Sunday, September 18, 2016

කැමරා ෆොන් එකක්.. මේ මට .. ඒ මොකටද...


Prince & Princess in a fairy tail
මට පොඩි කාලේ ඉඳලා තියන පුරුද්දක් තමයි මං අවට ඉන්න අය මොනවා කිව්වත් කලත්  මං කරන්නේ හිතන්නේ මට ඕන දේ.. හැමෝම එන එන එක එක රැළි අස්සේ හැංගුනාට ඒ කාටවත් පෙනුනේ නැ මං හැංගෙන රැල්ල..මොකද මීදුම් සේලයකින් වැහිලයි තිබ්බේ ඒ රැළි..මෙන්න මෙහෙම හැමෝගෙන්ම හැංගිලා රැළි අතර මුවා වෙලා හිටි මාව හොයා ගෙන සත්සමුදුරෙන් එහාට කැන්දන් යන්න සුදු අසු පිට නැඟලා දවසක් ආවා කුමාරයෙක්...

මේ කුමාරයා ආව සුදු අසුට හිතු හිතූ තැන් වලට පියාඹන්න පුලුවන් මහ විසාල  තටු තියනවා කියලා මං දන්නේ පස්සේ, හැබැයි ඒ තටු මං හිතාගෙන හිටියා වගේ දේදුනු පාටද කියලා හොයා ගන්න වෙන්නේ ඉඟිලෙන කොටම තමයි.. බැහැයි කියන්න පුලුවන් ද ඒ වගේ කුමාරයෙකුට.. ඉතින් මමත් සුදු අසු පිටට නැග්ගා  අර හැංගිලා හිටිය රැළි වලට ආයුබෝවන් කියලයි මම නැග්ගේ.  හැබැයි අර මීදුම් සේලය මට විසි කරන්න හිතුනේ නැ, හැරි පොටර් ෆිල්ම් එකේ විතරක් නෙමේ නොපෙනෙන  සේල තියෙන්නේ.. මං ගාවත් තියනවා..

මුලින් පුරුදු නැති නිසා කුමාරයාගෙ සම්පුර්ණ උදව්වෙන් තමයි නැග්ගේ, අපරාදේ කියන්න බැ කුමාරයත් උදව් කරන්න නම් ඕන වෙලාවක රෙඩි. එත් බයක් නම් දැනුනේ නැ...අවංක ඇස්.. ඒ මොනවද ඒ.. එතකොට ගැඹුරු ඇස්.. එහෙනම් ෂුවර් එකට ළිඳක් වෙන්න ඇති... මල්ලිට එහෙම ඇහුනා නම් අහගන්න වෙන්නේ ඔන්න ඔහොම..හැබැයි ඉතින් මේ කුමාරයා නොයිඳුල් කියලත් හිතාගන්න අමාරු නැ හික්ස්...

මෙන්න බොලේ ටික දවසක් යද්දි   හිමින් හිමින් පරිස්සමට ගිය සුදු අසු දූවිලි අවුස්සමින්  හිටු කියලා දුවන්න ගත්තේ හරියට පිටිපස්සෙන් තව තරඟකරුවෙක් එනවා වගේ .. වටේ පිටේ ඉන්න අයගේ ඇස් වලට මේ දූවිල්ල දරාගන්න අමාරුයි කියලා මේ සුදු අසුට  තේරෙන්නේ නැත්තේ තිරිසන් සතෙක් නිසා වෙන්න ඇති මගේ හිතේ..මම ඒත් ආපස්ස හැරිලත් බැලුවා.. ම්හු පේන තෙක් මානෙක මිනිස් පුලුටක් නැ.. මගේ පූස් ලොක්ක නම් හිටියා ලොකු පුසිගේ අන්තිම පැටැවුන්ගෙන් මරණයේ දොරකඩ ඉඳලා කිරි පොවලා බැනුන් අහලා මම හදා ගත්තු..

මගේ පූස් ලොක්කෝ මට තේරුනේ නැ පැටියෝ ඒ තරන් කල් මං කියවපු උඹේ බළල් ඇස් කියූ කතාව..උඹ උඹේ ජිවිතේ පරදුවට දිලා කියපු කතාව මට තේරුනේ නැ පැටියෝ...දැන් ඒ බලු රැනම ඉන්නේ උඹ ඉන්න ලොකේම තමයි...කරදරයක් නැ නේද උඹට.. මං  කියලා දුන්නනේ බලු වලිගේ ඇදේ ඇරෙන්නේ නැ කියලා උන බටේ දැම්මත් කෝ උඹ අහගෙන ඉඳලා නැ මම කියපු දේ..

ඔන්න ඉතින් පිට පැන්නනේ කතාව, පූසෙක් දැක්කොත් එදත් අදත් හෙටත් මට ඉන්න තැන අමතක වෙන එක සංසාර පුරුද්දක් වෙන්න ඇති.. වැඩේ කියන්නේ මේ කුමාරයත් ඒ වගේ... හොඳ වෙලාවට.  කුමාරයාගෙ සම්පූර්ණ නොපැකිලිව පිරිනැමුනු උදව් උපකාර එක්ක මේ සුදු අසු යන වේගේ දරාගෙන නොවැටි යන්න යාන්තන් හුරු උනා විතරයි, මෙන්න  බොලේ  කුමාරයා ගෙනත් මට කැමරා ෆොන් එකක්.. ෆොන් බිලත් කුමාරයා ගානේ ඉන්ට නෙට්  බිලත් කුමාරයා  ගානේ.. විසි එක් වන ගතවර්ශයේ නේ මේ කුමාරයා ඒකයි ඒ..ඊටත් එහා අනාගතයෙන් ආවද මන්දා මේ කුමාරයා...

එපා කියන්නත් බැනේ, මෙච්චර කල් අනිත් කුමාරවරුන්ට කිව්වා වගේ. සුදු අසු පිට යන ගමනේ එකම  ගැලවුම්කරු මේ කුමාරයා වු කල, අනේ ඉතින් මමත් දෝතින්ම ගත්තා කිරි සුදු පාට අලුත්ම අලුත්  පිහාටුවක් තරන් වත් බර නැති ඒත් හිතට ටොන් ගානක බරක් එකතු කල හීනිම හිනි ෆොන් එක දැන් මගේ ලඟම මිතුරා  (මිතුරියද මන්ද, ඔගොල්ලෝ මොකද හිතන්නේ ඒ ගැන )

මළා මෙන්න බොලේ රැට කාලා වෙනදා වගේ ටිවි එකේ යන මොකක් හරි හිතට ගැලපෙන විකාරයක් හොයන්න අම්මයි මල්ලියි එක්ක තරඟෙට රිමෝට් එකින් චැනල්  කරකවන අස්සේ අර කුමාරයා   දිලා මං ගෙදර අරන් ආපු ෆොන් එක වදිනවා.. කවුද මේ රැ.. වෙන කවුද ඉතින් කුමාරයාම තමයි.. දැන්නේ මට තේරුනේ.. ඇයි මේ කියලා.. ඕක කලින් කියන්න එපැයි , මොකට බයවෙනවද හැංගිලා හිටිය මාව රළ පාරවල් අතරින් හොයාගෙන සම්පූර්ණයෙන් අයිති  කර ගෙනත් කටින් වචනයක් පිට නොකරන හරි විනීත කුමාරයෙක්නෙ මේ..ශාන්ත දාන්ත තීන්ත කුඩුව.. උපාසක බළල්ලු මියෝ දෙන්නා දෙන්නා අල්ලනවලු....

බලමු මොනාද දැන් කියන්නේ කියලා.  මගෙ ඇස් දිහා බලන් කියන්න බැරි දෙයක් ද .. කවුද දන්නෙ නේද.. ඇරලා බලන්න  තියන මල්ල ඔබලා  බලන්න එපා  කියල කොහෙද කියෙව්වා මතකයි ..

වෙනදා වගේ කෝල් එක ආන්ස්වර් කලාම අහනවා  කෝ මුණ  කියලා.. ඇයි හලෝ  මූණ බලන්න ඕන නම් ඔහෙට වෙලා  ඉදලා  හරි  යනවය එන්න එපැයි අඩුම ගානෙ ජනෙලේ ලඟට.. සුදු අසුත් ඉන්න එකේ. ආව නම් මගෙ දිඟම දිග කොන්ඩේ දානවනේ අර කවුද කුමාරිකාවක් කලා  වගේ ජනේලෙට බිම ඉදලා තියන උස තරණය කරන්න.. කොහෙද එහෙම හයියක්.. නැති වෙන්න බැ බලමුකො.. ඕන් මූණ.. එහා පැත්තෙන් කුමාරයාගේ  මූණත් පේනව ඒ අස්සේ... මං  ආව එන්න හිමිට මගේ කාමරේට සාලේ ඉඳලා.. ඊලඟට මොනවා  අහයිද  කවුද දන්නේ..හෝව්  හෝව්  අමතක උනා මේ කුමාරයා  මට කියලා දුන්නා හෙඩ්ෆොන්  හෙඩ්ෆොන් කෝ කෝ මට මතක  නැනේ  කොහෙද මම ඒක තිබ්බේ..

හම්බුනෝ... මල්ලි අහනවා  "මොකක්ද" කියලා.. "තමුසෙට මොකටද ඒක" කියල මං දිපු උත්තරේට කුමාරයා  උදහස් වෙයිද  දන්නෙත් නැ අහක යන නයි ඇගේ  දාගෙන..මොඩ් කුමාරයෙක් නිසා එහෙම වෙන එකක් නැ, කිරිත් එක්ක සමහන් බොනවා  ඇතිනේ.. අහන්න ඕන.. මොකක් සින්දු ද අපොයි ඔව්, මං  නොඅහන සින්දු මේ ලොකේ කවුද අහන්නේ කියලා මං  කිව්වේ නැ..

ඔන්න ඒ පාර සින්දු ලිස්ට් එකක් එවලා, නරක නැ කුමාරයාගේ සිලෙක්ෂන්.. කලාකාමි  හිතකුත් තියනවා  වගේ ඉලක්කන් එක්ක ගනුදෙනු කලාට මොකද.. ඉතින් කියන්න මේ සින්දුව, ලස්සනයි නේද, අම්මෝ.......  ඒ පාර විචාර කරන්නත් ඕනෙද මම කැමරා  ෆෝන්  එකින්, අයියො ඒක නම් බැ හලෝ.. බැ කියලා  බැලු..ඔව් ඉතින් බැයි කියල බැයි කියල බැ නේන්නම්.. ම්ම්ම්ම් නරක නැ.. එහෙනම් මේ  සින්දුව.. මේ මේ සින්දුව නම් මාරයි, ඒ මොකක්ද.... ඒ අතරේ  බෝ මලුවේ මල්, මාලනියේ, එදා  මෙදා  තුර, රන් සමනලයන්, මෑණියනි.... මොකක් අම්මා බලන්න යන්නේ නැ මාස ගනන්, ඒ උනාට අහන්නේ මෑණියනේ.. හම්බුනාම කියන්න ඕන මූණටම අහ අහා ඉඳලා වැඩක්  නැ ඊලග  සති අන්තේ අනිවාර්යෙන් ගමේ ගිහින් එන්න කියලා . එක්කෝ ඕන නැ.. කුමාරයෙක්නේ රාජ උදහස..

මළා  දැන් මං  මේ කතා කරන්නේ  අර සුදු අසු පිට ආව කුමාරයාටමද, ෆෝන් එකේ තිරෙන් පේන රුපේ නම් ඉන්නෙ ඒ  කුමාරයාම තමයි..ඔන්න ඔහොම ගී රැයවල් අතලොස්සක් පහු වෙනකොටම මට කවදත් තියන ලෙඩේ... මොකක්ද දන්නවද, මගෙ අත් දෙකට විතරක් ඉපදුනු දා  ඉඳන්  වහින වැස්ස.. මොනව හරි ලිස්සනසුලු දෙයක්   ඒ වැස්ස වැඩි කරනවා  කියලා  මට අමතක උනානේ... කුමාරයාගෙන් ආපු SMS  එකකට රිප්ලයි  කරලා  කිරි සුදු පාට ෆෝන්  එක තිබ්බෙ අතේමයි.. මට මතකයි ටිකින් ටික එහෙම නෙමේ  එක පාරට  භුමිකම්පාවක් වගේ ඩොග්  ගාලා වැටෙනවා බිමට.. ඒත් මට සැක හිතුනා..  ෆෝන්   එක වෙන්න ඇති කියලා  කොයිකටත් කියල මං හිමින් බැලුවා  බිම....

හපොයි ෆොන් එක තමයි, සුදු අසු පිට නැඟලා  ආපු  කුමාරයා  ඊට ටික දවසකට කලින් දිපු අලුත්ම අලුත් ෆොන්  එක බිම, කොහොමත් මට කිසි දෙයක් කැඩුනට ගානක් නැ..මගෙ ලොකේ බැමි නොකැඩෙයි කියලා හිතපු කෙනත්  ඒ වෙනකොට හිටියේ දිව්‍යලෝකේ නිසා අනිත් මොන දේ  කැඩුනත් මට වැඩකුත්  නැ.. එත් ඉතින් කුමාරයා ...

අතට අරන් බැලුව මම හිමින් හිමින්    බිමට නැමිලා... කඩේ හිටිය බිල් කරන අක්කත් ඇහුවා පුපුරල නේද මිස් ස්ක්‍රින් එක.. ඒත් මට ගානක් නැ හිනා වෙවි වේවී බිල ගෙවලා ෆොන් එක අතේ තියාගෙනම එළියට ඇවිත් ආයෙත් හොදට  බැලුවා..  ඇත්තටම  මට ඒ වෙලාවේ දුක හිතුනා, වෙන මොනවත් නිසා  නෙමේ, මේ සුදු අසු පිට නැඟලා  ආව කුමාරයා මාව හම්බුනාට පස්සේ ඉස් ඉස්සරෝම සත්සමුදුරෙන් එහා ගිහින් එතෙක් කරගෙන ආපු විදිහට  අතේ ඉතුරු වෙන රන් කහවනු වලින් කුමාරයාගේ පවුලේ අයට තුරු පඬුරු ගේන එකත්  අමතක කරලා  හිතෙන හිතෙන වෙලාවට මගේ මුණ බලන්න ගෙනාව ස්ක්‍රින්  එක නිසා.. 

Prince & Princess in real life
හරි හරි කිය කියා ඉන්න ඕන නැ, මගෙත් තියෙන්නේ  මාසෙ අන්තිමට හම්බෙන පඩියක් කියලා එකක්, මං  හදා ගන්නම්කො තිබ්බා  වගේම.....එතෙක් කුමාරයාණෙනි ඉවසන්න.. ඉවසන දනා  රුපු යුදයට යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද....ඇස් වහගෙන  හිතේ ඇඳිලා  තියන මගේ මූණ බලන්න කුමාරයාට ඉඩක් දෙන්නමයි  මම මේ කිරි සුදු අලුත්ම අලුත්  ෆෝන් එක බිම දැම්මේ.. හරි ද තරහ නැ නේද....(මට මොකො තරහ උනත් ,හි හී ඇහිපිල්ලමක් ගහන පමාව විතරයිනේ )



ප. ලි: "වැඩිය හිතන්න එපා" මට මේ කුමාරයාගෙන් ලැබුනු පළවෙනි  අවවාදය.. ගලේ කෙටූ අකුරක් වගේ මට මතකයි..අදාල සිදුවීම දිය පිට ඇඳි ඉරක් වගේ අමතක උනාට...

20 comments:

  1. //මොකක් අම්මා බලන්න යන්නේ නැ මාස ගනන්, ඒ උනාට අහන්නේ මෑණියනේ.. හ//

    හෙහ් හෙහ් නියම ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. වෙන කොහොම ලියන්නද ඉයන්.. මගේ හිතට එන්නේ මම දකින දේ... කොහොම උනත් මම ඒ දකින දේ වෙනස් නොකර ලියන්න කියන්න හිතට එන සිතුවිල්ල පිට කරන්නේ හරි පරිස්සමෙන්.. ජාති කීපයක් තියනවනේ ඉයන් පිට කලාම ආයේ ගන්න බැරි. කාලය, වචන,මඟ හැරුනු මොහොත වගේ..

      Delete
  2. // මට පොඩි කාලේ ඉඳලා තියන පුරුද්දක් තමයි මං අවට ඉන්න අය මොනවා කිව්වත් කලත් මං කරන්නේ හිතන්නේ මට ඕන දේ...//

    ඔයාගේ නිර්මාණ වල මම දකින විවිදත්වයට මූලික හේතුව ඔයා ....ඔයාම .....වී නිදහසේ ලොව දකින ස්වභාවය......

    හරිම හරි ලස්සන කතාවක්.
    එක හුස්මට කියවගෙන ගියා..
    කෙටි කතා පොතක් ලියන්නකො නිම්මි ....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ.. ඒ දේ හැම කෙනෙක්ටම කරන්න පුලුවන්.. //නිදහසේ ලොව දකින්න//

      බලමු බලමු.. කෙටි කතාවක් හරි නව කතාවක් හරි එහෙමත් නැත්නම් ජීවිත කතාවක් හරි ලියන්න..

      Delete
  3. ජීවිතය ගැන පාඩම් කියූ හීන දකින්නී තමන්ගේ අත්දැකීමක් ගැන ලියලාවගෙයි. අර " නොයිදුල්" කිව්වේ සුවදින්ද? හැක්...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නැ නැ දුමී ඉව කරලා සුවඳින් බලන්නේ පූසොනේ..:) :) මට එහෙම හිතුනේ කෙලින් මාත් එක්ක කතා නොකර වටේ යන නිසා මේ කුමාරයා..

      Delete
  4. අප්පට සිරි..කුමාරයා බයවෙයිද දන්නෑ.කුමාරයගෙ හිතත් මේ වගේ බිම දලා කෑලි කඩයි කියලා....හැක් හැක්

    ReplyDelete
    Replies
    1. කුමාරවරු බය වෙන්නේ නැ W.K .. බය උනත් ඇත්තට පෙන්නන්නේ එහෙම නැ.. හැබැයි බය උනා කියලා පෙන්නුවොත් තමයි හිත බේර ගන්න පුලුවන්.. බලමු මේ සුරංඟනා කතාවේ ඉන්න කුමාරයා පෙන්නයි ද කියලා :) :)

      Delete
  5. මේ ළේ පාට හීන ලියන කෙනාද? 🙄🙃

    ReplyDelete
    Replies
    1. නැ නැ තිලාන්, මේ නිම්නයට ලිපි ලියන හීන දකින කෙනාම තමයි ලිව්වේ..

      Delete
  6. ගෑණි ළමයි කලබල වැඩිද...ගතවෙච්ච මාස දෙක තුන ඇතුලෙ මම දන්න ගෑල්ලමයි කීප දෙනෙක්ම ස්ක්‍රීන් කුඩු කරගත්තා...

    ReplyDelete
    Replies
    1. හි හී සිරා. මේ කතාව දැනට අවුරුදු 8කට එහා උනු දෙයක්.. මගේ අත් දෙකට දාඩිය දානවා සිරා. ඒ නිසා කිසිම දෙයක් රඳවලා තියා ගන්න බැ.. මම ඒ වෙලාවේ මුදල් පසුම්බියයි ෆෝන් එකයි දෙකම අතේ තියාගෙනයි හිටියේ..මට මේ දාඩිය ප්‍රශ්නේ නිසා විභාග වලදි පෑන එක්කත් ලොකු සටනක් කරන්න උනු නිසා අම්මලා දොස්තර කෙනෙකුටත් පෙන්නුවා ගොඩක් පොඩි කාලේම.. උත්තරේ උනේ ජානමය බලපැමක්, තාත්තගේ නංගිලාත් මේ ප්‍රශ්නේ තියනවා..

      කොහොම උනත් මේ සිදුවීමෙන් පස්සේ මට ෆෝන් හම්බුනේ කරන්න තියන හැම ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ම දාලා.. දැන් මේ වගේ දේවල් වෙනවා අඩුයි.. මෙහෙ දාඩිය දාන්න තරන් රස්නියක් නැති නිසා.. :)

      Delete
  7. "මට මොකො තරහ උනත් ,හි හී ඇහිපිල්ලමක් ගහන පමාව විතරයිනේ"
    අනෙ හින දකින්නි අපිටත් කියල දෙන්න එ ක්‍රමේ ප්ලීස්.............

    ReplyDelete
    Replies
    1. හි හී රොමාරස්.. කවදහරි මූණට මුණ හම්බුනොත් මම කියලා දෙන්නම්..එතකන් තරහ වුනු කෙනාට හිනා නොවී ඉන්න බැරි විහිලු ටිකක් හොයාගන්න..

      Delete
  8. ෆෝන් එක නම් හිතලමයි බිම වට්ටගත්තෙ.. හහ්.. පරිස්සම් කරන්න ඕනි නම් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහන්න තිබුණනෙ..

    ;) :)

    ReplyDelete
    Replies
    1. රොහාන්, අනේ නැ හිතල නෙමේ, බැරි වෙලා වැටුනේ.. හැබැයි මම දැනෙගෙන හිටියා කොයි වෙලේ හරි මේක වෙනවා කියලා..දැනටත් මම හිතෙන්නේ නැ ෆෝන් පරිස්සන් කරන්න ඕන දෙයක් කියලා.. කුමාරයාගේ හිත නම් පරිස්සන් කරන්න ඕන කියලා හිතුනා... :) :)

      Delete
  9. අපෝ ඔය හොඳයි නේ.. අපි දෙන්න මුලින්ම යාලු වෙලා ගෝල් ෆේස් ගිහින් ඒ දවස් වල මට තිබුණු ස්මාර්ට් ෆෝන් එකයි, අක්කාගෙ ඩිජිටල් කැමරා එකයි තව පොඩි නොකියා ෆෝන් එකකුයි ඔක්කොම මුහුදේ වැටුනා..3ටම සොරි.com ගලක් උඩ නැගල කෝලන් කරන්න ගිහින් එයා මුලින් වතුරට වැටුනා.. එයාව අල්ලන්න ගිහින් මමත් වැටුනා.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. අපොයි පැතුම්.. කොහොමහරි කෝලන් කරන්න ගිය කෙනා බේර ගත්තනේ , ඒ ඇති...නැත්නම් එයා ඔයාව බේර ගත්තද ... අනිත් ඒවා ආපහු ගන්න බැරියැ සල්ලි තියන ඕන වෙලාවක.. ඒ වගේද better half :) :)

      Delete
    2. / ඒ වගේද better half :) :) /

      Now I think more like bitter half...:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...