Saturday, July 30, 2016

හැසිරිම් සහ ඔබ කවුද - හතරවන කොටස

දෙවන කොටස
තුන්වන කොටස


පසුගිය ලිපි වලින් අපි කතා කලේ "හැසිරිමක්" ගොඩනැඟෙන විදිහ පියවරෙන් පියවර මේ පිරමීඩයේ ඉහළට ගමන් කරද්දි. අපි දැන් පියවර තුනක් දන්නවා. SENSE(දැනෙන විදි) +FEEL (දැනීම්) + THINK (හිතන විදි). අද තියෙන්නේ හතරවන පියවර. LEARN "ඉගෙන ගැනීම". 

මේ පීරමීඩය මේ විදිහට ගොඩනඟලා තියෙන්නේ මුලින්ම කෙනෙකුට දැනෙන ක්‍රම (SENSE) ගැන දැනුවත් වෙලා එමඟින් දැනෙන දැනීම් (FEEL) ගැන අවබෝධයක් ලබාගෙන ඒ දැනුනු දැනීම් අනූව කෙනෙක් හිතන (THINK)  විදිහ තේරුන් ගත්තොත් තමයි වඩා සාර්ථකව සතුටින් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙන්නේ...මම හිතන්නේ හැමදේකම මූලික දේ වෙන්න ඕන සතුට... අසතුටින් අකමැත්තෙන් කරන දෙයකින් අන්තිමේ අපි බලාපොරොත්තු වන සතුට සැහැල්ලුව පිරි සාර්ථක ජීවිතයක් ලැබෙයි කියලා අපිට අනාවැකි කියන්න බැරි නිසා මේ ඉන්න මොහොත සතුටින් ගත කරන්න පුලුවන් දෙයක නියැලෙන එක වඩා අර්ථාන්විතයි කියලා මට හිතෙනවා...ඉතින් මේ පිරමීඩයේ   පහළ තියන පියවර 3න්ම ලබාගත් තොරතුරු එක් කරගෙන අපි කොහොමද දෙයක් සතුටින් ඉගෙන ගන්නේ කියලා බලමු එහෙනම්...


මතකයි නේද අපි දෙවනි ලිපියේ  "දැනීම්"  ගැන  කතා කරද්දි  EMOTIONAL BRAIN (හැඟිම්) එක වැඩියෙන් භාවිතා කරන කොට THINKING BRAIN (හිතන) එක භාවිතා වෙන්නේ අඩුවෙන් කියලා ඉගෙන ගත්තා. (මෝරා දැකලා බය වෙලා කැගහලා කලබල උනොත් ඕනවට වඩා බෝට්ටුව ඉක්මනින් දූපතට ගෙනියන්න ගන්න ඕන ක්‍රියාමාර්ග කරන්න අපිට අමාරුයි)  ඉතින් අද අපි කතා කරන්න යන "ඉගෙන ගැනීම" හරියට කරන්න නම් දවසෙන් වැඩි කාලයක් පුලුවන් උපරිමයෙන්  THINKING BRAIN (හිතන) එක වැඩ කරන්න ඕන EMOTIONAL  BRAIN (හැඟිම්) එකට වඩා. හැබැයි එතන්දි  EMOTIONAL BRAIN (හැඟිම්) එක භාවිතා කරල තමන්ගේ සතුට අනිත් අයට රිදවන්නේ නැතුව හොයා ගත්තට කිසිම වැරද්දක් නැ.. එහෙම උනොත් "ඉගෙන ගැනීම" කියන ගොඩක් දෙනෙකුට පේන්න බැරි දේ ගොඩක් ආසාවෙන් කරන්න ඉඩකඩ මොළයට අපිට හදලා දෙන්න පුලුවන්..තමන් වැඩියෙන්ම සතුටු වෙන දේ ඉගෙන ගනිද්දි කාටවත් එපා වෙන එකක් නැ එහෙම උනොත්... වැදගත්ම සහ අමාරුම දේ තමන්ට එහෙම ආසාවෙන්ම ඉගෙන ගන්න පුලුවන් දේ (හෝ දේවල්) කාගෙවත් බලපැමකට යටත් නොවී තමන්ම අඳුරගෙන මොළයට පහසු කරලා දෙන එක  THINKING BRAIN (හිතන)  එක භාවිතා කරද්දි එපා නොවෙන්න...මෙන්න මෙතනදි අපි තුන්වන ලිපියේ කතා කල දරුවෙකුට ආවේණික  මොළයේ හැකියාවන්/නොහැකියාවන් පිළිබඳ දෙමාපිය වැඩිහිටියන්ගේ මනා දැනුවත්වීම හරිම වැදගත්...මිනිස් සතා මේ ලොකේ අනිත් සත්තුන්ට වඩා අනිත් අයගෙන් යැපෙන්න හැදිලා තියන නිසා කෙනෙකුට තනියම අමාරුයි  තමන්ට සුදුසුම දේ තනියෙන් හොයාගන්න.. ඒ නිසා දැනුම් තේරුන් තියන තමන්ට දෙයක් නොලැබුනත් අනිත් කෙනාගේ සතුට ගැන "හිතන" වගකීම් සහගත අයගේ මඟ පෙන්වීම හරිම වැදගත් මේ මොළයේ ඉගෙන ගන්න ක්‍රියාවලිය  එපා වෙන්නේ නැතුව දිගටම කරගෙන යන්න.. 


මම කලින් ලිව්ව පහත ලිපි පෙළ ගොඩක් උදව් වෙවි කෙනෙකුට කෙනෙක් ගැන මේ විදිහට දැනුවත් වෙන්න. 

අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - පළමු කොටස 

අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - දෙවන කොටස



ඒත් එක්කම කෙනෙක් අපි එක්ක   පණිවිඩ හුවමාරු කර ගන්න භාවිතා කරන විවිධ ක්‍රම ගැනත් දැනුවත් වීම වැදගත්. පණිවිඩ හුවමාරු කරගන්න මූලිකම ක්‍රමය විදිහට අපි කතා කිරීම හැඳින්නුවත් ඊට අමතරව තවත් බොහෝ ක්‍රම තියනවා ඒ සඳහා අපි භාවිත කරන..ඒ අතර පින්තුර, ලිවිම,තාක්ෂණික උපකරණ, ඇසට ඇස බැලීම, අත දිඟු කර පෙන්වීම, අංග චලන, මුහුණේ විවිධ හැඟිම්, කතා කරන ස්වරය වැනි   ක්‍රම වලිනුත් කෙනෙක් නොකියා කියන පණිවිඩ  අපිට එකතු කර ගන්න පුලුවන්....මේ තොරතුරු එකතු කරගැනිමේ දි ඔබේ බල කිරිමකින් තොරව, අඳාල පුද්ගලයාගෙම අදහස්, විනොදාත්මක ස්වාභාවික පරිසරයකදි  ඔබේ ප්‍රශ්න කිරිම් අඩුවෙන් සහ ඒ පුද්ගලයගේ අදහස් වලට මුලික තැන දෙමින් එකතු කර ගන්නවා නම් තමයි වටිනාකම වැඩි වෙන්නේ... එතකොට ඔබට පුලුවන් ඔබට ගැලපෙන දේ නොව ඒ පුද්ගලයට ගැලපෙන දේ හොයා ගන්න නිවැරදි මාර්ගය පෙන්නලා දෙන්න.... 


ඒ වගේම අද අපි හැමෝම ඉන්න තැන් වල ඉන්න බොහෝ පිරිසකගේ උදව් උපකාර ලැබී තිබෙන බවත් මතක තියාගෙන අපි ඉදිරියට යන්න ඕන. සමහර වෙලාවට අපිට හිතෙන්න පුලුවන් අපි තනියම ගොඩනැඟුනා කියලා, ඒත් අපේ පිටි පස්සේ ඉන්න හැමකෙනෙක්ම හැම සිදුවීමක්ම අපිට පුංචි දෙයක් හරි කියල දෙනවා..ඒ කියලා දෙන පාඩම අඳුරගන්නේ කොහොමද කියන එක  මොළයට අමතක වෙන්න දෙන්න නම් එපා... මට හිතෙනවා ඒ අතරේ අද අන්තර්ජාලයත්  අමතක කරන්නම බැරි හිතවතෙක් වෙලා කියලා.. 
 
හරි දැන් අපි  ආපහු පාඩටම එමුකෝ.  "ඉගෙන ගන්නවා" කිව්වම මට එක පාරට මතක් උනේ අපේ පුතාට වයස අවුරුද්දක වගේ ඉඳලා එක එක දේවල් ඇඳලා කියලා දෙන පුරුද්දක් එයාගේ තාත්තට තියනවා. ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය කල නිසාමද මන්දා ඒ අතරේ ටික කාලයකට පස්සේ දවසක් තාත්තා පුතාට ඇඳලා පෙන්නලා එක එක ජ්‍යාමිතික හැඩතල. සරල එවා ඇඳල ඉවර වෙලා ටිකක් සංකිර්ණ එවත් ඇඳලා. හිතපු නැති විදිහට පුතා ඒ හැඩතල "මතක" තියාගෙන කියලා ටික කාලයකට පස්සේ අපිට තේරුනා. කොහොමද එයාගේ "මතකය" ඇති උනේ කියලා අපි බලමු පාඩම ඇතුලෙදි අද...

කෙනෙකුගේ "ඉගෙන ගැනිමේ" හැකියාව උපරිම තත්වයකට ගෙන එන්න නම් ඒ කෙනා තුල තිබෙන ඉගෙන ගන්න පුලුවන් හැකියාවන් එකින් එක මතු කර ගන්නත්, "මතක රටා" විදිහට මොළය තුල කරුණු තැන්පත් කර ගන්න උදව් කරන්නත් අවශ්‍යයි බහුවිධ දැනීම් හරහා...මේ "බහුවිධ දැනීම්"  (Multi Sensory) කියලා හැඳුන්නුවේ අපි මුල් ලිපියේ කතා කල එක එක විදිහේ SENSE හරහා එකම කරුණ මොළය වෙත  විවිධාකරයෙන් ගෙන යමින් මොළයේ සෛල අතර වැඩි පරිපථ ප්‍රමාණයක් පාස්සා ගැනීම එකම මතක පද්ධතියක සඳහා..

උදාහරණයකට අපි හිතමු අපිට ඕන කියලා දරුවෙකුට කැපිටල් C අකුරේ හැඩය ගැන අවබෝධයක් ලබා දෙන්න.. කොහොමද අපි "බහුවිධ දැනීම්" හරහා දරුවගේ මොළය තුලට මේ C අකුරේ හැඩය ගෙනියන්නේ.. මං විධි කීපයක් කියන්නම් එතකොට ඔයාලට තමන්ගෙම අලුත් විදිත් "හිතලා" හදාගන්න පුලුවන් වෙයි... අපිට පුලුවන් එක එක මාධ්‍ය වලින් හදලා තියන එක එක ප්‍රමාණයේ C අකුරු දරුවට නිතර අල්ලන්න ඉඩ හදලා දෙන්න. දරුවගේ ඇඟිලි ඔබ හසුරවලා C අකුරේ හැඩය ගැන අවබෝධයක් ලබා දෙන්න පුලුවන්. මෙතනදි අපිට කෑම ජාති වලිනුත් අතේ ඇඟිලි වලට වගේම  ඇහැටත් උත්තේජන ඇති වෙන විදිහට නිර්මාණශිලිව C අකුරේ හැඩය හදලා මොළයට පණිවිඩය යවන්න පුලුවන්. ඊට අමතරව "Shaving Cream "හරි වැලි හරි භාවිතා කරල C අකුරේ හැඩය  මුලින් ඔබේ උදව් ඇතුව ඇඳලා පස්සේ තනියම ඇඟිලි මෙහෙයවා අඳින්න ඉඩ හදලා දෙන්න පුලුවන්.. අවට පරිසරයේ තියන C හැඩයට සමාන දෙවල් ගැන දරුවත් එක්ක කතා කරන්න පුලුවන් නැවත මොළයට  ආවර්ජනය කර ගන්න හැඩය..පුලුන් කෑලි වතුරේ පොඟවලා C අකුරේ හැඩයට අලවන්න දීම. මේක තවත් ආකර්ශනීය කර ගන්න පුලුවන් පුලුන් කෑලි පාට පාටින් හදා ගත් විට..අපි හැමෝම බබාලගේ ඇඟේ ක්‍රිම් ගානවනෙ. ඒ වෙලාවට පුලුවන් එයාට පේන ශරිරයේ කොටසකත් නොපෙනෙන (පිටේ) කොටසකත් ක්‍රිම් වලින් මේ හැඩේ අඳින්න..එයාට දැනෙන්න "හම" කියන දැනිම් පද්ධතිය හරහා මොළේට පනිවිඩේ ගෙනියන්න...

"ඉගෙන ගන්නවා" කියලා කියන්නේ මොළය, අවට පරිසරය සහ අපේ ස්නායු පද්ධතිය එක් වෙලා අලුත් දැනුම සහ විවිධ හැකියාවන් පියවරෙන් පියවර එකතු කිරිමක් කියලා සරලව කියන්න පුලුවන්. එතකොට "මතකය" කියල කියන්නේ ඒ ලබා ගත් දැනුම සහ හැකියාවන් අනාගත භාවිතය සඳහා පියවරෙන් පියවර එක් රැස් කර  තබාගැනිම කියලත් ඉතාම සරලව මතක් කරන්න පුලුවන්.. යම් සිදුවීමකදි   හැමවිටම එකම රටාවකට කම්පනය වන එකට ගොනු වුනු ස්නායු සෛල රැසක් විදිහට තමයි මොළය මතකය  දකින්නේ."මතකය" හරියට මකුලුවෙක් පරිස්සමින් වියන දැලක් වගේ එකිනෙකට යා උනු අත්දැකිම් ගොඩකින් නිර්මිත වියමනක් වගේ. මේ වියමන බලන බලන අතින් ශක්තිමත් නම් කෙනෙකුගේ "මතකය" ඉතාම හොඳයි...වියමනේ තැනින් තැනින් මේ දැන්  කැඩෙයි වගේ නම් "මතකය" දුර්වලයි, හැබැයි දුක් වෙන්න එපා "මතකය" ශක්තිමත් කරගන්න  කරන්න ඕනේ අර වියමනේ දුර්වල තැන් ආයෙත් පරිස්සමින් හොයල බලල වියලා ශක්තිමත් කර ගැනිම පමණයි.. 

ඉතින් ඒක කරන්න කලින් අපි දැනගන්න ඕනේ කොහොමද "මතකයන්" විදිහට මොළයේ ස්නායු සෛල ගොනු  හැදෙන්නේ කියන කාරණය.. ඒක තමයි පහත රූපසටහනෙන් පැහැදිලි කරන්න යන්නේ...




අපි හිතමු අපිට ඕන පොඩි ලමයෙකුට වතුර ගැන කියලා දෙන්න කියලා.. දැන් මේ A කියන රූපයේ "Initial Stimulus"  (පටන් ගැන්ම) විදිහට අපි හිතමු වතුර පුරවපු විදුරුවක් අපි පෙන්නුවා කියලා, එතකොට මොළයේ අංක 1 කියන සෛලය ක්‍රියාත්මක වෙන්න ගන්නවා, ඒත් එක්කම ඒ ලඟම තියන අංක 2 කියන සෛලයත් ක්‍රියාත්මක වෙන්න ගන්නවා..මේ ක්‍රියාත්මක වීමේදි සෛල වල රසායනික වෙනසක් සිදු වෙලා  සෛල වල තියන  ස්පර්ශක ස්නායු (Receptors)  මතුපිටට  ඇවිත් ලැස්ති වෙලා ඉන්නවා බාහිර වෙනස අඳුරගන්න.. එක් වරක් මේ විදිහට  සෛල වල ඇති උනු වෙනස බොහෝ විට ගොඩක් වෙලා (සමහර විට දවසක් උනත්)  පවතින විදිහට  අපේ මොළය හැඩ ගැහිලා  තියෙන්නේ  ඊලඟ සැරේටත් ආපහු වතුර දැක්කම අඳුර ගන්න පහසු වෙන්න..

අඳුර ගැනිම පහසු වෙන විට මේ අංක 1 සහ 2 අතර  ක්‍රියාකාරි බැඳිම ඉක්මනින්  සිදු වෙලා ශක්තිමත්  බැඳිමක් සෛල දෙක අතර ඇති වෙනවා. මේ විදිහට වතුර එක ලඟ දවස් කීපයක් දරුවට පෙන්නන වාර ගනනත් වචනය ඇහෙන වාර ගනනත් වැඩි වෙන විට  වතුර අඳුනාගැනිමට   අවශ්‍ය කරන මොළයේ මතක සෛල අංක 1 සහ 2 අතර  නොකැඩෙන දිඟු කාලීන බැඳිමක් හට ගන්නවා.. (B රූපය )  එකේ තේරුම තමයි අංක 1 සෛලය ක්‍රියාකරි වෙන ඕනම වෙලාවක අංක 2 සෛලයත් , අංක 2 සෛලය  ක්‍රියාකාරී වෙන ඕනම වෙලාවක අංක 1 සෛලයත් ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා.

ඒ වගේම ඒ අවට තියන ඒ තරන් තද බැඳිමක් නැති  අංක 3 වගේ  සෛලත් ක්‍රියාකාරි වෙන්න පටන් ගන්නවා.(C රූපය) මේ විදිහට සෛල අතර එකිනෙක හා Back fire වෙන සුහද ක්‍රියාකරකම් වැඩි වෙනකොට ඒ "මතකයට" අඳාලව මොළයේ සෛල අතර හොඳ දිඟු කාලීන ශක්තිමත් බැඳිමක් ඇති වෙනවා..

මතක ද මම මුලින් කිව්ව අපේ පුතා සංකීර්ණ ජ්‍යාමිතික හැඩතල මතක තියාගෙන තිබ්බා කියලා අපි නොහිතපු විදිහට, එතනදි වෙලා තිබුනේ එයාගේ තාත්තා හැමදාම කාලයක් තිස්සේ මේ හැඩතල එයාට ඇඳලා පෙන්විමෙන් මේ මොළයේ සෛල උත්තේජනය වෙලා සෛල අතර බැඳිම නොකැඩෙන ශක්තිමත් තැනකට ගෙනත් අපිට නොදැනීම..මෙතනදි ඒ දෙන්නාව තව පියවරක් ඉදිරියට ගෙනියන්න දෙයක් මගේ අතින් ඉබේම උනා ඇඳලා තියන හැඩතල දැක්ක වෙලේ.. ඒ තමයි මේ වෙන වෙනම අඳින හැඩතල එකට එක් කරලා අඳින්න පුලුවන් සරල රූප ගැන අදහසක් කියපු එක. ඒකින් පස්සේ දෙන්නා වෙන වෙනම අඳින  හැඩතල කපලා  රොකට්, බස්, කාර් බෝට්ටු වගේ රූප හදලා අලවන්න පටන් ගත්තා.. ඊටත් පස්සේ අපිට පුලුවන් උනා ඒ එක එක රූපේට අඳාල සින්දුවක් හරි කතාවක් හරි පුතාට කියලා දෙන්න කපලා අලවන අතරෙම.. දන්නෙම නැතුව පුතාගෙත් අපෙත් මොලයේ  සෛල අතර Back Fire  වෙන "මතක" සෛල වල ක්‍රියාකාරිත්වය ඇති උනේ ඔන්න ඔහොම. 



(මේ විදිහට හදපු රොකට් අරගෙන මේසයකට හරි පුටුවකට හරි  නැඟලා Count Down එකක් කරල Blast Off කියල බිමට පනින්න හරිම කැමතියි පුතා.. හැබැයි මම ඒකට ඉඩ දුන්නේ ලොකු කෙනෙක් ලඟ ඉන්නවා නම් විතරයි. මුල ඉඳන් දරුවෙකුට දෙයක් කරන්න ඕන විදිහ කියලා දුන්නම හරි ලේසියි එයාලව මෙහෙයවන්න.) 

මේ තියෙන්නේ පුතාට අවුරුදු 3ක් විතර වෙනකොට එයත් එක්ක කල දේවල් වලින් කීපයක්. මේ සුදු පාට මේස් පාට කරද්දි එක එක පාට කලවම් උනාම හැදෙන පාට ගැනත් පෙන්නලා දෙන්න අවස්ථාවක් හම්බුනා. 3වෙනි රූපේ තියෙන්නේ පාට කරපු (පරණ) හාල්. (පුතාට මාස 13/14 වගේ කාලේ  අපේ ගෙදරට ආපු  මේ පෙට්ටිය එක එක කාලේට එක දේවල් වලින් පිරෙනවා තාමත්)  




දරුවෙකුට හරි කාටහරි දෙයක් කියලා දෙන්න කලින් හිතන්න මෙන්න මේ පියවර හතර. මෙතනදි මුලින්ම 4 වෙනි පියවරෙන් පටන් ගන්න. අනිත් කෙනා වෙනස් කරනවට වඩා තමන් අනිත් කෙනාට අවශ්‍ය දේ තේරුන් අරන් වැඩ කරන එක තමයි වඩාත්ම සාර්ථක,එහෙම බැරි නම් තමන්ගේ පාඩුවේ ඉන්න එක ඇඟට ගුණයි..

1. ඇයි මේ දෙය ඉගෙන ගන්න ඕන ?
2. මේ ඉගෙන ගන්න දෙයින් ඉගෙන ගන්න කෙනාට තේරුමක් තියනවද ?
3. මේ ඉගෙන ගන්න දෙයහි සංකිර්ණකම/ගැඹුර ඉගෙන ගන්න කෙනාට ගැලපෙනවද?
4. මොනවද  ඒ කෙනාට ඉගෙන ගන්න  ඕන  වෙලා තියෙන්නේ ?  
 
ඊලඟට මම තුන්වන ලිපියේ සඳහන් කල "ඉගැන්නුම් පිරමීඩය" ටිකක් පැහැදිලි කරන්නම්.. එදා කිව්වා වගේම මෙහි පහත පේළි දෙකෙන් නිරූපනය වෙන්නේ පළවෙනි ලිපියේ අපි කතා කල  අපිට අවට පරිසරයේ දේවල් දැනෙන විදි (SENSE)  ගැන. ඊට ඉහළ පේළියේ ඉඳලා උඩට යනකන් අංක 1 සිට 15 තෙක් නම් කරලා තියන  කොටු ගැන ටිකක් විස්තර කරන්නයි යන්නේ. (පිරමිඩයේ උඩට යද්දි  ටිකක් පැහැදිලි මදි තමයි හැබැයි කොටු පනින්නව හෙම නෙමේ කවුරුත්.... )




අංක 1 : POSTURAL SECURITY  - මේ මොකද්ද මේ කියන්නේ. අපිට අපේ ඇඟ ගැන තියන අවබෝධය, කොහේ හරි රිදෙනවා නම් රිදෙන්නේ බඩ ද, පිට ද, කකුලද, උරහිස් ද, රිදෙන්නේ පිටින් ද,  ඇතුලතින් ද , ඉහළ ද , පහළ ද වගේ තමන්ගෙම ශරීර ඇතුලාන්තයේ දැනීම්  ගැන හොඳ අවබෝධයක් තිබීම.

අංක 2 : AWARENESS OF TWO SIDES OF THE BODY -  ශරීරයේ වම/දකුණ දෙකම එකවර භාවිතා කිරිමට ඇති හැකියාව.

අංක 3 : MOTOR PLANNING - කිසියම් වැඩක් පටන් අරගෙන අවසානය දක්වා පිලිවෙලට කිරීමට ඇති හැකියාව. හැමෝම කරල ඇති නේද බාධක දීවිමේ තරඟ. අන්න ඒ වගේ තැන් වලදි කරන්න ඕන විදිහ එක සැරයක් පෙන්නලා දුන්නම ඒ පියවර එකින් එක  මතක තියාගෙන පි
ළිවෙලට ඉවර වෙනකන් කරන්න තියන හැකියාව තමයි මේ කියන්නේ..පොඩි ළමයින්ට මේ පිළිවෙල මතක තියාගෙන කරන්න අමාරු බව ඔයාල හැමෝම දැකල ඇතිනේ..ඒ වගේ වෙලාවට බලාගෙන ඉවසගෙන ඉන්න බැරුව අපි දරුවන්ට එක එක විදිහෙන් උදව් කරන්නත් පෙළබෙනවා ඊලඟට කරන්න ඕන දේ  මතක් කරන්න..උදව් කලාට කමක් නැ හැබැයි මුණේ තියා ගන්න හිනාවක්, බැරි උනාම අපේ මුණේ නැඟෙන නොසතුට කියවන්න එයාලට හොඳට පුලුවන් නිසා...

අංක 4 : BODY SCHEME  - ශරිර අවයව ගැන දැනුමක් අවබෝධයක් තිබීම. 

අංක 5 : REFLEX MATURITY - වයසට අනූව මනස වර්ධනය වීම

අංක 6 : ABILITY TO SCREEN INPUT - සිදුවීමක වැදගත් කරුණු තෝරා බේරා ගැනිමට ඇති හැකියාව

අංක 7 : EYE-HAND COORDINATION - අත් සහ ඇස් එකට මෙහෙයවීමේ හැකියාව

අංක 8 : OCULAR MOTOR CONTROL - ඇස් වල මාංශපේශි පාලනය කිරීමේ හැකියාව

අංක 9 : POSTURAL ADJUSTMENT  - ශරිරයේ පිහිටීම තැනට අඳාලව වෙනස් කරගැනීමට ඇති හැකියාව

අංක 10 : AUDITORY LANGUAGE SKILLS - කතාව සහ කතා කරන භාශාව පිළිබඳ අවබෝධය

අංක 11 : VISUAL SPATIAL PERCEPTION -  අවට පරිසරයේ තොරතුරු ඇස් ඇතුලු අනිත් දැනීම්  හරහා ලබාගෙන අවකාශයේ අපේ පිහිටීම පිළිබද ලබා ගන්න නිවැරදි අවබෝධය

අංක 12 : ATTENTION CENTER FUNCTIONS -  වැඩ කිහිපයක් අතර  අවධානය  නිසි ලෙස  පවත්වා  ගැනිමේ හැකියාව

අංක 13 : DAILY LIVING SKILLS - තමන්ගේ එදිනෙදා අවශ්‍යතා කරගැනීමේ හැකියාව

අංක 14 : BEHAVIOR - තමන්ගේ හැසිරිම් පාලනය කරගැනීමේ හැකියාව

අංක 15 : ACADEMIC LEARNING - කියවීම, ලිවීම, ගණිතය 


මේ පියවර ගැන වැඩි විස්තර කීම නෙමෙයි මෙතනදි මගේ අරමුණ, කෙනෙක් දෙයක් ඉගෙන ගන්න කලින් සාර්ථකව සම්පූර්ණ කල යුතු පියවර ගැන පොඩි අවබෝධයක් ලබාදිමට තමයි මම මේ පියවර 1 - 15 පැහැදිලි කලේ. ඉතින් පිරමිඩයේ පහලම කොටස් දෙකේ තියන SENSE හරහා ලබාගත් දැනුම එකතු කරගෙන අංක 1 ඉඳලා අංක 14 වෙනකන් පියවර වලට කෙනෙක්  මුහුණ දෙන විදිහ අනූව තමයි ඒ කෙනාගේ "ඉගෙන ගැනිමේ" හැකියාවන් අඳුර ගන්න වෙන්නෙත්  වැඩි දියුණු කර ගන්න වෙන්නෙත්.  මෙතන්දි අපි මුල පාඩමේ ඉගෙන ගත් SENSE වෙන වෙනමත් එකටත් වැඩ කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කර ගනිද්දි ඉබේම ඉගෙන ගැනිමේ හැකියාව වැඩි කරන් ගන්න පුලුවන්.
 
ඔයාලත් අහලා ඇති සමහර වෙලාවට දෙමව්පියො, ගුරුවරු එහෙම කියනවා ළමයෙක්ට උගන්නන අමාරු අවස්ථාවල "හැන්දකින් අරන් පෙව්වොත් මිසක් උගන්නන නම් බැහැ" කියලා කියන.. මට මේ පහත රූපසටහන අඳිනකොට ඒක මතක් උනා.. පහත රූපයේ තියෙන්නේ ඉගෙන ගන්න/මතක තියා ගන්න ඕනම කරන අවශ්‍යතා 7ක්. මුලින්ම උගන්නන කෙනා සහ ඉගෙන ගන්න කෙනා එකට සම්බන්ධ වෙන්න ඕන. ඇහුන්කන් දෙන්න ඕන. (අපේ ගෙදර මල්ලිව එක විදිහකට තියාගෙන එක අරමුණකට යොමු කරගෙන උගන්නන එක හරිම ලේසියි, මාව ඒ වගේ එක විදිහටකට තියාගන්න එක ලේසි නැති නිසා අම්මා මට උගන්නන එක බාර දුන්නේ තාත්තට , තාත්තා  මාව සාමාන්‍යයෙන් ගෑනු  ළමයෙක් අරන් නොයන තැන් වලට පවා අරන් යමින්  කියලා දුන්නු දේවල් වලට මම තාත්තට ණයගැතියි හැමදාමත්)



ඊලඟට මම ක්‍රම 5 ක් කියලා දෙන්නම් මේ අවශ්‍යතා 7 කෙනෙකුගේ වැඩි දියුණු කර ගන්න  අපිට උදව්  කරන්න පුලුවන් වෙන.  මෙන්න මේ ක්‍රම පහ (5) හරිම ආදරණියව හරිම ඉවසීමෙන් අවබෝධෙන් නිර්මාණශීලිව මගේ තාත්තා මං වෙනුවෙන් එක දිගටම (අප අතරින් සමු ගන්නකන්ම)  එක සැරයක් වැරදුනත් කිසිම වෙලාවක මාව අධෛර්ය නොකර,අසාධාරන දේවල් වලට මුහුණ දෙන විදිහ පෙන්නමින්  කල නිසා තමයි අද මම ඔයාලට මේ විදිහට ලිපි ලියන්නේ..

  • LEVEL OF FUNCTIONING -  ඒ ඒ වයසට/තැනට  අනූව  වැඩක් කිරිමට ඇති  හැකියාව  
  • EXPECT A RESPONSE - ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටීම
  • WAIT  - ඉවසීම
  • REPETITION,SIMPLICITY,SAMENESS  - නැවත කිරිම, සරල බව,එකම විදිහට කිරීම
  • THE WAY WE SPEAK - කතා කරන විදිහ , ස්වරය

මේ පියවර 5න් අන්තිම පියවර ගැන ටිකක් විස්තර සහිතව කතා කරල අදට පාඩම නවත්තනම්.. 





මේ රූපයෙන් පෙන්වන්නේ අපේ වම් සහ දකුණු කනෙන් ඇහෙන ශබ්ධ මොළයට ගෙනියන ආකාරය. ඔබට පෙන්නවා ඇති වම් කනට ඇහෙන දේවල් දකුණු මොළයටත්, දකුණු කනට ඇහෙන දේවල් වම් මොළයටත් ගෙනියන බව. (මොකට මෙහෙම වෙලා තියනවද මන්දා වම දකුණ මාරු වෙලා,පුලුවන් තරන් පැටලුම් ගොඩක් විදිහට මොළයේ ක්‍රියාකාරිත්වය හැඩගැහිලා තියෙන්නේ ඇයි ?)  අපේ වම් කන තමයි අපිට ඇහෙන වෙනස් නොවෙන දිඟු ශබ්ධ (සංගීතය වැනි) ග්‍රහණය කරගෙන අපේ දකුණු මොළයට ගෙනයන්නේ..ඒ අතරෙම අපේ දකුණු කන අපිට ඇහෙන වේගවත් වෙනස් වන (කථනය වැනි) ශබ්ධ ග්‍රහණය කරගෙන අපේ වම් මොළයට ගෙනියනවා..

මාස 18ක් වගේ වෙනකන් දරුවෙක් සම්පුර්ණයෙන්ම භාවිතා කරන්නේ වම් කන පමණයි අවට පරිසරයෙන් ඇහෙන ශබ්ධ ග්‍රහනය කරගන්න..ඒ නිසා තමයි පොඩි කාලේ දරුවන්ට ඇහෙන්න සිංදු කියන්නේ, ඇදලා කතා කරන්නේ (බබා ආආආ කැඇඇ වද අඅ අඅ), නාට්‍යක දෙබස් වගේ කතා කරන්නේ. එතකොට තමයි බබෙක් අපිට වැඩියෙන් ප්‍රතිචාර දක්වන්නේ (දැන් හිතලා බලන්න සමහර අය එක්ක පුංචි දරුවෝ ඉක්මනින් යාලු වෙනවා ඇයි ඒ ? )  මාස 18 ඉඳලා අවුරුදු 4 විතර වෙනකොට ග්‍රහ මාරුවක් වෙනවා වගේ මේ ශබ්ධ ග්‍රහණය කර ගැනීම දකුණු කනටත්  මාරු වෙලා වැඩියෙන් දකුණු කන භාවිතා කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය කාලේ තමයි ගිරව් වගේ කිචි බිචි ගගා තොරතොන්චියක් නැතුව කතා කරන්න පටන් ගන්නේ. හැබැයි සමහර දරුවන්ගේ මේ ග්‍රහ මාරුව වෙන්න ටිකක් කල් යනවා ( විශේෂයෙන් පිරිමි දරුවන්ගේ ) 

කල් යන අයටත් නැති අයටත් දෙගොල්ලන්ටම අපිට කරන්න පුලුවන් උදව් තමයි කතා කරන වේගය අඩු කිරීම, වචන වලට සංගීතය මුසු කොට කතා කිරීම, වචන වල සමහර  අකුරු වැඩියෙන් බර කර ඇඳලා කතා කිරිම, වාක්‍යයක සමහර වචන වලට වැඩි බරක් දී  කතා කිරිම,  කතා කරන ස්වරයෙන් අවස්ථාවට ගැලපෙන හැඟිම (තරහ, දුක,සතුට) දැනෙන්න කතා කිරීම. මේ ක්‍රම මඟින් ඕනම දරුවෙක් තමන්ට ගොඩක් ලං කරගන්නත් කියන දේ අහන ගතිය වැඩි කර ගන්නත් පුලුවන්.  


ගොඩක් වෙලාවට වැඩිහිටි අපිත්  කෙනෙක් එක්ක අදහස් හුවමාරු කර ගනිද්දී මේ කතා කරන "ස්වරය" නිසා හිතන්නේ නැති ගැටලු   මතු වෙනවා..හොඳ දෙයක් උනත් අපි කියන්නේ සැරෙන් නම් තරහ ගිය ස්වරයකින් නම් අනිත් කෙනාට මුලින්ම ග්‍රහණය වෙන්න මේ ස්වරය. ඉන් පසුවයි කියපු දේවල වලට හිත යන්නේ.. ඒ නිසා තමන් කතා කරන ස්වරය ගැනත් කල්පනාවෙන් ඉන්න කෙනෙක් එක්ක. තරහෙන් නම් ඉන්නේ තරහ අඩු වෙනකන් ඉඳලා කතා කරන එක හරි කතා නොකර වෙන විදිහකින් (ලිපි, SMS, Chat etc)  අදහස් හුවමාරු කරගැනීම අනවශ්‍ය ගැටලු රැසක් අඩු කරන ක්‍රමයක්. මට හිතෙනවා අද වෙනකොට ගොඩක් අය කතා කරනවට වඩා මේ තාක්ෂණ විදි  භාවිතයෙන් අදහස් හුවමාරු කරගන්න වැඩියෙන් යොමු වෙන්න එක හේතුවක් කියලා මොළයට අනවශ්‍ය ගැටලුවක් එකතු කරගන්නේ නැතුව කෙනෙක් එක්ක අදහස් හුවමාරු කර ගැනිමට  එයින් ඇති වෙන   හැකියාව නිසා කියලා.. 

මං හිතන්නේ අද නම් මම ගොඩක්  කරුණු ගැන කතා කල නිසා ඊලඟට අපිට කතා කරන්න තියන අවසාන පියවර වන  "හැසිරිම්" ගැන මම දැන්ම ලියන්නේ නැ.  ටික කලකට මේ ලිපි පෙළට සමුදෙන ගමන් මෙන්න මේ WHEEL එක  ඔයාලට හිතන්න දෙයක් එක් කරයි කියලා හිතුන නිසා ඉගෙන ගැනිම වගේම ජීවිතෙත්  සාර්ථක කර ගන්න අවසානයට එක් කරන්න හිතුවා. කරකැවිල්ල හදාගන්නේ නැතුව බලන්න.


 




12 comments:

  1. දවසින් දවස පාඩම්වල ගුණාත්මක පැත්ත ඉහල යනවා, හීන දකින්නී. ඇත්තමයි වටිනාම ලිපියක්. කොහොම කියන්නද මේ වටිනාකම. තව තවත් ඔය දෑත් ශක්තිමත්....නෑ නෑ එහෙම කිව්වොත් දේශපාලනික පැත්තක් වෙන හින්දා තව තවත් වටිනා ලිපි ලියන්න ඔබේ බුද්ධියට ශක්තිය ලැබේවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දුමී. මම මේ වගේ ලිපි ලියලා නැ කවදාවත්. මේ පළවෙනි වතාව. ඔයාලා කියවලා ජිවිතේට දෙයක් එක් කර ගන්නවා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව මේ ලිපි ලිවීමේ.

      Delete
  2. මේ ලිපි ටික කියවල දැං මම මේ කල්පනා කරන්නෙ මම මොන වගේද් කියල.

    " ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද"

    ReplyDelete
    Replies
    1. ඉවාන්,මං හිතනවා එහෙම හිතන්න පෙළබෙන අය ටිකක් හරි තමන්ව අඳුර ගන්නවා කියලා...

      ""මොහොතින් මොහොතට ගෙවෙනා කාලය දැනෙනවා කාටත් එක විදියට...""

      Delete
  3. හෑමදාම නිම්නිගෙ ලිපි අපේ ජීවිත වලට හිතන්න ගොඩක් දේ එකතු කරනවා.....හරිම වටිනා ලිපියක්. මට නම් ලිපියක් නෙවේ පොතක් කියෙව්ව වගේ දෑනුනා. බොහොම ස්තූතියි ඔයාට....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ මං මේ පොතක් තමයි හිමින් හිමින් පියවරෙන් පියවර ඔයලට ගෙන්නෙ සරලව.

      ලොකේ කොහේ උනත් මිනිස් වර්ගයා සහ මොළය ගැන වැඩිදුර ඉගෙන ගන්න එක හරිම මිල අධික වැඩක්. එත් මං මේ දේවල් ඉගෙන ගන්නේ ඇත්තටම නිකන් වගේ. ඒ නිසා පුලුවන් හැමවෙලේම ඕනම කෙනෙක්ට මං ඉගෙන ගන්න දේවල් බෙදලා දෙන්නේ ලේසියෙන් කෙනෙකුට මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඉඩක් නොලැබෙන නිසත් දැනුවත් උනොත් ගැටලු අඩු කර ගන්න පුලුවන් වෙයි කියලා මම හිතන නිසත්.

      Delete
  4. මුල ඉඳලම කියවන් ආව.. හති හොඳටම.. ෆූහ්... හැබැයි වටිනා වැදගත් ලිපි පෙලක්..
    නිම්නගේ වෑයම අපතේ යන එකක් නොවෙයි... දවසක මේව එක්කරල පොතක් පළ කළොත් වටියි කියල හිතෙනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් එකපාර හැම ලිපියක්ම කියෙව්වම මහන්සි තමයි. එක පාර කියෙව්ව කියන එකත් ලොකු දෙයක් අත ඇරලා දාන්නේ නැතුව. ඒ නිසාමයි මං ලිපි දෙකක් අතර වෙන වෙන  ලිපිත් දැම්මේ. ලිපි එකින් එක හොඳට කල් අරන් කියවන්න.

      පොතක් නේද.. දැනට නම් මගේ එහෙම අදහසක් නැ. පොතක් කියන්නේ ලොකු වගකීමක් නෙ මහේෂ්...

      Delete
  5. මට නම් paradox එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. යසිත් හිමින් හිමින් එකින් එක වෙන් කර ගන්න.

      Delete
  6. පොඩි දරුවන්ගේ දැනුම වර්දනය කරන දෙමාපියන්ට කරන්න පුළුවන් ක්රියකරමං ගැන ලිපියක් ලියන්න පුලුවන්නම් වැදගත්.

    ReplyDelete
    Replies
    1. මම උත්හස ගන්නම් තියන වෙලාවත් එක්ක ඒ ගැන ලියන්න. ඔබ දැනට පුලුවන් තරන් දරුවත් එක්ක ගත කරන කාලය හදා ගන්න. දරුවට ඇහුන්කන් දෙන්න, ඔබේම මනස ඔබට උදව් කරයි නිර්මාණාත්මකව හිතන්න දරුවා සතුටු කරන්න සහ මෙහයවන්න. පුලුවන් හැමවිටම ඔබට සහ පවුලට සම්බන්ධ කර ගන්න, පුංචි පුංචි වගකීම් දෙන්න, පනිවිඩ හූවමාරු කරගන්න, ආදරය නිතර දැනෙන ලෙස ජීවන රටාව හදාගන්න. දරුවගේ අපහසුතා අඳුරගන්න, ඒ අනූව ඔබ වෙනස් වෙන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...