Tuesday, October 4, 2016

ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 3

I'm not Misbehaving, I have Autism.Please be Understanding.
අද මම "Autism Spectrum Disorder"  ඝනයට වැටිය හැකි පුංචි දරුවන්ගේ කල්තියා අඳුරගන්න පුලුවන් ලක්ෂණ කීපයක් ගැන ලියන්නම්. කලින් ලිපියෙන් කිව්වා වගේම මේ ලක්ෂණ තිබූ පමණින් කලබල වෙන්න ඕන නැ..ඒත් මේ ලක්ෂණ කීපයක් එකට තිබෙනවා නම් ටිකක් අවධානයෙන් ඉන්න දරුවගේ චර්යාවන් ගැන. පළමු අවුරුදු දෙකේ දරුවෙකුගේ  කෑම බීම බර වැඩි වීම වගේම සමාජීය සහ සන්නිවේදන හැකියාවන් වැඩීම ගැනත් කල්පනාවෙන් ඉන්නව නම් මේ ලක්ෂණ ඉතාම පහසුවෙන් අඳුරගන්න පුලුවන්. එතනදි දරුවගේ අම්මා විතරක් නෙමේ තාත්තත් මේ ගැන අවබෝධෙන් වැඩ කරනවා නම් පවුලක් විදිහට දරුවට උදව් කරන්න පහසු වේවි.

ගැහැනු දරුවන්ට වඩා ඉතා වැඩි ප්‍රතිශයක් පිරිමි දරුවන් මේ "SPECTRUM" එකට වැටෙන බව දැනට සොයාගෙන ඇති අතර කොහොමත් පිරිමි දරුවන් ටිකක් දඟකාර සහ වර්ධනයේ පසුගාමි බවක් පෙන්වන නිසා කල්පනාවෙන්  තිරණය කරන්න ඕන.


1. අත දිඟු කර විවිධ වස්තූන් , මිනිසුන් නොපෙන්වීම සහ    තමන් දකින දේවල් පිළිබඳ අදහස්  අනිත් අය සමඟ කුමන හෝ ක්‍රමයකින්   බෙදා නොගැනීම.

උදාහරණයකට බල්ලෙක්ව දැක්කොත්, අත දිඟු කර එය ලඟ ඉන්න තමන්ට සමිප වැඩිහිටියෙකුට නොපෙන්වීම, එය වැඩිහිටියා දැක්ක බව තහවුරු කර ගැනිමට කිසිඳු උත්හසයක් නොගැනීම.

2. තමන්ගේ නමට ප්‍රතිචාරයක් (නිතරම) නොදැක්වීම.
   
3. විවිධ ශබ්ධ භාවිතා කර තමන් හා අවට ඉන්න අය සමඟ සන්නිවේදනයක් පවත්වා ගැනීමට උත්හස නොකිරිම. ශබ්ධ කෙරුවත් එය අවට ඉන්න අය ගැන තැකිමකින් තොරව තනිව සිදු කිරිම.

4. වචන සහ කතාව මන්දගාමි වීම, ඉදිරිපත් නොවීම.

5.රූපවාහිනියෙන් හෝ විඩියෝ වලින් නිතර ඇහෙන දේවල් කොපි කිරිම සහ කිසිම තෙරුමක් හෝ අන් අය හා සන්නිවේදනයක් නොමැතිව ඒ වදන් නිතර  එක දිගටම පැවසීම. 

6. ප්‍රශ්නයකට උත්තරය දෙනු වෙනුවට කෙනෙක් කියන දෙයම නැවත නැවතත් කීම. 

උදාහරණයකට " ඔයාගේ නම මොකද්ද " කියලා ඇහුවම නම වෙනුවට ඒ ප්‍රශ්නයම නැවත ඇසු කෙනාටම කීම

7. සරල උපදෙස් නොතේරිම.

උදාහරණයකට  "මට බෝලේ දෙන්න"   , "කෝ පූසා , වගේ සරල දේවල් කෙනෙක් කී විට කරන්න නොහැකිවීම.

8. සමුගැනිමකදි තමන්ගේ අත වැනීම හෝ වචන භාවිතා නොකිරිම.

9. කෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ඇසට ඇස නොබැලීම.

10. කෙනෙක් සමඟ තමන් හිතා මතා තනිව සිනහ නොවීම.

11. සම වයස් දරුවන් ගැන උනන්දුවක් නොදැක්වීම

12. සෙල්ලම් බඩු සමඟ මවා ගැනීම් සහිතව ක්‍රිඩා කිරිමට නොහැකිවිම. හැන්ගිමුත්තන් වැනි සෙල්ලම් කිරිමට නොතේරීම.

13. සමහර දේවල් වලට අසීමිත ආසාවක් දැක්වීම සහ එයින් ලෙහෙසියෙන් මුදවා ගැනීමට නොහැකි විම.

සමහර දරුවන් පුංචි නූල් කැලි, සෙල්ලම් කාර් වල රෝද වලට අසිමිතව තම අවධානය යොමු කිරිම දැකිය හැකියි. එවැනි දරුවන් වෙන කිසිම දෙයක් සමඟ සෙල්ලම් කිරිමට කැමැත්තක් නොදක්වයි.

14. තමන්ට ලැබෙන ඕනැම සෙල්ලම් බඩුවක් සමඟ එකම ආකාරයකට පමණක් ක්‍රිඩා කිරිම, වෙනස්කම් වල දැඩි ලෙස අකමැති විම.

උදාහරණයකට කාර් කීපයක් තිබුනොත් ඒවා එක පෙළට තැබීම හෝ රෝද කරකැවීම මිස වෙන ආකාරයකට සෙල්ලම් නොකිරිම. ඒ පිළිවෙල වෙනස් වු විට කලබල කිරිම.


A little boy who trying to line up his toy cars.
15. තමන්ගේ එදිනෙදා වැඩ පුරුදු රටාවෙන් පිට සිදුවීම පිළිබදව කලබලයකින් තොරව මුහුණ දිමට නොහැකිවිම.

මේ දරුවන් හැමවිටම එකම රටාවකට දවස ගෙවන්න කැමති අය. වෙනස්කම් කියන්නේ මේ අයට ගොඩක් අමාරු දෙයක් පුරුදු වෙන්න. තමන්ට හුරුපුරුදු වෙලාවට කන්න බොන්න, නිදාගන්න, නාන්න, සෙල්ලම් කරන්න නොලැබුනොත් දෙමාපියන්ට මේ දරුවන් පාලනය කරගන්න හරිම අපහසුයි. 

16.තමන්ගේ ශරිරය රටාවකට කැරකැවීම, නිතර හේතුවක් නොමැතිව අත්පුඩු ගැසීම, ඇඟිලි තුඩු වලින් ඇවිදීම, ශරිරය පැද්දීම.

17. අවට පරිසරයට ඉතාම සංවේදි වීම.

උදාහරණයකට ශබ්ධයට, හිරු එළියට, විවිධ පාට වර්ග වලට අසීමිතව සංවේදි විමෙන් එවැනි දේට නිරාවරණය වීම අධික වේදනාවක් සහ බයක් ගෙන දීම.


A little boy covering his ears to avoid loud noise that hurt him.
මෙන්න මේ ලින්ක් එකෙන් තවත් සලකුණු හොයාගන්න පුලුවන්.

ඉතින් මේ ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් ඔබ  දරුවගෙන් දකිනවා නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කර ඊලඟට කලයුතු පියවර ගැන දැනුවත් වෙන්න. 


15 comments:

  1. වටිනා ලිපි පෙලක්.
    බොහෝම ස්තූතියි නිම්නා !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දුකා.. මම හරිම අහම්බෙන් මේ දේවල් ගැන ඉගෙන ගන්න යොමු උනේ. හැබැයි මාව ගොඩක් සසල කලා මේ දැනුම. මේ දරුවන්.

      ජිවිතේ ගැන වෙනමම විදිහකින් බලන්න, මොකද්ද මේ ජිවිතේ කියලා කියන්නේ තේරුන් ගන්න, අනිත් කෙනෙක් වෙනුවෙන් අපිට කල හැකි දේවල් තේරුන් ගන්න, අපි බොහොම ලේසියෙන් අවභාවිත කරන හැඟිම් , වචන මොන තරන් අමාරුවෙන් ද මොළේ අපිට හදලා දෙන්නේ කියල තේරුන් ගන්න මේ ඉගෙන ගන්න කරුණු ගොඩක් උදව් උනා..

      Delete
  2. Replies
    1. ඔබටත් ස්තුතියි අටම් මේ ලිපි කියවමින් දැනුම බෙදා ගන්නවට.

      Delete
  3. නිම්නා...ඕටිස්ටික් කිඩ්ස් ඉන්න දෙමව්පියන්ගේ සෝෂල් ඉෂූස් ගැනත් ලියන්නකෝ...!
    කිව්වත් වගේ මට හම්බවෙලා තියෙන්නේ එකම එක දුවයි ඕටිස්ටික්...මේ කෙල්ල මරු වැඩක් කලානේ මට..එක්සිබිශන් හෝල් එකකදි එයාගේ පේරන්ට්ස්ලාත් එක්ක ඉන්නකොට දුවගෙන ඇවිත් මාව හග් කරලා (she was like my knee height) ඇහුවෙ නැද්ද do you have a baby inside කියලා මගේ බංඩියට එකක් ඇනලා...! මම කොහොමද react කලේ කියන එකනං දැන් ඇත්තටම මතක නෑ...!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් චෙෆාකි මට බයයි ඒ වගේ social issues ගැන ලියන්න. එකක් මම පිට ඉඳන් බලලා ලියන නිසා ඒ දරුවන් ඉන්න අයගේ හිත් රිදෙයි කියන බය.  අනිත් එක ඒ වගේ හැසිරීම් තියන අයව තවත් අපහසුතාවයට පත් වෙන්න එය භාවිතා කරයි ද කියන සැකය , අපි අතර ඉන්න සමහර අයගෙන් මේ වගේ දේවල් හංගන් වැඩ කරන  එක සමහර වෙලාවට ඇඟට ගුණයිනෙ...

      හි හී..ඒ girl විතරයි චෙෆාකිගේ බඩ ගැන කෙලින් කතා කරලා තියෙන්නේ.

      Delete
    2. ඒ දුව විතරක් නෙවෙයි, මමත් කෙලින්මනේ කිව්වේ මගේ බන්ඩිය ගැන...:)

      Delete
  4. සතුටක් මෙවන් ලිපි අපේ බසින් කියවන්නට ලැබීමම , ස්තුතියි ඔබේ වෙහෙසෙ වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහෙශ්.. ඔබේ අඩවියෙන් මෙවැනි ලිපි ලිවිමට මට ලොකු පෙළබවීමක් ලැබුනා..

      සිංහලෙන් මෙවැනි දේවල් ගැන විස්තර හොයා ගන්න එක ඇත්ත්ටම අමාරු වැඩක්.
      ගොඩක් අය කෙනෙක් ඔටිස්ටික් , ඔටිසම් කියලා කියනවා මිසක් මේ ගැන හරි වැටහීමක් නැහැ කියලා මට හිතෙනවා මහේශ්..

      Delete
  5. මේ ලිපි පෙළ ඉතාම වටිනවා නිම්නි. අපේ රටේ ජනසන්නිවේදන මාධ්‍යවලින් විද්‍යා සන්නිවේදනය සිදුවන්නේ කොතරම් සීමිතවද කියන එක ගැන කනගාටුවක් දැනෙනවා. නලු නිලියන්ගේ ප්‍රේම සම්බන්ධතා, ඔවුන්ගේ රුව රැක ගන්නා හැටි ගැන පිටු ගණන් වෙන් කරන අපේ රටේ පත්තර, මෙවැනි දැනුමක් දෙන ලිපි වෙනුවෙන් කොච්චර අඩු ඉඩක්ද දෙන්නේ. මහ ලොකු දැනුමක් ජනතාව අතරට ගෙනියනවා වෙනුවට මේ වගේ තමන්ගේ ජීවිතයට වඩාත් බලපාන, තමන් ඒ ගැන වැරදි මතවල ඉන්න එකින් මිදී විද්‍යාත්මකව ඒ දෙස බලන්න මේ ලිපි ඉතාම වැදගත්. තමන්ගේ දරුවාගේ යම් අඩුපාඩුවක් ගැන නිවැරදි විද්‍යාත්මක අවබෝධයක් නැති තත්ත්වයකදී ඒ තත්ත්වය තමන්ට ජාවාරමක් කරගන්න ඊනියා ඍෂිවරුන් අපේ රටේ පහළ වෙලා දෙමව්පියන්ව ගොනාට අැන්දීම කොච්චරවත් සිද්ද වෙනවා.'අහවල් අපලය'කිය කියා අනවබෝධය විකුණං කන සමාජයකට මේ වගේ දැනුම ලබාදීම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
    අපට අපවම කියවා ගන්නත්, අනෙකා නිවැරදිව තේරුම් ගන්නත් මේ දැනුම වැදගත්. මතුපිටට අපි දකින හැසිරීමක් පසුබිමේ වන දැවැන්ත නොපෙනන කොටස ගැන හඳුනාගනිද්දි, එවැනි හැසිරීමක් දැක්වීම ගැන තරහවක් වෙනුවට අනුකම්පාවක් අනෙකා කෙරෙහි අැති කරගන්න අපට පුලුවන්.
    අනේ මන්දා. අර ඉහළ කීප දෙනෙක් කියල තිබෙනවා වගේ, මටත් වෙලාවකට ඒ වගේ රෝග ලක්ෂණ තිබෙනවා වගේ. ඔයාගෙ ලිපි කියවුව නිසා දැන්නම් ''මං පවු'' කියලා හිත හදාගන්න පුලුවන් !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රභාත්, ඔබ කියන දේවල් ගැන වෙනත් රටක ඉඳලා බලද්දි තවත් දුක හිතෙනවා අපේ රට සහ එහි මිනිසුන් ගැන.

      අපි මෙහිදි බෙහෙත් ගන්න යන වෛද්‍යවරිය (GP) බොහෝ කලකට පෙර ලංකාවෙන් සංක්‍රමණය වු කෙනෙක්. ඇය පවසන පරිදි පුංචි බබාලගේ වෙනස්කම් බලෙන් හොයාගෙන ඒවට නිසි ප්‍රතිකාර කරන්න මෙහෙ හැදුනු වැඩුනු අය ගන්නේ ලොකු උත්හසයක්. අපේ රටේ වගේ ලොකු උනාම ඕවා ඇරිලා යාවි කියලා ඉන්න නැතුව විවෘතව ගැටලුවට මුහුණ දීලා නිසි පියවර අරගෙන පුලුවන් උපරිමව දරුවන් ස්වාධීන කරන්න මෙහෙ හැමදෙයක්ම හැඩ ගැහිලා තියන හැටි දකිද්දි අපේ රට ගැන , වැඩියෙනම ළමයි ගැන හරිම දුකයි.

      මෙතනදි මට තව දෙයක් හිතුනා , අපි ලාංකිකයන් විදිහට පෞඩ ඉතිහාසයක් ගැන කතා කලාට ගැටලුවකට කෙලින් මූණ දෙන්න බයයි, හැබැයි අදටත් මද්දුම බණඩාර ගැන ගිරිය යටින් කැ ගහලා වර්ණනා කරන්න පසුබට වෙන්නේ නම් නැ

      ප්‍රභාත් අපි හැමෝගෙම කලු පැත්තක් තියනවා.. මනසින් උසස් කියන අපිට පුලුවන් වෙන්න ඕන වයසින් වැඩෙද්දී ඒ අඩු පාඩු තමන්ම අඳුරගෙන පාලනය කරගන්න. අපිට උත්සහ කරනවා නම් ඒ අඩුපාඩු වැඩි දියුණු කරගන්න පාරවල් හොයාගන්න පුලුවන්.

      Delete
    2. නිම්නි, මෙම ලිපි පෙළ සහ ඔබ මීට කලින් ලියූ මිනිසුන්ගේ හැසිරීම් සම්බන්ධ ලිපි ලක්බිම ඉරිදා සංග්‍රහයේ 'මන්දාකිණිය' අතිරේකයේ පළ කිරීම සඳහා mandakiniya.lakbima@gmail.com යන ලිපිනයට යොමු කරන්න.එය විද්‍යා තාක්ෂණ තොරතුරු සඳහා වෙන් කර තිබෙන අතිරේකයක්. ඔබ ලබාගත් දැනුම ජනතාව අතරට වඩාත් ගෙනයන්නට එය සුදුසු වේවි.සමහරවිට ඔබට අන්වර්ථ නාමය වෙනුවට නියම නමින්,ඒ වගේම වෘත්තීය පසුබිම සහිතව ලියන්න සිදුවෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව අකැමැත්තක් නැත්නම් මේ ගැන සලකා බලන්න. සුබ පැතුම් !

      Delete
    3. ප්‍රභාත් ඔබට බොහෝම ස්තුතියි.. මේ ලිපි පෙළ නම් කිසිම ප්‍රශ්නයක් නැ.. මම හැසිරිම ගැන ලිව්ව ලිපි පෙළේ මගෙ පෞද්ගලික තොරතුරුත් සහ අත්දැකීම ලිව්වනේ.. ඒවත් එක්ක මේ ඔබ එව්ව ලිපිනයට යොමු කලාට කමක් නැද්ද..

      මගේ නියම නම සහ සුදුසුකම් භාවිතා කරන්න මගේ අකමැත්තක් නැ.. හැබැයි ඒ ගැන මං අවට ඉන්න මගේ සමීපතම අය කැමතියි වෙයිද කියන්න මම දන්නේ නැ..

      Delete
    4. ඔබට විවේකය තිබෙනවානම් ඒ ලිපි ඔබ විසින්ම නැවත සංස්කරණය කර, අනවශ්‍ය යැයි සිතෙන‍ ඒවා ඉවත් කරන්න. බ්ලොගයට ලියූ ඒවා පමණක් නෙවෙයි. ඔබ හදාරන ක්ෂේත්‍රයෙන් ඔබට ලිවිය හැකි ලිපිත් 'මන්දාකිණියට' යොමු කරන්න. මම කලින් පෝස්ටුවකට ප්‍රතිචාරයක් ලෙස සඳහන් කළ සඟරාවටත් ඔබේ ලිපි සුදුසුයි.ඒ සඳහාත් ඔබ ලියන්නට කැමති නම් යන gaveshanajournal@gmail.com ලිපිනයට ලිපි යොමු කරන්න. සඟරාවක් නිසා දීර්ඝ නොවන ලිපි නම් වඩාත් හොඳයි. හැබැයි, මන්දාකිණියටත් 'ගවේෂණ' සඟරාවටත් යන දෙකටම එකම ලිපිය යොමු කරන්න එපා. අලුතින් හිතන්න. අලුතින් ලියන්න.
      නම භාවිත කිරීම යම් ගැටලුවක් නම් අදාළ සංස්කාරකවරුන් දැනුවත් කර ඔබට අන්වර්ථ නාමයක් ලිපි සඳහා භාවිත කරන්න පුළුවන් වේවි.

      Delete
    5. ඔබට ස්තුතියි ගොඩාක් ප්‍රභාත් .. හීනෙන්වත් මං නොහිතපු පාරක් ඔබ මට විවෘත කරලා දෙන්නේ..

      හැකි හැම වෙලාවකම අලුතින් හිතලා අලුතින් යමක් ලියන්න මම උත්සහ කරන්නම්..

      හැසිරීම් ලිපි පෙළ නැවත කියවා සුදුසු ලෙස සකස් කර යොමු කරන්නම්. ස්තුතියි ඔබට නැවතත්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...