Tuesday, November 15, 2016

DAY CARE, PRE SCHOOL, ME & MY SON. 1

Baby Toys
Preschool- Love,Learn,Live








 

අද ලියන්න හිතුනේ අපේ පුතා නිසා මගේ ජිවිතය කාලෙත් එක්ක වෙනස් උනු විදිහත් අපි දැන් ඉන්න  රටේ දිවා සුරැකුම් (DAY CARE)   සහ පෙර පාසල්  (PRE SCHOOL)  වල ක්‍රියාත්මක වන ක්‍රමවේදය සහ ආසියාතිකයන් විදිහට මුහුණ දෙන්න වෙන ගැටලු සහ ඒවා නිරාකරණය කර ගැනිමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන.


මුලින්ම අපි ඔස්ට්‍රේලියාවට ආවේ අපේ පුතාට මාස 8 දි. ඒ මීට අවුරුදු 4කට කලින්.  අපිත් එක්ක මගෙ අම්මත් ආව නිසත් මගෙ මල්ලිත් ඒ වෙනකොට හිටියේ අපි ආපු නගරෙම නිසත් ලංකාවෙන් ආවා කියලා වැඩි වෙනසක් දැනුනෙ නැ. ඒත් හැමවෙලේම නැදැයො එක්ක ගැවසිලා පුරුදු හිතට නම් දැනුනේ ලොකු පාලුවක්. අපිට දැනුනු ඒ පාලුව ලංකාවෙදි  අක්කල අයියල ගොඩක් මැද්දේ හැදුනු  පුතාටත් ඒ වගේම දැනෙන්න ඇති. ඒ නිසාම පුතාට අවුරුදු 1.5 වගේ වෙද්දි "DAY CARE" එකකට දාන්න (දවසේ පැය කීපයක්) අදහසක් තිබ්බත් කොහොමහරි අවුරුදු 2ක් වෙනකන් මම ඒ අදහසට අපේ හිත් වලින් එළියට පියාඹලා ගිහින් ක්‍රියාත්මක වෙන්න නම්  දුන්නේ නැ. ඒ තරන් පොඩි වයසෙන් "DAY CARE"  එකකට දාලා මට හිත හදා ගන්න බැරි නිසා. ඒ වෙනුවට මම උත්සහ කලා ලඟ තිබුනු පුස්තකාලයේ පොඩි අයට තිබුනු වැඩසටහන් වලට සහ ගේ අවට තිබුනු "PLAY GROUP" වලට පුතාව එක්කන් යන්න.  ඒත් මටම තේරෙනකොට සම වයස් ලමයි එක්ක ගැවසෙන්න වැඩි ඉඩක් හැදෙන්නේ නැ කියලා අමාරුවෙන් හිත හදාගෙන එයාගෙ තාත්තා අපේ ගෙදර අවට හැම තැනකටම ගිහින් විස්තර හොඳට හොයලා තෝරගත්ත අපේ ගෙදරට කිට්ටුම "DAY CARE"   එකට පුතාව දැම්මා. ඒ වැඩේ පුතාගේ තාත්තා බාර ගත්තේ මට කිව්වට 1,2 ට ඇරෙන්න මං ගිහින් බැලුවෙ නැති නිසා ඒ වැඩේ මගෙන් වෙන්නෙ නැ කියලා තේරුනාට පස්සෙ.

A boy giving some flowers to a angry girl..
පයින් යන්න පුලුවන් දුරක තිබුනු ඒ ආයතනයට මුලින්ම පුතාව ගිහින් බැස්සුවෙ මම.  ඒත් මාව දාලා යන්න බැ කියලා අඬද්දී මට දරා ගන්න බැරි නිසා ටික දවසකින්ම පුතාගේ තාත්තා ඒ වැඩෙත් බාර ගත්තා. මේ විදිහට මාස 6කින් වගේ අඬන්නෙ නැතුව මට Bye කියලා තාත්තා එක්ක යන්න එයා පුරුදු උනා. (මේ ඇඬිල්ල තිබුනේ ගිහින් බස්සන විනාඩි 5ක් වගේ කාලයක් විතරයි, ඊට පස්සේ එයාට මතක නැ ඇඬුවද කියලත් තියන සෙල්ලන් බඩු අතරේ අතරන් උනාම, ඒත් මගේ හිතේ ඒ කෑගහල අඬන ඇඬිල්ලේ දෝංකාරය සෑහෙන වෙලා රැඳෙනවා) මේ කාලය ඇතුලත මම මගේ සැමියගෙන් දැක්ක ඉවසීම ගැන නම් කියන්නම ඕන.  පුතා අඬන්නෙ මම ඕනවට වඩා එයාව මාත් එක්කම තියාගත්ත නිසා වෙන්වෙන එක දරා ගන්න අමාරුයි කියන එක මටත් හොඳින් තේරුනත් ඔහු මට ඒ වෙලාවේ ඒ ගැන වචනයක් හරි කිව්වා නම් මගේ හිත හදාගන්න එක තවත් අමාරු වෙනවා. ඒ අතින් නම් බිරිඳකට ලැබිය හැකි හොඳම සැමියෙක් ඔහු. (දැන් ආපස්සට බලනකොට මං ඇයි ඒ තරන් ඇඬුවෙ කියල හිතෙනවා ගෙදර ලඟ තියන "DAY CARE" එකේ පැය කීපයක් මගෙන් වෙන් වෙන දිහා බලන් ඉන්න බැරුව.)

මගෙ පුරුද්දක් තියනවා මට සමීප කෙනෙක් අලුත් දේකට මුහුණ දෙනවා නම් මගෙන් කෙරෙන්න ඕන දේවල් මගෙ වැඩ ටිකක් පැත්තකින් තියලා කරන. (අමාරුවේ වැටිලා තියෙනවා මම   මේ පුරුද්ද නිසා ජිවිතේට අමතක නොවෙන පාඩමකුත් එක්ක).  ඔස්ට්‍රේලියාවේ PR  අයදුම් කලාට පස්සේ ලංකාවෙන් එන්න කලිනුත් මම මේ විදිහට අපි කරන්න යන අලුත් වෙනස ගැන මගේ ලඟම යාලුවන්ගෙන් විස්තර හෙව්වා මොකද වෙන්නේ කියන එක. මට ඉන්නවා හරිම සමබර විදිහට තොරතුරු කියන යාලුවෙක්. ඒ තොරතුරුයි මම හොයා ගත්ත අනිත් තොරතුරුයි එකතු කරලා තමයි මම ලැස්ති වෙලා ආවේ. අපි එනකොට ඉන්න තැනක්, බඩු මුට්ටූ ලැස්ති කරගෙන ආවත් මගේ යාලුවට ඕනේ උනා අපිව ඇයගේ ගෙදර අඩු තරමේ  සතියක් හරි තියා ගන්න. අපිව ගන්න ගුවන්තොපුටපලටම ආව ඇයත් ඇගෙ සැමියත් ඔවුන්ගේ ගෙදර එක්කන් ගිහින් මේ අලුත් පරිසරයේ හැමදේම අපිට කියලා දුන්නා. ‍යන්න ඕන කඩ, ගන්න ඕන ඒවා එපා ඒවා, වියදම් අඩු කරගෙන වැඩ කරන හැටි. හැම නගරයකම මුලීක සැලැස්ම ඇය මාව එක්කන් ගිහින් පෙන්නලා කියලා දුන්න නිසා ආපහු අපි ඉන්න නගරෙට  ආවට පස්සෙ කිසිම අපහසුවකින් තොරව දන්න කෙනෙක් වගේ වැඩ කරගෙන යන්න මට පුලුවන් උනා.

ඇය ඇගේ වැඩ පොඩ්ඩකට පැත්තකින් තියලා අපේ ගෙදර අඩු පාඩු හොයන්න යන්නත් අමතක කලේ නැ. ඒ ගත්ත බඩු 150km විතර දුර ඇගේ වියදමෙන් ගෙවාගෙන   ඇවිත් අපේ ගෙදරටම ගෙනත් දුන්නෙත් ඇයමයි.  ඇත්තටම ලංකාවෙන් වෙන රටකට සංක්‍රමණය වීමක් විදිහට මේ ගමන මට දැනුනේ නැ මගේ මල්ලිත් සැමියත් යාලුවත් නිසා. (හැබැයි ලංකාවෙන් එන්න උනු එක ගැන කියා ගන්න බැරි හරි අමුතුම හැඟිමකින් මම පළවෙනි අවුරුද්දම ගත කලේ)   මං ආවේ ලංකාවේ තිබ්බ හැමදේම තිබ්බ ගෙදරකට.  මගේ පුතාට ඕනේ හැමදේමත් ලැස්ති කරල තිබුනු නිසා මට තිබුනේ ගිය සතියේ ලංකාවෙන් නවත්තපු තැනින් ආයේ පටන් ගන්න විතරයි. මේ විදිහට කෙරෙන්න ඕනේ කියලවත් මේ නගරෙට එන්න ඕනේ කියලවත් හිතාගෙන කල දේවල් නෙමේ මේ එකක්වත්.  (ඔබ තෝර ගන්න සහකරුවා හෝ සහකාරිය ගැන ඔබට තියෙන්න ඕන ඉවෙන් වගේ දැනෙන විස්වාසයක්. වචන වල නෙමේ ක්‍රියාවෙන් එය ඔබට දැනෙන්නේ නැත්නම් ඕනම වෙලාවක ඉදිරියට යන්න කලින් නැවතිලා හිතන්න. )

ඒත් එක්කම මගේ යාලුවා මේ විදිහට මට උදව් කරන්න මම ඇයට විශේෂ උදව්වක් කරලා නැ වගේම අද ඇය මූණ දිලා ඉන්න ඉරණමට මට  කිසිම විදිහකින් උදව් කරන්න බැරි එක ගැන මගේ හිතේ තියෙන්නේ  වේදනාවක්. මීට මාස 6කට විතර කලින් ඇවිත් මට බාරදිලා ගිය දේවල් පරිස්සන් කරමින් මම බලා ඉන්නව ඇයව ආපහු දකිනකන්...

ඉතින් ඔන්න ඔහොම ඇවිත් වැඩ කරගෙන යන අතරේ  මේ "DAY CARE" කතාව නිතර ඇහෙද්දි මං හොයන්න ගත්තා මොනවද මට කරන්න පුලුවන් පුතා මූණ දෙන අලුත් වෙනසට. එහෙම හොයද්දි මම එතෙක් රැකියා අංශය සහ උසස් අධ්‍යාපනය  විදිහට කරගෙන ආපු  "IT & BUSINESS MANAGEMENT"  වලට සමුදිල මං තෝර ගත්තා "EARLY EDUCATION & RESEARCH "

එතනදි මට අරමුණු දෙකක් තිබුනා. පලවෙනි එක මගේ රැකියාව නිසා මට පුතාව මඟ හැරෙන්නේ නැති වෙන්න ඕන. අනිත් එක මේ අලුත් රටේ ළමයෙක්ට ඉගෙන ගන්න   තියන  පහසුකම්, යන්න තියන මාර්ග මොනවද කියල දැනුවත් වෙන එක.  ඒ නිසා ගෙදරට ආසන්නම විශ්වවිද්‍යාලයක "EARLY EDUCATION" අංශයේ මහාචාර්යවරයෙක්ගේ උපදෙස් අනුව මං පටන් ගත්තා කෙටිම මාර්ගෙන් මගේ ඒ අරමුණු දෙකට ලං වෙන්න.  ඒ උපදෙස් දීපු අය ගැනත් කියන්නම ඕන. මං කලේ කිසිම දැන හැඳුනුන්කමක් නැතුව මගෙ අරමුණ කියලා "EARLY EDUCATION" අංශයට "EMAIL" එකක් යවපු එක. ඒ වෙලාවෙම මගේ "EMAIL" එකට පිළිතුරු එවපු ඒ මහාචාර්යවරිය මේකට හොඳම කෙනා කියල තව මහාචාර්යවරයෙකුට මාව යොමු කරල තිබුනා. ඉතින්  ඔහු දිපු උපදෙස් අනූව තමයි පහුගිය අවුරුදු 3ම මම ඉගෙන ගත්තේ. හැබැයි මම අද වෙනකන් ඒ එක්කෙනෙක්ව වත් දැකලා නැ හැබැහින්.  (ලබන අවුරුද්දේ සමහර විට මට එයාලව බලන්න පුලුවන් වේවි, මේ විශ්වවිද්‍යාලයේම වෙනත් අංශයක ඉගෙන ගත්ත මගේ නංගි කෙනෙක්ගෙන් තමයි මම මුලින්ම විස්තර දැන ගත්තෙ )

Give others happiness, you will get yours..
දෙපාරක් නොහිතා මේ විදිහේ තිරණයක් ගන්න හේතුව අනිවාර්‍යෙන් පුතාට එයාගේ තාත්තව මඟ හැරෙන බව මං දැනගෙන හිටිය නිසා. මම විශ්වාස කරනවා කසාඳ බැන්ඳට ළමයි හැදුවට තමන්ගේ ජීවිතේ එතනින් නැවතිය යුතු නැති බව. දරුවන්ට අසාධාරණයක් නොවන විදිහට තමන්ගේ හීන වලට යන එක ගැන මම වරදක් දකින්නෙ නැ. මගෙ පුතාගේ තාත්තට  එයාගෙ තාත්තා පොඩි කාලෙ ගෙනත් දීලා තිබ්බ රුසියන් කතා පොත් වල සහ අනිකුත් විදේශීය රටවල කතා පොත් වල දැක්ක දේවල් තමන්ගෙම ඇස් දෙකෙන්  බලා ගන්න ලොකේ වටේ යන්න ලොකු ආසාවක් තියන බව මට තේරුන් ගන්න අමාරු උනේ නැ කසාඳ බැඳලා ටික කාලයක් යද්දි. ඒත් මම එහෙම නිතර තියා කොහෙත්ම  ගුවන්යානයක යන්න අකමැති උනත් ඔහුගේ ඒ හීන වලට ඉඩ හදල දෙන්න අකමැති වෙන්න හේතුවක් නැනේ. ඔහු මගේ සැමියා උනත් ඔහුත් වෙනම පුද්ගලයෙක් මට වඩා වෙනස් අදහස් තියන. තමන් කරන්න ඕන දේ නොකරන්න ඕන දේ තීරණය කරන්න ඕන තමන්.  දෙන්නම ඒ පාරෙ එකට යන්න ඔහුට ඕනේ උනත්  මං තෝරගෙන තියන පාර ඊට වඩා වෙනස් නිසා   එක තැනකදි මම   තීරණය කලා  ඔහු තෝර ගත්ත පාරෙ දිගටම යන්න මගෙන් තහනමක් නැ පුතාට අසාධාරණයක් නොවෙනකන්. අපේ මේ වෙනස් විදිහේ තීරණ වලට  වෙනසක් නැතුව ඉඩ දීලා අපිට අපේ පාඩුවේ ඉන්න දෙන (අපිත්  එයාල වගේ වෙන්න ඕන කියලා කියන්නෙ නැති) ශ්‍රි ලාංකික පිරිසක් අපි අවට ඉන්න එක ගැන නම් මට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි තරන් සැහැල්ලු හැඟිමක්.


<><><><><><>
මතු සම්බන්දයි... 
<><><><><><>

12 comments:

  1. ඒ තරම් හොඳ මිතුරියකට මොකද උනේ?

    චතූ හොඳ අම්ම කෙනෙක් වගේම බිරිදක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. ජීවිතේ කියන්නේ හිතන්නෙවත් නැති දේවල් එක පාරට වෙන අමුතුම ගමනක්.. ඇය දැන් ඉන්නේ ලංකාවෙ.. ආපහු කවදා එන්න වේවිද කියලා ඇය තවම දන්නේ නැ..

      Delete
  2. කොහොමත් සැමියන් ඉවසනවා තමයි හීන දකින්නී.
    තමන්ගෙ වැඩ පැත්තකින් තියලා සමීපතමයන්ගේ වැඩට උදව් කරන්න ගිහින් මාත් අමාරුවේ වැටුනු අවස්ථා තියෙනවා.
    (වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිච්ච)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී.. ගොඩක් සැමියන් ඉවසනවා වචනයෙන් නොකිව්වට..

      මටත් උනේ එහෙම වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටීමක් තමයි දුමී.. කොහොම හරි වහලේ ඔලුවට කඩා වැටෙන්න කලින් බේරුනා...:)

      Delete
  3. ඔය කියන රට ගැන ඉස්සර අපෙ රටේ මිනිස්සු පිස්සු වැටිල ඉන්නෙ ඇයි චියල මං හිතුව.පස්සෙ මාත් ඔය රටට පිස්සු වැටුන වෙන දෙයක් නිසා.
    ඒත් ඒක මාව හොඳටම තුවාල කරා.
    ළමයින්ට අම්මල ආදරේ කරන්නේ ඇයි කියල මං සමීක්ෂණයක් කරා.ඒත් ඒක ඉවර කරන්ට වුනේ නෑ.
    මට ළමයි නැති නිසා මට ඒක තේරුනේ නෑ. ඒත් මට දැන් ටිකක් තේරෙනව ඉපදෙන්ටත් මාස ගානකට කලින් පටන්ගන්න ආදරයක් පැහැදිලි කරන්ට බැරි වග.
    ඒ ආදරේ මං ඇස් දෙකෙන්ම දකිනව මේ දවස් වල උපන් හැටියෙ පොඩිඋන් දකිද්දී.

    ReplyDelete
    Replies
    1. ඔබ කවුරුන් වුනත් මේ රට ගැන පිස්සු වැටෙන එක ගැන මට කියන්න තියෙන්නේ හිතන තරන් මේ රට සුරපුරයක් නම් නෙමේ කියලයි..

      හ්ම්ම්ම්...ඔබේ මේ අදහස් දැක්වීමට මට දෙන්න උත්තරයක් නැ..මම පවුලේ වැඩිමල් කෙනා උනත් හැදුනේ බාලායා වගේ.. බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා මගේ සැහැල්ලු ගති පැවතුම් වෙනස් වුනේ නැ..මට හිතාගන්න බැ ටිකෙන් ටික දැකලවත් නැති පුංචි ප්‍රාණයක් නිසා මම වෙනස් වුන හැටි...

      අම්මා කෙනෙක්ගේ ආදරයට සම කරන්න දෙයක් මම මේ ලෝකේ දන්නේ නැ..මගේ පුතාගේ මුණට එක තප්පරේකට හිනාවක් ගේන්න ඕන නම් මට මගේ පණ උනත් දෙන්න පුලුවන්...

      Delete
  4. මං නං ඒ බව දන්නවා. ඒත් මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ එහෙම නෙවේ.ඔය රටට ගියාම මේක මුඩුක්කුවක් කියල හිතන්නේ සමහරු. මට නං මේ රට තමයි ලෝකේ තියන වටිනම රට.

    ඔව් ආදරය කියන එක මණින්ට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකට දෙන්න තියන උත්තරේ කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැනේ.. එහෙම දකින අයට මේ ලොකේ මොනම තැනක වත් සතුටෙන් ඉන්න පුලුවන් කියලා මම හිතන්නෙ නැ.. හොඳම දේ එහෙම අයගෙන් හැකි තරන් ඈත් වෙලා ඉන්න එක..

      මනින්න බැරි ගොඩක් දේ තියනවා..ආදරය.. හිනාව.. නිදහස... නින්ද...

      Delete
  5. මගේ පොඩි එකිත් මොන්ටිසෝරි ගිය මුල්ම දවස්වල ඔහොම තමයි. එක අතකට හැම පොඩි එකාම එහෙමයි. හැබැයි අම්මට වඩා මාත් එක්ක හුරතලේ වැඩියි. මම ගෙදර ඉන්න දවසට මොකක් හරි බොරු ඇඬිල්ලක් පටන් අරන් මොන්ටිසෝරි යන්නේ නැතිව ඉන්නමයි හදන්නේ.

    ReplyDelete
    Replies
    1. හැම පොඩ්ඩටම මුලදි අමාරුයි ගෙදරින් වෙන් වෙලා ආපහු එනවා කියන එක තේරුන් ගන්න.. ඒකට එක එක පොඩ්ඩට යන කාලය සාපේක්ෂයි කුරහන්...

      කෙල්ලො ඉතින් හුරතල් වෙන්නෙ තාත්තලා එක්කනෙ...:) :)

      Delete
  6. ඔබ,සැමියා,පහුල් ජීවිතය,තමන්ගේ සිහින...... හීන දකින්නි මේ හැමදෙයක්ම තියෙන එකක් වෙන්න ඇති ජීවිතේ කියන්නේ,අනිත් කීපයත් සමබරව තියන් තමන්ගේ හීන ස්පර්ශ කරොත් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.අර හීන දකින්නි ඉස්සරින් පෝස්ට් එකක කිව්වා වගේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් රොමාරස්.. සමබර නැතිනම් ඉර හඳ ඇල්ලුවත් වැඩක් වෙන්නේ නැ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...