේ යාලුවගෙ wall  එකේ..

මේ කාලේ අපි අතර ලඟ යාලුකමක් තිබ්බෙ නැ, කතා කරන්න  ලොකු ඉඩක් ලැබුනෙත් නැ, මගේ ජිවිතෙත් ගොඩක් කාර්‍ය්බහුල කාලයක් නිසා.. ඒත් මට අහන්න ඕන වෙලා තිබ්බා  ඇයි මෙහෙම බොන්නේ කියලා, ඒ ගැන එයත් එක්ක කතා කරන්න  ලොකු ඕන කමක් තිබ්බත්   වෙලාව හොය ගන්න එක ප්‍රශ්නයක් උනා.. 2014 අවුරුද්දේ  අන්තිම කාලේ එක දිගට දවස් ගනන් නිදි මරන හැටිත්  යාලුවොත් එක්ක ඇති වෙන්න බොන හැටිත් ඔහුගේ wall එකේ දැක්ක මට හිතුනේ ඇයි කවුරුත් ඔහුව නවත්තන්නේ නැත්තෙ කියලා.. 

ඔය විදිහට 2015 අවුරුද්ද වෙන කොට මගේ ජිවිතේ  තිබුන කාර්‍ය්බහුලකම අඩු වෙලා නිදහස් කාලයක් උදා වෙලා, ඉතින් එක දවසක් උදේ නැගිටින කොට මට හිතුනා මගේ මේ යාලුවට අද කතා කරන්න ඕන කියලා.. මේ විදිහට බොන්නේ නැතුව තියන ප්‍රශ්නයක් කතා කරන්න කියලා කියන්න..වෙනදා වගේම මම FB ලොග් උනා.. මම දැක්ක දෙයින්.. මගේ හිත එක පාරට නතර උනා..


 දෙවියනේ ඔහු සියදිවි හානි කරගෙන..


අද වෙනතුරු කිසි කෙනෙක් දන්නේ නැ ඇයි ඔහු එහෙම කර ගත්තේ කියලා, පිටට පේන්න ඔහුගේ ජිවිතේ  කිසිම අසාර්ථකකමක් තිබුනේ නැ.. සල්ලි, බුද්ධිය, සැප සම්පත්, පිලිගැනිම, යාන වාහන.. ලොකේ ඕනම තැනක පිළිගන්න අධ්‍යාපනය. ආදරණිය පවුලක්.. ඒත් ඇයි  මගේ යාලුවේ..

 

"ඔයා මගේ පිටි පස්සෙන් අවුරුද්දක්ම ආවේ මේ ඔයාගෙ හිතේ තෙරපෙන ප්‍රශ්නේ කියන්නද... ඔයා මට කිසිම කරදරයක් කලේ නැ, කරදරයක් වෙන්න දුන්නෙත් නැ, ඉඩ ලැබුනත් මගේ අතකින්වත් ඇල්ලුවෙත් නැ.. ඒත්  මට ඔයාව එදා තේරුන් ගන්න බැරි උනා.. මම ඒ පන්තියට  ආවේ පිරිමි ළමයෙක් එක්ක යාලු වෙන්න නෙමේ නිසා ඔයාවත් මම තිබ්බේ එතන.. ඔයාගේ මතකය මගේ හිත ඇතුලේ මම මැරෙනකන්ම ජීවත් වෙනවා අද ඔයා අපි අතර නැති උනත්..මගේ යාලුවේ..."




මේ සිද්දියෙන් පස්සේ ඔහුගේ පවූලේ අය ඉල්ලා හිටියා මුහුණු පොතේ ඔහු ගැන  දාන්න එපා කියලා,  කිසි කෙනෙකුට වරදක් නැති, තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක  කෙනෙක් නිසාම ඔහුට අගෞරව වෙන කිසිම දෙයක් අද වෙන තුරු මුහුණු පොතේ නැහැ..ඔහුගෙ අක්කා උපන්දිනේට හරි  ඇය කරන විශේෂ දෙයක් හරි ඔහුගේ wall එකේ අදටත් බෙදා ගන්නවා  හැඟිම් බර වචන ටිකකුත් එක්ක අපේ ඇස් වලටත් කඳුලු ගේන..

ඔහු  උගන්නපු සහ ඒ වෙනකොට PHD එක හදාරමින් සිටි ඇමරිකාවෙ විශ්විද්‍යාලයේ  ඔහුගේ නම සඳහන් ඇගයීම් පුවරුවක් සදාකලිකවම රැඳි තියනවා ඔහුගේ දස්කම් එක්ක. ඒ වගේම ඔහුගේ අවසන් නිබන්ධනය බාර දි නොතිබුනත් ඔහුට කරන ගෞරවයක් ලෙස PHD එක ප්‍රධානය කරලා තිබුනා ඔහු ජීවතුන් අතර නැති උනත්.. ලංකාවේ ඉපිඳ ඉහළම තලයකට නැග්ග, කිසිම කෙනෙකුට වරදක්  කරදරයක් නොකල හැම කෙනෙකුටම සංවේදිව සලකපු ඔහු ඔහුගේ ජීවිතය ගැන සංවේදී නොවුනේ ඇයි ?


31 comments:

  1. අවුලක් තියෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති පැණිකු, ස්තුතියි නිම්නයට එකතු උනාට....

      Delete
  2. හීන දකින්නී "සියදිවි හානි කරගැනීමට සම්බන්ද ලිපියක් " තියෙනවා කිව්වේ මේක ගැන නේද?
    කොහොමින් හරි දුකින් පිරි අතීතයක්. අර තරම් උගත් පුද්ගලයෙක් සියදිවි හානි කර ගත්තා කියන්නේ ලොකු ප්‍රශ්ණයක් තියෙන්න ඇති. සමහරවිට හීන දකින්නීත් එක්ක කථා කෙරුවානම් මිතුරු කමක් ඇතිකර ගත්තානම් ඔය තත්වය ඇති නොවෙන්නත් පුලුවන්දෝ කියලත් හිතෙනවා.
    (සියදිවි හානි කරගැනීම නම් අනුමත කරන්න බෑ)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී, මේ ඒ කතාව තමයි.. මටත් එහෙම හිතුනා.. ඒත් මම දන්නේ නැ ඔහු ලඟ හිටිය හැමෝටම ඔහුව නවතන්න බැරි උනා නම් මට පුලුවන් වෙයි ද කියලා....

      ඇයි දුමී සිය දිවි හානි කර ගැනිම විතරක්... මේ විදිහට බොන එක.. එක දිගට නිදි මරන එක, තමන්ගේ ප්‍රශ්න කාත් එක්ක වත් කතා නොකරන එක.. ඒ එකකවත් අනුමත කරන්න පුලුවන් දේවල් නෙමේ.

      Delete
  3. අපේ අධ්‍යාපන ක්‍රමය තුල උගතුන් බිහි කලාට සමාජානුයෝජන හැකියාවන් වර්ධනය කරන්නේ අඩුවෙන්.. කෙනෙක් තමුන්ගේ අත්දැකීම් මිතුරන් සමගවත් බෙදාගන්නේ නැතිව අදාල රාජකාරිය කරගෙන ඉන්නව ානම් ඔහු විශාල‍ලොකු දෙයක් කරන අයෙක් ලෙස ඇතැමෙක් හදුන්වනවා..

    මිනිස්සු ජීවත් වෙන්නේ පීඩනයකින්...ඒ මුල් කාලේ පාසල හරහා එන දැඩි පීඩනය සහ හොද මිනිහෙක් වීමට අපි ගත යුතු උත්සාහය ජීවිතය මහා අවුලක් බවට පත් කරනවා.. ඇතැම් වෙලාවට..

    ReplyDelete
    Replies
    1. ඔබේ කියමනේ ලොකු ඇත්තක් තියනවා අමිල...විශේෂයෙන් මෙන්න මේ දේ ඇත්ත සහ එය ලොකු වරදවා වටහා ගැනීමක් මට හිතෙන්නේ..

      //කෙනෙක් තමුන්ගේ අත්දැකීම් මිතුරන් සමගවත් බෙදාගන්නේ නැතිව අදාල රාජකාරිය කරගෙන ඉන්නව ානම් ඔහු විශාල‍ලොකු දෙයක් කරන අයෙක් ලෙස ඇතැමෙක් හදුන්වනවා..//

      Delete
  4. මේ ලිපියේ හැමෝටම හිතන්න දෙයක් තියනව. අපි අද්‍යාපනයෙන් විතරක් ජයගත්තට මදි කියන එක. බොහෝම සංවේදි ලිපියක්. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් කටකාරී, මම මේ ලිපිය ලියනවද නැද්ද කියලා හිත හිතා හිටියේ මට ඕන නැ ඔහුව විවේචනය කරන්න, ඒත් මෙතන අපි හැමෝටම ගත යුත්තක් නැවත සිතා බැලිමක් කරන්න සැඟවුනු දෙයක් තියනවා කියල හිතුනු නිසා බොහොම පරිස්සමින් මම ලිව්වේ.

      ස්තුතියි ඔබට මම බලාපොරොත්තු වූ දේ ඉස්මතු කරමින් ඔබේ අදහස නිම්නයට එකතු කලාට කටකාරී...

      Delete
  5. සංවේදී කථාවක්. ඔබගේ මිතුරාගෙ වියෝව ගැන කණගාටුව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්...මේ මම දන්න මට ලඟ අයගෙන් දෙවෙනි හදිස්සි මරණය.

      Delete
  6. මේ තියෙන්නෙ කතා. හදවත පහුරුගාන හිරකරවන හිත හඬා වැටෙන කතා. අපූරුයි හැබැයි දුකයි.

    ReplyDelete
    Replies
    1. හැලපේ කියවන්න කැමති හිත කිරීගැහෙන කතා ද...මේ සින්දු දෙක අහලා බලන්න...

      1 ...


      2 ...


      දුකයි නේන්නම් හැලපේ.......

      Delete
  7. අපි නොහිතනවා වුනාට හුඟක් දෙනෙක්ගේ ජීවිත ඇතුලතින් හරි ව්‍යාකූලයි. ගොඩක් දෙනෙක්ට ඒකෙන් එලියට එන්න අමාරුයි. යාලුවගේ වියෝව ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්... මේ සිදුවීමෙන් පස්සේ මම තවත් මං අවට වෙන දේවල් ගැන ඇතුලට ගිහින් හොයන්න හිතන්න පෙළබුනා... සමහර ජීවිත පුදුම විදිහට ව්‍යාකූලයි.. එක තැනක් වැරදුනාම දිගටම වැරදි පාරේ ගිහින් මිසක් ටිකක් නැවතිලා නැ.. දැන් ලේසිත් නැ ඒ පැටලුන තැන් වලින් එළියට ගන්නත්...

      Delete
  8. මම හිතුවේ ඔයාගේ ප්‍රේම කතාව වෙන්න ඇති කියල.. හරිම දුක හිතුනා අවසානය කියවද්දී නම්.. මට මතක් වුනේ අපි කොල්ලෝ කාලේ ඔය කරන එක එක සිද්දි කොහොම අනිත් අයට බලපානවා ඇති ද කියල.. මට ආපු ඔය විදියේ කෝල් එකක් ගැන මතක් වෙනවා. එක ගෑනු ළමයෙකුගෙන්. මම අද වෙනකම් ඒ ළමය ගැන හොයල බැලුවේ නෑ.. මම එහෙම කරන්න හේතුව ඒ සිද්දි දුර දිග ගෙනියන්න උවමනාවක් නොතිබිච්ච නිසා. ඇත්තටම ඊට පස්සේ මොනවා වුනාද කියලවත් දන්නේ නෑ.. අපොයි සිද්දි 60ක් විතර මතක් වෙනවා හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හි හී.. ඔව් ඔව් ඕගොල්ලෝ වැඩි දුර නොහිතා කරන වැඩ වලින් කී දෙනෙක් අවුල් ගිහින් ද දන්නේ නැ...සමහර අයට එහෙම දේවල් දරාගන්න අමාරුයිනේ පැතුම් ගෑනු පිරිමි බේධයක් නැතුවම..

      මේ කතාව නම් තාම පිළිගන්න බැ හිතට , හරිම දුකයි එයාගේ අක්කා දුක් වෙන හැටි දකින කොට. මට ඉන්නෙත් මල්ලියෙක්..ආපස්සට මොකද වෙන්න කියලා නොහිතා ඇස් වල තෙරපෙන කඳුලු, හිතේ තෙරපෙන තරහා පිට කරන්න පුලුවන්.. මගෙත් ජීවිතේ ඕනම දේකට මගේ ලඟ ඉන්නේ මගේ මල්ලි.

      Delete
  9. මමත් හිතුවේ ඔයාගේ ප්‍රේම සම්බන්ධයක් ගැන ලියනවා කියලා. අන්තිම හරිය කියවපුවාම ඇඟත් හිරිවැටිලා ගියා. ඇයි නිකමටවත් එයා ගැන මුකුත් ඇහුවේ නැත්තේ?:(

    ReplyDelete
    Replies
    1. මම අර marriage එක ගැන sms එක ආව දවසේ ඇහුවා මෙඩූසා ඇයි එහෙම කිව්වේ කියලා. ඒත් එයා එවල තිබ්බා "I don't want to talk about it now, I will tell you one day" කියලා..

      ඊට පස්සේ නම් මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැ..මගෙත් තාත්තා නැති උනා හදිස්සියේ, ඉගෙන ගන්න වැඩ, රස්සාව, කසාඳය, පුතා ලැබුනා.. ඉන් පස්සේ අපි ආයෙත් වෙන රටකට ආවා..

      Delete
  10. මේ ලෝකේ ඉන්න හැමෝම එක සමාන නෑනේ.ප්‍රශ්නයක් ගැන කා එක්කවත් කතානොකරන එක, හැමදේම හිතේ තියාගන ඉන්න එක මටත් පුරුදුවෙලා. ඒ දේ වෙලාවකට ජොලි වුනාට වෙලාවකට හෙන මූසලයි.සමහරවිට ඔහුට හිතෙන්නැති මරණය සුන්දරයි කියලා. සියදිවි හානිකරගැනීම පිලි නොගත්තත් එහෙම කරගන්න කෙනෙක්ට මම මුකුත්ම කියන්නේ නැත්තෙත් ඒක ඔහුගේ අයිතිය කියලා මම පිලිගන්න නිසා.ඒ වුනත් ජීවිතය නැතිකරගන්න තියන හයිය ජීවිතය ජීවත්කරගන්න යොදාගන්නවනම් මේ ජීවිත ගොඩක් ලස්සන වෙන්න තිබුනා.

    ප.ලි.
    අර 200.. කියලා අවුරුද්ද දාලා තිබුනේ වයස අහුවෙයි කියලා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. //ඒ වුනත් ජීවිතය නැතිකරගන්න තියන හයිය ජීවිතය ජීවත්කරගන්න යොදාගන්නවනම් මේ ජීවිත ගොඩක් ලස්සන වෙන්න තිබුනා.//

      මෙන්න මෙතන්ට තමයි මටත් එන්න ඕන කටුස්.. කොහොමද අපි අපේ හිතේ තියන බය අයින් කරලා හිර වෙලා තියන දේවල් කියන්න හිතේ හයිය යොදා ගන්නේ....

      නැ.. මේ යාලුවාව හොයාගන්න බැරි වෙන්න කාටවත්...:)

      Delete
  11. ඔබේ මේ සටහන ඇතුලේ මම දැක්කෙම වරදකාරී හැඟීම වහගන්න හදන අතීතයේ උන් තරුණියක්. මම වැරදි ඇති.

    ReplyDelete
    Replies
    1. ලිඛිතා.. අපි හැමෝම එක්තරා අතකින් වැරදිකාරයෝ තමයි.. ඔබත් මමත්.. මොකද අපි හැමවිටම හොයන්නේ හිතන්නේ අපි ගැනමයි.. අනිත් අය ගැන අපි හිතන්නේ දෙවනුවට... අන්න ඒ දේ තේරුන් ගැනීම ගොඩක් වටින දෙයක්... වගේම ඒක තමයි යථාර්තය...

      අපි ලියන්නෙත් ගොඩක් විට අපේ හිත නිදහස් කර ගන්න.. අපේ කරදර, දුක් කම්කටොලු , අසනීප, බාධක වගේ දේවල් අපි ලියලා අපේ අවට ඉන්න අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද...

      " අනේ මට මේ ප්‍රශ්නේ, අර ප්‍රශ්නේ, අර ලෙඩේ , මේ ලෙඩේ.. අර කරදර , මේ කරදර. ඒ නිසා මට හැකියාව ඕනකම තිබ්බත් ජිවිතේ සතුටක් ඉදිරියට යාමක් නැ.. මට උදව් කරන්න" කියන පණිවිඩේ බොහොම සුක්ෂමව සඟවලා දෙන්න උත්සහ කරනවා ගොඩක් විට...

      මේ සිදුවිමේදි ඔහුට මාත් එක්ක කතා කරන්න ඉඩක් ඇති නොවීම තුලින් වුනේ හොඳක් ද නරක් ද කියන්න මම දන්නේ නැ.. නමුත් මේකෙන් ගන්න තියන පාඩම තමයි අපිට තියන ප්‍රශ්න දිගින් දිගට සැඟවීම නිසි උපදෙස් නොගැනීම විනාශයට මුලක් අපේම.. මම ඉගෙන ගත් ඒ පාඩම අනිත් අයත් එක්ක බෙදා ගැනීමක් තමයි මේ කලේ..

      Delete
    2. අනිත් එක ලිඛිතා අපිට කෙනෙකුට කරන්න පුලුවන් මඟ පෙන්වීම.. ඒ කෙනා තමයි තීරණය කරන්න ඕන තමන් යන මාර්ගය..ජිවිත ගමනේ අපිට දකින්න ලැබෙන ඉඟි වටහා ගැනීම හැම කෙනෙකුටම කරන්න බැහැ.. අත්දැකීම් එක්ක ඒ අවබෝධය වැඩි කරගන්න පුලුවන් ඕනකම තියනවා නම්..ඒකට තමන් ඉන්න බිත්තර කට්ටෙන් (ඉයන්ගෙන් ණයට ඉල්ලා ගත් වචනයක් ) එළියට එන්න හිතේ හයිය තියෙන්න ඕන.

      මම දකින විදිහට අපිට වගකියන්න පුලුවන් අපේ ජිවිතය ගැන පමණයි..එයත් අනිත්‍යයි.. ඉතින් අනිත් අය ගැන කවර කතාද...

      Delete
  12. දුකයි.....කේන්තියි.

    ReplyDelete
  13. හුඟක් සංවේදීව දැනුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි. මොන හේතුවකින් ජීවිතෙන් සමු ගන්න අයගේ හිතවතුන් විඳවන විදිහ බලන්න හරිම අමාරුයි...අපි ඔක්කොම එක දවසේ මැරෙනවා නම් හොඳයී (හීනයක් පමණි )

      Delete
  14. මට හිතෙන්නෙ පාසෑල් තුල දෑනට උගන්වන මොනයම් හො විශයක් ඉවත් කරල ජීවත් වෙනකොට මූන දෙන්න වෙන පොදු ගෑටලු තමන්ට වගේම අනුන්ටත් දුකක් නෙවෙන විදියට විසද ගත හෑකි ක්‍රම දරුවන්ගෙ හිත් තුල රදවනව විෂයක් හදුන්වා දුන්නොත් නිරොගී මනසක් ඈති අනාගත පරපුරක් ලන්කාවෙ ඉදීවි.

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ ඒකත් හිතලා බලන්න පුලුවන් හොඳ විසඳුමක්..

      Delete
  15. දරාගන්න අසීරු තරමට දැනුණු සටහනක්.
    මට මතකයි මීට වසර කිහිපයකට පෙර පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා අංශයේ සහාය කථිකාචාර්යවරියක් සිය දිවි හානි කර ගත්තා. අැය උපාධි නිබන්ධනය කර තිබුනේත් සිය දිවි නසාගැනීම් ගැන. සියදිවි නසාගැනීම් ගැන අප සිදු කරන විග්‍රහවලට වඩා වෙනස් තලයක සියදිවි නසාගැනීම් සම්බන්ධ ප්‍රායෝගික කාරණා පවතින්නේ. අප හැමෝම තුළම යම් අවස්ථාවක 'දිවි නසාගන්නට හිතෙන' මානසික තත්ත්වයන් අැතිවෙලා අැති. නමුත් අපි ඒක දරාගන්නා අාකාරය අනුව එහි ක්‍රියාත්මක වීම අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා.අපේ රටේ මාධ්‍ය සිය දිවි නසාගැනීම් වාර්තා කරන අාකාරයත් එවැනි දේ සඳහා පොළඹවන අාකාරයක් තිබෙන්නේ. අාසන්න කාලයක මව්වරුන් කිහිප දෙනෙක්ම දරුවන් සමග නිල්වලා ගඟට පැන දිවි නසාගන්න පෙළඹුණා මට මතකයි.
    අැත්ත අධ්‍යාපනය ජීවිතයෙන් වියුක්ත වෙලා. දේවල් දරාගැනීමට නොහැකි දරු පරම්පරාවක් ගොඩනැඟෙමින් තිබෙනවා. මේවාට අධ්‍යාපන ක්‍රමය තුළින්ම පමණක් විසඳුම් තිබෙනවාද? උපදේශනය අාදිය ගැන තවමත් අපේ රටේ පොදු සමාජය තුළ නැඹුරුවක් නැහැනේ. අැතැමුන් සිය දිවි නසාගෙන තිබෙන්නේ ඉතාම සරල කාරණා නිසා. ඒවා තව කෙනෙකුට කියන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණා නම් ඒ දිවි නසාගැනීම් නොවෙන්න තිබුණා. මා දන්නා පවුලක ඉතාම දක්ෂ දියණියක් අ.පො.ස. (උ/පෙළ) විභාගයේ ජීව විද්‍යා අංශයෙන් 'ඒ' සාමාර්ථ තුනක් බලාපොරොත්තුව සිට එවැනි ප්‍රතිඵලයක් නොලැබීම නිසා නිවසේ කාමරයේදීම දිවි නසා ගෙන තිබුණා. අැගේ මව්පියන් ඒ ගැන විඳවීම සිතාගන්නවත් බැහැ.
    අනෙක සමාජීය වශයෙන් වසර 30කටත් වැඩි කාලයක් මරණයම අත්දැකපු සමාජයකට ජීවිතයේ වටිනාකම නැවත නැවත ඉගැන්විය යුතුව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබත් එක්ක එකඟයි ප්‍රභාත්.. මාධ්‍ය ප්‍රචාරය කරන විදිහ ප්‍රශ්න තව වැඩි කරනවා කියලා මටත් හිතිලා තියනවා.. මිනිස්සුන්ට ඔනේ "ලොකු මිනිහෙක්" වෙන්න මිසක් "හොඳ මිනිහෙක්" වෙන්න නෙමේ.. ඒක හොඳ මාකට් එකක්..

      අධ්‍යාපන ක්‍රමය විතරක් වෙනස් වෙලා මදි , සමාජයක් විදිහට අපි හිතන පතන විදිහේ යම් යම් වෙනස් වීම් විය යුතුයි..දැනට වෙන උපදේශන වල පවා හැඩගැස්වීමේ වෙනස්කම් වෙන්න ඕන.

      ඔබ කියනවා වගේ සිදුවීම් හරිම කණගාටුදායකයි.. තම දරුවන්ගේ සිතුම් පැතුම්, දරා ගැනිමේ සීමාවන් ගැන දෙමාපියන් මොන තරන් නොදැනුවත් ද කියලා පෙන්නේ මේ වගේ සිදුවීම් උනාට පස්සේ...

      මම මේ කියන සිදුවීම වෙන කාලේ මගේ තාත්තා දැනගෙන හිටියා පිරිමි ළමයින්ගෙන් මට වෙන බලපැම්, ඔහු හරිම විවෘතව මට ඉඩ දුන්නා ඒ දේවල් ගැන කතා කරන්න.. මට කිසිම විදිහක දොස් පැවරීමක් නොකර.. මට තනියම ඒ සිදුවීම් හසුරුව ගන්න තාත්තා ඈතින් ඉඳලා උදව් කලා.. ඔහුට මං ගැන තිබ්බ විස්වාසය මම කඩලා නැ...

      ඒ වගේම තමන් වැරදිකරු වෙයි කියලා හිතෙන්නේ නැතුව ඕනම දෙයක් දෙමාපියන් එක්ක කතා කරන්න අපේ ගෙදර ඉඩ හදලා තිබුනා.. ඕනම දෙයක් වැරදුනාට ආයෙත් කරන්න පුලුවන්, විවිධ පැති ජීවිතේ තියන බව අපිට හොඳින් වටහලා දුන්න ඒ දෙන්නා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...