Saturday, July 23, 2016

හැසිරිම් සහ ඔබ කවුද - තුන්වන කොටස

පළමු කොටස.
දෙවනි කොටස.

අද "හැසිරිම්" ගැන ලියවෙන තුන්වන අදියර.. පහත පිරමිඩයේ උඩින්ම තියන "හැසිරිම්" හැදෙන විදිහ ගැන තමයි මේ එකින් එක පියවරින් ලියවෙන්නේ... මුල්ම ලිපියේ අපිට අවට පරිසරයෙන් "දැනිම්"  (SENSE)  ලැබෙන ක්‍රම ගැන කතා කලානේ. ඊට පස්සේ ඒ ලැබුනු "දැනිම්" හරහා අපිට "දැනෙන"  (FEEL) විදිහ  ගැනත් කතා කලා.. අද තියෙන්න පිරමීඩයේ තුන්වන පියවර වන "හිතන"  (THINK) ගැන කතා කරන්න. 





අපි දන්න ඕනෙම කෙනෙක් "හිතන" විදිහ තේරුන් ගැනීම වැදගත් වන්නේ වඩාත් සාර්ථකව එකිනෙකා හා අදහස් හුවමාරු කර ගන්නත් එමඟින්  එකිනෙකා හරහා අත්දැකිම් තුලින් ඉගෙන ගන්නත් පහසු වෙන නිසයි. කෙනෙක් "හිතනවිදිහ හැඩ ගැහෙන්න ඉපදුනු දා ඉඳලා අවට පරිසරයෙන් SENSE හරහා  ලැබුනු "දැනීම්" තුලින් එකතු කර ගත් අත්දැකීම් කරන්නේ ලොකු බලපැමක්. මම හැමදාම හිතනවා  මගේ අම්මයි තාත්තයි, හැදුනු පරිසරයයි නැතුව වෙනස් විදිහේ තැනක වෙනස් විදිහේ අය එක්ක  හැදුනා නම් අද මම "හිතන" විදිහ මොන වගේ වෙලා තියේවිද කියලා.. එහෙම "හිතන" කොට මට හිතෙනව මම "හිතන" විදිහ ගොඩනැගෙන්න සැහෙන බලපැමක් මං අවට ඉන්න අයගෙන් වෙලා තියනවා කියලා.. 

හැම කෙනෙක්ම "හිතනවිදිහ එකිනෙකට වෙනස්, හරිම ආවේණිකයි. ඒ වගේම කෙනෙක් "හිතන" විදිහ තේරුන් ගන්න නම් අපිටත් එක් මොහොතක් ඒ කෙනා වෙන්න වෙනවා අපෙන් මිදිලා.. අපි සාමාන්‍යයෙන් කියන්නේ අනිත් කෙනාගේ ෂු එකට බැහලා ඒ කෙනා ඇවිදින මාර්ගයේ ගිහින් බලන්න කියලා.. අපිට  පුලුවන් නම් අපේ මනසින් අනිත් කෙනා "හිතන" විදිහ තේරුන් අරන් හිතලා බලන්න දැනට තියන වැරදි වැටහිම් බොහෝ සේ අඩු කර ගන්න පුලුවන් මම හිතන්නේ. 

"" If you could just put yourself in his shoes for a moment, perhaps you would understand why it is not as easy as you seem to think ""

සමහර තැන් වලදි අපි මොන තරන් උත්සහ කලත් කෙනෙක් "හිතන" විදිහ තේරුන් ගන්න, එය හැම අතින්ම අසාර්ථක වෙන්න පුලුවන්, සමහර විට අපිට හිතෙන්න පුලුවන් කෙනෙක් දුක් වෙන්නේ, අසතුටින් ඉන්නේ කිසිම පිටට පේන හේතුවක් නිසා නෙමේ කියලා.. ( මම මෙතනදි සෘනාත්මක සිතුවිලි ගැන විතරයි කතා කරන්නේ )   ඒ වගේම අපි හැමෝම දන්නවා පහුගිය ලිපි වලිනුත් කතා කලා වගේ හැමවිටම දෙදෙනෙක් එක හා සමානව එකම  පරිසර තත්වයන්ට මූණ නොදෙන බව..

හැබැයි අපිට තේරුන් ගන්න නොහැකි උනාට හැම දෙයක් පිටුපසම හේතුවක් (හෝ රැසක්) තියෙනවා, කෙනෙක් "හිතන" විදිහ ගැඹුරට අපිට හිතලා බලන්න පුලුවන් නම් , වෙලාව හොයාගන්න පුලුවන් නම් එක් එක් සිදුවීම බැගින් වෙන වෙනම අරගෙන.. කිසිම වෙලාවක සිදුවිම් ගොඩකින් කෙනෙක්ව තේරුන් ගන්න උත්සහ කරන එක ඒ තරන් ඵලදායි නැහැ කියලයි මට හිතෙන්නේ.. අපිට හැමදේම තේරුන් ගන්නත් බැහැ,  A - Z තේරුන් ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.. සිදුවීම් එකින් එක වෙන වෙනම අරගෙන කෙනෙක් "හිතන" විදිහ සොයා බලන එක වඩා ඵලදායි.. මෙහෙම වෙන වෙනම එකම කෙනාව විමසලා බලද්දි ඒ කෙනා ඇතුලේ ජීවත් වන චරිත ගොඩක් වෙන වෙනම අඳුර ගන්න අපිට පුලුවන්.. ඒ චරිත බිහි වෙන්නේ ඒ කෙනා ගැවසෙන පරිසරය සහ අවට සිටින අය අනූව කියලත් අපිට තේරුන් ගන්න පුලුවන් වෙනවා... විවිධ පරිසර වල එකම සිදුවීම හරහා වැඩි වාර ගනණක් කෙනෙක්ව අධ්‍යයනය කරල බලන්න පුලුවන් නම් අපිට වැඩි කරුණු ප්‍රමාණයක්  එකතු කර ගන්න පුලුවන් ඒ කෙනා "හිතන" විදිහ ගැන, අපි තනි පුද්ගලයෙක් විදිහට විතරක් බලන්නේ නැතුව..

ඒකින් මම අදහස් කලේ නැ අපි කෙනෙක්ව තේරුන් ගන්න ඒ කෙනා යන එන හැම තැනටම ගිහින් හැම කෙනාගෙන්ම විස්තර අහන්න ඕන කියලා.. කාලයක් ඇසුරු කරද්දි ඉබේම මේ අවස්ථාවන් ගොඩනැඟෙනවා.. එතෙක් ඉවසිමෙන් සිදුවීම් දිහා බලාගෙන තේරුන් ගැනීමට අවශ්‍ය කරුණු අපේ මොළේයේ ගබඩා කර ගැනීම වඩා සුදුසුයි කියලා මට හිතෙනවා.. කෙනෙක් තමන් ගැන කතා කරන්න සුදානම් මොහොතක් පැමිණෙන තුරු.... 

සමහර වෙලාවට අපිට හිතෙන්න පුලුවන් කෙනෙක්  නුසුදුසු විදිහට හැසිරුනා කියලා, නමුත් අපිට කිසිසේත්ම විදිහක් නැහැ ඒ කෙනාගේ මොළය ඒ අවස්ථාවේ වැඩ කල විදිහ ගැන හොයා ගන්න, ඒ නිසා අපිට කෙනෙක්ගේ "හැසීරිමකින්" එක පාරට තීරණය කරන්න අමාරුයි මොකද්ද හේතුව, මොකද්ද වුනේ,හරි ද වැරදි ද  කියන එක..අපි හරියාකාරව නොදැන ඒ "හැසිරීම" සුදුසුයි/නුසුදුසුයි කියන එක ඒ තරන්ම නිවැරදි නැහැ වගේම  ඒ ගැන විවේචන ඉදිරිපත් කරන්න යාමත් තේරුමක් නැහැ... මොකද අපි කලින් ලිපි වලත් කතා කලා වගේ මොළය වැඩ කරන්නේ එයාට ලැබෙන තොරතුරු සහ එයා ලඟ මෙතෙක් කල් එකතු වුනු තොරතුරු එක රැස් කරලා නිසා, එක් මොහොතක එක සිදුවීමකින් අපිට  ඒ හැමදේම දකින්න අවකාශයක් නැති නිසා....ඔන්න අපිට පුලුවන් නම් අපි යම් සිදුවීමට මූණ දුන්  විටක අපිට දැනුනු, මතක් උනු හැමදේම වගේ අනිත් කෙනාගේ මොළේ ක්‍රියාකාරීත්වය ඒ විදිහටම දැක ගන්න, අපිට පුලුවන් ඒ කෙනා ගැන තීරණය කරන්න...


මම කියවලා තියනවා  කොතනක හරි අපි, අපේ මොළයෙන් අනිත් කෙනා "හිතන" විදිහ තීරණය කරන්න යාම හරියට  තෙලුයි වතුරයි එකට එකතු කරලා බොන්න දෙයක් හදාගන්නවා වගෙයි කියලා.



මම මුලින්ම අපේ මොළයේ තියන සිතීමේ ක්‍රියාවලියට වැදගත් වන මූලික කොටස් දෙකක් ගැන ඉහත රූපසටහනින්  පැහැදිලි කරලා ඉන්නම්. මෙහිදි CEREBELLUM (චලන හසුරුවන්නා) අපි මුල්ම ලිපියේ කතා කල SENSE හරහා ලැබෙන තොරතුරු, අපේ කොඳුඇටපෙළ හරහා ලැබෙන තොරතුරු සහ මොළයේ අනිකුත් ප්‍රදේශ වලින් ලැබෙන තොරතුරු එක් කරගෙන අපේ චලනයන් (වේගය) පාලනය කරනවා..මෙහිදි අපි හිතා මතා පාලනය නොකරන කතාව, ශරිරයේ පිහිටීම, සමබරතාවය, අවයව එකිනෙක සම්බන්ධීකරණය   වැනි ක්‍රියා වල සම්පූර්ණ වගකීම මේ CEREBELLUM  (චලන හසුරුවන්නා) අරගෙන අපිට ලබා දෙනවා අපේ මාංශපේශි වල සමතුලිත සුමට චලනයන්. ඒ නිසා මොළයේ මූලික පාදම  විදිහට මේ CEREBELLUM (චලන හසුරුවන්නා) සැලකෙනවා , හැම දෙයක්ම පිලිවෙලකට වැඩ කරන්න හේතු වන මධ්‍යස්ථානය විදිහට... රූපයේ සඳහන් කර ඇති පරිදි සැහෙන වැඩ කොටසක් මේ CEREBELLUM  (චලන හසුරුවන්නා) කොටසින් පාලනය කෙරෙනවා.

 CEREBELLUM  (චලන හසුරුවන්නා)  කොටස දොඩම් ගෙඩියක් (එහෙමත් නැත්නම් මැන්ඩරින් ගෙඩියක් ) විතර ඇති ප්‍රමාණයෙන්, හැබැයි මේ දොඩම් ගෙඩියක් තරමේ පුංචි කොටස හරියාකාරව තමන්ගේ වැඩ කොටස අපිට කරල දුන්නේ නැත්නම් අපේ ශරීරයේ මාංශපේශි එකකට වත් අර කලින් ලිපි වල කතා කල බාහිර උත්තේජන හම්බුනත්  මොළය ක්‍රියාකාරි වෙන්න කියන පණිවිඩය දුන්නත් කිසිම වැඩක් කර ගන්න බැහැ, අපි ගල් පිලිමයක් වගේ මේ දොඩම් ගෙඩියක් තරම් CEREBELLUM  (චලන හසුරුවන්නා) නැත්නම්. CEREBELLUM (චලන හසුරුවන්නා)  කොටසේ මුලු මොළයේම තියන ස්නායු වලට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටල තියනවා මේ බැරැරුම් කාර්ය හරියට කරන්න..

 අපි අතර ඉන්නවා ඔයාලටත් හම්බෙලා ඇති සාමාන්‍ය අයට වඩා ටිකක් අලස අය...වැඩි ක්‍රියාකාරි බවක් නොපෙන්වන අය. මේ අයගේ CEREBELLUM  (චලන හසුරුවන්නා) වල ක්‍රියාකාරිත්වය හරිහැටි නොවෙන්න පුලුවන්, ඒ කියන්නේ මොළෙන් පනිවිඩ එව්වට මාංශපේශි වැඩ කරන්න වැඩි වෙලාවක් ගැනීම හෝ මාංශපේශි එක්ව වැඩ කිරිමේ අපහසුතා තියෙන්න පුලුවන්... කරන්න තියන හොඳම දේ තමයි ශරිරය උනුසුම් කරන ව්‍යායාම පුරුද්දක් විදිහට නිතර කරන  එක (ජිම් එකකට යන්නම ඕන නැ, තමන්ගේ එදිනෙදා ජීවන රටාවේ හොයා ගන්න පුලුවන් ටිකක් දුවන්න, නටන්න, ඇවිදින්න,  බයිසිකල් පදින්න) බයිසිකල් ගැන කිව්වාම මට මතක් උනේ සමහර පොඩි දරුවන්ට බයිසිකල් පදින්න අමාරුයි මේ CEREBELLUM  (චලන හසුරුවන්නා) අපහසුතා ඇති.. කකුලේ මාංශපේශි කොහොමද ක්‍රියාකරි කරවන්න ඕන කියලා එයාලට හිතා ගන්න අමාරුයි..  මේ වගේ දරුවන්ට අධෛර්ය නොකරන දිගටම ඒ සඳහා අවස්ථාවන් ලබා දෙන අතරෙම අපිට පුලුවන්  කකුල් හසුරවන්න ඕන විදිහ එයාලට කරලා පෙන්නන්න... එයාලගේ කකුල් බයිසිකල් පදින විදිහට අපේ අත් වලින් හසුරවලා CEREBELLUM  (චලන හසුරුවන්නා) එක බාහිරින් උත්තේජනය කරන්න..  (මම දැකලා තියන දෙයක් තමයි බයිසිකල් පදිනවට වඩා බොහෝ ඉක්මනින් දරුවන් ස්කූටස් පදින්න ඉගෙන ගන්නවා, වරකට එක් කකුලක එකම විදිහේ චලනයකින් පැදිය හැකි නිසා වෙන්න ඕනේ )

ඊලඟ වැදගත් කොටස PREFRONTROL CORTEX (හැසිරීම් මෙහෙයවන්නා) මොළයේ  ඉදිරිපසින් පිහිටා ඇති මේ කොටස අපේ සංකීර්ණ හැසිරිම්, ඉදිරියට ගැන හිතලා තීරණ ගැනිම වගේම මේ කොටසින් අපේ පෞර්ශය වර්ධනයට ලොකු වැඩ කොටසක් ඉටු කරනවා.. මේ කොටස් දෙකේම එකතුවෙන් තමයි අපේ සීතිමේ ක්‍රියාවලිය මුලුමනින්ම පාලනය වෙන්නේ..

මේ PREFRONTROL CORTEX (හැසිරීම් මෙහෙයවන්නා ) සහ CEREBELLUM  (චලන හසුරුවන්නා) එකට එකතු වෙලා යම් ක්‍රියාවක් හරියාකරව සිදු වෙනකන් චක්‍රයක් වගේ එක දිගට පනිවිඩ හුවමාරු කරගන්නවා හැම තප්පරේකම.. මේ වගේ එකිනෙකට වෙනස් ක්‍රියාවලි රැසකට  අදාල චක්‍ර එක්  දිනක් ඇතුලත  නිරන්තරයෙන් මේ දෙන්නා අතර හුවමාරු වෙලා තමයි අපි එදිනෙදා ජීවිතයේ හැම වැඩක්ම හරියට කර ගන්නේ (හරියට කර ගන්න බැරි උනාට තරහා ගන්න එපා.. මොළෙත් හරි පව් , එක දිගට වැඩනේ, අතිකාල දීමනා නැ, අර්ථසාධක නැ, වෙන කිසිම පහසුකමක් අපි සලසලා දෙන්නේ නැනේ  එයාට, පුලුවන් නම් දවසකට එක විනාඩි 5ක් මොළේට පූර්ණ නිදහසක් දෙන්න හිත හිස් කරගෙන. හරි හරි අපි හැමෝම අඩුම ගානේ දවසකට පැය 6ක්වත් නිදා ගන්නවා  වෙන්න පුලුවන්, ඒත් නිදා ගන්නවා කියන්නේ නම් මොළේට විවේකයක් නම් නෙමේ හොඳේ.. ) 

ඒ වගෙම මොළය කියන්නේ වැඩ කරන්න කරන්න මුවහත් වෙන ආයුධයක්..මේ අපි දැන් කතා කරන කොටස් දෙකත් ඒ වගේ.. නියමිත විදිහට විවේක අරගෙන එයාලට වැඩ දුන්නොත් හොඳට මුවහත් කර ගන්න පුලුවන්..


අපි පුංචි කාලේ ගෙදර බයිසිකලේ පදින්න ඉඩ නැති නිසා, ලඟ තිබුන ටිකක් ඉඩ තියන එළිමහන් තැනකට තාත්තා අපිව එක්කන් යනවා. එතන්ට යනකන් අපි යන්නේ බයිසිකල් තල්ලු කරගෙන, යන්න තිබ්බේ කඳු, පල්ලම්, වංගු  තියන පටු පාරක නිසා,  තාත්තා අපිට කිව්වේ ගෙදර තියන පුංචි කොරිඩෝවේ වැටෙන්නේ නැතුව 8 පැද්දට පස්සේ බයිසිකලේ පැදගෙනම යන්න දෙන්නම් කියල ඒ පාරේ. පල්ලම් වල වේගෙන් යන්න තියන ආසාවටම මම ඉඩ ලැබෙන හැමවෙලේම පුරුදු උනා..හැබැයි ඒක පුරුදු වෙන්න කලින් අපි කොලඹ ආපු නිසා ආයේ කවදහරි දවසක ගිහින් පදින්න ඕනේ පල්ලමේ.. මම මුලින්ම එක දිගට තියන තැනිතලා පාරක බයිසිකල් පැද්දේ කසාඳ බැඳපු දවසේ, එදා අපි ගිය හෝටලේ බයිසිකල්  තියනවා දැක්ක අපි දෙන්නම කලේ ඉක්මනට ඇඳුම් මාරු කරගෙන බයිසිකල් දෙකක් අරගෙන පදින්න පටන් ගත්ත එක. අන්තිමේ අපි දෙන්නා එදා 12km  ගානේ  පැදලා තිබ්බා..රැ උන නිසා නවත්තලා ආවා.. පහල තියෙන්න එදා ගත්ත පින්තූරයක්.






 දැන් අපි ආයෙත් පාඩමට එමු.. මූලිකව අපි "හිතන" විදි 7ක් ගැන මම මෙතන්දි කතා කරන්නයි යන්නේ..

1. Literal - ඒ ඒ සිදුවීමට අදාලව නොව වචන වල මුල් මූලික තේරුම ඒ විදිහටම ගැනීමෙන් සිතීම

 අපි හිතමු අපි කෙනෙකුට කිව්වා කියලා "තේ එකක් හදන්න" කියලා, ඒත් ටිකක් වෙලා බලන් හිටියත් තේ එක ලැබෙන්නේ නැහැ කියලා හිතමු..මෙන්න මේ වගේ තැනකදි   අපි අර මුලින් කිව්ව වචන වල අර්ථය විතරයි අපි වැඩේ කියපු කෙනා අරන් තියෙන්නේ.. ඒ වචන වලින්ම අපි පනිවිඩේකුත් දෙනවා ඒ හදන තේ එක "මට බොන්න ගෙනත් දෙන්න" කියලා..ඒ හැංගුන පණිවිඩය ගැන කෙලින්ම නොකියා හිතන්න සමහර අයට අපහසුයි.. (අඩු තරමින් හැදුවා කියල ඉඟියක් දීම)

තවත් උදාහරණයක් ගත්තොත් දරුවෙකුට පාඩමක් අතරතුර ගුරුවරයෙක් කියන්න පුලුවන් "ඇහුන්කන් දෙන්න" කියලා. එතන්දි ගුරුවරයා කියන්නේ නැ ඇහුන්කන් දෙන්න ඕන කාටද කියන කාරණය, එය ඒ සිදුවීම අනුව හිතා ගන්න අපහසු දරුවන් ඉන්න පුලුවන්, එයාලා වෙන දේකට ඇහුන්කන් දෙනවා වෙන්න පුලුවන් පාඩමට නැතුව. ගුරුවරයා කිව්වොත් "මේ පාඩමට ඇහුන්කන් දෙන්න" කියලා මේ වගේ අපහසුතා ඇති දරුවන්ට පහසුවක් වෙවි ඒ වචන වල අරුත සිදුවීම එක්ක ගලප ගන්න.


තවත් විදිහකින් කිව්වොත් අපි ගොඩක් වෙලාවට අපේ පෙනුම දෙමාපියන් එක්ක සසඳා බලනවා.. එහෙම තැනකදි අපි කෙනෙකුට කිව්වොත් "ඔයාට තියෙන්නේ ඔයාගේ තාත්තගේ ඇස් දෙක" කියලා, ඒකින් කියවෙන්නේ යම් සමානකමක් ඇති බව මිසක් තාත්තගේ ඇස දෙක ඒ කෙනාට ඇති බව නොවේ..

දරුවෙක්ගෙන් අපි ඇහුවොත් "ඔයාට 10ට ගනින්න පුලුවන් ද ?" කියලා, සමහර දරුවෝ උත්තර දෙන්න පුලුවන්  "ඔව්" කියලා, හැබැයි අපි අර ප්‍රශ්නේ ඇතුලේම අහනවා හංගලා "ගැනලා පෙන්නන" කියන එකත්. ඒ හැංගුන  අර්ථය හිතන්න අමාරුයි සමහර දරුවන්ට සම වයස් අයට වඩා.. අපි ගොඩක් වෙලාවට  කාට හරි කිව්වොත් " අපි ට්‍රිප් එකක් යමු" කියලා එකේ අදහස "මේ දැන් යමු" කියන කියන එක නෙමේ නේ.. අපිට "පුලුවන් වෙලාවක යමු" කියන එක අපි එතනදි කියන්නේ නැ වචන වලින්... අන්න ඒ සැඟවුන අමුත්තා හොයලා හිතන්න සමහර අයට අපහසුයි.


2. Rigid/Structured - නම්‍යශීලි නොවිම,කිසියම් රටාවකට පමණක් සීතිම.

සමහර වෙලාවට අපි අපේ දැනට තියන ජීවන රටාවට, සිතුවිළි රටාවට  වඩා වෙනස් විදිහකට වැඩ කරන්න, හිතන්න  කැමති නැහැ, එතුලින් අපේ සුරක්ෂිතභාවයට යම් හානියක් වේවි කියලා අපි "හිතන" නිසා..ඒ අතරත් වෙනස්වීම් වලදි අන් අයට වඩා බොහෝ කලබල වෙන අය ඉන්න පුලුවන් වෙනසට හැඩ ගැහෙන්නෙ කොහොමද කියලා හිතා ගන්න අමාරු.. ඒ නිසාම අන් අයව ගොඩක් පාලනය කරගෙන ජීවත් වෙන්න "හිතන" අය ඉන්න පුලුවන්.. උදාහරණයකට වතුරට ගොඩක් බය අම්මා කෙනෙක් දරුවන් මුහුදු වෙරළකට එක්කන් යන්නත් ,ගිහාම ඉන්නෙත් ගොඩක් බයෙන් , කලබලෙන්......

සමහර අය ඉන්න පුලුවන් එයාලට ඕන විදිහටම දේවල් වෙන්න ඕන, පුංචි වෙනසක් වත් වෙන්න බැහැ කියලා "හිතන" මේ විදිහේ එකම විදිහට විතරක් "හිතන" නිසා... ගොඩක් වෙලාවට කුඩා කාලයේ දරුවන්ගෙන් අපි මේ දෙයක් වෙනස් උනාම ඇතිවන අපහසුතා දකිනවා...කාලයත් සමඟ බොහෝ දරුවන් වෙනස්කම් වලට කෙමෙන් හුරුවෙමින් නම්‍යශීලිව හිතන්න හුරු උනත් සමහර විට  වැඩිහිටි වයසට ආවත් වෙනසත් එක්ක මිතුරු වෙන්න අපහසු පුද්ගලයන් අපි අතර ඉන්න පුලුවන්..ඒ අයට වෙනස් වෙන්න කාලය දෙන්න..පහසු කරලා දෙන්න තේරුන් ගන්න වෙනස් උනා කියලා හානියක් නොවන බව..කීපවරක් එකම වෙනසට මුහුණ දෙන්න ලඟම ඉඳන් උදව් කරන්න  ආත්මශක්තිය ඇති කර ගන්න.. හැබැයි බොහොම පරිස්සමින්, කිරි පොවලා හදන්නේ නයි පැටියෙක් වෙන්න පුලුවන් නිසා..

සමහර වෙලාවට ජීවිතය ගැන වෙනස් අත්දැකිම් නැතිකමින් මේ විදිහට එකම විදිහකට විතරක් හිතන්න පෙලබෙන්නත් පුලුවන්, මොළයේ කිසිම ක්‍රියාකාරි වෙනසක් නැති මේ විදිහේ අය වෙනස් අත්දැකිම් ජිවිතයේ ලැබෙන කොට හිතා ගන්න බැරි විදිහට වෙනස් විදිහට හිතන්න පෙලබෙන්නත් පුලුවන්..

3. Mono tropic (Attention tunneling) - වරකට එක් පැත්තක් (දෙයක්)  පමනක් කල්පනාවට ගෙන සීතිම..  (එකම සිදුවිම දිහා පැති කීපයකින් සීතිමට අපහසු වීම/ක්‍රියාකාරකම් කීපයක් එකවර කිරිමට අපහසු වීම )


මේක නම් අපිට හරිම හුරුපුරුදුයි, ගොඩක් වෙලාවට ගැහැනු කෙනෙකුට එකවර පැති කිපයකින් වෙනස්ම දේවල් එකවර කරන්න පුලුවන්, ඒත් පිරිමි කෙනෙකුට ඒ හැකියාව අඩුයි... (මේ වගේ හැකියාවන් තියාගෙනත් ගැහැනු අය දුර්වලයි කියලා මතයක් බිහි උනේ කොහොමද මන්දා )

උදාහරණයක් විදිහට ගැහැනු කෙනෙකුට පුලුවන් එකවර දරුවෙක්ට කවන්න, දුරකථනයට පිළිතුරු දෙන්න, තවත් කෙනෙක් එක්ක කතා කරන්න කරන්න, කාටහරි උපදෙසක් දෙන්න, හෙට ගේන්න ඕන බඩු ලිස්ට් එක ගැන හිතන්න වගේ එකිනෙකට වෙනස් දේ එකවර හිතලා කරන්න පුලුවන්, නමුත් පිරිමි කෙනෙකුට වරකට හරියට හිතන්න පුලුවන් එක දෙයක් හෝ දෙකක්..


මම කියන දේ අහගෙන ඉන්නේ නැ කියල ගැනු ළමයෙක් පිරිමි ළයෙකුට චෝදනා කරද්දි බලන්න ඔහු වෙනත් වැඩකද ඉන්නේ.. එහෙම වෙලාවක් තෝර ගන්න එපා කතා කරන්න. ඔහුගේ මොළයට බැහැ එකවර වෙනස් වැඩ දෙකකට සාර්ථකව ඉඩ හදලා දෙන්න.. කරන වැඩේ ඉවර කරලා කතාවට අල්ල ගන්න එකත් ලේසි නැ තමා.. ඒත් එහෙම කරන්න පුලුවන් නම් වඩා අර්ථාන්විතයි දෙන්නටම.. 

තව සිදුවීමක් මට මතක් උනා පොතක කියවපු, ඒ පවුලේ ගැනු ළමයි ඉන්නවා 3 දෙනෙක්, තුන්දෙනාම කැමතියි ඉරිදට නාලා තමන්ගේ තාත්තට කියල කොන්ඩේ වේල ගන්න "Hair Dryer" එකින්. තාත්තා ඒ වෙලාවට කරන්නේ ටිවී එකේ ෆුට්බෝල් මැච් එකක් බලන එක. ඉතින් අර දුවලට වෙනවා තමන්ගේ ඔලුව රවුමට කරකවන්න පිච්චෙන්නේ නැති වෙන්න... මොකද තාත්තගේ මොළේට මතක නැ කොන්ඩේ වේලන එක මැච් එකට හිත ගිහාම..

ඒ වගේම ඇයි දන්නවද මේ තුන්දෙනාම මේ වැඩේ  අඩුපාඩු එක්ක උනත් තාත්තා එක්ක කරන්න කැමති අම්මා එක්ක නැතුව.. කොන්ඩේ වේලනකන් අම්මා කියන විදිහට  එක විදිහකට ඉන්න මේ තුන්දෙනාටම බැහැ...ළමයි කැමති අනිත් අයගෙන් පාලනය වෙන්න නෙමේනේ...

(මේ ලිපි වලදි බලන්න මම හැමවිටම පුද්ගලයට නෙමේ වගකීම  දෙන්නේ, හැදිලා තියන විදිහටයි වගකීම දෙන්නේ.. පුද්ගලයට කරන්න පුලුවන්  හැදිලා තියන විදිහ ගැන දැනුවත් වෙලා තැනට සුදුසු විදිහට හැඩ ගැසීම )



ඉහත "ඉගැන්නුම් පිරමීඩය" පසුව විස්තර සහිතව පැහැදිලි කරන්නම්, දැනට  මම මෙතනට අදාල කොටස විතරක් කියන්නම්.  (මේ පිරමීඩයට අනූව දරුවෙක් ඉපදුනු දා ඉඳලා හදාගෙන යනවා නම් මේ ලොකේ හැම දරුවෙක්ම දක්ෂයි එක් එක් අංශ වලින්, සාමාන්‍ය අධ්‍යාපන රටාවේ යන ගමන් මේ ගැනත් කල්පනාකාරී උනොත් දරුවෙක් අතරමන් වෙන්නේ නැ විභාග පාස් වුනේ නැති උනාට වත් ජීවිතේ යම් තැනක වැරදුනාට වත් )

අපි පහුගිය ලිපි වලින් කතා කල SENSE වලින් මධ්‍යම ස්නායු  පද්ධතිය එකතු කර ගන්න තොරතුරු ගැන තමයි මේ පිරමිඩයේ පහලම කොටස් දෙකෙන් නිරූපනය කරන්නේ..මේ එක් එක් පද්ධති වෙන වෙනමත් එකටත් වැඩ කලොත් විතරයි එකවර වැඩ කීපයක් ගැන සාර්ථකව හිතන්න හැකියාව ලැබෙන්නේ.. ඉතින් අපි පහුගිය ලිපි වලින් කතා කලානේ මේ එක් එක් පද්ධතියේ වෙන්න පුලුවන් අඩු පාඩු ගැන.. ඒ නිසා  කෙනෙක්ට එකවර ගොඩක් දේ ගැන හිතන්න අපහසු නම් බලන්න මේ එක් එක් පද්ධතිය දිහා, අඳුර ගන්න එයාට ආවේණික අපහසුතා..උදව් කරන්න එයාගේ මොළයට  ගොඩනැඟෙන්න, එහෙම වුනොත් විතරයි මේ "ඉගැන්නුම් පිරමිඩයේ" ඉහළට යන්න පුලුවන්..


4. Thinking closed pictures - පෙනෙන පැත්තෙන් පමනක් සිතීම, නොපෙනෙන පැති ගැන නොසැලකීම

සිදුවීමක වඩාත්ම වැදගත් දේ තීරණය කර ගැනිමට, ඒ අනූව සිදුවීම ගැන හිතන්න ඇතිවන අපහසුතාවයක් ගැන තමයි මේ කියන්නේ.. එක් සිදුවිමක තියන පොඩි පොඩි කරුණු වෙන වෙනම මිසක් එකට කැටි කොට සිදුවිම දිහා ගැඹුරින් වඩාත් විවෘතව විශාල වපසරියකින් හිතන්න අපහසුයි මෙවැනි තත්වයකදි..ඒක හරියට අපි බිංගෙයක් තුලින් ඈත  බලනවා වගේ, එක වරකට අපිට පෙන්නේ බිංගෙයි සිදුරෙන් පෙනෙන වටපිටාව විතරයි, ඒ අනුව අපි ඉන්නේ මොන වගේ තැනක ද, මොන වගේ පරිසරයකද කියලා තිරණය කරන්න අපිට අමාරුයි (A4 කොලයක් අරගෙන රෝල් කරලා හදා ගන්නකො තාවකාලික බිංගෙයක්..ඊට පස්සේ ඒකෙන් බලන්න උත්සහ කරන්න ඔබේ අවට පරිසරය..ඔබ හිතලා බලන කෝණය වෙනස් කර ගත්තේ නැත්නම් ඔබ දකින්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් නේද ? ) 


එතනදි මුලු සිදුවීමෙම අර්ථය වටහාගන්නවා වෙනුවට එහෙන් මෙහෙන් ඇහිද ගත් කරුණු කීපයකින් පමණක් කෙනෙක් හිතන්න පෙළබීමෙන් වැරදි වැටහීම්,  සිදු නොවු දෙයක් සිදු වුවා යැයි වටහා ගැනීමක් මිස ඇත්තටම සිදුවුනේ මොකද්ද, සිදු වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න අපහසුයි.. මේ වගේ තැනකදි හිමින් අනිත් පැතිත් ඉවසීමෙන් පෙන්වා දෙන්න පුලුවන් නම් හරි වටිනවා..




කෙනෙක් එක්ක අපි යම් දෙයක් ගැන හෝ සිදුවීමක් ගැන කතා කරන කොට, ඒ කතා කරන් දේ ගැන පැහැදිලිව නිවැරදිව තේරුන් ගන්න නම්  අපි එකවර වචන කනෙන් අහන්න ඕන, කතා කරන ස්වරය (හැඟිම) ගැන අවබෝධයක් ලබා ගන්න ඕන,  අංග චලන ගැන වැටහීමක් තියෙන්න ඕන (සමහර වෙලාවට කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ වගේ වචන වලින් කියන දේට හාත්පසින් වෙනස් දෙයක් අංග චලන වලින් කෙනෙක් කියන්න පුලුවන්,  අත්දැකිම් ඇතිනේ හැමෝටම...) එහෙම වුනේ නැත්නම් අපිට ඒ කතාබහේ බොහේ දේ මඟ හැරෙන්න තියන ඉඩ වැඩියි..

මෙතන්දි අපි පළවෙනි ලිපියේ කතා කල SENSE වලින් අපේ ඇස් සැහෙන වැඩකොටසක් අපිට කරල දෙනවා නොමිලේ.. කෙනෙක් එක්ක කතා කරද්දි ඔබ ඒ කෙනා දිහා බලන්නේ නැත්නම්, ඒ කෙනාගේ මුහුණ ඇතුලු සියලු අංගෝපාංග වලින් කියවෙන හැඟිම් ඇතුලු වෙනත් තොරතුරු ඔබේ මොළයට මඟ හැරෙන්න පුලුවන්.. ඒ නිසා ඔබ තේරුන් ගන්න ඕන කියලා "හිතන" කෙනෙක් දිහා හොඳට ඇස් වලට (හිසේ සිට දෙපතුල දක්වාම)  බලන්න ඉඩ හදල දෙන්න..ඉතිරි හරිය මොළේ කරලා දේවි කාලෙත් එක්ක....

තවත් විශේෂ දෙයක් මට මෙතන්දි කියන හිතුනා, හැබැයි එය මෙතන්දි පැවසීම එතරම් සුදුසුදැයි කියාද මට හිතෙනවා.. මම පහුගිය කාලේ මගේ අධ්‍යයන කටයුතු කරද්දි සුවිශේෂි හැකියාවන් තියන දරුවන්/වැඩිහිටියන් මට හමු උනා.. උදාහරණයකට එක් තැකදි මම දැක්කා කෑලි වලට ගලවලා හදන්න තියන ප්‍රහේලිකාවක් උඩ යට මාරු කරලා දුන්නත් හදනවා හරියටම. තවත් තැනක පාට පැන්සල් 100කින් තමන්ට ඕන පාටත් ඒ පැන්සලේ කොටලා තියන අංකයත් මතකයෙන් නිවැරදිව කියලා ඉල්ලනවා.. මේ තැන් දෙකේදිම පුංචි විස්තරයක් පවා මතකයේ තැන්පත් කරගන්න හැකියාවක් තිබ්බට මුල් සිදුවීමේ දි ප්‍රේහේලිකාවේ තිබෙන පින්තුරය විස්තර කරන්න අමාරු බවත් කෑලි වල හැඩය හොඳින් මතක තියාගෙන හදන බවත් මම දැක්කා..දෙවෙනි සිදුවිමේදි පාට පැන්සල එතරම් නිවැරදිව තෝර ගත්තට පාට කරන්න අතැඟිලි හරියට මෙහෙයවීම හිතා ගන්න අමාරු බවත් මම දැක්කා..

හැබැයි මේ දෙන්නා එක්කම සාර්ථක හරිම රසවත් කාලයක්  මම ගත කලා මුණ ගැහෙන හැමවිටම, ඔවුන්ගේ හැකියාවත් නොහැකියාවත් අඳුරගත්ත නිසා ගෙනියන්න ඕන මොනවද, කරන්න ඕන කොහොමද කියලා දැක්ක  මගේ ඇස් දෙක නිසා... 


5. Slow information processing - ලැබෙන තොරතුරු බොහෝ සෙමෙන් ක්‍රියාත්මක වෙමින් සිතීම

අපිට ලැබෙන තොරතුරු ක්‍රියාත්මක වන පියවර 4ක් මම මෙතනදි පැහැදිලි කරලා ඉන්නම්.  අපි දෙවනි ලිපියේ කතා කල බෝට්ටුවේ යද්දි මෝරෙක් දැක්ක උදාහරණයම තමයි මම ගන්නේ....

  • Perceive - පළවෙනි පියවර අපි මෝරා දකිද්දි SENSE     හරහා ලැබුනු දැනීම් වලින්  අවට පරිසරය  ගැන අවබෝධයක් ලබා ගැනීම. 
  • Recall  - පරණ මතකයන් සහ අත්දැකීම් එක්ක අවබෝධ කරගත් නව සිදුවීම සන්සන්ඳය කීරිම
  • Plan     -   ඇතිවුනු වෙනසට මුහුණ දීමට ශරිරය සුදානම් කිරිම 
  • Perform - ක්‍රියාත්මක වීම



මේ හැම පියවරක්ම සම්පූර්ණ කරන්න එක් එක් අයට යන කාලය හිතා ගන්න පුලුවන් නේද පහුගිය ලිපිවලින් වලින් සහ අදත්  අපි විස්තරාත්මකව කතා කල නිසා සිදුවෙන්න පුලුවන් අපහසුතා ගැන..ඉතින් එක් අයෙකුගේ ක්‍රියාකාරි වෙලාවට වඩා තව කෙනෙක්ගේ ක්‍රියාකාරි වෙලාව අඩු වූ පමණින් අපි කොහොමද කියන්නේ එක් අයෙක් දක්ෂයි කියලා නේද ?

ඉක්මනින් කල කෙනාට පුලුවන් හිමින් කරන කෙනාට අවශ්‍ය තැනට උදව් දීලා එයාවත් තමන්ගේ ගානටම ගේන්න වෙලාව ඉතුරු නිසා ඉක්මනින් කල කෙනාගේ.. (අපි ඉස්කොලේ යන කාලේ විභාග වලදි ලියලා ඉවර වුනු අයගෙන් කොපි කර ගන්නවා වගේ, හැබැයි හැමදාම කොපි කලාට මොළේ නම් රැවටෙන්නේ  නැ, ඒක හොඳට මතක තියා ගන්න, කවදහරි තමන්ට තනියම කරන්න උනු දාට..... )


6. Executive  Functioning - හේතු දැක්විමේ නම්‍යශිලි බව, ගැටලු විසඳිමේදි මතකය එක්ක එකතු වී ඉක්මනින් සිතීම.

කිසියම් සිදුවිමක්දි අපිට පිලිවෙලකට  හිතල හේතු දක්වමින් ගැටලු නිරාකරණය කරමින්  ඉක්මනින් වැඩ කරන්න ඇති හැකියාව තමයි මෙහිදි කියවෙන්නේ. මේ ක්‍රියාවලිය පියවර පහකට (5 ) කඩන්න පුලුවන්..


  • Idea -  අදහස
  • Plan - ක්‍රියාත්මක කිරිමේ ක්‍රමවේදය සිතීම
  • Sequence - ක්‍රියාත්මක කරන පියවර
  • Execute - ක්‍රියාවට නැඟිම
  • Evaluate - නැවත සිතා බැලිම

අපි එක් සිදුවීමකට අදාලව මේ පියවර 5 කරල ඉවර උනාම අපේ මොළයේ මතකයක් විදිහට ඒ සිදුවීම තැන්පත් වෙනවා.. සමහර අයගේ මොළයේ මේ මතකයන් විදිහට තැන්පත් වීම සිදු වෙන්නේ හරි හෙමින්... එකම සිදුවීම කීප පාරක් කරන්න ඕනේ මතකයක් විදිහට රඳවගන්න..(මට මතකයි 7/8 වසරෙදි සාධනය කරන්න තිබුනා ගණිතයට, මම ඒක අමාරුයි කිව්වම අපේ අම්මා කලේ පුලුවන් තරන් සාධන ගැටලු හොයාගෙන මාත් එක්කම කරන්න පටන් ගත්තු එක.. අන්තිමේ නැවතුනේ  A/L වල රසායන විද්‍යාවේ පරිවර්තන ඇස් වහගෙන කරන්න පුලුවන් තැනකට මගේ මොළය ගෙනත්...) 
 
මම දෙන්නම් පුංචි වැඩක් කරලා බලන්න. මේක ගොඩක් අය කරලත් ඇති මීට කලින්.. පහත තියන රූපේ වචන නෙමේ, වචන ලියලා තියන පාට කියන්න පුලුවන් ද බලන්න එක පාරින් හරියට එකක්වත් වරද්දන්නේ නැතුව ඉක්මනින්...



 කිසිම දවසක කිසිම දෙයක් "අනේ මට බැ" කියලා සඳහටම නවත්තලා දාන්න එපා.. ඉඩ ලැබෙන වෙලාවට මොළෙත් එක්ක ඔට්ටු අල්ලලා බලන්න.. මතකද අර අපි පුංචි කාලේ ඇහුවෙ ලා තණකොල පෙත්තාස් සින්දුව ප්‍රේමකීර්ති ලියපු, බැයි කියලා බෑයි කියල බෑ (ඒ සින්දුව ලියවිලා තියන ඉතිහාස කතාවත් හරි අපූරුයි) 

7. Differing theory of mind -  අන් අයට වෙනස් මතයක් ඇති (නැති ) බව තේරුන් අරන් සිතිම අපහසු වීම.

මේ කතා කල හිතන විදි 7න්ම වඩාත්ම වැදගත් සහ වැඩියෙන්ම මොළේ ගැටලු ඇති කර ගන්න ක්‍රමය තමයි මේ...ඒ ඇයි කියන එක සමාජ ඇසුරක් තියන ඕනම කෙනෙකුට වටහා ගන්න පුලුවන් මං හිතන්නේ....

විවිධ පුද්ගලයන්ට විවිධ අදහස්, බලාපොරොත්තු, හීන, අරමුණු, හැඟිම්, ආශාවන් තමන්ට වඩා වෙනස් අයුරින් තිබිය හැකි බව තේරුන් ගෙන සිතිම තමයි මේ කියන්නේ.. කනගාටුවෙන් වුනත් කියන්න ඕන ඕනම  සබඳතාවයකදි බෝහෝ සෙයින් අවුල් සහගත බවක් නිර්මාණය කල හැකියි මේ කියන සිතීමේ ක්‍රමය මොළය හරියට ඉගෙන ගෙන නැත්නම්..අනිත් කෙනෙක්ගේ මතයක් දිහා උපේක්ශාවෙන් බලන්න දරුවෙක් ගේ මොළය හුරුකරන්න ඕන හරිම කල්පනාවෙන් ඉවසීමෙන්, සැර වැර කරලා තදබල නීති දාල නම් මොළේට උගනන්න ටිකක් අමාරුයි..මොළේ හරි කපටියි...සියුම් සිදුරු හොයා ගන්න හරි ලේසි මොළේට තමන්ට ඕන දේම කරන්න කාටත් හොරෙන්...

මේ සිතීමේ ක්‍රමය හොඳින් ප්‍රගුණ කරන කෙනෙකුට පුලුවන් අනිත් කෙනාගේ සපත්තුවට බැහලා ඒ කෙනා හිතන විදිහට හිතලා සිදුවීම දිහා බලන්න.. එතකොට තමන්ට නොපෙනෙන අනිත් කෙනාට පෙනෙන දේවල් දැක ගන්න හැකියාවක් ගොඩ නැඟෙනවා හිමින්.. සාර්ථක  සාමකාමි සබඳතාවයකට මේ අවබෝධය හරිම වැදගත්.. මේ කාර්යබහුල ජීවිතේ කෙනෙකුට තමන්ගේ ලඟම අයටවත් හිතට දැනෙන හැමදේම  අකුරක් නෑර කිය කියා ඉන්න වෙලාවක් නැහැනේ..




සමහර දරුවන්ගේ මේ හැකියාව උපතින්ම මොළයේ සාමාන්‍ය අයුරින් පිහිටන්නේ නැහැ.. හැබැයි දෙමාපියන්ට පුලුවන් නම්  (විශේඥවෛදවරයෙක්ගෙ උදව් ඇතුව) අඩු වයසින් අඳුරගන්න, වෙනත් ක්‍රම වලින් මේ හැකියාව තරමක් දුරට සාර්ථකව  අලුතින්ම  ගොඩ නඟන්න පුලුවන් මොළයේ පරිපථ බාහිරින් විශේෂ විදි වලට උත්තේජනය කරලා..

මං හිතන්නේ දැන් ගොඩක් අයට තේරෙනවා ඇති ඇයි අනිත් අය ගැන කතා කරන්න කලින් තමන් ගැන තමන් හරියට අවබෝධ  කර ගැනීම වැදගත් වෙන්නේ කියන එක. මේ ලිපි පෙළේ අවසානයට "ඔබ කවුද ? " කියන එක කතා කරන්නේ ඉපදුනු දා ඉඳලා අනිත් අයගේ ඕනකම් වලට හැඩ ගැසුනු මොළයට තමන්ගේ ප්‍රකෘති ස්වාභාවය අඳුරගන්න පුලුවන් ද බලන්න. ඒ වගේම දරුවෙක් හදද්දි උපතින්  දරුවට  හිමිවූ මොළයේ ස්වාභාවය මුලුමනින්ම  වෙනස් කරන්නේ නැතුව  එහි ස්වාභාවය තේරුන් ගැනිමට, තේරුන් ගෙන හොඳ හෝ නරක අවස්ථානුකූලව තීරණය කිරිමට කුඩා කල සිටම දරුවෙක් පුහුණු කිරිමට ඉඩකඩ  සාදා ගැනිම තුලින් සතුටෙන් සිටින වැඩිහිටියෙක් බවට පරිවර්තනය කරගත හැකියි වැඩිහිටි වෙද්දි.. ඒ නිසා දරුවන්ව තමන්ගේ මිමි වලින් මනින්න (අම්මයි  තාත්තයි දොස්තරලා හරි ඉන්ජිනේරුවො හරි නම් දරුවත් ඒ පාරේ යන්න ඕන කියලා හිතන්නේ නැතුව) උත්සහ නොකර ඒ ඒ දරුවට හිමි ආවේණික  මොළයේ දක්ෂතා වගේම දුර්වලකම් අඳුරගෙන මොළය පෝෂණය කිරිමට අවශ්‍ය පොහොර අවුරුදු 18ට කලින් හොයල දෙන්න අවස්ථානුකූලව.

ඉතින් මේ විවිධාකර "හිතන" ක්‍රම තියන ලොකේක ජීවත් වන අපි අපේ හිතින් එළියට ඇවිත් අනිත් කෙනාගේ ඇහෙන් මේ ලොකේ බලන දවසක සාමකාමි ලොවක් බිහිවේවී..පහත තියන ගැටලුවෙන් මම අදට පාඩම නවත්තන්නම්... බලන්න පුලුවන් ද කියලා හරි උත්තරේ දෙන්න....





හතරවන කොටස


ප. ලි. : මම ගිය සතියේ ලියපු "ආදරය (ජීවිතය ) ආදරය  00+" කියන ලිපිය ඔබ කියෙව්වා නම්, ඒ ලිපියේ තැනින් තැනින් ගැලපීමක් නැති එකිනෙකට වෙනස් දේ ගැන අදහස් ලියැවී ඇති බව ඔබට වැටහේවි.. ඒ ලිපිය ලිව්වේ මං උනාට ඒක ඇතුලේ කතා කරනවා මගේ තාත්තා, අම්මා, මල්ලි, පාසල් ජීවිතයේ මම සහ මට වඩාත්ම සමීප වුනු මගේ ගණිත ගුරුතුමිය, හරිම සැර හොඳට හොඳ නරකටත් ඒ වගේම සිංහල ගුරුතුමිය, මගේ හොඳම යෙහෙලියන් දෙදෙනා ඇතුලු  මට සමීප අය.. කෙනෙක්  හිතන විදිහ ගොඩනැගෙන්න ජීවත් වන පරිසරයෙන් ඉතා විශාල බලපැමක් මොළයට ඇති කරන අතරම අපේම අදහස් කියලා දෙයක් ඇත්තටම තියනවද කියලත් වෙලාවකට මට හිතෙනවා......


15 comments:

  1. හරිම වෑදගත් ලිපියක් හීන දකින්නි ලියලා .... ඉතිරි ලිපි දකිනකන් ආසාවෙන් බලා ඉන්නවා.....

    අහල තිබුන ප්‍රෂ්නයට එක එක උත්තර ඔලුවට එනවා....ඔයාට කෑමති උත්තරයක් මෙතන තියෙනවද බලන්න....

    සෑලී හිතන විදිය හිතන්න අපිට තියෙන දත්ත හොදටම මදි...

    සෑලී විදේෂ රටක අයෙක් උනොත් එයාලා කොහොමත් ලන්කාවෙ අපිට වඩා හිතන විදිය වෙනස්

    1). ඈන් හොරකම් කරන කෙනෙක් කියලා සෑලී දන්නවනම් මුලින්ම ඈන් ගාව තියෙන බොක්ස් එක ඈතුල බලයි...ඈන් පේන්නත් නෑති නිසා....

    2).සෑලී, ඈන් ගෑන දන්නෙම නෑත්තම් තමන්ගෙ කූඩෙ ඈතුල බලයි.

    Nadee akka

    ReplyDelete
    Replies
    1. සෑලී මුලින්ම බෝලය එයා දාපු තෑන තමයි මුලින්ම බලන්නෙ (කූඩෙ ඈතුලේ)
      ....හීන දකින්නිගෙ ප්‍රෂ්නය ඉතාම පෑහෑදිලියි.

      Nadee akka

      Delete
    2. අක්කේ , මේ ප්‍රශ්නයට මට කැමති උත්තර හිතන්න අවකාශයක් නැහැ. ඒ මෙය ලොව පිලිගත් පර්යේෂනයක එන ගැටලුවක් නිසා " Theory Of Mind" පිලිබඳ කෙරෙන. මෙතනදි බලන්නේ කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතුවිලි අවබෝධ කර ගැනිමේ හැකියාව ගැන. මෙහි බලපොරොත්තු වෙන උත්තරේ ඔයාගේ පිලිතුරු අතර තියනවා.. අනිත් අයත් අදහස් ලියලා ඉවර උනාම මම කියන්නම් හැමොටම....

      Delete
  2. අධ්‍යාපනික වටිනාකමක් තියෙන වටිනා ලිපි මාලාවක්..නරකද ලංකාවෙ ජාතික පුවත්පතක පල කලොත් ?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සිරා.. මම කිසිම දවසක හිතලා නැති පැත්තක් ඔබ මතු කරල තියෙන්නේ.. පත්තරෙකට යවන්න ඕන කියල කවදාවත් මට හිතිල නැ වගේම පත්තරේක ලිපි පළකරන්න ගන්න ඕන ක්‍රියාමාර්ගය ගැනත් මට අවබෝධයක් නැහැ.

      කොහොම නමුත් ඒ ගැන හිතලා බලන්න අවස්ථාවක් ඇති කලාට ඔබට ස්තුතියි..හරි මාර්ගයක් ලැබුනොත් මම කැමතියි මේ ලිපි මාලාව එයට ගැලපෙන පරිදි නැවත් සකස් කර පළකරන්න . එයින් වැඩි දෙනෙකු දැනුවත් වෙවි කියලා හිතෙන නිසා...

      Delete
    2. ප්‍ර‍මුඛපෙලේ ඉංග්‍රීසි පත්තරයකට සම්බන්ධව මම ඉස්සර වැඩ කලා..තවමත් පත්තර මිත්තරයො ගොඩාක් ඉන්නවා මට...මම හොයලා බලලා ඔත්තුවක් දෙන්නං.

      Delete
    3. සිරාට බොහොම ස්තුතියි ඒ ගැන හොයලා බලන්න ඉදිරිපත් උනාට..

      Delete
  3. //ඉවසිමෙන් සිදුවීම් දිහා බලාගෙන තේරුන් ගැනීමට අවශ්‍ය කරුණු අපේ මොළේයේ ගබඩා කර ගැනීම වඩා සුදුසුයි කියලා මට හිතෙනවා.. // මේකනම් හරියටම හරි. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්, මම මේ විදිහට හිතන්නේ මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම නිසා.. මගේ පියාගේ අවසන් කටයුතු සිදු කල දින කීපය ජීවිතය ගැන වගේම අවට සිටින මිනිසුන් ගැනත් බොහෝ කරුණු මට පෙනවා දුන් තැනක්. හොඳයි කියන සිදුවීම්/මිනිසුන් අතර තිබෙන /සිටින නරකත්, නරකයි කියන සිදුවීම්/මිනිසුන් අතර තිබෙන/සිටින හොඳත් මට දැන ගන්න දැක ගන්න ලැබුනු..

      එයින් පසුව සමහර දේවල්/ අය ගැන මම එතෙක් හිතාගෙන හිටිය විදි මට වෙනස් කරගනන සිදු උනා..

      Delete
  4. සුපුරුදු ජීවිත පාඩම අදත් බැලුවා. අපූරුයි හීන දකින්නී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී, මේ ලිපිය අනිත් ලිපි තරන් සරලව ලියවුනේ නැ කියලා මට හිතෙනවා..

      Delete
  5. කෙනෙක්ට කියවා තේරුම් ගැනීමට හැකි අයුරින් ලිපිය ලියා තිබෙනවා. මට හිතෙන්නේ හීන දකින්නී මනෝ විද්‍යා උපදේශිකාවක් වුනොත් ලොකු සේවයක් කරන්න පුලුවන්වෙයි කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම තාම හොයනවා දුමී මට සුදුසුම දේ.. මේ දේවල් ඉගෙන ගන්නේ එක අරමුණක් හිතේ තියාගෙන.. බලමු ඉදිරියේදි..

      Delete
  6. Very useful blog.
    My answer is Sally will check first in her basket. coz that is the place where she kept it.

    ReplyDelete
    Replies
    1. Thank you, your thinking direction is very good towards others , because you did not mention Ann's name in the answer. :) :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...