මිනිස්සු ආදරය කියල හඳුන්වන්නේ මොක්කද කියන දේ ගැන මට තියෙන්නෙ හැමදාම උත්තරයක් නොලැබුනු ප්‍රශ්නයක්. කරදරයක දි, දුකකදි කීයෙන් කීදෙනාද තමන්ගෙ කැපවිමෙන් අවංකව කෙනෙකුට උදව් කරන්නේ ඒ කෙනාගේ පැත්තෙන් බලලා. තමන්ට දෙයක් නොලැබෙන බව දැන දැන කීයෙන් කී දෙනාද දිගින් දිගටම කරදරයක ඉන්න කෙනෙකුට උදව් කරන්නේ.. මට හිතෙන්නෙ හැම කෙනාම හරිම ආත්මාර්ථකාමි, තමුන්ට දෙයක් නොලැබෙන හෝ තමුන්ගේ අදහසට නොගැලපෙන බව දැනෙන විට එකම දුක් කතාව අහන්න දකින්න වුනාම නොකියාම (බොරු) ඒ කෙනාගෙන් ඇත් වෙලා තම තමන්ගෙ ලෝක හදා ගන්නවා.
තමන්ට ඉන්නේ තමන් විතරයි කියල ජීවිතය අපිට හොඳින් පෙන්වා දෙනවා එක එක කඩයිම් වලදි, අනිත් අය ඉන්නේ තමන් ඒ ඒ අය කැමති දේ කරන කන් විතරයි, ප්‍රශ්න නැත්නම් විතරයි, ප්‍රශ්නයකදි බොහොම ටික දෙනයි තමන් හිතලා ගැලපෙන දෙයක් ප්‍රශ්නයේ ඉන්න කෙනාට කරදරයක් නොවී කරන්නේ, හැබැයි ලොවෙත් නැති උපදෙස් නම් කෝටියයි.. මේ ටික ගොඩදෙනෙකුට තේරෙන්න ජීවිත කාලය මදි, ඒ නිසයි මිනිස්සු බලාපොරොත්තු පොඳි බඳින්නේ, ගෙවල් දොරවල් ගැන සිහින මවන්නේ, ජිවිතයට කොහෙත්ම ඕනෙ නැති දේවල් දිවා රැ නොබලා එක් රැස් කරන්නේ, මට මතක් උනා මේ ලඟදි පිළිකා රෝහලට " Pet Scan " යන්ත්‍රයක් ගන්න අරමුදල් රැස් කල මුස්ලිම් ජාතිකයෙක් කියූ දෙයක් , ඔහු කියා තිබුනා "මම බොහොම සුඛොපබෝගි ජීවිතයක් ගත කල කෙනෙක්, නමුත් මගේ පුතාගෙ පිළිකා රෝගය නිසා මම ජීවිතය දැක්කා, විඳවිම දැක්කා, මරණයක් උනොත් එක දවසයි , මේක එහෙම නෙමේ , මට හැමදේම එපා උනා " කියල, ගොඩක් දෙනෙකුට මෙහෙම සිදිධියක් උනාමයි ජිවිතෙ නිස්සාරකම වැටහෙන්නේ. එහෙමද වෙන්න ඕන ????
බොහෝ දෙනකුට තමන් ගැනම විශ්වාසයක් තෘප්තියක් නැහැ, හැමවෙලේම වෙන කෙනෙකුගෙන් තමන්ගේ සතුට, විශ්වාසය , තෘප්තිය විඳින්න සැදි පැහැදි ඉන්න හිතක් කොහොමද ජීවිතයේ දුක් කම්කටොලු, විසදුම් නැති ප්‍රශ්න වලට මූණ දෙන්නේ, තමන් ඇතුලේ තමන් සෙවීම හුරුකරන්නෙ කියෙන් කීදෙනාද ? ආදරය තමන් තුල තමන් කේන්ද්‍ර කරගෙන ඇතිවෙනවට වඩා තමන් තුල අනිත් කෙනා කේන්ද්‍ර කරගෙන ඇති වෙනවා නම් ලෝකය හරිම ලස්සනයි. අත්පත් කර ගැනීම , අයිති කර ගැනීම, තමන් සතු කර ගැනීම නැතුව පරිත්‍යාගය , කැපවිම, අත්හැරීම තුලින් ගොඩනැගෙන ආදරයක් ලොවම සුවපත් කරනවා විනා රිදවන්නේ නැ කිසිම කෙනෙක්ව. නමුත් කාලයක් තිස්සේ ගොඩනැඟිල තියන ක්‍රමය නිසා කෙනෙක් කෙනෙක්ට ආදරය කලොත් විවාහ විය යුතුයි , දරුවන් හැදිය යුතුයි, ගෙවල් සැදිය යුතුයි, මේවා අනිවාර්ය අංග. තමන් අවට ඉන්න කෙනෙක් මේවා නොකොලොත් ඒක මදිකමක්, ලොකු වෙනසක්, සමාජයට ලොකු ප්‍රශ්නයක්... මේ තරඟකාරි සමාජ ක්‍රමය තුල අනිකා වෙනුවෙන් ගොඩනැඟෙන ආදරයක් දැනෙන්න ඉඩක් වෙලාවක් තියනවද ?
විවාහක යුවලකට දරුවන් ලැබිල දෙමාපියන් උනාට පස්සේ ඒ දරුවන් සමාජගත කරන්න දැනට තියන ක්‍රියාපටිපාටියේ ලොකු හිඩසක් , නැවත හදන්න බැරි අතපසු විම් ගණනාවක් මම දකිනව. දරුවෙක් පාසලකට යැවිය යුතුයි, නමුත් එයින් ලැබෙන නය්‍යාත්මක දැනුම ප්‍රමාණවත් ද ජීවිතයට මුහුණ දෙන්න, මිනිසුන් අඳුර ගන්න, කපටින්ගෙන් බේරෙන්න, හොඳ සත් පුරුෂ කල්‍යාණ මිතුරන් අඳුර ගන්න, ගැටලු නිරාකරණය කර ගන්න, තනිව මුහුණ දෙන්න, වැටුනම නැගිටින්න පාසලකදි ලබන දැනුම පමණක් ප්‍රමාණවත්ද කියා අප අවට සමාජයේ තියන ප්‍රශ්න දිහා බලන ඕනම කෙනෙකුට වැටහෙන දෙයක් වුවත් කිසිම කෙනෙක් තියන විදිහ වෙනස් විය යුතුයි කියල දකින්නේ නම් නැ බොහෝ විට. ගතානුගතිකව ජීවිතය ගෙවා දමනවා විනා අඩුම ගානේ සමාජයේ කුඩාම ඒකකය වන තම කුටුම්බය හරහාවත් අලුත් යමක් අත්හදා බලන්න ඕනකමක් තමන් තුල ගොඩ නගා ගන්න තරම්වත් ආත්මශක්තියක් නැහැ. අතින් කාරණාව හැමෝටම ඕන සුපිරි දරුවො බිහි කරන්න්න. අඩු පාඩුවක් දැක්කත් නොදැක්ක වගේ ඉන්න කෙනෙක් පෙන්නල දුන්න්ත් පිලි නොගන්න, දැනමුත්තොත් ඉන්නව එමට.
සමහර පුද්ගලයන් ඉන්නවා අනිත් අයට තමන්ට අසීමිතව ආදරය කරන්න සිමාවිරහිතව ඉඩ හදල දිලා ඒක පිනක් කියලා නිර්වචනය කරන අය. ඇත්තටම එකේ ඇත්ත අර්ථය ගත්තොත් වැරැද්දක් නැ තමයි, නමුත් මෙවැනි බොහෝ අය ඉතාම සියුම් විදිහට තමන්ගේ අතෘප්තිකර ආශාවන් සන්තෘප්ත කරගැනිමට ඉහත නිර්වචනය භාවිතා කිරීම නම් ඉතාම කනගාටුදායක සිදුවීමක්. ඊට අමතරව තමන්ගේ හිතේ තියන බලාපොරොත්තු, සිහින, තමන්ගේ පවුල් රැකගන්න, පවත්වා ගන්න තමන්ට දැරිය නොහැකි මුල්‍යමය උදව් පවා පින කියන මුලාවට හිමින් සිරුවෙ ඉඩ හදල දිලා ඉටු කර ගන්න නොනිත් වෙහෙසේ. මෙවැනි අය එක්ක පින කියන මූලය දක්වන බුදු දහම ගැන කතා කලොත් ඒ තරම් බුදු දහම පිළිපදින පිරිසක් මේ ලොකේ නැහැ. නමුත් හැඟිම් වලට ඉඩදි තමා තෘප්තිමත් කරගැනිම විමසා බැලුවොත් හිමින් සීරුවේ මෙවැනි අය පසුබසින ගමන්ම ඔවුන්ව හෙලා දැක්කා කියලා යාන්තමින් හෝ වැටහුනොත් එම පුද්ගලයාව වැරදිකාරයා කරන්න ඇට නැති දිව හතර අතට වනන්න මොවුන් හරිම දක්ෂයි. අන්න ඒ වගේ වෙලාවක සිල් රෙද්දක් පොරවගෙන බොරු සිල් අරන් පින ගැන කතා කරන මෙවැනි මිනිසුන්ගේ නියම ස්වාභාවය කාටත් බලාගන්න පුලුවන් පැහැදිලිවම...
තවමත් ලංකාවේ ගෑනු ළමයෙක් තමන්ගේ හිතේ ඇතිවන ආදරයක් පිරිමි ළමයෙකුට පැවසීම මහා වරදක් විය යුත්තක් නොවන, ලැජ්ජා විය යුතු දෙයක් විදිහටයි සමහර ගෑනු ළමයි පවා දකින්නේ.. ඊට වඩා වෙන්නේ තමන්ගේ පස්සෙන් පන්නන අය අතරින් කෙනෙකුගේ කටු කැමේ හැකියාව උර ගා බැලීම.. පිරිමි ළමයින්ට තමන් ආදරය කරන කෙනා තෝර ගන්න, ප්‍රකාශ කරන්න තියනවා හා සමාන හැකියාවත් ගෑනු ළමයා සතුවත් ඇති බව හිතන්න ඇයි පසුබට වෙන්නේ ? හැම ගැහැණු ළමයෙක්ම වටහා ගත යුතුයි තමන් පිරිමි ළමයෙක් තරන්ම වටින බව.. ඒ බව දෙමාපියන් ඇයට දැනෙන ලෙස ඇයව කුඩා කල සිටම හදන්න ඕන දැනට බොහෝ විට වෙනවා වගේ ගෙදර දොරේ වැඩ කරගෙන , ළමයින්ගේ වැඩ ස්වාමියාගෙ වැඩ , අනෙකුත් පවුල හා සම්බන්ධ වැඩ කරගෙන තමන්වම තමන් ඇතුලෙම යටපත් කරගෙන ඉන්න එකයි වටින්නේ කියලා ඇයගේ මනසට කා වද්දන්නේ නැතුව...
අනිත් එක ගොඩක් වෙලාවට මුකුත් හරියට කර ගන්න බැහැ කියල හුරතල් වෙන (බොරුවට) ගෑනු ලමයින්ට තරහ ගියාම ඕනම දෙයක් තනියම කර ගන්න හරි අපූරු හැකියාවක් අහසින් කඩාපාත් උනා වගේ ලැබෙනවා.. රහස් පරීක්ශක වැඩ එහෙම.. ( මම දන්න අක්කා කෙනෙක් හිටියා, එයාට තනියම බස් එකේවත් යන්න බැ, ඔක්කොටම පෙම්වතා ඕන.. හැබැයි ඇයට වඩා අවුරුදු කීපයක් බාල ඇගේ පෙම්වතා තවත් ගෑනු ලමයෙක් එක්ක හෝටල් වලට යනවා කියලා දැන ගත්තම ඇය හරිම සාර්ථක විදිහට රහස් පරික්ශක වැඩ පිලිවෙලක් තනියම දියත් කරලා තනියම හෝටල් ගානේ ගිහින් තනියම මඟ රැකලා ඉඳලා දෙන්නවම අතටම අල්ල ගත්තා.. එතකොට අර බැහැ බැහැ කියලා හුරතල් උනු කෙනා කෝ ???? )
ගෑනු ලමයි තමන්ගේ චරිතය ඇතුලේ ඉන්න මේ ස්වාධීන ගැහැනිය යටපත් කරගෙන ඉන්නේ හරි ආඩම්බරෙන්..ගොඩක් වෙලාවට ආසියාතික ගැහැනිය.. ලතාවක් සේ වෙලී සියොලඟ පතමි රැකවරණය ඔබෙන් කියලා පෙන්නන්න හරිම කැමතියි අර ස්වාධීන ගැහැනිය තමන්ට ඕන වෙලාවට එළියට ගන්න හංගලා තියා ගන්න ගමන් වෙස් මුණක් යට...
පිරිමි ලමයිත් මේ එතෙන ගතියට හරි කැමතියි, තමන්ගේ අවශ්‍යතා කර ගන්නකන්, ඊට පස්සේ එතිලා තියන වැල ගලවලා තව වැලක් ඔතාගන්නේ කොහොමද කියලා විහිලුවෙන් විහිලුවෙන් හරි කියන්නේ අර එතුන වැලත් තියාගෙන ඒ වැලෙන් නොලැබුනු අඩුපාඩු ටික මකාගන්න ලතාවක් සේ වෙලෙන්න කැමති අලුත් වැලකට තමන්ගේ අයාලේ යන හිතේ තව ඉඩ ඇති බව කියන්නද මන්දා..( අර මම කලින් කිව්ව අක්කාගේ පෙම්වතා තමන්ගේ හොරේ අහු වුනත් ඔහුට ඇයගෙන් ලැබෙන මුදල් හදල් වැනි පහසුකම් නිසා දිගටම ඒ අක්කත් එක්කත් සම්බන්ධය තියා ගන්න උත්සහ කරනව කියලා දැනගෙන තිබ්බේ ඔහුගේ Phone එකේ සල්ලි නැත්නම් අක්කට කියලා තියනවා සල්ලි දාන්න.. ඉන් පස්සේ ඔහු හරිම බිසී )
ඒ වගේම ගැහැනියකට ස්වාධීන නොවෙන්න සමාජයෙන් හදා ගත්ත දේවල් අතර ඇයව අපහසුතාවයට පත් කරන වචන කියන්න පෙලබෙන බොහෝ අය (ගැහැනු/පිරිමි) තමන්ටත් ඒ වගේ ස්වාධීන වෙන්න ආත්ම ශක්තියක් නැති කම ගැන පසුතැවෙන බව පිටත ඉඳලා බැලුවොත් දකින්න පුලුවන්.
මම අහලා නැ ඉගෙන ගෙන රැකියාවක් කරලා ගෙයක් හදන (තමන්ටම කියලා ඉන්න තැනක් ) ස්ථාවරයක් ගැන කතා කරන ගැහැනු අය ගැන.. ඉගෙන ගෙන රැකියාවක් හොයා ගන්න තැනින් බොහෝ ගැහැනු අය නවතින්නේ ඇයි? ඉතිරි ටික කරන්න ලතාවක් වගේ වෙලෙන්නෙ නැතුව බැරි ද....හැබැයි ලතාවක් වගේ එතිලා ගෙයක් හදන තැනක වැඩි වගකිමක් ගැහැනිය දරනවා බොහෝ වෙලාවට.. ශ්‍රමයෙන් වගේම මුදලිනුත්.. හැබැයි ඒ හැකියාව හැමෝම දන්න රහසක් විදිහට පිරිමියෙකුගේ සෙවනැල්ල ඇතුලේ හැංගිලා කියලා මට හිතෙනවා....ගේ හැදුවට පස්සෙ දරුවො උනත් ගෙදර ආව වෙලාවට අහන්නේ අම්මා කෝ කියල මිසක් තාත්තා කෝ කියල නෙමේනේ..
මගේ ජීවිතයේ මම අත්දැකල තියනව ගෑනු ළමයා කැමති ද ආදරය කරනව ද කියල හරිහැටි දන්නෙත් නැතුව කසාද බඳින්න යෝජනා කරන ඒ ගැන දිගින් දිගටම ඇවටිලි කරන පිරිමි ළමයි. සමහරවිට වෙනත් ගැහැනු ළමයෙක්ගෙන් රිදුනු හිතක් හදන්න ඉදිරිපත් වෙන ගෑනු ළමයට මෙවැනි දෙයට මුහුණ දෙන්න තියන ඉඩ කඩ වැඩි. ඒ වගෙ වෙලාවක ගෑනු ළමයෙක් දුරදිග බලලා කල යුත්තේ කරුණාවෙන් පැහැදිලි කර දීම දෙදෙනාම අපහසුතාවයට පත් නොවෙන පරිදි මං හිතන්නේ.. එහෙම නැතුව අර ඇවටිල්ල නිසා තමන් අනුකම්පා කරන ආදරය නොකරන කෙනෙක් එක්ක සමඟ යුග දිවි ගමන ඇරඹුවොත් ඉතින් දෙන්නගෙම ජීවිත පඹගාලක. මේ වගේ සිදුවීමක් ගෑනු ළමයගේ පැත්තෙන් උනොත් පිරිමි ළමයගෙ ප්‍රතිචාරය මීට වඩා වෙනස්.. කෙලින්ම තමන්ගෙ හිතේ ඒ විදිහේ අදහසක් නැති බව කියන්න එහෙමත් නැත්නම් නොකියාම මඟ අරින්න පිරිමි ලමයි පෙළබෙන්නෙ මෙවැනි කාරණා වලදි පිරිමි ළමුන් ගැහැනු ළමුන් තරන්ම හැඟිම් වලින් තීරණ නොගන්නා නිසා වෙන්න ඕන..
හැමෝම කියනවා දරුවන්ට අපි හරිම ආදරෙයි, හොඳම දේ දරුවන්ට කියලා..මේ කියන අයගෙන් කී දෙනෙක්ට පුලුවන් ද තමන්ගේ නොවන දරුවෙක් අරන් තමන්ගේ වගේ ආදරෙන් හදා ගන්න..විවාහ නොවි ගැහැනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් හෝ මේ වගේ දරුවෙක් අරන් හදා ගන්න පෙළබෙනවද.. එතකොට මේ ලමයි හදන එකේ පරමාර්ථය දරුවට හොඳම දේද තමන්ට හොඳම දේද ????
මට හිතෙන්නේ මේ දේවල් වලට වගකියන්න ඕනේ මුලුමහත් සමාජයම. වෙනස්ව හිතන්න, වඩා හොඳ ජීවිත ගොඩනගන්න, හිත් රිදුම් අවම පරිසර ගොඩනගන්න, පරිත්‍යාගය, කැපවීම, අනිත් කෙනා හරහා කරන්න කාලය ඇවිත්, හැමදෙනාම දුවන නිසා දුවන්නෙ නැතුව ජිවිතයේ නියම අරුත විඳින්න හැකි සමාජයක් ගොඩනැගිම සිහිනයක් විය යුතු නැති බවයි මගෙ හැඟිම.
යාලුවන් ගැන හිතලා හදවතින්ම උදව් කරත් අන්තිමේට උදව් අරන් යාලුකමත් පැත්තකින් දාලා පනින උදවියත් අප අතරේ ඉන්නවා.
ReplyDeleteලිපිය අගෙයි නි. ත. හී. ද.. ඒත් අවසාන කොටසෙදි දරුවෙක් අරන් හදාගන්න හිතන්නේ නෑ කියන එක පිලිගන්න බෑ. මොකද කාන්තාවකට කොහොම වුනත් අවිවාහක පිරිමියෙක්ට දරුකමට දරුවෙක් අරන් හදාගන්න ඕන වුනත් නීතියෙන් අවසර නෑ කියලා මම අහලා තොයෙනවා.
ජයවේවා!!!
ස්තුතියි, දුමී, මම එතන්දි කතා කලේ නීතිමය පැත්ත ගැන නෙමේ දුමි, එහෙම බැලුවොත් ගැහැනියටත් තනියම දරුවෙක් අරන් හදා ගන්න බැහැ නීති සපුරන්නේ නැතුව.. මට ඕන උනේ තමන්ගේ (පරම්පරාවේ ) පැවැත්ම ගැන සීතිම මතු කරලා ගන්න.. අවශ්‍යතාවය තියන තැනට නැතුව මගේම, අපේම දරුවෙක් නේ ගොඩක් අයට ඕන.. මම දන්න යුවලකට දරුවන් නැතුව අරන් හදාගන්න හිතපු වෙලාවක නැදැ පරපුරෙන් ලොකු විරෝධයක් ආවා අරන් හදා ගන්න දරුවාගේ බිහි වීම සුදුසු නැ කියලා එයාලගේ වැදගත්කම එක්ක...
Deleteඔව්. එහෙම තත්වෙකුත් තියෙනවා. ඒ වගේම තමන්ගේ ළමයි ඉද්දිත් දරුකමට හදාගන්න දරුවන් ගත්ත කීප දෙනෙක්ම මම දන්නවා. අද ඒ පවුල් සතුටින් ඉන්නවා.
Deleteඔව් දුමී, එහෙම අය හරි දුලබයි.. මම දන්න අය ඉන්නවා තමන්ගේ දරුවන් ඉද්දිම විශේෂ අවශ්‍යතා තියන දරුවන් අරන් හදා ගන්න...ඒ වගේ තැන් වල ආපස්සට තමන්ට ලැබෙන්නේ ආත්මතෘප්තිය විතරයි කියලා දැනෙද්දිත්..
Deleteකාගෙ හරි එක්ක මළ පැනල වගේ
ReplyDeleteකා එක්ක ද මොනවට ද ඉයන්..ඒ කියන්නේ වචන වලින් ආවේගය දැනෙන්න ලියවිලා...
Delete//මම අහලා නැ ඉගෙන ගෙන රැකියාවක් කරලා ගෙයක් හදන (තමන්ටම කියලා ඉන්න තැනක් ) ස්ථාවරයක් ගැන කතා කරන ගැහැනු අය ගැන.. // මෙහෙම ගොඩක් අය මම නම් දන්නවා. නිම්නි කිසියම් කලකිරීමකින් මේ ලිපිය ලිව්වද කියලත් හිතෙනවා.
ReplyDeleteඅජිත් මට වඩා ගොඩක් අය එක්ක ගැවසෙන කෙනෙක් කියලා මම හිතනවා.. මම දන්නේ ඉතාම සීමිත පිරිසක් ගැන ඒත් එක්ක බලනකොට..කිසියම් කලකිරිමක් මම දකින ජීවිත ගැන මට දැනෙනවා අජිත්..
DeleteBe cool..
ReplyDeleteSure :) , Thank you.
Delete