Sunday, August 21, 2016

හැසිරිම් සහ ඔබ කවුද - පස්වන කොටස


 
ටික දවසකට මේ පාඩම් මාලාවට සමු දුන්නේ  අපේ ගෙදර කලබල ගතිය වැඩි උන නිසයි. 6 මසක් ලංකාවේ ගතකල අපේ අම්මා ආයෙත් ආවා අපි ලඟට තව අවුරුද්දක් අපිත් එක්ක ඉන්න. පුතාට නම් ඒ තරන් සතුටක් තවත් නැ.. මුලු දවසම අත්තම්මා එක්ක, නිදා ගන්නෙත් අත්තම්මා එක්ක. මේ අවුරුද්දේ මුල හරියෙ හොයා හොයා හිටිය "DREAM" ජොබ් එක හම්බෙලා "SILICON VALLEY" ගිය මල්ලිත් ඇවිල්ලා ගෙදර පිරිලා..ගිය සතියේ තමයි පොඩි නිවාඩුවකට ආපු මල්ලි ආපහු ගියේ. දැන් ආයෙත් ටිකක් පිරුනු  ගතිය අඩු වෙලා පොඩි පාලුවකුත් එක්ක පුරුදු විදිහට ජීවිතේ ගෙවිල යනවා. එහෙම පාලුවෙන් ඉන්න අතරේ තමයි ඉයන්ගේ සොඳුරු ගී රැල්ලට අහු උනේ...

දැන් ඉතින් පාලුව කොහෙන් ගියාද කියල හොයාගන්නත් බැහැ. ඒ හින්දා මං හිතුවා ආපහු පාඩම් මාලාව පටන් ගන්න. මතකනේ ඉහත  පිරමීඩේ ඉහළට තමයි අපි යන්නේ. (ජීවිතේ කවදාවත් පහළට යන්න එපා පහත් වැඩ කර අය අතරමඟදි හම්බුනාට)  අපි SENSE, FEEL, THINK, LEARN ගැන පහුගිය ලිපි 4න් කතා කලානේ, අද තියෙන්න "BEHAVE", හැසිරීම් ගැන කතා කරන්න.
 
මම කියවලා තියනවා තැනක "මම කැමතියි මගේ සුරංඟනා පියාපත් දෙක පැලඳගන්න හැමදාම, හැබයි සමහර වෙලාවට මම කැමතියි  ඒ පියාපත් දෙකම ගලවලා අතට අරගෙන ඒකෙන් කාටහරි පහර දෙන්නත්" කියලා..මේ වැකියෙන් කියන්නේ අපේ "හැසිරීම්" අපිට හැමවෙලේම පාලනය කරගන්න අපහසු බව. අවස්ථානූකුලව වෙනස් කරන්න හිතෙන වෙන බව..මොන විදිහේ  අවස්ථාවකට මූණ දුන්නත් හැකි තරන් සෘනාත්මක හැසිරිම් අඩු කරලා ධනාත්මක හැසිරිම් වැඩි කරගන්න පුලුවන් නම් සතුට තියෙන්නේ වැඩි ඈතක නම් නෙමේ.

අපි හිතමු දරුවෙක් නිතරම වැරදි හැසිරීමක් කරනවා කියලා, අපි ඒ හැසිරිමට අවදානය වැඩියෙන් දුනොත් දඬුවම් කලොත් ඇතිවෙන්නේ හරිම අසහනකාරී තරහෙන් පිරිනු අඳුරු  වටපිටාවක්, ඒ වටපිටාව දරුවෙක් තවත් අපෙන්  ඈත් කරනවා විතරක් නෙමේ ඒ දරුවගේ ආත්ම විස්වාසයටත්/ගෞරවයටත්  ලොකු පහරක් වදින ගමන් අනිත් අය ගැන තියන විස්වාසයත් අඩු වෙලා අන්තිමට දරුවගෙ හිතේ ඉතුරු වෙන්නේ බයක්. ඒ බය  දරුවන්ව පොළබවනවා හිතන්න "මම මොකටද හොඳට හැසිරෙන්නේ ? මොකටද දෙයක් කරන්න උත්සහ කරන්නේ ? කොහොම උනත් අන්තිමේ බැනුන්  නම්". මේ සිතුවිල්ල නිසාම සමහර දරුවන්ගේ හැසිරිම් පාලනය කරන්න අමාරුයි, වගකීම් බාර ගන්න එකත් දරුවා ඉබේම  මඟ හරින්න පටන් ගන්නවා. ඒ නිසා කෙනෙක් නරක හැසිරීමක් පෙන්වනවා නම් මුලින්ම බලන්න ටිකක් අතීත සිදුවිම අධ්‍යයනය කරලා, කොතනදි ද වෙනස් උනේ කියන එක අඳුරගන්න ලේසි වේවී.  සමහර ලෙඩ වලට බෙහෙත් කරන්න ඕන පිටට ලෙඩේ පෙනෙන තැනට නෙමේ කියලා මම අහලා තියනවා.

කෙනෙක් තව කෙනෙක්ව පාලනය කිරිමට හෝ තම ආධිපත්‍ය පෙන්වීමට නිතරම වගේ භාවිතා වන්නේ ආක්‍රමණශිලි (ප්‍රචණ්ඩ)  හැසිරීම්, කොහොම වුනත් මේ ආක්‍රමණශීලි විදිහට එළියට එන්නේ කලක් තිස්සේ හිත ඇතුලේ තිබුනු කිසිකෙනෙකුගෙ හව්හරණක් නැති අසරණ  වූ හැඟිම්.  ඒ නිසා කෙනෙක් අසීමිතව තරහින් හැසිරෙනවා නම් බලන්න මුලින්ම කුමන හෝ පීඩනයක සිටිනවා විය හැකියි.. ඔබ එය අඳුරගෙන නිසි මාර්ගය පෙන්නවා දුන්නොත් ඔබ කරන්නේ ලොකු පිනක්. මොකද ගොඩක් වෙලාවට මේ වගේ කෙනෙකුට තනියම තමන්ගේ ප්‍රචණ්ඩ හැසිරිම් පාලනය කර ගෙන තමන්වත් අනුන්වත්  අමාරුවේ නොවැටි හැසිරෙන්න  අමාරුයි.. අනිත් අතට හැමවෙලේම අනිත් අයට ඕනම විදිහේ උදව්වක් කරල දෙන්න වෙහෙසන හැසිරීම් ඇති අය ගැනත් වැඩි විස්වාසයක් තියන්න බැහැ. මේ ලොකේ හැම කෙනෙක්වම හැම දෙයකින්ම සතුටු කරන්න හැමවෙලේම බැහැ. ඒ නිසා මේ හැසිරීම් දෙකටම වඩා කල් පවතින්නේ මැද මාවත.. මැද මාවත තමයි තමන්ටත් අනුන්ටත්  ගෞරවාන්විතව යන්න පුලුවන් මාර්ගයේ මුල (ROOT)  මට හිතෙන්නේ...


මේ මිනිස් හැසිරීම් කාලෙත් එක්ක සෑහෙන වෙනස් වීම වලට ලක් වෙවී හැඩ ගැහෙන අතරේ ඒ හැඩගැහීම් වලට හේතු වෙනවා වයස, ජාන රටා, සමාජ ආකල්ප, ආගම, පුද්ගලික මතවාද වැනි දේ... මේ මොන දේ හේතු උනත් හැසිරීමක මුලික අරමුණ මිනිසාට හිතකර සහනදායි පරිසරයක් නිර්මාණය කිරිම නිසා අහිතකර හැසිරීම් මිනිසුන් අතරින්ම ප්‍රතික්ශේප වෙලා නෂ්ට වෙලා කාලයේ වැලිතලාවෙන් වැහිලා යන්නේ හැම කෙනෙකුගෙම සතුටින් ජීවත් වීමේ අයිතිය සිහිගන්වමින්...

ඕනම කෙනෙකුගේ හැසිරීම් ගැන ඉගෙන ගන්න තියන  ක්‍රම ගොඩකින් කීපයක් තමයි අධ්‍යයනය, අත්හදා බැලිම්, අන්‍යෝනය සබඳතා, කලක් තිස්සේ එකතු කරගත් දත්ත සහ පරික්ෂාකර බැලීම.  මේ කුමන විදිහකින් අපි කෙනෙකුගේ හැසිරීමක් අධ්‍යයනය කලත් ඒ හැම හැසිරීමකම පිටිපස්සේ ඉන්නේ මේ පිරමීඩයේ පහළ ඉන්න 4දෙනා.. ඒ කිව්වේ SENSE, FEEL, THINK, LEARN.. ඒ නිසයි මුලින්ම අපි ඒ 4දෙනා ගැන කතා කලේ...කෙනෙකුගේ දැනීම් පද්ධතියේ පුංචි හරි වෙනසක් ඒ කෙනාගේ හැසිරීම වෙනස් කරන්නේ දැනෙන විදිහ වෙනස් වෙන  නිසයි. ඒ අනූව ඒ කෙනා හිතන විදිහ වෙනස් වෙන අතරේ ඉගෙන ගැනීම හරියට කරන්න නම් හිත සතුටින් තියෙන්න ඕන.  හැම පියවරක්ම අපහසුතාවයකින් තොරව සිදු උනොත් ධනාත්මක හැසිරීමක් ලැබෙන අතරේ අපිට ඇත්තට ප්‍රායෝගික ලොකේ නිතර දක්නට ලැබෙන සෘනාත්මක හැසිරිම් කියපාන්නේ මේ ඉහත සඳහන් පියවර 4න් කුමන හෝ තැනක අඩුපාඩුවක්  සිදුවී ඇති බවයි.

ඒ නිසා සෘනාත්මක හැසිරීම් විවේචනය කරනවාට වඩා ඵලදායි වෙන්නේ ඒ අඩුපාඩුව මේ පියවර 4න් කොතැනක සිදු වී ඇත්තද යන්න විමසිල්ලෙන් සොයා බලා නිසි පියවර ගෙන එම අඩුපාඩුව මඟ හැරිමට කටයුතු කිරීමයි ඕනම තැනකදි.... මෙන්න මෙතනදි අපි ජිවීතේ හැමදාම කරනවා වගේ තෝරා ගැනීම් කරන්න වෙනවා. හැම ගැටලුකාරී හැසිරීමක්ම එකවර අපිට පැහැදිලි කරගෙන හැම ගැටලුවටම පිළියම් හොයන්න එකවර බැහැ.. ඒ නිසා අපිට මූණදෙන ගැටලු වලින් අපි විසඳුම් හොයන්න බලාපොරොත්තු වෙන ගැටලු වල අනුපිළිවෙලක් හදාගන්න වෙනවා ඒ ගැටලු වල අපිට තියන වැදගත්කම අනූව.  ඒ අනුපිළිවෙල තම තමන්ට ආවේණිකයි. හැබැයි තමන් තෝර ගන්න අනුපිළිවෙල ගැන තමන් අවට ඉන්න ආදරණියන්ව දැනුවත් කරනවා නම් කාටත් අපහසුවකින් තොරව ඔබත් එක්ක සබඳකම් පවත්වාගෙන යන්න ලේසි වේවි. හැමදේම කියන්න ඕන නැ..නමුත් තමන් ගන්න තීරණ නිසා කෙනෙක් අනාගතයේ අපහසුතාවයකට පත් වේවි කියලා දැනෙනවා නම් පොඩි පොඩි ඉඟි ටිකක් දෙන්න අමතක කරනන එපා....

මේ වගේ තැන් වලදි මම බොහෝ විට කරන්නේ මේ දැන්ම විසඳුවේ නැත්නම් (එහෙමත් නැත්නම් නියපොත්තෙන් කඩන්න තියන් දේ පොරවෙන් කපන්න වෙනකන් )  පස්සට බරපතල වෙයි කියල මට හිතෙන දැනට මූණ දෙන ගැටලු පළමු තැනට අරන් අනිත් ගැටලු ටික පස්සෙන් පෝළිමට හදා ගන්නවා. ඉන් පස්සේ එකින් එක ගැටලු විසඳගෙන යද්දි සමහර ගැටලු ඉබේම විසඳිලා..කිසිම වෙලාවක ගැටලු කීපයක් එකවර හිත ඇතුලේ පෙරළි කරන තැනට එන්න නොදි හිත පරිස්සන් කර ගනන එක තම තමන්ගේ වගකීමක් මම හිතන්නේ.. 

මේ අනුපිළිවෙල හදාගන්නේ ඔබ ඔබටම නම් ඔබත් එක්ක ලඟින් ඇසුරු කරන අයට  බලපාන ආකාරය ගැනත් හිතන්න වෙනවා ගැටලුව විසඳන්න පටන් ගන්න කලින්. උදාහරණයකට මම දැන් ඉන්න රටට එද්දි කරන්න රස්සාවක් හොයාගෙන නෙමේ ආවේ.. ඒ ගැන මගේ හිතේ දුකක් පීඩනයක් තිබ්බත් සුදුසුකම් තිබ්බත් රස්සාවක් කරන එක අනිවාර්ය උනත්  මට ඒ ගැටලුව පොඩ්ඩක් පස්සට දාන්න  උනා මගේ පුතා නිසා. (මගේ අම්මත් අපිත් එක්කම ආවත් මම පෞද්ගලිකව කැමති නැ අම්මට පුතා බලා ගන්න දිලා රස්සාවකට යන්න )  මගේ හිතේ තිබුනු ඒ පීඩනය ආවේ කොහොමද කියන එක ගැන ගෙදර හැමෝම අවබෝධ කරගෙනයි ඒ කාලේ වැඩ කලේ..හැමෝම  එක එක විදිහේ විසඳුම් වලට යන්න මාර්ග, අදහස් ඉදිරිපත් කලා.. ඒ අතරින් මට වඩාත් සුදුසුයි කියලා හිතුනු පාරක තමයි මම ගියේ පහුගිය අවුරුදු හතරම...ඒ හැම අලුත් පාරකටම හැරෙන්න කලින් ආපු පාරේ පොඩ්ඩක් නැවතිලා ආපස්ස බලන්නත් ඉදිරිය බලන්නත් මම අමතක කලේ නම් නැහැ.. එහෙම නැවතිලා බැලුවොත් කොළ එළි, රතු එළි අඳුරගන්න පහසුයි, එකපාරටම  බ්‍රේක් නැතුව ගිහින් හැප්පෙනවට වඩා...

ඉතින් අපි හිතමු ඔබ අනිත් කෙනෙක් වෙනුවෙන් මේ අනුපිළිවෙල හදනවා කියලා, එතනදි මුලින්ම  ඔබ තේරුන් ගන්න ඕන ඒ කෙනාගේ මේ පිරමීඩයේ පහළ පියවර හතර සවිස්තරව, හැසිරීම් ගැන කතා කරන්න කලින්. කොහොමද ඒ කෙනාගේ දැනීම්  පද්ධතිය වැඩ කරන්නේ, ඒ කෙනාගේ අතිතයට අනූව ඒ කෙනාට දැනෙන හැටි, ඒ දැනීම අනූව ඒ කෙනා හිතන හැටි, හිතන විදිහ අනූව ඒ කෙනා දැනට ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද නැත්තේ මොනවද... මෙන්න මේ කරුණු ගැන සවිස්තරව හොයන්නේ නැතුව අපිට එකපාරට අනිත් කෙනෙකුගේ හැසිරීමක්වත් ඒ කෙනා මුහුණ දෙන ගැටලු ගැනවත් පුරෝකථනයකට එන්නවත් අදහස් ඉදිරිපත් කරනන් වත්  විවේචනය කරන්නවත් බැහැ, කලත් එය තේරුමක් නැහැ, හරියට ගඟට ඉනි කැපුව වගේ...

ඒ නිසා කෙනෙක් ගැටලුවකට මැදි වෙලා ඉන්නවා කියල ඔබට දැනෙනවා නම් ඒ කෙනාගේ හැසිරීමෙන්   නිහඬව පුලුවන් තරන් තොරතුරු එකතු කරන්න ඔබට ඕනේ නම් ඒ කෙනාට උදව් කරන්න. පුලුවන් තරන් ඇහුන්කන් දෙන්න.. ඔබේ මතයට විරුද්ධ උනත් අදහස් ඉදිරිපත් කරන්න හදිස්සි වෙන්න එපා ඔබ කරුණු හරිහැටි දන්නේ නැත්නම්...පසුබිම දන්නේ නැතුව කෙරෙන සංවාද වලට වඩා හැම අතින්ම නිහඬතාවය සුදුසුයි...

මෙතනදි මට මතක් උනා ගිය සතියේ මම මුණ දුන්න අත්දැකීමක්. කලු ජාතිකයක් ගැන මට පළමු අත්දැකීම ලැබෙන්නේ බැංග්කොක් නගරයේ එක් රැයක අපි ටැක්සි එකකින් ගෙදර යන ගමන් පදික වේදිකාවේ උනු සිදුවිමකින්. එදා ඒ සිදුවිමේ මුල මැද අග පැහැදිලි කර ගත්තට පස්සේ   කොහේදි හරි කලු ජාතිකයන් එක්ක කතා කරන්න කලින් මම  දෙපාරක් හිතනවා වගේම හරියට දන්නේ නැත්නම් නිහඬවම ඉන්නවා. පහුගිය සතියේ එක් ආයතනයකදී කලු ජාතික පුංචි ළමයෙක් ගැන ගැටලුවක් මතු උනා.. ඒ ආයතනයේ වැඩ කරන්නේ එකම එක කලු ජාතික තරුණියක් විතරයි. ඉතින් හැමෝම ඇයගෙන්  උදව් බලාපොරොත්තුවෙන් ඇගේ දිහා බැලුවට ඇ හිටියෙ නොදැක්කව වගේ..ඒ අතරේ එක් තරුණියක් ඇවිත් කෙලින්ම ඇයගෙන් උදව් ඉල්ලුවේ හිතුවේ නැති වෙලාවක. පැන නැඟුනේ කවුරුත් හිතපු නැති හමේ පාට ගැන සංවාදයක්...

මම මේ ආයතනයට යන්න පටන් අරන් දැන් මාස දෙකක් විතර ඇති, මුලින්ම වැඩ කරන්න උනේ මේ කියන කලු ජාතික තරුණිය එක්ක. ඇය ටික දවසකින් ඇගේ පෞද්ගලික තොරතුරුත් මාත් එක්ක කිව්වේ අපි දෙන්නම යන්නේ එකම පාරේ කියලා දැන ගත්තට පස්සේ.. ඒ අතරේ මෙතෙක් මේ රටේ හමේ පාට ගැන තියනවා කියලා තැන තැන කසු කුසු ගාන ඒත් තාම මම මුණ දිලා නැති ගැටලු ටිකකුත් ඇය  ඉඟියෙන් කිව්වේ ඇගේ හිතේ තිබුනු පීඩනය පොඩ්ඩක් එළියට අරගෙන පිට පෙනුම නිසා මුහුණ දෙන්න වෙන..


අන්තිමේ උදව්  ඉල්ලන්න ආපු සංවාදය නැවතුනේ ඇය කාරුණිකව ඉල්ලීමක් කරමින් මුලින්ම ඒ පුංචි ළමයෙගේ ජාතිය (විශේෂයෙන් කලු ජාතිකයන්ගේ) හරියට දෙමාපියන්ගෙන් දැනෙගෙන මිසක් හමේ පාටෙන් ඇයත් දරුවත් සමාන කරන්න එපා කියලා ඉල්ලමින්. ඒ වචන ටිකක් එක්ක එතන හිටිය අනිත් හැමෝම සෑහෙන අපහසුතාවයකට පත් උනා...හැබැයි හරිම සාමකාවීම මේ අදහස් හුවමාරුව සිදුවුනා වගේම පාර්ශව දෙකම සමාවත් ඉල්ලා හිටියා එකිනෙකාගෙන්. බලන් හිටිය අපි කවුරුත් එයාලා දෙන්නා මැද්දට පැන්නේ නැ.. ලඟට වෙලා නිෂ්ශබ්ධව   අහගෙන  හිටියා..ඊට ටික වෙලාවකට පස්සේ මමත් ඇයත් ඒ ප්‍රශ්නය අහපු කෙනත් විතරක් හම්බුනු වෙලාවක මීට කලින් ශ්‍රි ලාංකික/ඉන්දියානු  දරුවන් ගැන ගැටලු මතු වුනාමත් මගේ පිට පෙනුම ඒ දරුවන්ට සමාන නිසා ආයතනයේ විවිධ අය මගෙන් උදව් ඉල්ලු තැන් කීපයක් මම ඇයට කිව්වේ ඇය විතරක් මූණ දුන් දෙයක් නොවෙන බව අඟවන්න...මම එහෙම කිව්වේ මුල දවස් කීපයේ ඈ මාත් එක්ක කී දේවල් මගෙ මතකේ තුබුනු නිසයි..

මෙතන්දි අපිට ඇගේ හැසිරීම ගැන කතා කරන්න බැහැ ඇය මුණ දුන් අතීත සිදුවීම්  ඇතුලු අපි මේ කතා කරගෙන ආපු  පිරමීඩයේ පහළ පියවර ගැන දන්නේ නැතුව. ඒ වගේම ඇය කැමැත්තෙන් කිව්වොත් මිසක් ඒ වචන ටික කිව්වේ ඇයි කියන දේ අපිට අහන්නත් බැහැ.. ඒ වගේම අනිත් පාර්ශවය වැරදියි කියන්නත් බැහැ.. ඇය දැනගෙන ඉඳලා නැ හමේ පාට අනිත් තරුණියට මේ තරන් සංවේදි මාතෘකාවක් කියන එක. එතනින් එහාට කවුරුවත් ඒ ගැන කතා කලේ නැ.. පුංචි දරුවගේ ගැටලුව නම් ඉක්මනින් විසඳුනා..අපි විවිධ අදහස් ඇති විවිධ ජාතිකයන් එක්ක ඇසුරු කරද්දි කල්පනාකාරි වෙනවා නම් බොහෝ දුරට ගැටලු අඩු කරගෙන සුහදව නොගැලපිම් වුනත් ගලපගන්න පුලුවන්...

ඔබේ හෝ වෙන කෙනෙකුගේ හෝ හැසිරිමක් ඔබ දුටු විට එය ඔබට පැහැදිලි කර ගන්න ඕනේ නම් පියවරෙන් පියවර මේ පිරමීඩයේ පියවරවල් වලට ගිහින් බලන්න. ඔබ මෙය කරලා බැලුවොත් වැටහෙයි කටින් වචනයක් පිට කරන්න කලින් මොන තරමක් හිතන්න ඕනද කියන කාරණය. අර බුදුහාමුදුරුවෝ කියලා තියනවා  වගෙ මුවින් නොබැන ඉවසන්න එක එක පුද්ගලයට තියන හැකියාව තමයි සාමකාමී පරිසරයකට මඟහසර පාදන්නේ කියලයි මට හිතෙන්නේ...

ඒ වගේම හැසිරිමකට විවිධ හේතු තියෙන්න පුලුවන්..සමහර වෙලාවට කෙනෙක් ඇත්තම හේතුව කියන්න පැකිළෙන්න පුලුවන් විවිධ හේතු නිසා.. අපි බැඳලා පළවෙනි සතියෙම ඊට මාස කීපයකට කලින් අපි දෙන්නම ගිහින් තෝරලා ගත්ත මුද්ද හිරයි කියලා ගලවලා තියන්න මගේ සැමියා හදපු වෙලේ මට තේරුනේ නැ ඇයි ඔහු එහෙම කිව්වේ කියන එක. ඉතින් මං කිව්වේ හිර නම් ගිහින් හදාගෙන එමු හවස එන ගමන්, වැඩි දුරක් නැනේ කියලා.. ඒත් ඔහුගෙන් තවත් සතියක් විතර යනකන් ඊට ප්‍රතිචාරයක් නැති නිසා මං හිතන්න ගත්තේ වෙන හේතු මොනවද වෙන්න පුලුවන්.. ඒ අතරේ මට මතක් උනා ඔහු කවදාවත් අත් ඔරලෝසුවක් පළදින්නේ නැති බවත් පිරිත් නූලක්වත් වැඩි දවසක් තියා ගන්නේ නැති බව. ඉතින් ඔය නිරික්ෂනය හිතේ තියාගෙන ඉන්න අතරේ අවස්ථාවක් හම්බුනා මුද්ද නොදාන එක ගැන කතා කරන්න.. අතේ යම් දෙයක් රඳවාගෙන ඉඳලා ඔහුට පුරුද්දක් නැති නිසා අපහසුයි කියන දේ  මට පිළිගන්න අමාරු උනේ නැ කලින් මම ඒ ගැන දැක්ක නිසා.. ඉතින් අපි දෙන්නම මුදු දෙකම ගලවලා ගෙදර තියලා ගියා.. (මගෙත් එක්ක වැඩ කල යාලුවෙකුත් හිටියා ඒ කාලේ, ඇයත් මුලින්ම office ආපු ගමන් කරන්නේ මුද්ද ගලවලා මේසේ පැත්තකින් තියන එක..O/L කාලේ අපලයි කියලා අම්ම හදවලා දැම්ම මුද්දත් මම දැම්මේ පුරුදු නැති නිසා අපහසුවෙන් කියලා මට මතකයි...මේ සිදුවීමට සෑහෙන කාලෙකට පස්සේ පුතා නිසා අත් ඔරලෝසු පළදින්න ඔහු හුරු උනත් ඉන් පස්සේ අපි මුදු ගැන කතා කලේ නැ, මුදු දෙකම තාම ලංකාවේ...)


කෙනෙකුගේ පවතින හැසිරිමක් වෙනස් වෙන්න කාලය කියන්නේ රන් හා සමාන අවශ්‍යතාවයක්..ඒ නිසා හැසිරීමේ වෙනස්කම් ගැන බලාපොරොත්තු ඇති කරගන්න කලින් ඒ සඳහා ගන්න අනිත් ක්‍රියාමර්ග වගේම කාලයත් වැදගත්.. හැබැයි කාලය තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා අනූව මිසක් ඔබේ අවශ්‍යතාවය අනූව නම් නෙමේ ගොඩක් විට මං හිත්න්නේ..මේ විදිහට හැසිරිම් වලට හේතු හොයනවට වඩා ගොඩක් වෙලාවට එක සැරයක් යම් හැසිරිමක් උනාට පස්සේ එය නැවත ඇති විය යුතු ද නැද්ද යන්න   වඩා ලේසියෙන් තීරණය කරගන්න පුලුවන් දෙයක්.. ඔබ නැවත දකින්න අකමැති හැසිරීම් (ඔබේ හෝ අන් අයගේ) ඇති වෙන්න තියන ඉඩකඩ අඩු කරගන්න අතරේ නැවත දකින්න කැමති හැසිරීම් වැඩි කරන්න හැටි හෙව්වොත් ඉබේම හරි ලස්සන මනසට සැහැල්ලු වින්දනීය පරිසරයක් ඔබ අවට නිර්මාණය කරගන්න පුලුවන් වේවි. එහෙම කලක් යද්දි නැවත කිසිදාක අනවශ්‍ය ආතති වලට මුහුණ දෙනවා වෙනුවට ඔබේ මොළය හොයලා දේවි සැහැල්ලුවෙන් මුහුණ දෙන ක්‍රම... 


අහල ඇතිනේ හැමෝම මාලුවා නහින්නේ කට නිසා වගේ ගොඩක් අනශ්‍ය හැසිරිම් කට පාලනය කර ගත්තොත් ඇතිවෙන එකක් නැ වගේම දත් 32ක් මැද්දේ පරිස්සමින් දිව ඉන්නවා වගේ කටින් පිටවෙන වචන පරිස්සන් කරන එක නම් ලේසි නැනේ නේද... අනිත් අතට අපි කතා කරන දේවල් අතරින් අනිත් කෙනාට වටහාගන්න පුලුවන් සීමාවන් ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕන. අපේ පුතාට ඕන දැන ගන්න බුදුන් වදින ගාථා වල තේරුම. ගාථා විතරක් නෙමේ එයාට ඕනේ පිරිත් වලත් තේරුම දැන ගන්න. පන්සිල් පද වල තේරුම එයාගේ වයසට අනූව කියලා දුන්නත් පිරිත් වල තේරුම තව ටිකක් ලොකු උනාම කියලා දෙන්නම් කිව්වම අහනවා කොහොමද ලොකු වෙන්නේ කියලා.. ඉතින් දැන් ලොකු වෙන්න බත් කනවා.. (අපේ පුතාගේ විශේෂ හැකියාවක් එයාගේ මතකය. ඒක අපි මුලින්ම අඳුර ගත්තේ කලින් ලිපියේ කිව්ව රූප අඳින කාලේ, අපේ අම්මා එයා නිදාගනිද්දි කියන ජයමංගල ගාථා වල පිළිවෙල වැරදුනොත් මතක් කරල දෙන්නේ පුතා, බොරු කියන්න බැ අපිට )

මේ හැමදේටම වඩා වැදගත් දේ තමයි කෙනෙකුගේ පිළිගන්න බැරි හැසිරීමකදි අපි කොහොමද අපේ හැසිරීමත් පාලනය කරගෙන ඒ පුද්ගලයගේ හැසිරීමත් තැනට ගැලපෙන්න හැඩගස්ස ගන්නේ කියන එක. ඒක නම් ඉතින් බොන්න ඕන (වතුර හොඳේ) ප්‍රශ්නයක් තමා...එක ක්‍රමයක් මම කියන්නම්.. නරක ගැන කතා කරන්න කලින් හොඳ ගැන කතා කරන්න. අපේ අම්ම මාව ඕනවට වඩා පරිස්සන් කරන එක ගැන මම තරහ ගන්න හැමවෙලේකම තාත්තා ඉස්සෙල්ලා කියන්නෙ මගේ හොඳ, ඉන් පස්සේ හරි හිමින් තමයි හරි කාරණයට බහින්නේ..එතනදි කතා කරන්න තෝරගන්න පරිසරය ගැනත් තාත්තා සැලකිලිමත්, කිසිම දවසක තව කෙනෙක් ඉස්සරහා ඒ වගේ දෙයක් තාත්තා කතා කරන්නේ නැ, ඒ වෙනුවට කරන්නේ විනිවිද යන එක බැල්මක් බලල අහක බලාගන්න එක. මේ වගේ ආදරයක් මගේ තාත්තගෙනුයි අම්මාගෙනුයි විඳින්න මම ගොඩාක් පින් කරලා ඇති...ඒ වගේ ආදරයක් වෙන කොහෙන්වත් හොයන්න නම් බැහැ...

  හැබැයි හැමකෙනාටම එකම ක්‍රමය ගැලපෙන්නේ නැති නිසා (සමහර දරුවන්ට තේරුන් ගන්න අපහසුයි කෙනෙක් නිහඬ වෙන්නේ ඇයි කියන එක) සුදුසුම විදි හිතලා බලන්න මම ඔබට බාර කරන ගමන් පුද්ගල පෞර්ශයන් වෙන් කරගන්න නිතර භාවිතා වන  DISC ගැන විස්තර ටිකක් කියලා මේ දිඟු ලිපි පෙළ අවසාන කරන්නම්.....





Dominance  -  බලය, පාලනය සහ තමන්ගෙත් අනුන්ගෙත් අයිතීන් උදෙසා සාමකාමීව සහ ධනාත්මකව නැඟි සිටින්න ශක්තිය ඇත්තන්..

මේ ඝනයට වැටෙන අය හරිම කැමතියි ප්‍රශ්න එක්ක වැඩ කරන්න, අර සමහරු කියන්නෙ වලියක් නැත්නම් ගතියක් නැ කියලා..අන්න ඒ වගේ, අනිත් අතට අභියෝග බාර ගන්නත් පැකිළෙන්නේ නැහැ. ඒ නිසාම මේ වගේ අය බොහෝ දුරට නායකත්වයන් දරන්න සුදුසුයි, හැබැයි අනිත් අයට ඇහුන්කන් නොදීම, නොඉවසිලිමත්කම, අනිත් අයට සංවේදී නොවීම් හේතුවෙන් හැම විටම සාර්ථක නායකයෙක් වෙන්න නම් බැහැ.

කාලය අපතේ යෑම වහකදුරු වගේ සලකන මෙම පුද්ගලයන් කෙලින් උත්තර වලට කැමතියි, වටින් ගොඩින් එන්නේ නැතුව. ඒ නිසා මේ අයට මොකක්ද කියන ප්‍රශ්න තමයි වැඩි.

Influence  - සමාජශීලි සහ නිතර කතා කරන්නන්..

තමන්ගෙ සිත් ඇදගන්නා සුළු කතාවෙන් වැඩ වලින් හරිම හැඟිම්බරව  අනිත් අයව කාන්දමක් වගේ ඇදගන්න මේ පුද්ගලයන් හරිම විනෝදජනකයි, උණුසුම්, විශ්වාසනීයයි,  සත්‍යගරුකයි, විවෘතයි.. වඩාත්ම වැදගත් අංගය හැමවිටම ධනාත්මකයි. මේ ඝනයට අයත් පුද්ගලයන් අනිත් අය එක්ක ගැවසෙන්න උපරිම විනෝදයෙන් කාලේ ගත කරන්න හැකියාව ලබාගන්නේ ඔවුන්ගේ ඉහත ගතිගුණ නිසා නිතැතින්ම අන් අය බොහෝ කැමති නිසා ඔවුන් එක්ක කාලය ගත කරන්න.

මේ හැකියාවන් උපරිමෙන් තියන කෙනෙක් කරන වැඩේ සම්පූර්ණ කරනවට වඩා වැඩි වටිනාකමක් දෙන්නේ තමන් එක්ක ඉන්න පිරිස කෑවද බිව්වද වගේ දේවල් හොයලා බලලා සම්පූර්ණ කරලා දෙන්න. මෙවැනි අය විශ්වාස කරනවා හැම කෙනෙක්ම හැම දෙයක්ම  ඉතාම හොඳ විය හැකි බව,  ඒ නිසාම මේ වගේ අය එක්ක ඉන්න වෙලාවට  ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා...

හැබැයි මෙවැනි අයට තියන දරුණුම ගැටලුව තමයි එක දේකට අවධානය යොමු කිරීමට ඇති අපහසුව, බොහෝම පුංචි දෙයක් ඇති අවධානය බිඳෙන්න, ඒ වගේම තම අදහස් ප්‍රකාශන නිදහස ගැන වැඩියෙන් හිතන අතරේ අතීතයෙන් ගන්න පුලුවන් පාඩම් අරගෙන වර්ථමානයේ දි  අනාගතය ගැන හරිම කල්පනාකාරීව ජීවත් වෙන්න තමයි ගොඩක් කැමති මේ අය වැඩිපුරම අහන්නේ කවුද කියන ප්‍රශ්නය.

Steadiness - හරිම ඉවසිලිවන්ත, එකම විදිහට හිතන,  ස්වභාවිකවම හැම විටම අනිත් අයගේ සතුට, අවශ්‍යතා ගැන හිතන්නන්...  

මේ පුද්ගලයන් එකපාරට ඇතිවෙන වෙනස්කම් වලට කැමති නැහැ, ආරක්ෂාකාරි සන්සුන් පරිසර වලට කැමති මේ අය එකම විදිහට  ඉවසිලිවන්තව,  සන්සුන්ව කිසි හදිස්සියක් නැතුව වැඩ කරන නිසා පිළිවෙලක් රටාවක් දැක ගන්න පුලුවන්. එතරම් හැඟිම්බර නැති නමුත් තම අදහස් වල තියන නම්‍යශීලි බව නිසාම අනිත් අයත් එක්ක හොඳ හිත පවත්වාගෙන යමක් කරන්න හැකි මේ පුද්ගලයන් තමන්ගේ මතයට විරුද්ධ මතයට උනත් යමක් කියන්න පෙළබෙන්නේ නැ සාමකාමි පරිසරයකට ඔවුන් ඊට වඩා ආදරය කරන නිසා.. 

අනිත් අයට උදව් කරන, හොඳ ඇහුන්කන් දෙන්නන් විදිහට පිටට පෙනෙන මේ පුද්ගලයන් අගය කිරීම් වලට සෑහෙන්න සංවේදි අය. අලුතින් දෙයක් පටන් ගන්න කලින් බොහෝ සේ සිතන මේ අය වඩා කැමති තමන්ට හුරුපුරුදු කලින් දන්නා දෙවල් වලට. කොහොමද සහ කොතනද කියන ප්‍රශ්න වලට මේ අය බොහොම පැහැදිලි උත්තර බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා..

Compliance  - යම් දෙයක් වඩාත්  ගැඹුරින්, වඩාත් තර්කාණුකූලව  නිසි පිළිවෙලට කරන්නන්...

හරියට නිතීයටම වැඩ කරන්න කැමති මේ අය යම් වැඩක් පළමුවරින්ම කාටවත් ඇදයක් නොකියන්න හරියටම කරන්න උපන් හපනුන්..හැබැයි ගමන ඉබිගමනින්, ඒ නිසාම හැමදේකටම කාලය දෙනවා හරි හැටි උනාද කියලා සැකහැර දැන ගන්න. මේ වගේ අය වැඩ කරන්නේ හරිම පරිස්සමින්, ආරක්ෂාකරීව, පිළිවෙලට, පිරිසිදුවට, නිවැරදිව කිසියම් පෙර සුදානමක් ඇතුව.  හරිම උපායශීලි මේ පුද්ගලයන් දෙයක් කතා කරන්න කලින් ඒ ගැන රහසිගතව කරුණු හොයාගෙන ලැස්ති වෙලා තමයි එන්නේ කරළියට.  
 ඉහත කතා කල විදි 3ටම වඩා මේ පුද්ගලයන් තේරුන් ගැනීම ඉතාම අපහසුයි, විශේෂයෙන් තමන්ගේ හැඟිම් නොපෙන්වන  නිසා. තමන්ගේ පෞද්ගලිකත්වය ගැන වගකීම සහගතව හිතන මේ අය වැඩ කරන්න කැමති පිළිවෙලකට, ඒ නිසාම ඇයි සහ කොහොමද කියන ප්‍රශ්න වලට හරි උත්තර නිතර හොයන්න පෙළබෙනවා...


මෙතනින් D සහ I අය ඉතා වේගෙන් කතා/වැඩ කරන  අය වන අතර S සහ C අය හිමින් කතා/වැඩ කරන්න,  S සහ I අය වැඩියෙන් කතා කරන්න පෙළබුනත්  අවධානයත් රඳවගෙන වැඩක යෙදෙන්න හැකි අය.

S පුද්ගලයන් කන්ඩායම් හැඟිමට,  අනිත්  අයට උදව් කරන්න  වඩා කැමති නිසා ඔබ ගැන ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න, අනිත් අය ගැන කතා කරන්න,  අගය කරන්න.


D සහ C පුද්ගලයන් තමනට දෙන වැඩක් (හෝ තමන් කරන වැඩේ)  සද්ද වහලා හරියට කරන්න ඉතාම දක්ෂයන් වන අතරෙම ඔවුන්ගෙන් පෞද්ගලික හරි රහසිගත හරි විස්තරයක් දැන ගන්න එක නම් ලේසි වෙන්නේ නැ ඔබට.

C පුද්ගලයන් ඕනම දෙයක් ගැන සෑහෙන්න ප්‍රශ්න අහන අය  වන අතර, D පුද්ගලයන් අවශ්‍ය දේ විතරක් ප්‍රශ්න කරන්න පෙළබෙනවා.

D පුද්ගලයන් ඇස් දිහා කෙලින් බලලා තමන් තුල තියන නොබිඳෙන ආත්ම විශ්වාසය අනිත් අයට සන්නිවේදනය කරන අතරේ  C පුද්ගලයන් වැඩිපුර යොදා ගන්නේ තමන්ගේ අංග චලන.


මේ එක් එක් අය එක්ක හැසිරෙන්න පහසු විදි වෙනමම කතා කරන්න ඕන නිසා මම ඒ ගැන මෙතන වැඩිය කියන්නේ යන්නේ නැ. ඔබ ඔබේම ව්‍යාපාරක් හෝ කිපදෙනෙක් එක්ක එකට එකතු වෙලා වැඩක් කරන්න හිතනවා නම් මුලින්ම ඒ ඒ පුද්ගලයා මේ DISC එකේ කොතනද ඉන්නේ කියන එක හොයා ගන්නවා නම් පහසුයි. සමහර වෙලාවට කණ්ඩායමක් එකට එකතු වෙලා වැඩක් කරද්දි D හැකියාව උපරිමෙන් තියන පුද්ගලයන් කීපදෙනෙක් හිටියොත් ලේසි නැ  එක තීරණයකට එන්න ගැටුමකින් තොරව.

මේ හැමදේටම කලින් වැදගත්ම දේ තමයි තමන් මේ DISC එකේ කොතනද ඉන්නේ කියන එක අඳුර ගන්න එක. ඒ නිසා තමයි ඔබ කවුද ලිපි පෙළක් ලියන්න මම මුල ඉඳලම අදහස් කලේ. කොහොමත් මට පොඩි කාලේ ඉඳල තියන (පිස්සුවක් කිව්වට වරදක් නැ) ප්‍රශ්නයක් තමයි මම කවුද කියන එක, මේ ඔබට මම ලියන්නේ ඒ මැඩපවත්වා ගන්න බැරි උන මගෙ හිත ඇතුලේ නිරන්තරයෙන් පෙරළි කරපු ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යන ගමන් එක එක විදිහේ පාරවල් වල... වෙලාවකට අඳුරු, වෙලාවකට හරිම පැහැදිලි, නෙක පැහැ දේදුනු පායලා හිතා ගන්නත් බැරි තරන් හීන ලොකේක විසිතුරු මවන එක එක විදිහේ මංමාවත් වල  යන මම හුදකලා නිම්නයක හීන දකින්නියක් නෙමේද ඉතින්....


ප. ලි: නිම්නයක් කිව්වේ දැන් මම නඟින්න ඕන සම්මත කඳු ටික නැඟලා ඉවර නිසයි. එතකොට හුදකලා කිව්වේ තාම මට ගමන් සඟයෙක් හොයා ගන්න බැරි උනු නිසයි අත්වැල අත් නොහැර වල්මත් නොවී යා හැකි....ඒත් ඉතින් ඇයි හීන දකින්නේ....



පළමු ලිපියෙන් උපුටා ගත්තකී.....

"මම විශ්වාස කරනව අපි මිනිසුන් හෝ සතුන් හෝ ස්වභාවධර්මය හෝ වෙන මොනයම් දෙයක් අධ්‍යයනය කලත්, වටහාගැනිමක් මිස චෝදනා කිරිමක්, වැරදි නිවැරදි සෙවිමක් එහෙමත් නැත්නම් "හංවඩු ගැහිමක්", (Judging) නොකල යුතු බව. මම එහෙම හිතන්න හේතුව අපි හැමෝටම ආවේණික වු පසුබිම් කතාවක් තිබෙන බව අත්දැකිමෙන් දන්නා නිසා  "හැසිරීම්"  විදිහට අපගේ අදහස්, සිතුවිලි  එළියට එන්න."

1.SENSE        2. FEEL          3. THINK       4. LEARN

8 comments:

  1. බොහොම වටින ලිපි පෙලක්...

    ReplyDelete
  2. අම්මා අවුරුද්දක් ඉන්නවා කිව්වම දැනෙන සතුට මට හිතාගන්න පුලුවන්.
    දරුවෙක්ගේ හැසිරීම්වලට පිළිතුරු හොයන්න වැඩිහිටියන් කල්පනාකාරි විය යුතුමයි. මොකද දරුවන්ට එපා කියලා තරවටු කළොත් ඒ දේම කරන්න හදන නිසා.
    තව දෙයක්. තව කෙනෙක්ගේ හසිරීම් තේරුම් ගෙන උදව් කිරීමට අවස්ථාවක් ලැබීම සතුටක්. ඒත් වෙලාවකට කළ හොද පස්සෙන් පන්නනවා වගේ වැඩත් සිද්දවෙනවා.
    ( අර සියදිවි නසා ගැනීම පිළිබද ලිපියත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී.. සතුටක් වගේම ලොකු වගකීමක්.. අම්මලා දැන් වයසයිනේ..සමහර වෙලාවට පුතාට වඩා අවදානයක් දෙන්න ඕනේ.

      කල හොඳ නම් පස්සෙන් පන්නන කොට දුමී නැවතෙන්න. ඔබ නැවතිලා නම් පන්නන්න බැනේ..

      ඒ සියදිවි හානි කර ගත් සිදුවීම හිමිට ලියන්නම් දුමි..

      Delete
  3. mawanam eka category ekakatawath na wage.categories kihipayaka lakshana tiyanawa.

    ReplyDelete
    Replies
    1. හි හි ඔබ කවුරු උනත් තැනට ගැලපෙන්න පාට මාරු කරන්න පුලුවන් කටුස්සෙක් එහෙනම්...හරියට භාවිතා කලොත් නියම හැකියාවක්.

      Delete
  4. ඉතාමත්ම වටිනා ලිපියක් හීන දකින්නි ලියල වෙනද වගේම.
    මම දෑන් හොයනව DISC එකේ මම කොහෙද ඉන්නෙ කියලා. හෑම තෑනම ටික ටික ඉන්නවා වගේ මට හිතුනෙ....

    හීන දකින්නි කවුද කියන එක නම් මමත් කල්පනා කරනවා.....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ, නිරෝගී සම්පුර්ණ මොළයක මේ විදි 4ම හරියට වර්ධනය වෙනවා, පහු කාලීනව ජීවත්වන පරිසරයෙන් ලැබෙන අත්දැකිම් අනූව තැනට ගැලපෙන ආරක්ෂාකාරි පෞර්ශයක් බිහි වෙනවා.. නමුත් මොළේට අමතක වෙලා නැ එයා හිටි මුල් තැන...

      තමන්ගේ ආත්මය විනිවිද ගිහින් හිතේ ගැඹුරට යන වෙනත් පෞර්ශයක් හමු උනාම මොළේ නොදැනුවත්වම තමන්ගේ මුල් තැනට අපිව ගෙනියනවා.

      එකිනෙකා එක්ක වඩාත් සුහදව ජීවත් වෙන්නයි මේ විදි 4ම එක එක මට්ටම් වලින් අපේ මොළේ මිනිස් සබඳතා කොටසේ හැදිලා තියෙන්නේ ඒ ඒ තැනට අනූව වඩාත්ම ගැලපෙන සුහද පෞර්ශයක් එළියට ගන්න එක තම තමන්ගේ වගකීමක්. හැබැයි සමහර අයගේ මේ මිනිස් සබඳතා කොටස හරියාකරාව වර්ධනය වෙන්නේ නැ.....ඒ වගේ එක් කොටසක් තමයි "Autism Spectrum" එකට වැටෙන්නේ, මම ඒ ගැනත් ලියන්න හිතන් ඉන්නවා..හැමදේටම විසඳුම් තියනව ඕනකම් තිබේ නම්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...