Tuesday, April 19, 2016

" ඔන්න ඔහේ තෙමුනදෙන් "

         
              මතක් වෙන හැමදවසකම පුතුගේ රාත්‍රි නිදන ඇඳුම් හිරු එළියෙන් නහවලා ගන්න එක  හැම උදැසනකම මගේ කැඩි කැඩි හැදෙන පුරුද්දක්. අදත් ඒ වගේ මගේ උදව්  ඇතුව  (උදව් නැතුව නාන කාමරය ගඟක් කිරිමට උපන් හපන්)  පුතු මුහුණ සෝදගෙන ආ පසු, සුපුරුදු විදිහට සොඳුරු එහෙත් මඳක් වෙහෙසකර විනාඩි ගානකින් අනතුරුව අලුත් ඇඳුමක් අන්දවලා, පුරුදු විදිහට එළියට ඇවිත් ඇඳුම් රදවනය මතින් පිළිවෙලට ඇඳුම් එල්ලුවේ මේවා  "මෙන්න මෙහෙම  කරන්න" කියලා දුන්න  අම්මත් මතක් වෙද්දි  හොඳට දිග ඇරලා. හැබැයි ඒ වෙනකොටත්  ...නුවරට එතරම් තද අව්වක් පායලා තිබුනේ නැතත් අඳුරකුත් තිබ්බේ නම් නැහැ.



හැබැයි අහස  මේ ටිකේම එක එක පාටින් හැඩතල මවන අඳුරු වළාකුලු වලින් හැඩවෙලා තියෙන්නේ. ගේ ඇතුලට එන ගමන් මගේ හිතේ ඇඳුනා  මපුතු වෙනුවෙන් ලියවුනු මෙන්න මේ පද පේළි ටික....

ඉන්පස්සේ පුරුදු විදිහට  නිවසේ අනිත් කටයුතු වල නියැලෙන  ගමන් මම හදිස්සියෙන්  පුංචි කවුළුවෙන් දැක්කා හීන් වැහි පොද ඇලේට වැටෙනවා.  මමත් ඉතින්  "අපරාදෙනෙ තෙමෙන්නේ " කියල හිතලා ඉක්මන් ගමනින් ගිහින් ඇඳුම් ගෙතුලට අරන් ඇවිත් ගතවුනේ විනාඩි 5 ක් ,වැඩිම උනොත් 6ක්. මෙන්න බොහොම තදින් අව්ව පායලා. මගේ මනසේ රැව්දුන්නා  නන්දා මාලනිය   සුමිහිරි හඬින් ගයන "සකුරා මල් පිපිලා හරි පුදුමයි - ගේ දොරකඩ නිල් වන පියසේ " ගීතය. ඒත් එක්කම  එහි රුප රාමු පෙළ මනසේ සිත්තම් උනා. රුප රචනයෙත් ගතයුත්තක් ඇති බව සිතමින්ම මම ආයෙත් පුතුගේ ඇඳුම් එළියෙන් තිබ්බෙ ගේ ඇතුලෙත් එළිය වුනු නිසා මෙතෙක් වෙලා අඳුර පලවා හරින්න දැල්වු විදුලි පහන් නිවා දමමින්.


ඒත් එක්කම මට මතක් උනා " අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තැරුම් නිවලා -  තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර -  හිරු තව දවසක් ගෙනැවිල්ලා" කියන  වික්ටර් රත්නායකයන් ගයන ප්‍රේමකිර්ති නම් සොඳුරු ගී පද රචකයානන් අතින් ලියැවුනු ගීතයත්, මීට හරියටම අවු 6 කට ඉහතදී ප්‍රධාන රටින් වෙන් වු තනිව පිහිටි දූපතක නිවාඩුවක් ගත කරන්න ගිය ගමනේදි, රැයක් නිදිවරා උදැසන හිරු එළිය නැගෙද්දි  මගේ දිවි සහකරු විසින් ඔහුගේ වෙහෙසකර රැකියාවෙන් ඉසිබුලන්නට තෝරාගෙන ඇති කැමරා කාචය හොඳින් එල්ල කර ගත් හිරු නැඟෙන උදා  අහසේ චමත්කාරජනක ඡායාරුප පෙළෙත්.


ඉන්පස්සේ පුතුයි මමයි දුම් දමන තේ  ( මගේ තේ බොන පුරුද්ද ගැනත් තියනවා ජිවිතේ දේවල් උඩු යටිකුරු වෙන හැටි ගැන  නිධාන කතාවක් , පසුව  ලියන්නම්)  සහ සීතලම සිතල ඇපල් ජූස් පුරවපු කෝප්ප දෙකත් අරන් සොපාවේ සැපට ඉඳන් බොන්න හැදුව විතරයි,  මෙන්න අර තදින් නැඟගෙන ආපු ඉරට කම්මැලි හිතිලද එහෙමත් නැත්නම් කොහේදෝ ඉඳලා හමාගෙන ආව මඳ සුළඟින් හිරි ඇරගත්ත වළාකුලු අතරෙ හැංගිමුත්තන් කරන්න හිතිලද මන්දා අව්ව කොහෙන් ගියා ද කියලා නැහැ , ආපහු කළුවර උනා එක තප්පරෙන්.

මම ආයෙමත් පුතුගේ ඇඳුම් ගෙතුලට ගත්තේ පළමුවර මඳක් තෙතබරිත වී තිබු නිසා ආයෙමත් වැහි වළාකුලු ඇඬුවොත් එහෙම ඇඳුම් තවත් වැහි කඳුලින් තෙතබරිත වෙයි කියලා හිතුනු නිසයි. නමුත් මම බලාගෙන හිටියා පැය බාගෙකටත් වඩා වැඩි කාලයක්, වැස්සක් තියා හුළඟක් වත් නැති නිසා ආයෙමත් ඇඳුම් එලියෙන් තිබ්බේ ගේ ඇතුලෙම මම දවසකට කිලෝමීටර කියක් ඇවිදිනවා ඇද්ද කියලා හිතන ගමන්ම මගේ දෙතොල් වල මඳ සිනහවකුත් ඇදෙද්දි.

ලිපේ තිබ්බ බෝංචි කරිය දුම් දමමින් ගේම සුවඳ කරමින් පිසෙද්දි ආයෙමත් පුංචි කවුළුවෙන් මං හොරෙන් දැක්කා පුංචි පුංචි වැහි කැට....
            
                                             "ඔන්න ඔහේ තෙමුනදෙන්"


ප.ලි : ලින්ක් කිරිමට දන්නා සැදැහැසිත් ඇති  අයෙක් වේ නම් මෙහි එන ගීත දෙක කමෙන්ටුවක බහාලුවොත් කියවන අයට රසවිඳින්න එය කදිම රුකුලක් වනු ඇතැයි සිතමි.

ඒ වගේම පළමු ගීතය රචනා කලේ කවුරුන්ද යන්නත් ලියලා ගියා නම් වටී.

14 comments:

  1. අපිත් ඔහොම තමා....... ටික වෙලාවකින් වැස්සොත් දැන්නේ දැම්මේ කියලා හිත හදාගෙන ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. හි හී .. එකනේ.. දෙයක් හිතලා කලොත් ඒක වෙන්නේ නැ.. හිතුවේ නැත්නම්!!!
      වහි කියලා කුඩයක් අරන් ගියොත් වහින්නේ නැ.. කුඩේ බැරි වෙලා හරි අමතක උනු දාට..;)

      Delete
  2. ////මම දවසකට කිලෝමීටර කියක් ඇවිදිනවා ඇද්ද /////

    මේක කියවන කෙට මටත් හිනා. මොකද මගේ අම්මත් මේක මේ විදිහටම කියනවා...

    ඇත්තටම මේ දේනම් ඕන තරම් වෙලා ඇති. අන්තිමට ඔයාට වගේ හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි, අම්මලා දුවන තරන් වේගෙන් ඔලිම්පික් වල අයවත් දුවන්නේ නැතුව ඇති... :) :)  වෙන වෙන රටවල් වල හිටියත් අපි ඔක්කොම ඉන්නේ එකම අහසක් යටනෙ නිර්මාණි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සකුරා මල් පිපිලා හරි පුදුමයි
      ගේ දොරකඩ නිල් වන පියසේ
      නිදිමත නැති වී හිරු පායා ඇත
      උමතු වෙසින් මහ රෑ යාමේ

      මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ
      පා සටහන් ඇත වැලි තලයේ
      නාග පිඹුරු රුදු සිංහ වලස් කැල
      ඉඟිළෙති නගිමින් උඩු ගුවනේ

      යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
      පාසැල් යන විට බෝනික්කෝ
      අකුරු උගන්වති කූඹි සිසුන් හට
      වයසක ගුරුවර සූටික්කෝ

      සුදම් සභාවේ අරගලයක් වී
      අහසින් කොටසක් කඩා වැටේ
      වියපත් සඳ වත ගේ දොර නැති වී
      හැරමිටි සරණින් බලා සිටී

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය - නන්දා මාලිනි

      Delete
  4. අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තැරුම් මෙතනින් අහන්න


    අඳුර බිඳින්නට රැයක් දවාලු
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා

    මතකය නම් වූ මලපොත පෙරලා
    මලගිය ඊයේ සිහිපත් කල මැන
    පැතූ පැතුම් අත් මිට මොලවාගත්
    දැතෙහි දසැඟිලි දිග හැරලනු මැන
    එහි මොනවද ඇත්තේ
    කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ

    අඳුර බිඳින්නට රැයක් දවාලු

    සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
    යෞවන විය පියවර තබනා සඳ
    හිස්වන පද විත සපුරා ගන්නට
    මියැසි විරාමය යලි පැමිණී ඇත
    කරුමෙකි පැවසෙන්නේ
    එපමනයි.. පිලිසරණය වන්නේ

    ගායනය/සංගීතය.......වික්ටර් රත්නායක
    පදවැල්.......ප්‍රේමකීර්ති ද අල්විස්

    ReplyDelete
  5. මේ සිංදු දෙකටම මම ආසයි..

    ReplyDelete
    Replies
    1. කොහොම ආසා නොවි ඉන්නද මේ වගේ ලස්සන සිංදු...

      Delete
  6. හපොයි රෙදි වේලන එක නං බුදු කට්ටක් කන්ඩ වෙන එපා කරපු වැඩක් අප්ප

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...